වසර 30 ක් තිස්සේ අතපසු වූ, වැරදීම් වූ සංවර්ධන ගමන වෙනස් කර වේගවත් ඉලක්කයන් සහිත මාර්ගයකට ඇද දැමීමේ ආර්ථික දේශපාලනික ප‍්‍රතිසංස්කරණයන් රැසකට 77 න් පස්සේ පියවර ගත්තා.
රට අදත් මුහුණ දෙමින් තිබෙන අර්බුද රැසකට ගොඩක් බලපෑවේ 1977 ට කලින් ගත්තු පියවරයන් වල යම් යම් වැරදි අඩු පාඩු. විශේෂයෙන්ම වාමාංශික ජාතිකවාදී තීන්දු තීරණ. රටට සීමාවුණු සංවර්ධන පියවරයන් ලෝකයේ සෙසු රටවල් සමග තරගකාරී වුණේ නැහැ. සමහර විට සංවර්ධනය ආපසු හරවන තැනටත් පත් වුණා. විශේෂයෙන්ම සංවෘතත් සහ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යෑම 1956 සිට 1977 වෙනකම් පැවැති හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් සිදු කළා. ඒ වගේම කලාපීය රාජ්‍යයන් ගනනාවක් ශ්‍රී ලංකාවට තිබු ජාත්‍යන්තර වෙළඳාමේ අවස්ථා අත්පත් කර ගනිමින් ඉදිරියට ගිහින් තිබුණා. මේ නිසා සිදු වුණු පසුබෑම ඉක්මවා නැවත අහිමි වූ සංවර්ධනය රටට හිමි කර ගැනීම පහසු වුණේ නැහැ.
1956 ට පෙර විවෘත්ත ආර්ථික ක්‍රමයක ලක්ෂණ තිබුණද එය විවිධ සීමා වලට යටත් වුණා. 1953 ආර්ථික ප්‍රතිසංස්කරණයන් වල අරමුණ වුයේ පැවැති විවෘත්ත ආර්ථික ක්‍රමයේ සීමාවන් අඩුපාඩු ඉවත් කරමින් තවදුරටත් ඉදිරියට යමින් කලාපීය රාජ්‍යන් සමග තරගකාරීව සංවර්ධනාත්මක ගමනකට පියවර ගැනීමයි. නමුත් 56 ක පසුව ඒ වැලැකුණා. මේ අනුව 1977 ප්‍රතිසංස්කරණයන් යනු නිදසෙන් පසුව ක්‍රියාත්මක වුණු නවතම ප්‍රතිපත්තියක් සහ මෙතෙක් මෙරට ක්‍රියාත්මක කරන ලද ප්‍රබලතම ආර්ථීක ප්‍රතිසංස්කරණයන්
ලෙස හඳුන්වන්න පුළුවන්.
කොහොම නමුත් වැඩි ඒක පුද්ගල ආදායම් සහිත වෙනත් බොහෝ රටවල දක්නට නොමැති අන්දමේ ජීවන නත්ත්වයන් පවත්වාගෙන යෑමෙන් අතීතයේ දී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රතිඑල ලබා තිබුනා, මේ සමාජයීය ජයග්‍රහණයන් තිබුණත්, ආර්ථිකයේ වැඩි වේගයකින් දියුණු නොවිම මත ඒ ජීවන තත්ත්වයන් නවදුරටන් ඉදිරියට පවත්වාගෙන යාමේ අභියෝගයද මේ වන විට මතුව තිබුණා.
පාරිභෝජනය සඳහා දිගින් දිගටම රජයේ සම්පත් චිශාල ප්‍රමාණයක් වෙන් කිරීම ආර්ථික සංවර්ධනයට හා රැකී රක්‍ෂා ජනිත කිරීමට අභිතකරව බලපා තිබුණා. අවුරුදු ගණනාවක් තිස්සේ පැවති දැඩි රාජ්‍ය පාලනය මෙරට වෙළඳපොළ මිළ ගණන් සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යමින් චිකෘතියක් ඇති කර තිබු අතර පෞද්ගලික අංශය අධෛර්යමත් කර තරගකාරීත්වය වැලැක්වීම මෙම විකෘත්තියට ප්‍රධාන හේතුවක් වුණා.
රාජ්‍ය අංශය නාස්තිකාර හා අලස බවට පත්ව තිබුණා. නැවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් මත ක්‍රියා නොකර කෙටි කාලීන තාවකාලික පිළියම් යෙදීම නිසා ප්‍රශ්න තව තවත් උග්‍ර වෙලා තිබුණා.
1977 දී නව ආර්ථික ප්‍රතිපත්තිය මඟින් සිදු කළේ මේ තත්වය වෙනස් කිරීමයි. මේ අනුව එම රජයේ නිගමනය වූයේ රටේ සම්පත් වලින් වැඩි කොටසක් ආදායම් සහ රැකියා උත්පාදනය කරන ආයෝජනය කෙරෙහි යෙදවිය යුතු බවයි. රුපියලේ අගය අස්වාභාවික ලෙස පාලනය ඉවත් කළ අතර විදේශීය වෙළඳාම සහ ගනුදෙනු පාලනයෙන් රජය ඉවත් වීමේ තීරණය ගත්තා. පෞද්ගලික අංශය සමඟ තරගතාරීව රාජ්‍ය අංශය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ පියවරයන් ගත්තා. මෙලෙස වෙළඳළපොළ න්‍යායයන් අනුව ආර්ථිකය හැඩගැස්වීට අවශ්‍ය පියවර ගැනුනා.
මේ අනුව පෙර පැවැති පාලනයන් ලෝකයෙන් හැකි තරම් වෙන්ව සිටීමට ගත් තීරණයන් වෙනස් කරමින් ලෝකයට විවෘත්ත, ලෝකය සමග ගන්දෙනු කරන, ඒ ගනු දෙනු මගින් රටේ ආර්ථික සමාජීය සංවර්ධනය තහවුරු කර ගැනීමේ පියවර රැසක් 1977 න් පසුව සිදු වුණා..
කොහොම වුණත් මේ වෙද්දිත් ලංකාවට තමන්ගේ සංවර්ධනයට අනෙක් ආසියානු රටවලට නොමැති වාසිදායක තත්වයන් තිබුණා. ප‍්‍රධානම දේ ඉන්දියානු සාගරයේ උපාය මාර්ගික පිහිටීම. ඉතා ඉහළ ආනයන-අපනයන ආර්ථිකයක් වෙත යෑමේ හැකියාව තිබුණා. ඉහළ අධ්‍යාපනයක් සහිත මානව ප‍්‍රාග්ධනයක්, සෞඛ්‍ය සම්පන්න රටක් හොඳින් සංවර්ධනය වුණු යටිතල පහසුකම්, ශක්තිමත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් අනෙක් කලාපීය රටවලට සාපේක්ෂව අත්පත් කරගෙන හිටියා. ඒත් මේ සාධක රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් නිවැරදිව යොදා ගැනීම සීමා වෙලා තිබුණා.
මේ නිසා 1977-79 දී ගැඹුරු ප‍්‍රතිසංස්කරණ මඟින් නිදහස් වෙළඳපොළ ක‍්‍රමය තුළ රටේ ආර්ථිකය හැඩ ගැසුණු අතර මේ කාලය තුළ මෙරට කෘෂි කර්මය, කාර්මික අංශය, සේවා අංශය වේගවත් පරිවර්ථනයකට ලක් වෙමින් සංවර්ධනයට ලක් වුණා.
මේවා සම්බන්ධ සංඛ්‍යා දත්ත පරික්ෂා කළහොත් මේ වෙනස කැපී පෙනෙන ලෙස වෙනස් වුණු බව පැහැදිලිව තිබෙනවා. අපනයනය නිශ්පාදනයන් වැඩි වුණා. ආර්ථික විවිධාංගීකරණයකට ගියා. විදේශ ආයෝජකයන් ආවා. නිදහස් වෙළඳ කලාප ඇති කළා. රටේ මහා මාර්ග ආදී යටිතල පහසුකම් සංවර්ධනයට, විදුලි ඇතුළු බලශක්ති ක්ෂේත‍්‍රයට විශාල ආයෝජනයන් කළා. කඩිනම් මහැවැලි යෝජනා ක‍්‍රමය හරහා කෘෂිකර්මය ක්ෂේත‍්‍රයට මහා දායකත්වයක් ලැබුණා. ඉඟිනිමිටිය, ලූණුගම්වෙහෙර ආදී නව වාරි ව්‍යාපෘති ද සිදු වුණා. ලංකාවේ සහල් නිෂ්පාදනය අතිරික්තයක් තේක වර්ධනය වීම ද වාර්තා වී තිබුණා.
ඒ වගේම ජල විදුලි බල උත්පාදනය මහා පරිමාණයෙන් උපදවා ගත්තා. රටටම විදුලි බලය බෙදා හැරුණා. ඉදිකිරීම් කර්මාන්තය අධි වේගයෙන් සිදු වුණා. සංනිවේදන ක්ෂේත‍්‍රය විශාල දියුණුවකට ගියා. ලෝකයේ එහා කොණේ ඉන්න කෙනාට හරි තප්පරයෙන් කතා කරන්න පුළුවන් තරම් තාක්ෂණය ගෙනාව. රුපවාහිනි සේවා, පරිගණක ආවා. අන්තර්ජාල සම්බන්ධතා ගෙනාවා.
මේ ගත් ක‍්‍රියා මාර්ග තව දුරටත් ඉදිරියට ගනිමින් නැවත 1989 වන විට ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේදී නැවත ආර්ථික ප‍්‍රතිසංස්කරණ ගෙන එමින් 77 දී අපේක්ෂා කළ සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයට තවදුරටත් වැඩි ඉඩක් විවෘත්ත කරන ප‍්‍රතිපත්ති තීන්දු ගත්තා. පාඩු ලබමින් රජයට මහා බරක් වෙමින් පැවැති රාජ්‍ය ව්‍යවසායයන් ගනනාවක් පෞද්ගලිකකරණය වේගවත් කිරීම සිදු වුණා, ඒ අනුව මේ ප්‍රේමදාස යුගය හඳුන්වන්නේ පෞද්ගලික කරණයේ පළමු රැල්ල ඇති වූ කාලය විදිහට. ඇඟළුම් කම්හල් 200 ව්‍යාපෘතිය මෙරට කර්මාන්ත අංශයේ හා අපනයන ආර්ථිකයේ විශේෂ අවස්ථාවක් වන අතරම සංවර්ධනය බස්නාහිර පළාතෙන් එපිට දුෂ්කර ප‍්‍රදේශ වලට ගෙනයාමේ සාර්ථක ව්‍යාපෘතියක් බවටත් මෙම ඇඟලුම් කම්හල් ව්‍යාපාතිය පත් වුණා.
77 න් පසු කාලයේදී ලෝකයේ අනෙක් රාජ්‍යයන් සමඟ ද්විපාර්ශවික, බහු පාර්ශ්වික වෙළඳ ගිවිසුම් සම්බන්ධතා දියුණු කර ජාත්‍යන්තර වෙළදපොළ අවස්ථා උදාකර ගත්තා. සංචාරක ව්‍යපාරය වේගයෙන් දියුණු කළා, විදේශ රැකියා සඳහා ලක්ෂ ගනන් ශ‍්‍රමිකයන්ට අවස්ථාව උදාකරලා දුන්නා. ඒ මඟින් විදේශ විනිමය ඩොලර් බිලියන් ගනනින් උපයන්න ආදායම් මාර්ග හදාගත්තා.
නිදහස් වෙළඳ කලාපයන්ට අමතරව කර්මාන්ත කලාපයන් රැසක් රට පුරා ගොඩනැගුණා. රැකි රක්ෂා විශාල වශයෙන් බිහිකළා. ලෝකයේ 139 තැනට ශ්‍රේණිගතව තිබු කොළඹ වරාය කෙටිකාලයක් තුළ 26 වෙනි තැනට ගත්තා. රාජ්‍ය ඒකාධිකාරය යටතේ තිබු බොහෝ ව්‍යාපාර එයින් නිදහස් කර, වෙළඳපොළ තරගකාරිත්වයේ වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් සහ අභිමතය පරිදි තෝරාගැනීමේ අවස්ථා වැඩි කරමින් වෙළඳපොළ තුළ භාණ්ඩ සුලබ කිරීම සිදු වුණා.
මෙවැනි පියවරයන් සමග රාජ්‍ය ආදායම් වර්ධනය කරගනිමින් විදේශ සංචිත වර්ධනය කරගනිමින් අනාගතවාදී වැඩපිළිවෙලක් අනුව රට දශක කිහිපයක් ඉදිරියට ගමන් කළා. පසුව බලයට පත් වූ ආණ්ඩු විසින්ද මේ 1977 දැමු පදනම මත, ආර්ථික ක‍්‍රමවේදය මත ක‍්‍රියාත්මක වුණා.
1977 සහ 1980 අග භාගයේ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතිපත්ති නිසා කර්මාන්ත සඳහා විදේශීය හා දේශීය ආයෝජන විශාල ලෙස ආකර්ෂණය වු අතරම, එවැනි ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා රජය ආයතනික ධාරිතාව වැඩිදියුණු කළා.
1978 දී, ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප සංවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටෙව්වා. පසුව ශ‍්‍රී ලංකාවේ ආයෝජන හැසිරවීමේ ධාරිතාව සහ අධිකාරිය වැඩිකරමින් එය ආයෝජන මණ්ඩලය ලෙස පිහිටෙව්වා. කර්මාන්ත සහ ඒවායේ අපනයන සේවාවන් ව්‍යාප්ත කිරීමට, ශ‍්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (1979), සහ ශ‍්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (1979) වැනි නව ආයතන පිහිටුවන්න කටයුතු කළා.
ශ‍්‍රී ලංකාවේ අපනයනවල සාධක අන්තර්ගතය 1962-77 කාලය තුළ ශ‍්‍රම-අධික නිෂ්පාදන සියයට 3 ක තිබු අගය 1990-95 කාලය තුළ සියයට 60 දක්වා විශාල ලෙස වෙනස් වුණා.
මේ සියළු ඉදිරිගාමී පියවරයන් ගන්නා අතරේ දරිද්‍රතාවයට සහ වෙනත් අපහසුතාවලට පත්ව සිටි වෙනුවෙන් ජනසවිය සහ තවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ගනනාවක් දියත් වුණා. අඩු ආදායම් ලාභීන්ට ආහාර මුද්දර ක‍්‍රමය, පොහොර, ඉන්ධන, විදුලි, සහනාධාර ක‍්‍රම දියත් වුණා. නොමිළයේ සෞඛ්‍ය සේවාව, නොමිළයේ අධ්‍යාපන සේවාවන් නැවත තහවුරු කළා. මහපොළ ශිෂ්‍යාධාරයත් මේ යුගයේ ඇති වූවක්. ඒ අංශ වැඩි දියුණු කිරීම වෙනුවෙන් ගත් පියවරයන් නිසා තවදුරටත් ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවාවක්, අධ්‍යාපන සේවාවක් සහතික කරන්න පුළුවන් වුණා.
භීම සමයක දුෂ්කර ගමනක්
ඒ කොහොම වුවත් මෙරට සිදුවූ දේශපාලන හැල හැප්පිලි හා ත්‍රස්තවාදය උත්සන්න වීමෙන් හමුවේ ඒ 1977 දී අපේක්ෂා කළ ඉලක්ක කරා මේ රට ගෙන යාමට සමත් වුණේ නැහැ. රටට අත්පත් කර ගැනීමට තිබු දැවැන්ත සංවර්ධනයක් වාම ජාතිකවාදී පටු දේශපාලන වුමණාවන් නිසා මඟ හැරුණා.
ජේ.ආර්, ප්‍රේමදාස ආණ්ඩුවලට මේ කිසිවක් ලේසියට පහසුවට කරන්න ලැබුණේ නැහැ. රටේ අනාගතය වෙනුවෙන් ගත්ත විශිෂ්ට පියවරයන් සමහරක් කරන්නම ලැබුණේ නැහැ. වාමාංශික සහ ජාතිකවාදී කොටස් වෙන වෙනමත් ඒ්කාබද්ධවත් මේ ප‍්‍රතිසංස්කරණයන්ට එරෙහිව සුපුරුදු පරිදි අවි අමෝරා ගත්තා. වැඩ වර්ජන, උද්ඝෝෂණ, කැරලි ගැසීම කළා. විශේෂයෙන්ම උතුරේ බෙදුම්වාදී ත‍්‍රස්ත ව්‍යාපාරයෙන් වගේම ජනතා විමුත්ති පෙරමුණේ ත‍්‍රස්ත ප‍්‍රහාරයන් රටට බරපතල හානි සිදු කළා. මිනිස් ඝාතන තොග පිටින් කළා. රුපියල් බිලියන සිය ගනනක රාජ්‍ය දේපොළ විනාශ කළා. රටේ ආර්ථිකය අකර්මන්‍ය කරලා සිදුකළ හානිය ගනනය කළ නොහැකි තරම්. මේ තත්වයන් මත රජයට විශාල මුල්‍ය පීඩාවන්ට ලක් වෙන්න සිදු වුණා. 88-89 ජවිපෙ භීෂණ සමයේ රාජ්‍ය අංශයේ ව්‍යාවසායක නියමාකාරයෙන් පවත්වාගෙන යෑමට ඉඩ නොදීම නිසා රාජ්‍ය ආයතන රැසක්ම පාඩු ලැබුවා.
ඒත් මේ තත්වයන් හමුවේ පවා රටේ සංවර්ධනය කවර මටට්මින් හෝ සිදු වුණා. 1977 න් පසුව මේ දක්වාම සිදුවන වේගවත් සංවර්ධන ගමනට බාධා එල්ල නොවුණානම්, නිදහසෙන් පස්සේ පාලකයන් මොනවද කළේ කියලා අහන්න අඩුපාඩු ඉතුරු නොවෙන්න ඉඩ තිබුණා.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 07 හෙට සිට)
1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?
3කොටස - අලුත් රටක පදනම
4කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය