අනික එයාලත් ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ උපරිමයට විඳිනවා. ඒ කොහොම වුනත් ලංකාවේ සංවර්ධන අනාගතය තීරණය වෙන්නේ මෙවර ජනාධිපතිවරණයෙ ජයග්‍රාහකයා ගන්න පියවරයන් අනුව. රටේ සංවර්ධනය වෙනුවට, රට නැවත් ආපස්සට ගැනෙන පියවරයන් ගනීයිද නැද්ද කියන එක අපි දන්නෙ නැහැ.
ඒත් අද ප්‍රධානම ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ වේදිකා වල කරන කතා බැලුවාම අපි ගන්න ඔ්න තීරණය මොකක්ද කියන එක සාමාන්‍ය දැනුමක් ඇති ඔ්න කෙනෙකුට තේරෙනව.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙ මැතිවරණ ප්‍රකාශය තුල තියෙන තරමක් තියෙන්නෙ දැනට රජය ක්‍රියාත්මක කරගෙන යන වැඩ පිලිවෙලට සමගාමීව කරපු යෝජනා.. ඊට අමතරවව අති විශාල සහනාධාර ප5මාණයක් යෝජනා කරල තියෙනවා. බදු සහන ගැනත් කියනවා... රටට වඩාත්ම ගැලපෙන ආර්ථික ප්‍රතිපත්ති අනුව බැලුවොත් සජිත්ගේ ප්‍රතිපත්තියෙහි වැරද්දක් නැහැ. නමුත් ගැටලුව තියෙන්නෙ ඊට පරස්පරව යෝජනා කරන සහනාධාර තොගය. රට දැන් තිබෙන තත්වයන් අනුව මේවා කරන්න ගියොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්.
ඊගාවට ජාතික ජන බලවේගයෙ අනුර කුමාරගේ ප්‍රතිපත්තිය.. එ්කෙ ඇතැම් කොටස් වර්තමානයෙ රජය ක්‍රියත්මක කර තිබෙන යෝජනා ලෙස හඳුනා ගන්න පුළුවන්.. ඒත් සහනාධාර, බදු ආදායම් අඩු කර ගැනීම සහ නිශ්චිත ආදායම් මාර්ග නොමැති වීමේ වැරැද්ද තියෙනවා..ඊටත් වඩා බරපතලම කාරණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනෙන් ඉවත් විය හැකි යෝජනා අඩංගුව තිබීම. ඒ එක්කම මේ අය වේදිකාවෙ කියන්නෙ මේකට පරස්පර දේවල්. සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තිය නිරන්තරයෙන් වර නැගෙනවා.. මේ අනුව පැහැදිලි දේ තමයි මේ අයට නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැයි කියන එක. මේ නිසා මේ අයගේ පාලනයක දී රට අර්බුදයකට ගොදුරු වීමෙ විශාල ඉඩ කඩක් තිබෙනවා. එසේම රාජ්‍ය පාලනයට ආධුනිකයන්. ඒ නිසා තීරණයක් ගැනීමට පෙර ඡන්ද දායකයන් මේ ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙන්න ඔ්න.
ඊගාවට ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්තිය. ඔහු යෝජනා කරන්නෙ දැනට කරගෙන එන වැඩ පිළිවෙලෙහිම දිගුවක්. 2048 ඉලක්ක කරන සංවර්ධන වැඩ පිලිවෙල.
ඉතිහාසය පරික්ෂා කර බැලු විට මේ රට ගොඩගියේම රනිල්ලා යෝජනා කරන ආර්ථික පිළිවෙල අනුව බව පැහැදිලියි. වාමාංශික , ජාතිකවාදී, ජනප්‍රිය තීන්දු නිසා රට හැම වෙලේකම කඩාගෙන වැටුනා.. මේ නිසා රටට මේ මොහොතෙත් අනාගතය වෙනුවෙනුත් වඩා වැදගත් වන්නෙ රනිල් අනුගමනය කරන ප්‍රතිපත්තිය බවට සැකයක් නැහැ.
මේ නිසා ඔහු ඉදිරිපත් කරන වැඩපිලිවෙලෙහි සාරංශයක් මෙතන සටහන් කරල මෙම ලිපි පෙළ අවසන් කරනවා.
2019 අවුරුද්දේ දී අපේ දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 89ක්. හැබැයි 2022 දී එය අමෙරිකානු ඩොලර් බිලියන 76.9ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 12.1කින් පහත වැටිලා. නමුත් 2023 අවසන් වෙද්දි එය ඩොලර් බිලියන 84.4ක් දක්වා ඉහළ නංවන්න පුළවන් වුණා.
මේ යන ගමන ඉදිරියටම ගියොත් 2025 අවසන් වෙද්දි එය ඩොලර් බිලියන 89 දක්වා ඉහළ නැංවෙනවා. එතැන් සිට දවසින් දවස එය ඉහළ නැංවෙනවා. මේ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග කලින් ලිපියේ සඳහන් වුණා. ඒ ගැන ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක් වුණා.
ථේරවාද වෙළෙඳ ආර්ථිකය
පසුගිය කාලය තිස්සේ අපේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා මූලික වශයෙන් පදනම් කරගෙන ඇත්තේ දේශීය නිෂ්පාදනයයි. එදිනෙදා අවශ්‍යතා සඳහා දේශීය නිෂ්පාදනවලින් සෑහීමකට පත් වෙන්න බැරි නිසා, හිඟ පාඩුව ආනයනය කරනවා. අය වැය පරතරය පියවාගන්නේ දේශීය හා විදේශ ණයවලින්.
බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ණය ලබාගත යුත්තේ පරිභෝජනය සඳහා නොව, ආයෝජනය සඳහා බවයි. අප ඒ ආර්ථික සංකල්පය නොතකා හැරියා. 2022 වන විට ඩොලර් බිලියන 84ක පමණ ණය කන්දරාවක් අපේ පිට පැටවී තිබුණා. ඉන් වැඩි හරිය ගත්තේ පරිභෝජනයට. මේ නිසා අපි වසර දෙකකට කලින් ලෝකයා ඉදිරියේම නින්දාවට පත් වුණා; රට සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. 2022 වසර වෙද්දී ආර්ථිකය දරුණු හැකිළීමකට භාජනය වුණා; දළ දේශීය නිෂ්පාදිතය කඩාවැටුණා; ආර්ථිකයේ විදේශ අංශයත් බිඳ වැටුණා. මේ නිසා රුපියලේ අගය පහත වැටුණා. 2019 වසරේ රුපියල් 183.61ක්ව තිබූ ඩොලරයේ වටිනාකම 2022 වන විට රුපියල් 363.11ක් බවට පත් වුණා. 2019දී 3.53%ක්ව පැවැති උද්ධමනය 2022 වන විට 70% දක්වා ඉහළ නැග්ගා.
රජයේ පිළිවෙත නිසා 2022දී 70%ක්ව තිබූ උද්ධමනය 2024 ජූලි මාසය වෙද්දී 2.81% දක්වා පහත වැටී තිබෙනවා. රුපියල් හාරසියයකට ඔන්න මෙන්න කියා තිබුණු ඩොලරයේ අගය රුපියල් 300ට වඩා අඩු මට්ටමකට දැන් පහත වැටී තිබෙනවා. 2022 වසරේ පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 470යි; දැන් 344යි. එදා ඔටෝ ඩීසල් මිල රුපියල් 460යි; අද 317යි. විදුලි බිල අඩු වෙමින් පවතිනවා. ජල ගාස්තු පහළ වැටෙමින් පවතිනවා.
ඒ වගේම මින් ඉදිරියට,
* රාජ්‍ය ගෙවීම්වල හිඟ මුදල් මාස තුනකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටීමට අවසර නෑ.
* අය වැය හිඟය පියවීම සඳහා මහ බැංකුව මඟින් මුදල් අච්චු ගැසීම සපුරා තහනම්.
* විදුලි සහ ඉන්ධන මිල, ඒ සඳහා වැය වන මුදල පදනම් කරගෙන තීරණය කළ යුතුයි. විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නම්, වහාම හා ඍජුවම මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා මුදල් ලබාදිය යුතුයි.
* සමාජ ආරක්ෂණය සඳහා වැය කරන මුදල නියමිත ප්‍රමාණයට වඩා අඩු නොකළ යුතුයි.
මේ ඉලක්ක හා සීමාවන් ස්ථාවරයි. ඒවා ගැන යළි සාකච්ඡා කිරීමට හෝ වෙනස් කර ගැනීමට හෝ ඉඩක් නෑ. අපේ නිල ණය හිමියන් සහ චීනය අපට සහන ලබා දුන්නේ ඉහත දැක්වෙන ඉලක්ක හා සීමාවන්ට යටත්වයි. ඒ ඉලක්ක හා සීමා සපුරාගන්න බැරි වුණොත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය විතරක් නෙවෙයි, ණය සහන සියල්ලත් අහිමි වෙනවා. එහෙම වුණොත් අපට සිදු වෙන්නේ යළිත් අගාධයට ඇද වැටෙන්නයි.
ඒ නිසා අප කළ යුත්තේ මේ ඉලක්ක හා සීමාවන් අනුව අපේ ආර්ථිකය ස්ථාවර කර ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමයි.
සැපතින් පිරි රටක් කරා…
රනිල් පාලනයේ සැලැස්ම අපනයනය කේන්ද්‍ර කරගත් නිෂ්පාදන හා සේවා මඟින් ආර්ථිකය ශක්තිමත් කිරීම. ආර්ථිකය ශක්තිමත් කර ගත්තේ නැත් නම්, රටේ අන් කිසිදු අංශයක් ඉහළ නංවාලන්න බෑ.
මේ සැලැස්ම ඔස්සේ ඉදිරියට ගියේ නැත්නම් ඉතාම කෙටි කාලයකින් අප දැවැන්ත ආර්ථික අර්බුදයකට යළිත් පත් වෙනවා. එය වළක්වාලිය හැක්කේ මේ මගම ඉදිරියට යෑමෙන් පමණයි.
හැමදාමත් ලෝකයට ණය වෙන්න අපට බැහැ. ණය ආර්ථිකයකින් රටක් ඉහළට ඔසවා තබන්නට බෑ. මේ මාවතේ ඉදිරියට ගියොත් 2048 වෙද්දී ණය නැති, සංවර්ධිත ආර්ථිකයක් අපට ගොඩනඟාගත හැකි වෙනවා.
අගහිඟකම් නැති පරපුරක්
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා අපේ රටේ ජනතාවගෙන් 25%ක් විවිධ අගහිඟකම්වලට මුහුණ දෙනවා. හරිහමන් අධ්‍යාපනයක් ලබාගන්න පහසුකම් නෑ. පිරිසුදු වතුර නෑ. විදුලිබලය නෑ. රස්සාවල් නෑ. නිවාස දේපළ නෑ. ආවාහ විවාහ වෙලා දරු පවුල් ගොඩනඟන්න ඉඩක් කඩක් නැහැ.
මේ තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමුඛත්වය දෙනවා. ඉදිරි අවුරුදු 5ක කාලය තුළ මෙවැනි අනේකවිධ උවදුරුවලින් පීඩා විඳින අගහිඟ ඇති ජන අනුපාතය 10% දක්වා අඩු කරන්න ක්‍රියා කරනවා. ඊට පදනම සපයමින් සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තියෙනවා.
අන්ත දුගීභාවයෙන් හා සමාජ පීඩාවන්ගෙන් දුක් විඳින ප්‍රජා කණ්ඩායම් ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන්වල නිත්‍ය කොටස්කරුවන් ලෙස මේ දිළිඳු පවුල් යොදවාගන්නවා. ප්‍රාදේශීය යටිතල පහසුකම් නංවන රාජ්‍ය කාර්යයන්වලට සේවක පිරිස් යොදවාගැනීමේදී මෙවැනි සමාජ කණ්ඩායම් වෙත ප්‍රමුඛතාව ලබා දෙනවා. එමඟින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නංවාලනවා.
ලස්සන 2048කට…
මේ ගමන්මග ඔස්සේ ඉහළ තරගකාරි, අපනයනය කේන්ද්‍ර කරගත් ඩිජිටල් හරිත ආර්ථික පදනමක් නිර්මාණය කරගැනීමට හැකි වන අතර 2048 වෙද්දී අපේ සියලු ආර්ථික ඉලක්ක සපුරාගත හැකි වෙනවා. මේ සංවර්ධිත අවධිය කරා යෑමට අවශ්‍ය පරිවර්තනය සඳහා පදනම් වෙන ප්‍රධාන අණපනත් අප මේ වන විටත් සම්මත කර, ක්‍රියාවට නංවා අවසන්.
මහබැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඒ අතර විශේෂයි.
මේ මඟින්:
I. නව රැකියා නිර්මාණය කෙරෙන අතර, එමඟින් රැකියා වෙළෙඳපොළ පුළුල් වෙනවා; ආදායම් ඉපැයීමේ නව අවස්ථා බිහි වෙනවා.
II. ආදායම් උපයාගැනීම ඉහළ නගිනවා.
ලෝකයේ බොහෝ රටවල් දියුණුව ලබාගෙන ඇත්තේ ආර්ථිකයේ වැඩි බර පුද්ගලික අංශය වෙත තැබීමෙන්. අප නිර්මාණය කරන ථේරවාද වෙළෙඳ ආර්ථිකය ඊට වඩා පුළුල් පරාසයක් මත ස්ථාපිත කිරීමට අප සැලසුම් කරනවා.
ශක්තිමත් පුද්ගලික අංශයක් සමඟ කරට කර තරග කළ හැකි දෙවැදෑරුම් අංශ අප ආර්ථිකයට එක් කරනවා.
i. රාජ්‍ය අංශය
සමස්ත ආර්ථික ක්‍රමය පූර්ණ වශයෙන් නියාමනය කිරීමේ බලය රජය සතු වෙනවා. රජය සතු බැංකු, මූල්‍ය ආයතන සහ ව්‍යවසායන් මඟින් මෙම මෙහෙයවීම තරගකාරී පදනමකින් සිදු කරනවා.
ii. ජනතා අංශය
ජනතා අංශය යන නව සංකල්පය සඳහා පදනම් කරගන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (2) (ඊ) වගන්තියයි.
“නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතළොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මධ්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම.”
ජනතා අංශය ආර්ථිකයේ ශක්තිමත් පංගුකාරයකු කරලීම උදෙසා අප:
• හැම පුරවැසියෙකුටම ඉඩමක හෝ නිවෙසක අයිතිය හිමිකරලීමේ අවස්ථා උදා කරනවා.
• ජාතික ධනසම්පත (National Wealth Fund) ස්ථාපිත කරනවා.
• සමුපකාර ව්‍යාපාරය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කරනවා.
දේපළ හිමිකම
පුරවැසියන්ට දේපළ අයිතිය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රමවත් හා කඩිනම් කරලීම උදෙසා වෙනමම අධිකාරියක් ස්ථාපිත කරනවා. මෙමඟින් උරුමය වැඩසටහන ඔස්සේ මිලියන 2කට ඉඩම් අයිතිය ලබා දීම සහ කොළඹ නගරයේ රජය සතු අඩු ආදායම් නිවාස අයිතිය නිවැසියන්ටම පැවරීම වසර 4ක් තුළ අවසන් කරනවා.
මධ්‍යම පාන්තිකයන්ට නිවාස ඉදිකරලීම උදෙසා සහනදායි ණය ලබා දෙනවා. අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස හිමි කරගැනීමේ අපහසුකම් සලසනවා.
වතු කම්කරු ජනතාව වෙනුවෙන් නව ගම්මාන ස්ථාපනය කෙරෙන අතර ලයින් කාමරවල වෙසෙන අයට ඉඩම් කැබැල්ලක අයිතිය ලබා දෙනවා.
ඉදිරි වසර දෙක තුළ දේශීය හා විදේශ ආයෝජන යටතේ නව නිවාස යෝජනා ක්‍රම ගණනාවක් රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් ඉදි කෙරෙන අතර දිවයිනේ සියලුම ප්‍රධාන නගර ආවරණය වන පරිදි මහල් ගණනාවකින් යුතු පොකුරු නිවාස ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරිමත් කරනවා. මේ නිසා වර්තමානයේ ඇදවැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය වසර දෙකක පමණ කාලයක් තුළ යළිත් ශක්තිමත් කරලීමට මග විවර වෙනවා.
නවීන කෘෂි ආර්ථිකයක්
පස් අවුරුදු වැඩ සැලැස්මෙහි දැක්වෙන කෘෂිකර්ම, කර්මාන්ත, බලශක්ති ආදි විවිධ ක්ෂේත්‍රයන් සඳහා දේශගුණ විපර්යාස පදනම් කරගත් පරිසර හිතකාමි ක්‍රියා පිළිවෙත් හඳුන්වා දෙනවා. දැනටමත් අප මේ සියලු කාර්යයන් සඳහා මුල පුරා තියෙනවා.
වර්තමානයේ ලෝක ජනගහනය බිලියන 8ක් පමණ වෙනවා. 2050 වෙද්දී මෙය 29%කට ආසන්න ප්‍රමාණයකින්, එනම් 9.8 දක්වා වැඩි වෙනවා. මේ වැඩි වන ජනගහනය වෙනුවෙන් ආහාර භෝග අදට වඩා වැඩි වැඩියෙන් අවශ්‍ය වෙනවා.අන්න ඒ අවශ්‍යතාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් හෝ සැපයීම අපේ ඉලක්කය විය යුතුයි.
ඒ සඳහා ඉහළ තරගකාරි අපනයනය ඉලක්ක කරගත්, වැඩි ආදායම් ලබන නවීන කෘෂි සංස්කෘතියක් හඳුන්වා දෙනවා. විදේශ වෙළෙඳපොළ අරමුණු කරගත් කාබනික වගාවන් දිරිමත් කරනවා. පොහොර, උපාංග සහ නවීන යන්ත්‍රෝපකරණ ගොවියාට සපයනවා. ගොවි නිෂ්පාදන ඍජුව ගොවියාගෙන්ම මිල දී ගන්නා සැපයුම් ජාලයක් නිර්මාණය කරනවා. ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කරලීම උදෙසා ශීතාගාර ජාලයක් රට පුරා ස්ථාපිත කරනවා. ගෙවතු වගා, නාගරික මහල් නිවාස ආශ්‍රිත යැපුම් භෝග වගාව ව්‍යාප්ත කරනවා.
රජය සතු ඌන උපයෝජිත ඉඩම්වලින් අලුතෙන් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අපනයන කේන්ද්‍රීය වාණිජ භෝග වගාවන් සඳහා වෙන් කරනවා.
උරුමය සින්නක්කර ඔප්පු හිමි ගොවියන්ට සිය වගාවන් තව තවත් වැඩි දියුණු කරගැනීම උදෙසා උපදෙස් සහ සහය ලබා දෙනවා. ඒ ඉඩම් ඵලදායී භෝග වගාවන්ටත්, වෙනත් කෘෂි ව්‍යවසායයන් පාදක කාර්යයන් වෙනුවෙන් යෙදවීමත් දිරිමත් කරනවා.
භෝග ප්‍රවාහනය, අස්වැන්න නාස්ති නොවන ලෙස ගබඩා කිරීම හා අලෙවිය නවීකරණය කරනවා.
දේශීය ආහාර ප්‍රචලිත කරලීම උදෙසා රජයේ මැදිහත්වීමෙන් සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් කරනවා.
කෘෂිකර්මාන්ත කටයුතු සඳහා මෙන්ම එදිනෙදා ජල අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මල්වතු ඔය, තල්පිටිගල සහ වයඹ ඇල ව්‍යාපෘති කඩිනමින් නිම කරනවා. මෙම ව්‍යාපෘතීන්ගේ පළමු අදියර 2030 වෙද්දී නිම කරනවා.
වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා රුපියල් 25,000ක සහනාධාර මුදලක් ඍජුවම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දෙන අතර, කන්නයෙන් කන්නයට සහතික මිලක් නියම කරනවා.
රට වටේ මහ මුහුද තිබුණත් ධීවර කටයුතු සඳහා මුහුදු යන්නේ අප සතු බෝට්ටු ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙන්. ඒ නිසා මහමුහුදෙන් උපරිම ඵල ලබාගැනීමට හැකි වන සැලසුමක් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ මූලිකත්වයෙන් අප ක්‍රියාවට නංවනවා. එමඟින් වර්තමානයේ ධීවර සම්පත් අපනයනයෙන් මේ වන විට අප උපයන ඩොලර් මිලියන 300ක පමණ මුදල දෙගුණ කරගන්නවා.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ඉස්සන් වගාව, ජලජ ශාක, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා දිරි දෙමින්, ඒ අංශ වඩාත් ප්‍රචලිත කරනවා.
රට පුරා ඇති ධීවර වරාය නවීකරණය කරනවා. ඒවා ධීවර ආර්ථික මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කරනවා. මේ ක්‍රියාවලිය සඳහා ධීවර සමිති, ධීවරයන්, ආයෝජකයන් සහ විශේෂඥයන් සම්බන්ධ කරගන්නවා.
කුඩා ධීවර යාත්‍රාවන්ගේ සිට බහුදින ධීවර යාත්‍රා දක්වා මිලදී ගැනීම සඳහා සහන ක්‍රමවේදයන් දියත් කරනවා.
ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන දිරිමත් කරනවා.
ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට සරිලන අයුරින් ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට පියවර ගන්නවා. නවීන යාත්‍රා, උපකරණ හා තාක්ෂණය භාවිත කිරීමට ධීවර ප්‍රජාවට සහය ලබා දෙනවා.
වසර කීපයක් තුළ ධීවර ප්‍රජාවගේ ජීවන තතත්ත්වය ඉහළ නැංවීමට මෙම වැඩපිළිවෙළ ඔස්සේ හැකියාව ලැබෙනවා.
ධීවර වරාය වටා ධීවර නගර සංවර්ධනය කොට, නිවාස සහ අනෙකුත් ප්‍රජා පහසුකම්වලින් ධීවරයන් සන්නද්ධ කරනවා. දැනට භාවිත වන ධීවර නිවාසවල තත්ත්වය උසස් කිරීමට පියවර ගන්නවා. ධීවරයන්ට සහනයක් වනු පිණිස ඉන්ධන සහනාධාරය ඍජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දීම දැනටමත් ආරම්භ කර තියෙනවා.
මේ සියලු වැඩකටයුතු 2025 වසර තුළ ආරම්භ කරනවා.
සාගර පතුලේ ඇති විවිධ සම්පත් පිළිබඳ තවමත් අප නිසි අවධානය යොමු කර නැහැ. ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ අත්දැකීම් උපයෝගි කරගනිමින් මේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩ සැලැස්මක් අප ක්‍රියාවට නංවනවා.
මේ සියලු සැලසුම්වල මුල් අදියර 2025 සහ 2029 අතර ක්‍රියාවට නංවනවා.
අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් තවමත් රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ 35%ක් පමණයි. කිරි අස්වැන්න නැති නිසා මිල්කෝ සමාගමේ නවීන යන්ත්‍රාගාර බොහොමයක් ක්‍රියාත්මක වන්නේ අවුරුද්දේ කෙටි කාලයක් පමණයි.
මේ නිසා කිරි ආනයනය සඳහා වසරකට ඩොලර් මිලියන 282 ක් පිටරටවලට ඇදී යනවා.
අඹේවෙල පුද්ගලික ගොවිපොළේ දිනකට එළ හරකෙකුගෙන් කිරි ලීටර 35ක් ලබාගනිද්දී අපේ රටේ අනෙකුත් කිරි ගොවීන් ලබාගන්නා සාමාන්‍ය අගය ලීටර 5ක පමණ ප්‍රමාණයක්.
මේ තත්ත්වය වෙනස් කරමින් ජාතික පශු සම්පත් මණ්ඩලය සමඟ ඉන්දියානු තාක්ෂණය හා දේශීය විදේශීය ආයෝජකයන් සම්බන්ධ කරමින් කිරි අස්වැන්න ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.
මේ වැඩ සැලැස්ම ඔස්සේ:
• ලීටර මිලියන 380ක් වූ වත්මන් වාර්ෂික කිරි නිෂ්පාදනය 2035 වෙද්දී ලීටර මිලියන 820 දක්වා ඉහළ නංවනවා.
• එවිට දිවයිනේ සියලු පාසල් දරුවනට නොමිලේ නැවුම් කිරි වීදුරුවක් දිනපතා ලබා දීමට හැකි වනවා.
• කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වූ විට, දැනට කිරි ආනයනය සඳහා වසරකට පිටරටවලට ඇදී යන මුදල් ඉතිරි වන අතර, අතිරික්තයෙන් සිදු කෙරෙන කිරි ආශ්‍රිත නිෂ්පාදනවලින් මුදල් ඉපැයීමේ අවකාශයද උදා වනවා.
• 200,000කට අධික කුඩා කිරි ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට උසස් ජානමය සතුන්, සත්ත්ව ආහාර, බේත් හේත්, එන්නත්, කෘත්‍රිම සිංචනය සඳහා පහසුව සලසනවා.
• උසස් ජානමය කිරි හරකුන් 20,000ක් 2025 වසර තුළ දේශීය කිරි ගොවියන් වෙත ලබා දෙනවා.
• මේ වැඩපිළිවෙළ ඔස්සේ 2035 වෙද්දී දේශීය කිරි ගොවියන්ට ලැබෙන ආදායම රුපියල් බිලියන 40 ඉක්මවනවා. එමඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙනවා.
• දේශීය කිරි ගොවීන් වෙනුවෙන් සහන ණය ක්‍රමයක් ආරම්භ කරනවා.
• දේශීය කිරි ගොවීන්, එක් කිරි හරකෙකුගෙන් දිනකට ලබාගන්නා කිරි අස්වැන්න ලීටර 20 දක්වා ඉහළ නංවනවා.
මේ වැඩපිළිවෙළේ පළමු අදියර 2025 සහ 2035 දශකය තුළ නිම කරනවා.
සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉහළ තලයකට ගෙන එමින්, වර්තමානයේ මිලියන 2.5ක් වූ සංචාරකයන්ගේ පැමිණීම ඉදිරි පස් වසර තුළ මිලියන 5 දක්වා ඉහළ නංවනවා. වර්තමානයේ එක් සංචාරකයෙකුගෙන් රටට ලැබෙන දළ ආදායම අමෙරිකානු ඩොලර් 150ක්. එය 2035 වන විට අමෙරිකානු ඩොලර් 500 දක්වා ඉහළ නංවනවා.
කොළඹ, ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය සංචාරක කේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කරනවා. නැඟෙනහිර වෙරළ සහ යාපනය ප්‍රධාන පෙළේ සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසනවා. දකුණු වෙරළ තීරයට ඇති ඉල්ලුම තව තව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය කඳුකරයට ව්‍යාප්ත කරනවා.
සංචාරකයන් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවෙන් ඔක්තෝබර් 01 වන දින සිට රටවල් 35ක් වෙනුවෙන් නිදහස් වීසා ක්‍රියාත්මක වෙනවා.
අනුරාධපුරය, සංස්කෘතික උරුමයේ නගරයක් බවට පත් කොට, සීගිරිය තරමටම ලෝකයේ ප්‍රචලිත කරනවා.
නව සංචාරක කලාප ගණනාවකට කටයුතු ඉදිරි පස් වසර තුළ නිම කරනවා.
• ඉරණවිල අක්කර 400
• බෙන්තොට අක්කර 1000
• හපුතලේ – වැලිමඩ අක්කර 100
හෝටල් සහ ලැගුම්හල් ප්‍රතිසංස්කරණය කිරීම, නව හෝටල් ඉදිකිරීම ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ විවිධ කාර්යයන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරි ආයෝජන දිරිමත් කරනවා.
මෙම කාර්යයන් 2025 වසරේ ආරම්භ කර 2033 වෙද්දී අවසන් කරනවා.
ආර්ථිකයේ ඉදිරි පිම්ම පනින්න නම්, අපේ කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කළ හැකි මට්ටමකට ඔසවා තැබිය යුතුයි. දැනට අප ඇඟලුම්, කාර්මික වාහන සඳහා ටයර් ආදියෙන් ජාත්‍යන්තර නමක් දිනා තියෙනවා.
මේ තත්ත්වය පුළුල් කරලීමට නව තාක්ෂණය පදනම් කරගෙන නිර්මාණය වූ නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය මෙරටට ලබා ගන්නවා.
ජාත්‍යන්තර ආයෝජන, තාක්ෂණය සහ විශේෂඥ දැනුම අප උපරිමයෙන් යොදාගන්නවා. නිෂ්පාදන ආර්ථිකය පෝෂණය කරලීම සඳහා වර්තමානයේ ඇති සියලු බාධා ඉවත් කරනවා.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ආර්ථික කොමිසමක්ද, රටේ ඵලදායි තත්ත්වය නැංවීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා කොමිසමද, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක්ද ස්ථාපිත කරනවා.
බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහය ලබාගන්නවා.
i. බිංගිරිය ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරලීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තියෙනවා.
ii. කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් අක්කර 1,000ක නව ආයෝජන කලාපය පිහිටුවීම 2025දී ආරම්භ කරනවා.
iii. 2027 වෙද්දී දොම්පෙ අක්කර 120ක නව ආයෝජන කලාපයක් ඉදි කරනවා සපුගස්කන්ද ආයෝජන ප්‍රවර්ධන කලාපය පුළුල් කරමින් එයට තවත් අක්කර 400ක් එක් කරනවා.
iv. අක්කර 4,000ක් පුරා ඉදි වන හම්බන්තොට ආයෝජන කලාපයේ පළමු අදියර 2026දී අරඹනවා.
v. මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන අක්කර 100ක පමණ තාක්ෂණ කලාපයක් 2026දී ස්ථාපිත කරනවා.
මහා පරිමාණ ව්‍යාපෘති හා කර්මාන්ත ඇරඹීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම උදෙසා ජාතික සංවර්ධන බැංකුව 2025 දී ආරම්භ කරනවා.
නිෂ්පාදන කර්මාන්ත සඳහා දිරි දීමට දැනට ආයතන ගණනාවක් ක්‍රියාත්මක වීම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විවිධ අපහසුතාවන්ට පත් කෙරෙන්නක්. ඒ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් නව ශක්තිමත් ආයතනයක් 2025 වසරේදී ස්ථාපිත කරනවා.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි පසුබෑමකට ලක් වුණා. ඔවුන් යළි නඟාසිටුවීම වෙනුවෙන් දැනටමත් පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ඔවුන්ට ලබා දෙන ලක්ෂ 25 දක්වා වූ ණය මුදලේ පොලී අනුපාතය 5% මට්ටමට ගෙන එනවා. මහා භාණ්ඩාගාරයේ මේ වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා, සම්බන්ධීකරණ කාර්යයන් සිදු කරනවා.
පළාත් මට්ටමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට අවශ්‍ය මුදල් පළාත් සභා වෙත ලබා දෙන අතර, මාර්ගෝපදේශ මෙන්ම නිෂ්පාදන අලෙවිය සම්බන්ධ උපදෙස්ද ලබා දෙනවා.
දැනට ක්‍රියාත්මක වන සහ යෝජිත ආර්ථික මධ්‍යස්ථාන හරහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට මං සලසනවා. සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ගැටලු සොයා බලා, ඒවා නිරාකරණය කරලීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරනවා.
සියලු නිෂ්පාදන කර්මාන්ත පරිසර ආරක්ෂිත පදනමක පිහිටා ආරම්භ කරනවා. කර්මාන්තවලින් සිදු වන පරිසර දූෂණය අවම කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත විමෝචන වෙළෙඳ ක්‍රමවේදය හඳුන්වා දෙනවා. පරිසරයට මුදාහැරෙන අහිතකර වායු විමෝචනයන් එමඟින් පාලනය කරගන්නවා.
කාබන් බද්දක් හඳුන්වා දීමට පියවර ගන්නවා.
හරිත හයිඩ්‍රජන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා ආයෝජන දිරිමත් කරනවා.
2030 වෙද්දී විදුලි සැපයුම් ජාලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගන්නවා. ශ්‍රී ලංකාව හරිත බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කොට, ඉන්දියාව සහ අසල්වැසි රටවලට බලශක්තිය අපනයනය කරනවා.
ස්වාභාවික වායු විදුලිබල නිෂ්පාදනය ව්‍යාප්ත කරනවා.
ඉදිරි වසර කිහිපය තුළ බලශක්තිය සඳහා පුරවැසියන්ට දැරීමට සිදු වන පිරිවැය අඩු කර, විදුලිය, ඉන්ධන සහ ගෑස් කිසිදු හිඟයකින් හෝ කප්පාදුවකින් තොරව ලබා දීම සහතික කරනවා.
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය කරනවා.
අනාගත ලෝකය හැඩගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්ෂණය පදනම් කරගත් කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණයයි. එය සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය, ආර්ථික ආදි සකලවිධ ක්ෂේත්‍රවල දියුණුවට පාදක වෙනවා.
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම උදෙසා තාක්ෂණ ප්‍රවර්ධන පනත 2025 වසරේ අප සම්මත කරගන්නවා. මෙමඟින් ඩිජිටල් පරිවර්තන ඒජන්සියක් සහ තාක්ෂණ සහ නවෝත්පාදන සභාවක් ස්ථාපිත කරනවා. ඊට පසුබිම සකසමින් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත අප සංශෝධනය කර තිබෙනවා.
චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවාවන් හඳුන්වාදීම ඔස්සේ ඩිජිටල් විප්ලවය වේගවත් කරනවා.
අපේ රටත් අනාගත පරපුරත් මේ නවීන ප්‍රවණතාවන්ට එක් කිරීම සඳහා අප වහාම පියවර ගන්නවා. තරුණ තරුණියන් ඩිජිටල් දැනුමෙන් සන්නද්ධ කරනවා.
තවත් වසර තුනක් ඇතුළත මුළු රාජ්‍ය සේවයම කෘත්‍රිම බුද්ධිය හා ස්වයංක්‍රීයකරණය යටතට ගෙන ඒමේ සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. පූර්ණ ඊ-රාජ්‍ය සේවයක් (e-Governance) නිර්මාණය කරනවා.
වර්තමානයේ අපේ ඩිජිටල් ආර්ථික පංගුව ඩොලර් බිලියන 5ක්. ඉදිරි පස් වසර තුළ එය ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කරනවා.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වගකීම් විරහිත ලෙස ක්‍රියා කිරීම නවතාලන, එමෙන්ම කටහඬ, රූපය ආදියෙහි පුද්ගලිකත්වය හා බුද්ධිමය දේපළ අයිතිය සුරකින නීති රීති සම්පාදනය කරනවා. මැඩ්රිඩ් ප්‍රොටොකෝල් ගිවිසුම (Madrid Protocol) ඔස්සේ වෙළෙඳ ලකුණු පිළිබඳ බුද්ධිමය අයිතිය සුරකිනවා.
ඩිජිටල් පුරවැසි හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යයට දැනටමත් මුල පුරා ඇති අතර, ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීම හඳුන්වා දෙනවා.
අනාගතයේ අප හමුවේ ඇති තාක්ෂණ, ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම්, දැනුමෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් සන්නද්ධ සමාජයක් නිර්මාණය කළ යුතුයි.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ඒකාබද්ධ කර වොකේෂනල් ස්කිල්ස් ශ්‍රී ලංකා (VSSL) නමින් නව ආයතනයක් 2025 වසරේදී පිහිටුවනවා. සියලු වෘත්තීය පුහුණු පාසල් සහ මධ්‍යස්ථාන ඒ යටතට ගන්නවා.
පශ්චාත් පාසල් අධ්‍යාපන කොමිසම ස්ථාපිත කරනවා.
පාසලෙන් පිට වන දරුවනට වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා සහාය වෙනවා. මෙහි නියමු ව්‍යාපෘතිය යටතේ 2025 වසරේ සිසුන් 50,000කට වෘත්තීය පුහුණුවට අවශ්‍ය මුදල් රජයෙන් සපයනවා. මේ නියමු ව්‍යාපෘතියේ අත්දැකීම් පදනම් කරගෙන ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වඩාත් පුළුල් මට්ටමකින් මුදල් ලබාදීම සිදු කරනවා.
2026 අවසානයට පෙර පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩල 9ක් ස්ථාපිත කරනවා. පළාත්වල ඇති සියලු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, වෘත්තීය විද්‍යාල මට්ටමට උසස් කොට පළාත් වෘත්තීය අධ්‍යාපන මණ්ඩලය යටතට ගෙන එනවා.
තාක්ෂණ හා කළමනාකරණ විශ්වවිද්‍යාල විද්‍යායතන හැම පළාතකම පිහිටුවනවා. හැම දිස්ත්‍රික්කයකම ඒ යටතේ පීඨ ස්ථාපිත කරනවා. අධ්‍යාපනය දියුණු විදේශ රටවල සිදු කරන්නාක් මෙන් වසර දෙකක අධ්‍යයන කාලයකින් පසු මේ විශ්වවිද්‍යාල විද්‍යායතනය මඟින් ආශ්‍රිත උපාධි ලබා දීමට පියවර ගන්නවා.
අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ තාක්ෂණය යන මාතෘකාවට අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන්. ඒ නිසා Chennai IIT (චෙන්නායි තොරතුරු තාක්ෂණ ආයතනය) අනුග්‍රහයෙන් මහනුවර – ගලහ ප්‍රදේශයේ නව විශ්වවිද්‍යාලයක් පිහිටුවනවා. හේවාගම් කෝරළයේ, සියනෑ කෝරළයේ සහ සත් කෝරළයේ තාක්ෂණ විශ්වවිද්‍යාල ආරම්භ කරනවා. 2025 සහ 2028 කාලය අතරතුර මේ කටයුතු සඳහා මුල පුරනවා.
2008 අංක 31 දරන පනතින් පිහිටුවන ලද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය 2026 වෙද්දී ප්‍රතිව්‍යූහගත කොට ‘විමලසුරේන්ද්‍ර තාක්ෂණික විශ්වවිද්‍යාලය’ ලෙස නම් කරනවා.
2029 වන විට ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල පද්ධතියට තවත් අලුත් විශ්වවිද්‍යාල දෙකක් එක් කරනවා.
• දේශගුණික විපර්යාස ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය
• කෘෂිකර්ම තාක්ෂණ විශ්වවිද්‍යාලය
අයන්න කියන්න ලොවටම ඇහෙන්න
වර්තමානයේ පාසල් යටිතල පහසුකම් නිර්මාණය වුණේ මීට වසර ගණනාවකට කලින් තිබූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. ඒවා දැන් යල්පැන ගොසින්. මේ නිසා පාසල් යටිතල පහසුකම් පද්ධතිය 2040 තාක්ෂණික යුගයට සරිලන අයුරින් නවීකරණය කරනවා. රජය ඊට අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා.
සියලු ගුරුවරු ගුරුවරියන්ට අලුත් දැනුම සමඟ පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළ 2025දී ආරම්භ කරනවා.
පාසල් සංවර්ධන සමිති සහ ආදි ශිෂ්‍ය සංගම් නියෝජනයන් සහිතව පාසල් මණ්ඩල පිහිටුවීම 2025 සහ 2027 අතර කාලය තුළ නිම කරනවා.
වයස අවුරුදු 17 වන විට විශ්වවිද්‍යාලයට අවතීර්ණ විය හැකි ආකාරයටම මෘදු කුසලතා, ජීවන නිපුණතා, සාරධර්ම සහිත නවීන පාසල් අධ්‍යාපනය මෙන්ම විභාග හා ඇගයීම් විධිමත් කරනවා.
ඉදිරි දශකය තුළ සියලු පාසල් දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන English for All සැමට ඉංග්‍රීසි වැඩසටහන දියත් කරනවා. රට පුරා දක්නට ඇති ඉංග්‍රීසි ගුරු හිඟය වළක්වාලීමේ කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස අලුතෙන් ගුරුවර ගුරුවරියන් 2,500ක් බඳවාගන්නවා. විශ්‍රාමිකයන් 1,000ක්, විද්‍යා පීඨවලින් 400ක් සහ තරග විභාගයකින් බඳවාගන්නා උපාධිධාරීන් 1,100ක්. මේ උපාධිධාරින්ට මාස 3ක විශේෂ පුහුණුවක් ලබා දෙනවා.
ළමා මනස ඇද-බැඳ තබාගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනය ප්‍රදානය කළ හැකි අයුරින් පාසල් පෙළ පොත් ක්‍රමය වෙනස් කරලීමටත්, විෂය නිර්දේශයන් සංශෝධනය කිරීමටත් අප පියවර ගන්නවා.
දරුවන් තුළ නව දැනුම සහ කුසලතා ඔප්නැංවීම, රසවින්දනයෙන්, නිර්මාණශීලිත්වයෙන් හා ස්වශක්තියෙන් නැඟී සිටීමේ පෞරුෂය සංවර්ධනය කරනවා.
අනාගත පරපුරේ පදනම සකසන්නේ පෙර පාසල් මඟින්. ඒ නිසා පෙර පාසල් ක්‍රමය වැඩි දියුණු කිරීම, නියාමනය සහ පෙර පාසල් ගුරුවර ගුරුවරියන් ප්‍රමිතිගතව පුහුණු කිරීම සඳහා විශේෂ වැඩ සැලැස්මක් සකස් කරනවා.
ශ්‍රී ලංකාවේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක්. ඒත් ඇත්තටම සෞඛ්‍ය සේවාව නිදහස්ද? අතමිට නැති කෙනෙකුට හෘදය සැත්කම් වැනි අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක් ලබාගැනීමට පවා වසර ගණන් පොරොත්තු ලේඛනයේ කල්මැරීමට සිදු වී තිබෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අලුත් ඇසකින් බලා, ජනතා කේන්ද්‍රීය සේවා සැපයිය හැකි පසුබිමක් සකස් කළ යුතුයි.
වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, අතුරු වෛද්‍ය වෘත්තිකයන්, සහාය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ආදි රෝහල් කාර්ය මණ්ඩලවලට වඩාත් හොඳින් රාජකාරි කළ හැකි පරිසරයක් සකස් කර, බුද්ධිගලනය අවම මට්ටමකට ගෙන එනවා.
වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩල උදෙසා දේශීය හා විදේශීය පුහුණු වීමේ අවස්ථා පුළුල් කරනවා.
වෛද්‍යවරුන්ට විදේශීය පශ්චාත් උපාධි ලබාගැනීමේ පහසුකම් වැඩි කරනවා.
අපේ රට පුරා දක්ෂ හා කීර්තිමත් වෛද්‍යවරුන් ඉන්නවා. පළපුරුදු කාර්ය මණ්ඩලවලින්ද අපේ සෞඛ්‍ය සේවාව සන්නද්ධයි. ඒ නිසා ප්‍රතිකාර සඳහා මෙරටට එන විදේශිකයන්ට පවා උසස් සේවාවක් ලබා දිය හැකි මට්ටමකට එය පත් කළ යුතුයි. එවිට එක් අතකින් විදේශ විනිමය ලැබෙනවා. ඒ මුදල් යොදවා ජනතාවට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමටත් පසුබිම සැකසෙනවා.
ඒ අරමුණද පෙරදැරිව කොළඹ ජාතික රෝහල නව සැලැස්මක් අනුව ජාත්‍යන්තර පහසුකම්වලින් යුතු නවීන රෝහලක් ලෙස යළි ඉදි කරනවා. එය දකුණු ආසියාවේ ප්‍රධානතම රෝහලක් බවට පත් කරනවා.
රට පුරා ඇති රජයේ රෝහල්වල තත්ත්වය ඉහළ නංවනවා. ජන අනුපාතයට සමපාත වන අයුරින් රජයේ රෝහල් ඉදි කොට, ඉදිරි වසර 15 අවසානයේ සෞඛ්‍ය සේවාවන් උසස්ම මට්ටමට ගෙන එනවා.
වෛද්‍ය පර්යේෂණ ආයතනය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර, කලාපයේ උසස්ම සහ ප්‍රමිතිගතම පර්යේෂණාගාරයක් බවට පත් කරනවා.
ඖෂධ වර්ගවල ප්‍රමිතිය සහතික කිරීමට පියවර ගන්නා අතර, ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයන් පිළිගන්නා ඖෂධ ප්‍රමිති සහතික ආයතනයක් ස්ථාපිත කරනවා.
කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය භාවිත කරමින් සුහුරු සෞඛ්‍ය සේවාවක් හරහා නාස්තිය අවම කිරීමට පියවර ගන්නවා.
දේශීය හා පාරම්පරික වෙදකම් ප්‍රවර්ධනය කරනවා. මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවේද ආරක්ෂා කරලීමටත්, අනාගත පරපුර වෙත දායාද කරලීමටත් පියවර ගන්නවා.
පුද්ගලික රෝහල් නිසි නියාමනයකට ලක්කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දෙනවා.
පළාත් නවය පුරා පුද්ගලික රෝහල් ආරම්භ කරලීම දිරිමත් කරනවා.
රටේ ඕනෑම පුරවැසියකුට රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා තමන් කැමති රෝහලකින් ප්‍රතිකාර ලබාගැනීමට හැකි වන පරිද්දෙන් ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳවද අපේ අවධානය යොමු වී තිබෙනවා.
අපේ රට ගුවන් හා නාවික ගමනාගමනයෙන් පමණක් නොව, ගොඩබිම් ගමනාගමනයෙන්ද ලොව සමඟ වැඩි වැඩියෙන් යා කිරීමට පියවර ගන්නවා.
2026 වෙද්දී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ කාර්යයන් ආරම්භ කරනවා.
හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි කටයුතු ආරම්භ කරනවා.
කොළඹ වරාය තව තවත් පුළුල් කර, ජාත්‍යන්තර දියුණු වරාය සමඟ කරට කර තරග කළ හැකි මට්ටමකට ගෙන එනවා.
ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කටයුතු 2026 වෙද්දී ඉන්දියාව සමඟ එක්ව පටන් ගන්නවා.
රට පුරා ඇති සමස්ත වරාය පද්ධතියම ක්‍රමිකව නවීකරණය කරනවා.
කළුතර සිට මීගමුව දක්වා කලාපය තනි මහපුරවරයක් ලෙස සංවර්ධනය කරනවා. නගර නිර්මාණය පිළිබඳ ජගත් කීර්තිය දිනූ සිංගප්පූරුවේ සූබානා ජුරොං (Surbana Jurong) ආයතනය සමඟ එක්ව මේ නගර සැලසුම් සකසනවා.
දැනට එක් එක් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන නගර ලෙස සැලකෙන නගරවලට අමතරව තවත් උප නගරයක් ප්‍රධාන පහසුකම්වලින් සමන්විතව ගොඩනංවනවා.
මේ සියලු නගර, පුරවර සහ මහපුරවර නිර්මාණයේදී ජාත්‍යන්තර මට්ටමේ සියලු නවීන පහසුකම් ඊට එක් කරනවා.
ස්වාභාවික විපත් නිසා ආපදාවට ලක් වන නගර සඳහාත්, එවැනි අවදානමක් ඇති අලුතෙන් ඉදි වන නගර සඳහාත් නවීන විපත් පාලන සැලසුමක් සකස් කරනවා. එවැනි නගර ඉදි කරන්නේ විපත් අවම කරගැනීමට හැකි වන අයුරිනි.
එවැනි අඩුපාඩුකම් ගණනාවක් අප හඳුනාගෙන තිබෙනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරලීමේ ක්‍රියා පිළිවෙත 2025 වසරේ ආරම්භ කරනවා.
බොහෝ ප්‍රධාන නගරවල භාවිත වෙන්නේ යල් පැන ගිය මලාපවහන පද්ධති, නාගරික මලාපවහන ක්‍රම යාවත්කාලීන කිරීමට පියවර ගන්නවා.
නගර සඳහා සැපයෙන ජලසම්පාදනය විධිමත් කරන අතර, වියළි කලාපය, කඳුරට, වෙරළ තීරය ආදි ජලය හිඟ ප්‍රදේශ සඳහා නළ ජලය ලබා දෙනවා.
තිරසර හරිත ප්‍රවාහන සේවාවක් යන ඉලක්කය සහිතව ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ඉදිරිය පිළිබඳ සැලසුම් සකස් කර තියෙනවා.
ඩිජිටල් තාක්ෂණය වාහන හැසිරවීමේ සිට රියැදුරු බලපත් ලබාදීම දක්වා ව්‍යාප්ත කරනවා.
විදුලි වාහන භාවිතය දිරිමත් කරමින් ආරෝපණ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවනවා.
පොදු ප්‍රවාහන සේවා ක්‍රමවත්ව සංවර්ධනය කරනවා.
දැනට ඇති මාර්ග සංවර්ධන කිරීම අඛණ්ඩවම සිදු කරමින් අනාගතයට ගැළපෙන පරිපූර්ණ මහාමාර්ග සැලැස්මක් සකසනවා.
මහනුවර අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යනවා.
මේ කාර්යයන් 2025 වසරේ ආරම්භ කරනවා.
අතීතයේ සිටම ලාංකේය ආර්ථිකයට ශක්තිය සපයන යතුරක් වූයේ උතුරුකරයයි. එහෙත් යුද්ධයේ අනිෂ්ට විපාකයක් විදිහට උතුරු ආර්ථිකය බිඳවැටුණා. අප දැන් උතුරේ ඒ ආර්ථික ශක්තිය යළිත් පිබිදවීමේ ශක්තිය උතුරට ලබා දීමේ සැලසුම් ආරම්භ කර තිබෙනවා.
අලුතෙන් අරඹන ජල ව්‍යාපෘති ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතියයි. මෙය 2027දී ආරම්භ කරනවා. 2026දී උතුරුකරය පුරා ඇති කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරනවා. පුලියන්කුලමෙන් ආරම්භ වී, මන්නාරමෙන් මුහුදට වැටෙන පාලිආරු ගංගාව හරස් කොට ජලාශයක් ඉදි කරනවා.
පුනරින් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා.
යාපනය තාක්ෂණික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා.
ඉන්දීය ආධාර යටතේ ඉදි කළ ‘සරස්වතී මහල්’ දෙමළ කලා හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කරලීමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙනවා.
ජාත්‍යන්තර කීර්තියට පත් ‘ගාලු සාහිත්‍ය උලෙළ’ මෙන් සාහිත්‍ය උලෙළක් යාපනයේ ආරම්භ කරනවා.
ගුවන්, නාවික හා ගොඩබිම් ප්‍රවාහන මාර්ග සංවර්ධනය කරමින් දකුණු ඉන්දියාව සහ උතුරුකරය අතර ආර්ථික, සමාජීය, සංස්කෘතික සබඳතා ශක්තිමත් කරනවා.
බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවික, ගුවන්, කර්මාන්ත ආදි අංශයන්ගෙන් සන්නද්ධ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට ත්‍රිකුණාමලය පත් කරනවා. මේ කාර්යයන් සඳහා ඉන්දීය සහාය ලබාගන්නවා.
වෙරුගල්ආර සිට පානම-කුමන වෙරළ තීරය සංචාරක කර්මාන්තයට සුදුසු පරිදි සංවර්ධනය කරනවා.
හැඩඔය ජල ව්‍යාපෘතියට 2025 වසරේ මුල පුරනවා.
වතු සේවක සේවිකා වැටුප් ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය අප මේ වන විටත් නිකුත් කර හමාරයි.
ලයින් කාමර ජීවිතය වෙනුවට වඩාත් යහපත් ජීවිතයක් වතුකරයේ ජනතාවට ලබා දීම උදෙසා නිවාස අයිතිය සහ සින්නක්කර ඉඩම් අයිතිය ඔවුන්ට හිමි කරනවා. ඒ අනුව ලැයිමක් වෙනුවට ගම්මානයක් ලබා දීමට සැලසුම් කරනවා. 2025 වසරේ සිට මේ වැඩ කටයුතු ආරම්භ කරනවා.
වතුකරයේ ජනතාවට වෙනත් වගාවන්හි නිරත වීමට අවශ්‍ය ඉඩම් ආදි පහසුකම් ලබා දීමේ විධිමත් ක්‍රමවේදයක් ආරම්භ කරනවා.
වතු පාසල්වල ගුරු හිඟය නැති කිරීම උදෙසා වතුකරයෙන්ම බිහි වන දක්ෂ තරුණ තරුණියන් යොදවාගැනීම තහවුරු කරමින් ශ්‍රීපාද අධ්‍යාපන විද්‍යා පීඨය පුළුල් කරනවා.
වතු පාසල්වල විෂය ධාරාවන් පුළුල් කරනවා. විශේෂයෙන්ම විද්‍යා විෂයයන් සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රමිකව ලබා දෙනවා.
වතු ආශ්‍රිත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා.
අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ලබා දෙනවා.
සමාජ මට්ටම් හා විවිධ සමාජ කණ්ඩායම් ක්‍රමයෙන් උසස් තලයකට ගෙන ඒම ප්‍රගමනයේ පදනමයි. අවධානයට ලක් වූ කණ්ඩායම් මෙන්ම එතරම් අවධානයට ලක් නොවූ කණ්ඩායම්ද අප අතර සිටිති. ආර්ථික සංවර්ධනයට මේ සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යය. එමෙන්ම සංවර්ධනයේ ප්‍රතිලාභ මේ සියලු කණ්ඩායම් වෙත සාධාරණ අයුරින් බෙදී යෑමද අවශ්‍යයි. සමාජය ප්‍රභාෂ්වර වන්නේ එවිටය.
‘හොරු අල්නවා, අල්ලනවා’ යැයි පුරසාරම් දොඩන දේශපාලන නායකයන් කිසිවෙකු ඒ සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කරගැනීමට වෙහෙසක් හෝ උනන්දුවක් දැක්වූයේ නෑ. අප කයිවාරු ගැහුවේ නෑ. අප කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට, අල්ලස හා දූෂණය වැළැක්වීම උදෙසා ලෝකයේ හොඳම ක්‍රමවේදයන්ගෙන් සමන්විත නවීන දූෂණ විරෝධි අණ පනත් සම්මත කරගැනීමයි.
දකුණු ආසියාවේ දූෂණය අවම රාජ්‍යය බවට අපේ රට පත් කරගැනීම උදෙසා පහත දැක්වෙන දූෂණ විරෝධි න්‍යායපත්‍රය ක්‍රියාවට නංවනවා.
1. දූෂණය පිටුදැකීම උදෙසා පූර්ණ කැප වීම
2. විනිවිදභාවයෙන් යුතු අනාගතයක් උදෙසා ආයතන ශක්තිමත් කිරීම
3. සොරකම් කරන ලද වත්කම් ප්‍රතිසාධනය
4. ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම
මේ වැඩපිළිවෙළ යටතේ:
2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවනවා.
2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධි සැලැස්මක් සකස් කර, ක්‍රියාත්මක කරනවා.
විගණන කාර්යන් වඩාත් බලවත් කරලීම උදෙසා, ජාතික විගණන පනත සංශෝධනය කරනවා.
වත්කම් බැරකම් හා ළබැඳියාවන් පිළිබඳ තොරතුරු හෙළි කිරීම කාර්යක්ෂම හා විනිවිද පෙනෙන අයුරින් ඉටු කරනවා.
මූල්‍ය අපරාධ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීති රීති දැඩි කරනවා.
දූෂණ ක්‍රියා මැඬලීමේ නීති රීති හා පරීක්ෂණ ශක්තිමත් කරනවා.
සමාගම් නීතිය සංශෝධනය කර, හිමිකාරිත්ව ප්‍රතිලාභ රාමුව, මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ ජගත් කාර්ය සාධක බළකායේ ප්‍රමිතීන්ට අනුකූලව සකසනවා.
රාජ්‍ය ප්‍රසම්පාදන කාර්යයන් විනිවිද පෙනෙන සුළු අයුරින් ඉටු කරනවා.
බදු සහන ලබන ආයතන ලැයිස්තුව ප්‍රසිද්ධ කරනවා.
තොරතුරු දැනගැනීමේ පනත තවත් ශක්තිමත් කරනවා.
අපේ සමාජයේ බහුතරය එනම් 51.6%ක් වූ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නිසි පියවර
කාන්තාවට ගෞරවය, ශක්තිය, ආරක්ෂාව සහ ස්වාධීනත්වය ලැබෙන පදනමක් සහිත සමාජයක් නිර්මාණය කරනවා. ඊට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා. මේ සඳහා දැනටමත් අප කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්මත කර තිබෙනවා.
‘කාන්තාව සවිබල ගැන්වීමේ පනතට’ අනුව කාන්තා අයිතිවාසිකම් සඳහා වෙනම කොමිෂන් සභාවක් පත් කරනවා.
අගහිඟකම්වලින් පෙළෙන කාන්තාවට සහාය වීම සඳහා නව ප්‍රතිපත්ති සකසනවා.
වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ඇතුළු වෙනත් ණය බරින් ඔවුන් මුදාගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තව තවත් පුළුල් කරනවා.
කාන්තා ගෘහමූලික පවුල් සඳහා රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව 3%ක පොලියක් යටතේ සහන ණය ලබා දෙන අතර, ඔවුන්ට ස්වයං රැකියා අවස්ථා උදා කරනවා.
නිවෙසේ, මඟතොටේ, වැඩබිමේ ආදි තැන්වල කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට පියවර ගන්නවා.
සෑම පොලිස් ස්ථානයකම විධිමත් හා පරිපූර්ණ කාන්තා හා ළමා කටයුතු ඒකක පවත්වාගෙන යෑම තහවුරු කරමින්, කාන්තා පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51.6%ක් කාන්තාවන්. දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.
සාර්ක් කලාපයේ සෙසු රටවල් සමඟ එක් වී කාන්තා අයිතිවාසිකම් සඳහා කලාපීය නීති සම්පාදනයටත්, ඒ සම්බන්ධයෙන් කලාපීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත් අප කටයුතු කරනවා.
2025 සිට 2030 දක්වා කාලය තුළ මේ කාර්යයන් සිදු කරනවා.
දරුවන්ගේ මානව හිමිකම් සුරැකීම, ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන් අපයෝජනයට ලක් කිරීමෙන්, අපචාරයන්ගෙන් සහ ලිංගික කටයුතු සඳහා යොදාගැනීමෙන් මුදාගැනීම ආදිය සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති සහ අණ පනත් 2025 වසර තුළ සම්පාදනය කරනවා.
රටේ හෙට දවස භාර වෙන්නේ අද දවසේ තරුණ පරපුරට; Gen Z ගණයට. ඔවුන් ඉපදුණු දා සිට හැදුණේ වැඩුණේ වේගයෙන් දියුණු වන තාක්ෂණ ලෝකයත් සමඟ, ඩිජිටල් පරිසරයක. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත වේගවත්; ඉක්මන්. ඩිජිටල් දැනුමැති, වේගවත් යොවුන් පරපුරට රටේ අනාගතය භාර ගැනීම උදෙසා අවශ්‍ය දැනුම සහ පන්නරය ලබා දෙනවා.
ඩිජිටල් අලෙවිකරණය (Digital Marketing), සේවා දායකයන්ට නිදහස් සේවාවන් සැපයීම (Freelancing), විද්යුත් වාණිජ කාර්යයන් (e-Commerce) ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ට නිවෙසේ සිටම ආදායම් උත්පාදනය කළ හැකි මාර්ග විවර කරනවා.
සමාජ මාධ්‍ය පරිහරණය කරමින් ආදායම් උපදවාගන්නා යොවුන් පරපුරට ඊට අවශ්‍ය නිර්මාණ සහ තාක්ෂණික මඟපෙන්වීම් ලබා දෙනවා. ආර්ථිකය ශක්තිමත් වෙද්දි, පිබිදී එන නවීණ කෘෂි සංස්කෘතිය, පරිසරකාමි සංචාරක ව්‍යාපාරය ආදි ක්ෂේත්‍ර තුළ රැකියා ලබාගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් අවශ්‍ය පසුබිම සකසනවා.
ජාතික තරුණ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන සේවාවන් පුළුල් කරනවා. විවිධ අයහපත් ඇබ්බැහියන්ගෙන් ඔවුන් මුදා ඵලදායි ලෙස සමාජගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
සංස්කෘතික, සෞන්දර්යාත්මක හා නිර්මාණාත්මක කාර්යයන් සඳහා මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ද ඔවුන්ට අවකාශ සහ ආධාර ලබා දෙනවා.
දේශපාලන ක්ෂේත්‍රයේ තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 1994 වසරේ අප ආරම්භ කළ, දේශපාලන විද්‍යා පීඨ සංකල්පය යළි පණ ගන්වනවා. ඒ සමඟ යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයද පිහිටුවා, නව පරපුරේ දේශපාලනඥයන් දැනුමින් සන්නද්ධ කරනවා.
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් නව අදහස් රාජ්‍ය පාලනයට එක් කරගන්නවා.
පළාත් යොවුන් කේන්ද්‍ර යළි පූර්ණ ලෙසම පණ ගන්වා, නවීන පහසුකම් ලබා දෙනවා.
2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයන්ට (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දීමනාව මාසිකව රු. 25,000/-ක් ගෙවනවා.
රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩි කර, ජීවන වියදම් දීමනාව සමඟ දළ වැටුප රු. 55,000/-ක් ලෙස සලකා අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගළපනවා.
වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කරලීමට ඉවහල් වන පාඨමාලා හැදෑරීම සඳහා වසරක පඩි සහිත නිවාඩු ලබා දෙනවා.
රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා.
කුසලතාව මත පදනම් වූ උසස්වීම් ක්‍රමවේදයක් සකසනවා.
මුළුමහත් රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට පරිවර්තනය කර, වඩාත් කාර්යක්ෂම සහ විධිමත් තලයකට ඔසවා තැබීමට පියවර ගන්නවා. ඊට සහායක් වනු පිණිස ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකතන රාජ්‍ය සේවකයන්ට සහන පදනම මත ලබා දෙනවා.
රජයේ නව නිවාස වැඩපිළිවෙළේදී නිවාස හිමිකම් නොමැති රජයේ සේවකයන්ට ප්‍රමුඛත්වය ලබා දෙනවා.
ආර්ථිකය ශක්තිමත් වෙද්දී ඊට අනුකූලව ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබා දීමටත් කටයුතු කරනවා.
නිවෙසේ සිට රාජකාරි ඉටු කළ හැකි සේවාවන් නිවෙසේ සිට ඉටු කිරීමට අවසර ලබා දෙනවා. නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දෙනවා.
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නවා.
2025 වසරේ මේ කාර්යයන් සඳහා මුලපුරනවා.
රජයේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් නිර්මාණය වනවා. ඒ තත්ත්වය උදා වීමට වසරක, දෙකක කාලයක් ගතවන බැවින් ආරම්භයක් හැටියට 2025 වසර තුළ රැකියා 100,000ක් ලබා දෙනවා.
• විදේශ රාජ්‍යයන් මඟින් සහාය ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති පසුගිය කාලයේ අත්හිටුවා තිබුණා. අපේ බංකොලොත්භාවය නැතිව ගොස් ඇති නිසා ඒ ව්‍යාපෘති දැන් යළිත් ආරම්භ වෙනවා. මේ බොහොමයක් ව්‍යාපෘති ඉදි කිරීමේ කර්මාන්තය හා බැඳුණු ඒවායි. ව්‍යාපෘති ආරම්භයත් සමඟ නව රැකියා අවස්ථාවන් ගණනාවක් නිර්මාණය වෙනවා.
• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් ඔබ්බට අධ්‍යාපනය ලබන්න අවසර නොලැබෙන තරුණ තරුණියන් වෙනුවෙන් සංචාරක, නිෂ්පාදන කර්මාන්ත ආදි පුද්ගලික අංශය හා එක්ව නව වැඩපිළිවෙළක් 2025 වසරේ ආරම්භ කරනවා. මේ තරුණ තරුණියන්ට ඒ ආයතනවල වෘත්තීය පුහුණුව ලබා දෙන අතර, පුරා වසරක් තිස්සේ ඔවුන්ට රජයෙන් රුපියල් 35,000ක දීමනාවක් දෙනවා. පුද්ගලික සමාගම්වල කැමැත්ත පරිදි ඔවුන්ට තවත් මුදලක් මීට එක් කරන්නත් අවකාශ තියෙනවා. පුහුණුවෙන් පසු ඔවුන්ට ඒ ඒ සමාගම්වලම රැකියා අවස්ථා හිමි කර දෙනවා.
• සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ලබා දෙන සහන ණය හේතුවෙන් රට පුරා නව රැකියා අවස්ථා බිහි වෙමින් පවතිනවා. විරැකියාවෙන් පෙළෙන අයට රැකියා ලබා ගැනීමට එයත් කදිම අවස්ථාවක්.
• කෘෂි නවීකරණය නිසා 2025 සිට 2027 කාලය පුරා නව රැකියා අවස්ථාවන් විශාල වශයෙන් බිහි වෙනවා.
• මීට අමතරව රජයේ සේවයේ විශ්‍රාම ගැනීමෙන් ඇති වන පුරප්පාඩුවලින් තවත් රැකියා අවස්ථා ඇති වෙනවා.
රටට වර්තමානයේ විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ විදේශ ශ්‍රමිකයන්. ඔවුන් වෙනුවෙන් පහසුකම් රැසක් සම්පාදනය කරලීම උදෙසා විදේශ රැකියා කාර්යාංශ පනත සංශෝධනය කිරීමේ කාර්යයන් දැන් ක්‍රියාත්මකයි. මේ නව පනත යටතේ විදේශ ශ්‍රමිකයන්ට නිවාස යෝජනා ක්‍රම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, තීරු බදු සහන ආදි පහසුකම් රැසක් ලැබෙනවා.
එසේම විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. විදේශ වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.
විදේශයන්හි වැඩිහිටියන් රැකබලාගැනීම, දාරක සුරැකුම් සේවාවන්හි රැකියා අවස්ථා බහුලයි. ඒ ක්ෂේත්‍රයන්ට යෑමට කැමති තරුණ තරුණියන් අදාළ භාෂා ප්‍රවීණතාව සමඟ පුහුණු කරනවා.
2025 වසරේ මේ වැඩපිළිවෙළට මුලපුරනවා.
විශාල පිරිසක් අවිධිමත් ශ්‍රම වෙළෙඳපොළේ රැකියා කරනවා. ත්‍රිරෝද රථ රියැදුරන්, පුද්ගලික බස් සේවකයන්, නාට්ටාමිවරුන්, තෙරපිවරියන්, පවිත්‍රතා සේවක සේවිකාවන් ආදි ක්ෂේත්‍ර ගණනාවක් මීට අයත් වෙනවා. මේ සියලු දෙනා වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් 2025 වසරේ හඳුන්වා දෙනවා. ඔවුන් සියලු දෙනාට වෘත්තීය ගරුත්වයක් ලබා දීම උදෙසා ප්‍රමිතිගත පුහුණුවක් ලබා දෙනවා. තෙරපිවරියන් සඳහා NVQ4 සහතිකය ලබා දීමේ පාඨමාලා දැනටමත් ආරම්භ කර තියෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකු ණය බරින් පීඩා විඳිනවා. ණය ආපසු ගෙවීම් අතපසු වූවන්ට ඒ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීම උදෙසා රාජ්‍ය බැංකු මඟින් අවස්ථා ලබා දෙනවා. පුද්ගලික බැංකු සමඟද සාකච්ඡා කර, මේ සහනය ලබා දීමට පියවර ගන්නවා.
ත්‍රිවිධ හමුදාවල තත්ත්වය නඟාසිටුවීම සහ රටේ ආරක්ෂාව ස්ථාවර කරලීම උදෙසා ආරක්ෂක විධිවිධාන (විශේෂ) පනත මේ වන විට සකස් කර අවසන්.
2030ට සරිලන අයුරින් ආරක්ෂක හමුදා නවීකරණය කරලීමේ කමිටු වාර්තාව දැන් අප වෙත ලැබී තියෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කරනවා.
විනයගරුක සමාජයක් බිහි කිරීමේ කාර්යයේදී පොලිස් සේවයෙන් කාර්යක්ෂම හා උපරිම සේවය ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකසනවා.
තහනම් මත්ද්‍රව්‍ය භාවිතය, වෙළෙඳාම, ඇබ්බැහිකම සහ ඇබ්බැහියෙන් අත්මිදීමට ඇති නොහැකියාව සුවිශාල සමාජ ප්‍රශ්නයක්. මේ තත්ත්වය සහමුලින් පාලනය කිරීමට පියවර ගන්නවා.
මත්ද්‍රව්‍ය මැඬලීමෙහි සිට මත්ලෝලීන් පුනරුත්ථාපනය දක්වා සියලු කාර්යයන් ආවරණය වන පරිදි, පුළුල් බලතල සහිත මත්ද්‍රව්‍ය මැඬලීමේ අණ දෙන මූලස්ථානයක් ස්ථාපිත කරලීම සඳහා නව පනතක් කෙටුම්පත් කර 2025 වසරේදී සම්මත කරගන්නවා.
යුද සමයෙන් පසු නව ජීවනයකට අවතීර්ණ වෙමින් සිටින උතුරු-නැඟෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවට ගැටලු ගණනාවක් තිබෙනවා.
මේ ගැටලු විසඳීම සඳහා:
• සත්‍ය සහ සංහිඳියා කොමිසම් පනත ක්‍රියාවට නංවනවා.
• අතුරුදන් වූවන් පිළිබඳ නවාස් කොමිසම් වාර්තාව ක්‍රියාත්මක කරනවා.
• පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ස්වයං රැකියා කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දෙනවා.
මහ බලයක්…
ඉදිරි වසර පහ තුළ, අපේ රට තුළ කරන්නට ඇති වැඩ කන්දරාව තනි ආණ්ඩුවකට දරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව සමඟ පළාත් සභා සියල්ල එක් වී මේ බර දැරිය යුතුයි.
ශ්‍රී ලංකාවේ අනාගතය ශක්තිමත්ව ගොඩනැංවීමේදී, අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් තියෙනවා.
ජනාධිපතිවරණයෙන් පසු, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට ලබා දෙනවා.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද නැතිද යන්න තීරණය කිරීම නව පාර්ලිමේන්තුවට පැවරෙනවා.
• මැතිවරණ ක්‍රම
මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා වූ නිර්දේශ ඉදිරිපත් කිරීම උදෙසා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමේ කාර්යයද නව පාර්ලිමේන්තුව විසින් සිදු කරනවා.
යුරෝපයේ දේශපාලන පක්ෂ අභ්‍යන්තරය තුළ විනිවිද පෙනෙන උසස් ක්‍රමවේදයන් ක්‍රියාත්මකයි. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් හා අනෙකුත් පක්ෂ ක්‍රියාකාරකම් පිළිබඳව නව නීතිරීති හඳුන්වා දෙනවා.
• පාර්ලිමේන්තු ප්‍රමිති පනත
පාර්ලිමේන්තු ප්‍රමිතීන් පිළිබඳ පනතක් නීතිගත කරනවා. ඒ පනතේ සඳහන් ප්‍රමිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ හැකි අන්දමේ වගන්ති ඒ පනතට ඇතුළත් කරනවා.
පුරවැසි ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන්ට රජය සමඟ ව්‍යාපාර කරලීම අහුරන නීති සම්මත කරනවා.
• දෙවැනි මන්ත්‍රණ සභාව
ව්‍යවස්ථාදායක සභා වාර්තාවට අනුකූලව පළාත් සභා නියෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දෙවැනි මන්ත්‍රණ සභාවක් ස්ථාපිත කරනවා. පළාත් සභාවන්ට ව්‍යවස්ථාව සහ නීති මඟින් ලබා දී ඇති සියලු බලතල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේද යන්න අධීක්ෂණය කිරීමද මෙම සභාවට පැවරෙනවා.
පුරවැසියා බලගැන්වීම
බලවත් පුරවැසි සමාජයකින් රටට බොහෝ පල-ප්‍රයෝජන ලබාගත හැකි වනවා. එහෙත් අපේ රටේ ඊට පදනම සපයන නීති රීති සම්පාදනය වී ඇත්තේ අඩුවෙන්. ඒ නිසා පුරවැසියන් බලවත් කිරීමේ අරමුණ ඇතිව අප නව නීති රීති සහ ආයතන කීපයක් හඳුන්වා දෙනවා.
• සමාජ සාධාරණ කොමිසම
ඍජුවම ජනතා හඬට සවන් දීමේ අභිලාෂය ඇතිව සමාජ කොන් කිරීම් සහ බැහැර කිරීම් වැළැක්වීම උදෙසා ස්ථාපිත කෙරෙන සමාජ සාධාරණ කොමිසම ස්ථාපිත කරනවා.
• මහජන ප්‍රාරම්භන පනත
දැනට ජනතා පරමාධිපත්‍යය අභ්‍යාස කරන ප්‍රධාන මාර්ගය වන්නේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු, පළාත් සභා ආදි මැතිවරණයන්හිදී ඡන්දය පාවිච්චි කිරීමයි.
අප හඳුන්වා දෙන මහජන ප්‍රාරම්භන පනත මඟින් මහජනතාවට පාර්ලිමේන්තුව වෙත යෝජනා සහ අණපනත් ඉදිරිපත් කිරීමේ අවකාශය උදා වෙනවා. මෙමඟින් ව්‍යවස්ථා සම්පාදනයට ඍජුවම සම්බන්ධවීමට පුරවැසියන්ට හැකි වනවා.
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයට ඉතා බලවත් අංගයක් මෙමඟින් එකතු වනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන භාවිතයක් තුළ ඍජු ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රම පවත්වාගෙන යන රටවල් අතරට මෙමඟින් අපේ රටද එක් කෙරෙනවා.
• ජන සභා
ප්‍රාදේශීය ග්‍රාමීය ජනතාව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක කරගැනීම ජන සභාවන්හි අරමුණයි. දැනටමත් නියමු ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මකයි. ඒවායේ අත්දැකීම් පදනම් කරගනිමින්, රට පුරා ග්‍රාමසේවා වසම් 14,002ක ඇති 50,000 ඉක්මවන ගම්මාන සියල්ල නියෝජනය වන පරිදි ජන සභා පිහිටුවනවා.
මේ අනුව රටේ අනාගත දිශානතිය තීරණය ප්‍රායොගිකම සහ විශ්වසනීම වැඩපිළිවෙල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රන්ල බව පැහැදිලියි. නමුත් මේ සාර්ථක වැඩ පිළිවෙල අනුව යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ මේ රටේ බහුතර ඡන්දදායකයා. මේ අනුව ජවිපෙ කියන 76 අවුරුද්දක සාපය පවත්වාගෙන ඒම වගේම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද කියන එක පාලකයාගේ තේරීමක් නෙවෙයි, ජනතාවගේ තේරීමක් කියන එක තමා වඩාත්ම නිවැරදි. ජනතාවගේ තේරීම අනුව පාලකයා ඒ දේ කරනවා.
නිමි.
- සුභාෂ් ජයවර්ධන
1 කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2 කොටස - වැරැද්ද කළේ කවුද ?
3 කොටස - අලුත් රටක පදනම
4 කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5 කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය
7 කොටස - අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම
8 කොටස - 1977 මහා යුග පෙරළිය
9 කොටස - චන්ද්‍රිකා-මහින්ද, අතර මැද රනිල්
10 කොටස - 2015 යහපාලන ගමන අවසන් වීම
11 කොටස - සංවර්ධනයේ ජවිපෙ සාධකය
12 කොටස - ජවිපෙ රටට මොනවද නොකළේ ?
13 කොටස - යළි සංවර්ධනයට පාර කැපීම