1961 දී පෞද්ගලික අංශය සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ප‍්‍රකාශයට පත් කළා. ඒත් අවාසනාවකට ඇයගේ රජයත් වාම ජාතිකවාදය තුළ සිර වුණා. ඒ එක්කම දේශපාලන අර්බුද ගනනාවකට මුහුණ දෙන්න සිදු වුණා.
විශේෂයෙන්ම ජනසතුකරණය නිසා රටට තිබු අවස්ථා අහිමි කරගත්තා. විදේශ සමාගම් විසින් මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරය ගොඩනගමින් ආසියානු කලාපයේ තෙල් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය බවට මෙරට පත්කර තිබුණා. ඒ ව්‍යාපාරික සමාගම් ලබන ලාබය රජයට අත්පත් කර ගැනීමේ හැකියාවක් තිබෙන බවට මත පළ වුණා. ඒ අතර සමාජවාදී සෝවියට් දේශයෙන් අඩු මිළට තෙල් ලබා දීමට දුන් පොරොන්දු ආදියත් නිසා මේ පියවර ගත්තා. ඒත් ඒ ව්‍යාපාර රජයට පවරා ගැනීම නිසා කලාපීයව තිබුණු තෙල් බෙදාහැරීමේ ආධිපත්‍යය රටට අහිමි වුණා. මේ රට තුළ පමණක් සිදුවන, රටේ අවශ්‍යතාවයට සීමා වුණු ව්‍යාපාරයක් බවට ඛනිජ තෙල් සංස්ථාව පත් වුණා. වරායේ දියුණුවටත් ඒක බලපෑවා. විදේශ විනිමය ආදායම් අඩු වෙන්න බලපෑවා.
1963 වෙන විටත් විදේශ ණය වලට වඩා, විදේශ සංචිත වත්කම් අත්පත්කරගෙන සිටීමේ හැකියාව රටට තිබුණත්, 1964 දි තමයි නිදහසෙන් පස්සේ මේක වෙනස් වෙන්න ගත්තේ. මුලින්ම ණය අර්බුදයක් (ගෙවුම් ශේෂ අර්බුදය) රටට ඇතිවෙන්නේ මින් පස්සේ. මේ තත්වයන් එක්ක තමයි ඉතිහාසයේ මුල් වරට 1965 දී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලන්නේ. එදා ඒ ගැටළුව තාවකාලිකව විසඳගත්තත්, විදේශ ආදායම් අවම වීම, විදේශ ණය වැඩිවීමේ අර්බුදය දිගින් දිගටම වර්ධනය වුණා. මේ දක්වා ඒ ගැටළුව විසඳාගැනීම අසීරු වෙලා තියෙනවා. ඉතිහාසය පුරා මේ දක්වා ගෙවුම් ශේෂ අර්බුද විසඳගන්න 17 වතාවක්ම මුල්‍ය අරමුදලේ සහය අරගෙනත් තිබෙනවා.
ආර්ථික ක්ෂේත‍්‍රයේ වු පල්ලම් බැසීම වලක්වන්න නැවත, 1965 දී බලයට පත් ඩඩ්ලි සේනානායක පාලනයට ආර්ථික ප‍්‍රතිසංස්කරණ තීරණ ගැනීම සිදු වුණා. පෞද්ගලික අංශයට වැඩි ඉඩක් විවෘත්ත කරන්න. කර්මාන්ත අංශයේ වැඩි දියුණුවක් වෙනුවෙන් නව රජය පියවරයන් ගත්තා. අපනයන නිශ්පාදන විවිධාංගීකරණයට වැඩි ප‍්‍රමුඛතාවයක් දුන්නා. නමුත් ඒවා එතරම් සාර්ථකත්වයට පත්වෙන්න හැකියාව නොලැබුණේ, ඒ වෙන කොට රට මුහුණ දී තිබු අහේනිය නැවත යථා තත්වයට පත්කර ගැනීමත් දුෂ්කර වීම නිසා.
උද්ධමනය සහ විරැකියාව ප‍්‍රශ්නය ඒ වෙනකොට වැඩි වෙලා තිබුණා. ඒ වගේම ආණ්ඩුව ස්ථාවර තත්වයක තිබුණේ නැහැ. ඩඩ්ලිගේ හත් හවුල් ආණ්ඩුව කියලා ප‍්‍රසිද්ධ වුණ සන්ධාන පාලනයක් තිබුණේ. ඒ අතර මේ කාලය තුළ ආණ්ඩු බලය එහෙට මෙහෙට මාරු වෙමින් තිබුණා. මේ නිසා දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී සමයක් කළමනාකරණය කරගෙන යන්න තමයි සිදුවුණේ. ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ සන්නද්ධ විප්ලවයකට සුදානම් වෙන්නෙත් මේ කාලයේ. විරැකියා ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, කුල පීඩනය, ආදිය ජවිපෙ වැනි තරුණ රැඩිකල් සටන් පාඨ මුල් කරගත් සංවිධානයකට මතුවීමේ පහසු අවස්ථා ගොඩනැගී තිබුණා. මේ අතර අයුධ සන්නද්ධ කැරැල්ලකට සූදානම් වුණු ජවිපෙ නායක රෝහණ විජේවිර සහ අනුගාමිකයන් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීමත් සිදු වුණා.
1970 සමාජවාදී ආණ්ඩුව
1970 මැයි මාසයේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ මේ අර්බුද උත්සන්නව තිබියදී. පැවැති සමාජ දේශපාලන ආර්ථික ක්‍රමයෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවට ජනප්‍රිය වූ මතය අනුව සමාජවාදය ගැන වැඩි බලාපොරොත්තු තැබීමක් මෙහිදී සිදු වුණා. ඒ අනුව එදා සිදුවු බල පෙරළිය මේ රටේ අර්බුදයන්ට විසඳුම් සෙව්වේ සමාජවාදී රාජ්‍ය කේන්ද්‍රීය සංවෘත්ත ආර්ථිකය ක‍්‍රමයක් මගින්. මේ සමගි පෙරමුණු ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ වගේ වාමාංශික පක්ෂ එකතුවක්. මෙම කණ්ඩායමටම ජනතා විමුක්ති පෙරමුණ එකතුකර ගැනීමේ සූදානමක් තිබුණා. ඒ නිසා ජවිපෙ නායකත්වය අත්අඩංගුවේ සිටියත් ජවිපෙ, සමගි පෙරමුණු ආණ්ඩුව පත් කරගන්න උදව් කළා. 1970 ජුලි වල රෝහණ විජේවීරට නිදහසත් ලැබුණා.
ඒත් මේ අලුත් සමාජවාදී ආණ්ඩුව වැඩ පටන් ගෙන අවුරුද්දක් යන්නට පෙර ආණ්ඩුවට එරෙහිව සමාජවාදය වෙනුවෙන්ම පෙනී හිටපු ජවිපෙ 1971 දී කැරලි ගැහුවා. මේ කැරැල්ල නිසා රජයට විශාල අලාබහානි සිදු වුණා. රජයේ ආදායම් මාර්ග බිඳ වැටීම් , කෘෂි හි කාර්මික ක්ෂේතු අඩපණ වුණා. සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීම් ආදිය සිදු වුණා. පැවැති ආර්ථික අර්බුද සමග මේ කැරැල්ල මර්දනය කිරීමට සිදු වීම රජය මුහුණ දුන් අමතර ප්‍රශ්නයක් වුණා. ජවිපෙ දරපු සමාජවාදී මතවාදය අනුව මේ රටේ පළමු වරට ප‍්‍රතිපත්තියක් විදිහට සමාජවාදී ආර්ථික ක‍්‍රමය පිළිගත් සමගි පෙරමුණු ආණ්ඩුව බිහිකර ගැනීමට සමත් වුණත්, එයට එරෙහිව ජවිපෙ සන්නද්ධ කැරල්ලකට යෑම තවමත් විවාදාත්මක තත්වයක්. ගහලා බලය අල්ලන්න කිසිම දේශපාලනික හේතුවක් ජවිපෙට තිබුණේ නැහැ.
ජවිපෙ ගැන කතාවේ දි මේක වැදගත්ම කාරණයක්. රටේ තීරණාත්මක දේශපාලනික අවස්ථාවලදී ජවිපෙ ඒ මොහොතේ තෝරාගන්නා පාර්ශ්වයකට උදව් කරනවා, ඊට පස්සේ එම පිරිස මග හැරියා නැත්නම් බරපතල විරෝධයන්ට ගිහින් කඩාකප්පල් කිරීම් වලට දායක වෙනවා. ඒවා බොහෝ විට දේශපාලනික හෝ ආර්ථිකමය හෝ නොවන වෙනත් හේතුන් මත සිදු වූ දේවල්. ඒ ගැන ඉදිරියේදී කතා කෙරෙනවා.
කොහොම හරි සමගි පෙරමුණු ආණ්ඩුව 1972 සඳහා ඉදිරිපත් කළ අය වැය වාර්තාවෙන් මේ රජයේ විධිමත් සමාජවාදී වැඩපිළිවෙල ප‍්‍රකාශයට පත් වුණා. ඒ වගේම ශ‍්‍රී ලංකා රජය බ්‍රිතාන්‍යය සමග බැඳී තිබුණු ඩොමීනියන් රාජ්‍ය තත්වයෙන් ගැලවීමට 1972 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරලා පූර්ණ නිදහස් ජනරජයක් බවට රට පත් කළා.
කොහොම නමුත් මේ සමාජවාදී ප‍්‍රතිපත්ති සමග රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකයකට මාරුවීම සිදු වුණේ යළි පෞද්ගලික අංශය මුළුමනිනම් පාහේ වලක්වමින්. ඉතා ප‍්‍රගතිශීලි පියවරයන් ලෙස ජනසතුකරණය ඉදිරියට ගෙන ගියා. විශාල ඉඩම් හිමියන්ගේ ඉඩම් වන්දි ගෙවීමකින් තොරවම රජයට පවර ගත්තා. අපනයන ආදේශන මහා පරිමාණ රාජ්‍ය කර්මාන්තකරණයක් ඇති කළා. ආනයනයන් සීමා කළා, නිදහස් වෙළඳපොල ක‍්‍රමය අහෝසිකර වෙළඳපොළ මිළ පාලනය රජය අතට ගත්තා. රාජ්‍ය සංස්ථා, මණ්ඩල මහ තවත් රාජ්‍ය ආයතන වැඩිම ප්‍රමාණයක් ආරම්භ කළේ මේ කාලයේ දී. ඒත් ආර්ථික තිබුණේ අර්බුදකාරී තැනක. නිදහසෙන් පසුව ආර්ථික වර්ධන වේගය අඩුම යුගය බවට පත් වුණා. රාජ්‍ය ආදායම් වර්ධනය නොවීම, රාජ්‍ය වියදම් වැඩිවීම, විදේශ විනිමය ආදායම් අවම වීම සහ ආනයන වියදම් ඉහළ යෑම වගේ අර්බුද බරපතල වෙලා තිබුණා. 1960 දී රු.කොටි 50 ක්ව තිබුණු අයවැය හිඟය 1970 වන විට රු.කෝටි 115 ක් දක්වා වැඩි වී තිබු අතර එතැන් පසුව ද දිගටම වැඩි විය. රාජ්‍ය වියදම් වල සියයට 70 ක් පමණ පංගුව අධ්‍යාපනය සෞඛ්‍ය සහ ආහාර සහනාධාර වෙනුවෙන් වැය වී තිබුණා. මේ හිඟය රජය පියව ගත්තේ ණය ගැනීමෙනි. මේ තත්වයන් එක්ක සාමාන්‍යයෙන් සමාජවාදය යටතේ ජනතාවට ලැබෙන සුබසාධන සහන වෙනුවට ක‍්‍රියාත්මක වුණේ ඒකේ අනෙක් පැත්ත.
සුබසාධනය පිස්සු වැඩක්
පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් ගෙන ගිය සුබසාධනවාදී වැඩපිළිවෙලවල් ‘පිස්සු ගමනක්’ ලෙස හඳුන්වමින් ඒ බොහොමයක් මේ සමාජවාදී ආණ්ඩුව සීමා කළා. 1972 අයවැය යෝජනා තුළ නොමිලයේ ලැබුණු රජයේ සෞඛ්‍ය පහසුකම් පවා අහෝසිකර මුදල් අයකිරීමට ගත්තා. රෝහලේ බාහිර ප‍්‍රතිකරගැනීමේ දි ශත 25ක් අය කළා. මේක සුළු මුදලක් වුවත් මේ අය කිරීමට හේතුව විදිහට කිව්වේ මිනිස්සු නිකම් දෙන නිසා විනෝදෙට බෙහෙත් ගන්නවා වගේ කතාවක්. නේවාසික ප‍්‍රතිකාර වලට රු 5 සිට 10 දක්වා ගෙවන්න සිදු වුණා. හරියට පෞද්ගලික රොහල් වගේ සියළු සේවා වලට ගෙවන්න සිදු වුණා. ව්‍යාපාරවලට ලාබයෙන් සියයට 50 ක පමණ බදු ගෙවීමක් කරන්න සිදු වුණා. පුද්ගල ආදායම් බදු සියයට 40 ක තරම් ඉහළ වුණා. උපයන විට බදු ගෙවීමේ ක්‍රමයත් ආරම්භ කළා. මිළදී ගත හැකි පාරිභෝගික ද්‍රව්‍ය වලට සීමා පැනෙව්වා. මිළ වැඩි කළා. සීනි මිල වැඩි කළේ මිනිස්සු සීනි වලින් කසිප්පු පෙරනවා කියලා. එක් පුද්ගලයකුට සීනි, හාල් වගේ පාරිභෝගික භාණ්ඩ සලාක ක‍්‍රමයට අවම ප‍්‍රමාණයක් දුන්නේ. ඒකටත් සමුපකාර පෝලිමේ ඉන්න සිදු වුණා. පොලිමේ ඉන්න ඔ්න දවස් තිබුණා හැමදාම බඩු ලැබුනේ නැහැ. ඒ වගේම සලාකයේ සීමාවට වැඩියෙන් බඩු ගත්තොත් ඒ වැඩි වෙන ඒවට නියමිත මිලට වඩා වැඩියෙන් ගෙවන්න වුණා. ඒ කාලේ සල්ලි තිබුණා කියලා හිතුමතේ වියදම් කරන්නත් බැහැ. මාසික පාරිභෝජනය සඳහා පුද්ගලයක් වියදම් කළ යුත්තේ රුපියල් 2,000කට අඩුවෙන් කියලා සීමාවකුත් පනවලා තිබුණා.
ඒ වගේම රාජ්‍ය ව්‍යවසායයන්වල ඒකාධිකාරය නිසා, තරගකාරී මිල ක‍්‍ර‍්‍රමයක වාසිය පුරවැසියාට ලැබුණේ නැහැ. පාරිභෝගික කැමැත්ත අනුව තෝරාගැනීමට භාණ්ඩ තිබුණේ නෑ. මේ රාජ්‍ය ව්‍යවසායයන් නිශ්පාදනය කරන භාණ්ඩ වල නිශ්පාදන පිරිවැය අනුව මිළ තීරණය කළා. ඒ නිසා භාණ්ඩ මිළ අධික වුණා. පිරිවැයට අනුව මිළ තීරණය කළ නිසා බොහෝ රාජ්‍ය ව්‍යවසායයන් පාඩු ලැබුවේ නැතත් මේ ආයතන නඩත්තුවට රාජ්‍ය ආදායම් වැඩි වශයෙන් යොදවන්න සිදු වුණා. මේවායේ ඉහළ පිරිවැය නිසා ආනයනය කිරීම කරන්න ලැබුණේ නැහැ. මෙරට වෙළඳපොළ තුළ පමණක් අළෙවිය සිදු වුණා. වෙළඳපොළ කුඩා නිසා මහපරිමාණ කර්මාන්ත නඩත්තුව තවත් දුෂ්කර වුණා. ඒ වගේම අමුද්‍රව්‍ය හිඟයන් ආවා. රාජ්‍ය ආදායම් නිකරුනේ විනාශ වුණා. මේ යුගය ගැන ජනප්‍රිය මතයක් තමයි මේ කාලයේ දේශීය ව්‍යවසායන් දියුණු වෙලා සංවර්ධනයට ලොකු අඩිතාලමක් දැම්මා ඒ ක්‍රමය දිගටම ගියා නම් රට අද විශාල සංවර්ධනයක් අත්පත් කරගන්නවා කියලා. නමුත් කෘෂි, සේවා, කර්මාන්ත යන සියළු ක්ෂේත්‍රවල විශාල බිඳ වැටීමක් මේ කාලයේ සිදු වුණා කියන එක මේ කාලයේ දත්ත පරික්ෂා කිරීම් වල පැහැදිලිව තිබෙනවා. විශේෂයෙන්ම මහ බැංකු වාර්ථා වල මේ අර්බුදය පැහැදිලිව සවිස්තරව තිබෙනවා.
ඒත් මේ තත්වයන් යටතේ වුණත් විදේශිකයන් සතුව තිබු වතු ජනසතු කිරීම, ඉඩම් ප‍්‍රතිසංස්කරණ හරහා ජනතාවට ඉඩම් ලැබීම, කාර්මික නිශ්පාදන වැඩිදියුණු වීම, රෙදිපිළි ඇඟළුම්, විදුලි උපකරණ, යන්ත්‍රෝප කරන නිශ්පාදනයන් වැඩි දියුණු කිරීම, ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් හඳන්වාදීම, සිදු වුණා. වැදගත්ම කාරණයක් ලෙස අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය ගැන කියන්න පුළුවන්. 1964 අධ්‍යාපන ධවල පත්‍රිකාව සහ තවත් යෝජනා සලකා බලා එදා ලෝක තත්වයන්ට ගැලපෙන සහ රටේ අනාගත සංවර්ධනය ඉලක්ක කරගෙන මේ ප්‍රතිසංස්කරණයන් සිදු වුණා.
මේ සමගි පෙරමුණු ආණ්ඩුවේ සමාජවාදී ප‍්‍රතිපත්ති පවත්වාගෙන යෑමේදි රටට යම් සහයෝගයක් ලැබුණේ සමාජවාදී සෝවියට් රුසියායෙන් සහ චීනය ප‍්‍රමුඛ, කඳවුරට හිතවත් රාජ්‍යයන් වලින්. ඒත් ඒවා රටක ස්වාධීන පැවැත්මට ස්වාධීන ගොඩනැංවීමකට, සංවර්ධනයකට සහය වුණේ නැහැ. මේ රටවල ආධාර උපකාර නැති වෙන කොට ලංකාවේ කඩාවැටීමත් ආරම්භ වුණා. මේ තත්වයන් නිසා රට ආර්ථික බංකොළොත්භාවයක ආසන්නයටම ආවා.
ඒත් මේ සිදුවෙච්ච වැරද්ද නිවැරදි කරගන්න 1976 වෙන කොට අගමැතිනි සිරිමාවෝට තීරණයක් ගන්න සිදු වුණා. සමාජවාදි සංවෘත්ත ආර්ථික පිළිවෙත ‘පිස්සු වැඩක්’ කියලා අත්හැරල ආර්ථික විවෘත්ත කරන ප‍්‍රතිපත්තිවලට මාරු වීමට තීරණය කළා.
නිදහස් වෙළඳ කලාප ඇති කිරීමේ යෝජනා ගෙන ආවා. පස්සේ කාලෙක වාමාංශිකයන් සහ ජාතිකවාදීන්, නිරන්තරයෙන්ම් මේ රටේ ආර්ථිකය ලෝකයට විවෘත්ත කරලා රට විනාශ කළා කියලා චෝදනාව, ජනාධිපති ජේ ආර් ජයවර්ධනට, එල්ල කළත් සිරිමාවෝම තමයි මේකට මුලින් පියවර ගන්න කල්පනා කළේ. ඒත් ඒ වෙන කොට ඇය ප‍්‍රමාද වැඩි වුණා. 1977 මැතිවරණයෙන් අන්ත පරාජයත් ලැබුවා.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 08 හෙට සිට)
1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?
3කොටස - අලුත් රටක පදනම
4කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම
6 කොටස - නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය