1950 දි ඒක පුද්ගල දළ ආදායම රු 587 යි. එදා විනිමය අනුපාත අනුව ඩොලර් 120 ක් විතර. හැබැයි මේක ඒ දවස්වල ලොකු ගානක්. කලාපයේ අනෙක් රටවල් එකක් බැලුවාම ඉහළම අගය.
මෑත වසර වල ඒක පුද්ගල දළ ආදායම රුපියල් ලක්ෂ 10-12 අතරට ආවා. (ඩොලර් 4000 ක් පමණ) මේ ආදායමත් එක්ක අද ලෝකයේ පහළ මැදි ආදායම් ඇති රටක් විදිහට ලංකාව සැලකෙනවා. එ්ත් ඊට වඩා ඉහළ අගයකට යෑමේ හැකියාව හොඳටම තිබුණු රටක්.
1948 දී රාජ්‍ය ආදායම රු. මිලියන 540 යි, 1960 දි දෙගුණකට වඩා වර්ධනය කරගත්තා, මිලියන 1,390 ක වෙනකම්. මේ ආදායමේ වැඩි පංගුව හැදුනේ ආනයන-අපනයන බදු සහ සෘජු බදු වලින්. එදා වක‍්‍ර බදුවලට වඩා වැඩියෙන් ලබා ගත්තේ සෘජු බදු, ඒක සමස්ත බදු ආදායම් ප්‍රමාණයෙන් සියයට 65 ක් විතර වුණා. මොකද ඒ කාලේ ජනතාවක් හිටියට ඔවුන් හොඳ පාරිභෝගිකයන් වුණේ නැහැ. ආදායම් තිබුණේ අඩුවෙන් ඒ නිසා වෙළඳපොළට දුරස්ථ වුණා.
2024 වසරේ අපේක්ෂිත රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 3,200ක් විතර. හැබැයි දැන් වක්‍ර බදු සියයට 70 ක් විතර වෙලා. ජනතාවට ආදායම් තියෙනවා ඒ නිසා වියදම් කරනවා. අධි පාරිභෝජන තත්වයක් ඇතිව තිබීමත් වක්‍ර බදු ආදායම වැඩි වෙන්න හේතුවක්.
ඒ වගේම 1948 දී රාජ්‍ය වියදම මිලියන 592 ක් වුණා. 1960 දී 1,881 වෙනකම් වැඩි වුණා. ආදායමට වඩා වියදම වැඩි වුණා. නමුත් මුල් කාලයේ විදේශ විනිමය තිබුණා අතිරිත්කයකුත් එක්ක.
2022 වසරේ අර්බුද සමයේ විදේශ සංචිත ඩොලර් මිලියන 19 කට කට කඩා වැටුණට පස්සේ නැවත 2024 වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 කට වැඩි කරගන්න සමත් වෙලා තියෙනවා. ආර්ථික අර්බුදය කළමණාකරණය කරගැනීම වගේම අය-වැය පරතරය පියවා ගැනීමත් අද රජය මුහුණ දෙන අභියෝගයක්.
නිදහසෙන් පසු ඉතිහාසය තුළ විටින් විට වාම-ජාතිකවාදී වැරදි ආර්ථික උපාය මාර්ග අනුගමනය කිරීම නිසා සිදුව තිබු අවුල් නැවත සකස් කිරීමට ගත් පියවර රජයේ වියදම් පාර්ශ්වය ඉහළ යෑමට තවත් හේතුවක්. එමෙන්ම සංවර්ධනයට වඩා පාරිභෝජනය වැදගත්කර ගැනීම, සුබසාධනවාදය දේශපාලන ප‍්‍රතිපත්තියක් ලෙස දීර්ගකාලයක් ක්‍රියාත්මක වීම නිසා ආදායමට වඩා වියදම් වැඩි වීමට අනෙක් හේතුවක් වුණා.
කොහොම වුණත් විවිධ කාල වකවානු වල බලයේ සිට කණ්ඩායම් අනුගමනය කරපු ආර්ථික ප‍්‍රතිපත්ති වල වෙනස්කම්, වැරදි අඩුපාඩු සියල්ල සමග අද රට ලෝකයට සාපේක්ෂව සැලකිය යුතු සංවර්ධනයක් අත්විදිමින් සිටිනවා කියන එක වැරදි නැහැ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුව ශ‍්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක් සහිත රටක් ලෙස වර්ගීකරණයකර තියෙනවා. ඉහළ ඒක පුද්ගල ආදායම් සහිත රටවල් හා සැසදීමේදී ඊට ආසන්නව හොඳ මට්ටමක සිටින බවත් මේ වාර්තා පෙන්වා දෙනවා.
නිදහසෙන් පස්සේ පාලකයෝ සංවර්ධනයට කිසි දෙයක් කළේ නෑ කියන එක ජවිපෙ වගේ කණ්ඩායම් කියන්නේ අධි සංවර්ධිත හෝ මෑත කාලීනව කාර්මික සංවර්ධනයන් අත්පත් කරගත් රාජ්‍යයන් දිහා බලලා. ඒක යථාර්ථවාදී සංසන්දනයක් නෙවේ. හැබැයි ඒ සංවර්ධිත රාජ්‍යයන් ඒ තැනට ආවේ කොහොමද කියන එක මේ අය කියන්නේ නැහැ. අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති ගැන කියන්නේ නැහැ.
ඒ කොහෙම වුණත් මේ 1946-60 කාලය තුළ දළ දේශීය නිශ්පාදන වේගය වසරකට සාමාන්‍ය ලෙස සියයට 6.5කට වඩා වේගයෙන් වර්ධනය වෙලා තියෙනවා. වාර්ථා අනුව ඇතැම් වසරක සියයට 11 ඉක්මවා වර්ධනයක් තිබිලත් තියෙනවා. මේ 1948 ඉදලා 2024 දක්වා කාලය බැලූවොත් පොදුවේ වසරකට සියයට 5 ක විතර සංවර්ධන වේගයක් තිබුණා. මේ 1946-60 කාලයේ උද්ධමන වේගය සියයට 1කට වඩා අඩුවෙන් හැම වසරකම වාර්ථා වෙලා තියෙනවා. ඉන් පසුව වැඩි වෙමින් 2022 අර්බුද සමයේ සියයට 70 කට ආසන්න වුණා. ආපහු මේ වෙද්දි සියයට 3 කට ආසන්නව අඩු කරගෙන තියෙනවා.
මෙ රටේ තවත් විශේෂත්වයක් තමයි නිදහසෙන් පසුව බලයට පත් පාලකයන් ගත්ත ඇතැම් වැරදි තීරණ නිසා විටින් විට රටේ ආර්ථිකය විවිධ ගැටලු වලට මුහුණ දුන්නත් නැවත ඒවා කෙටි කලකින් නිවැරදි කරගැනීමේ හැකියාව ලැබිලත් තියෙනවා. රට දීර්ග කාලීනය අර්බුද වලට මුහුණ දීලා නැහැ.
2022 දී රට බංකොළොත් වුණු මොහොතේ තව අවුරුදු දහයකටවත් වැරද්ද නිවැරදි කරගන්න වෙන එකක් නෑ කියලා ජාත්‍යන්තර මට්ටමෙන්ම මත පළ වුණත් අවුරුදු 2ක් ඇතුළත රට බංකොලොත් භාවයෙන් ගොඩගන්න වත්මන් පාලනයට පුළුවන් වුණා. ඒ වගේම පැවැති ක‍්‍රමපද්ධතිය වෙනස් කරමින් සහ යළි වරද්දා ගැනීම් කළ නොහැකි වෙන්න ජාතික ප‍්‍රතිපත්ති, නීති රීති සකස් කරමින් රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් වේගවත් ගමනක් ඉලක්ක කරලා නව ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් දැන් ක‍්‍රියාත්මක කරමින් තියෙනවා.
සංවර්ධනයට පදනම දැමීමෙන් පස්සේ
නිදහස ලබන විට ලංකාවේ ප‍්‍රථම අගමැති ඞී.එස්.සේනානායකගේ ආණ්ඩුවට සිය සය අවුරුදු වැඩපිළිවෙල යටතේ කිරීමට සිදුවුණ ආර්ථික ප‍්‍රතිසංස්කරණ වලදී මුලිකව කළ එක දෙයක් වුණේ සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තය ගොඩනැංවීම. විශේෂයෙන්ම ඉඩම් ප‍්‍රතිසංස්කරණය, ඉඩම් සංවර්ධනය සහ වාරිමාර්ග යෝජනා ක‍්‍රම හරහා කෘෂිකර්මාන්තය පුළුල් භූමි ප‍්‍රදේශයකට ව්‍යාප්ත කිරීම. අත්හැරීමට ලක්ව තිබුණු වියළි කලාප ප‍්‍රදේශ සංවර්ධනයට දායක කරගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලිය සහ මහාමාර්ග, ප‍්‍රවාහනය එදා ප‍්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබුණා.
කාර්මික සංවර්ධනයේ වැඩි බර පෞද්ගලික අංශයට පටවා තිබුණා. සමස්ත සංවර්ධන වැඩසටහනට මුල්‍ය සම්පාදනය කිරීමේ මාධ්‍යයක් ලෙස වැවිලි කර්මාන්ත ආර්ථිකය යොදාගත්තා, ආර්ථිකය කඩා වැටීම වළකා ගැනීමට මෙය අත්‍යවශ්‍යයෙන්ම ආරක්ෂක මෙහෙයුමක් ද වුණා. එයින් ලත් වැඩි බදු ආදායම් රට තුළ ක‍්‍රියාත්මක වු සංවර්ධන වැඩ සටහන් සහ සුබසාදන වැඩපිළිවෙලට නියමාකාරයෙන් යොදාගැනීමට සමත් වුණා.
එදා අපනයන වෙළෙඳපොළ ඉතා ශීඝ‍්‍රයෙන් ප‍්‍රසාරණය වීමත් විවිධාංගීකරණයත් එතරම් අපේක්ෂා කළේ නැහැ. ඒ නිසා නව කාර්මික සංවර්ධනය සිදුවුයේ සෙමින්. එතෙක් කෙටිකාලීනව සමාජීය වශයෙන් ජයගත යුත වු උපාය මාර්ගයන්ට රජය වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ. ඒත් 1950 දශකයේ මුල් භාගය ලංකාවේ ආර්ථිකයට යහපත් කාලයක් බවට පත්ව තිබුණා.
1952 දී ඩඞ්ලි සේනානායකගේ අගමැතිවරයා ලෙස නව ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. රටේ සංවර්ධනය වෙනුවෙන් නව ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් වෙත යෑමට ඒ ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව ඒ ගැන තීරණයන් ගන්න ලෝක බැංකුවේ සහය පැතුවා.
1952 දී ලෝක බැංකුව ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් පිටු 950 ක පමණ පුළුල් වාර්තාවක් ( the economic development of Ceylon) ඉදිරිපත් කළා. එහිදී එතෙක් 1947 රජය දියත් කර තිබු කඩිනම් සංවර්ධනය රටේ මුල්‍ය ස්ථාවරත්වයට කිසිදු අයුරකින් තර්ජනයක් නොවන ලෙසත් රාජ්‍ය අය වැය විචක්ෂණශීලීව හා දක්ෂ ලෙස මෙහෙයවීමත් එදා මුදල් ඇමැති ජේ ආර් ජයවර්ධන සිදුකර ඇති බවත් සඳහන්කර තිබුණා. මේ ලෝක බැංකු වාර්තාව රටේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි පියවර රැසක් යෝජනා කර තිබුණා. 1953- 59 දක්වා සය අවුරුදු වැඩ සටහනක් සහ තවත් ඉලක්කයන් ගනනාවක් එහි තිබුණා.
ලෝක බැංකුව ඉදිරිපත් කළ මෙම වාර්තාව පදනම් කරගෙන, 1952 පත් වූ ආණ්ඩුව ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වුණ සමගාමී ගමනක් යෑම වෙනුවෙන් දිගු කාලීන සංවර්ධන උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීමට පියවරයන් ගත්තා. ඒ අනුව 1953 ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් එවක රජය සීග‍්‍ර සංවර්ධනයක් සඳහා පියවර ගත්තා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය වැඩි කිරීම, කාර්මිකකරණය ගැන වැඩි අවධානයක් යොමු කළා. මහා පරිමාණ රාජ්‍ය කර්මාන්ත වෙනුවට අපනයනය ඉලක්ක කළ කුඩා පරිමාණයේ කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් සංවර්ධනය කිරීම ප‍්‍රධාන අරමුණක් වුණා. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තා. විදේශ ආයෝජන ආකර්ශනයට වැඩපිළිවෙල සකස් කළා.
ගමනට එල්ල වූ බාධා
ඒත් මේ කිසිවක් ක්‍රියාත්මකව ප‍්‍රතිලාබ ලැබෙන තැනට පැමිණෙන්න පෙරාතුව මේවාට එරෙහිව වාම ජාතිකවාදීන්ගේ දේශපාලනික විරෝධයන් ආවා. බඩු මිළ අඩුකිරීමේ සටන් පාඨ සමග වාමාංශිකයන්ගේ ආරම්භ කළ 1953 අගෝස්තු හර්තාලය විශාල දේශපාලන ආර්ථික ගැටළු ඇති කළා. 1953 හර්තාලය කියන්නේ මේ රටේ සංවර්ධන ගමන ආපසු හැරවීමට ගත් පළමු කඩාකප්පල්කාරී මෙහෙයුම. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය සහ වාමාංශික වෘත්තීය සමිති මේකට මූලික වුණා. මේ නිසා එවකට අගමැති ඩඩ්ලි ඉල්ලා අසුවුණා. සර් ජෝන් කොතලාවල අගමැති යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කර ගත්තා. නමුත් රජය සැලසුම් කළ පරිදි ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ සටහන ඉදිරියට ගියේ නැහැ. ඒ වගේම දිගින් දිගටම රට තුළ වැඩ වර්ජන විරෝධතා පැවැත් වුණා.
ඒවායේ ප‍්‍රතිඵල විදිහට 1956 දී ආණ්ඩු පෙරළියක් සිදු වුණා. 1956 රජය රටේ සංවර්ධනය සඳහා යෝජනා කළේ ජාතිකවාදී වෙනස් පිළිවෙතක්.
ඒත් ඒකෙන් රට අත්පත් කරගනිමින් තිබුණ ඇතැම් ජයග‍්‍රහණයන් පවා ආපසු හැරෙන තැනට පත් වුණා. ආනයන ආදේශන කර්මාන්ත වලට නැවත වැඩි නැඹුරුවක් දැක්වුවා. ජනසතුකරණය, භාෂා ප‍්‍රශ්නය, රටේ සිවිල් කළකෝලහල, ආදිය ආර්ථිකයට බලපෑවා. ආර්ථික වර්ධන වේගය පහළ යෑම, උද්ධමය ඉහළ යෑම, අපනයන ආනයන වෙළදාමට බාධා සිදුවීම වුණා. විදේශ ආයෝජන අධෛර්මත් වුණා. ආනයන අපනයන පරතරය වැඩි වී විදේශ සංචිත ගැටලුවක් ද මතුවෙන්න ගත්තා. පෞද්ගලික අංශයට තිබු අවස්ථා විශාල වශයෙන් අහෝසි වුණා.
ඒත් ආර්ථිකමය වශයෙන් වරද්දා ගැනීම් සිදු වුවත් සමාජීය සංවර්ධනය වෙනුවෙන් ගත්ත සාධනීය පියවරයන් තිබුණා. එම රජය කල්පනා කළේ රාජ්‍යය විසින් සියල්ල කළමණාකරණය කරමින් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් උදාකරගැනීම ගැන. නමුත් මේ ප‍්‍රතිපත්ති මත ඉදිරියට යෑම දුෂ්කර වුණා.
ඒ අතර 1957 දී අගමැති බණ්ඩාරනායක ආණ්ඩුවත් ලෝක බැංකුවේ සහයෙන් මෙරටට ලෝකයේ ඉහළම ආර්ථික විශේෂඥ කණ්ඩායමක් ගෙන්වාගෙන ආර්ථිකය ගැන විමසුමක් කළා. එදා පැහැදිලිවම ඒ සියලූ දෙනාම පාහේ පෙන්වා දී තිබුණේ මේ රටට ඇති අවස්ථා නිකරුණේ නාස්ති කරගන්නා බවයි.
වාමාංශය බර ලෝ ප‍්‍රකට ආර්ථික විශේෂඥවරියක ලෙස සැලකෙන ජොආන් රොබින්සන් ගේ එදා ප‍්‍රකට වූ කියමනක් වුණේ, අපි ‘ගස සිටුවීමට පෙර, පළතුරු රස විඳිනවා’ යනුවෙන්. එයින් අදහස් කළේ ඉපයීම් ගැන නොසිතා පාරිභෝජනය කරන බවයි. තිබෙන අවස්ථා ප‍්‍රයෝජනයට නොගෙන රටේ සම්පත් හැකියාවන් නාස්ති කරමින් තිබෙන බවයි. එසේම ඇය ලංකාවේ වෘත්තීය සමිති ලාබයෙන් වැඩි කොටසක් ඉල්ලා සිටීම ගැනත් විවේචනයට ලක් කළේ වාමාංශික පක්ෂ වැඩි වැටුප් ඉල්ලීම් කරමින් වැඩ වර්ජනය කරමින් රටේ අවශ්‍ය සංවර්ධනයට බාධා කිරීම නිරීක්ෂනය කරමින්. රට තුළ ජවසම්පන්න ව්‍යවසායත්වයන් සහිත ධනවාදී සංවර්ධනය අත්‍යාවශ්‍ය කාරණයක් බව ඇය පෙන්වා දී තිබුණා.
කොහොම හරි විය යුතුව තිබුණු ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් මේ කාලයේ දී සිදු වූයේ නැහැ. එසේම 1959 අගමැති ඝාතනය, දේශපාලන අර්බුද, ජනවාර්ගික අර්බුද නිසා ප‍්‍රශ්න ගනනාවක් ඇති කර තිබුණා.
ස්ථාවර පාලනයක් නැති, අර්බුද සමයකින් පසුව 1960 ජුලි මාසයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප‍්‍රථම අගමැතිනිය ලෙස පත් වීම සිදු වුණා.
කාන්තාවකට රටේ දේශපාලන නායකත්වය ලැබීමත් මෙරට සමාජීය හා දේශපාලන සංවර්ධනයේ තවත් වැදගත් සලකුණක්. 1960 -65 කාලය තුළ ඇය රටේ සංවර්ධනය වෙනුවෙන් වැදගත් පියවරයත් ගත් නමුදු ආර්ථික ක්ෂේත‍්‍රයේ ගත් පියවරයන් ගැන විවාදයක් තියෙනවා.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 ක් මොනවද කළේ? ' ඉතිරි කොටස් 09 හෙට සිට)
1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?
4කොටස - අධ්‍යාපනය නැතුව රටක් ගොඩනගන්න බැහැ
5කොටස - කර්මාන්තකරණයට ඇතුළත්වීම