මේ නිසා පාසල්, පිරිවෙන්, උසස් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමේ පියවරයන් රැසක් රජය ගත්තා. විෂය මාලා සංවර්ධනය, ගුරුපුහුණු නවීකරණය, විද්‍යාගාර පහසුකම්, පුස්තකාල, සිසු සුබසාධනය වෙනුවෙන් ආහාර, වෛද්‍ය පහසුකම් ලබා දීමත් සිදු කළා.
ඒත් 1920 අධ්‍යාපන ආඥා පනතේ සිට අවුරුදු 14 ට අඩු ළමුන් පාසල් යැවීම අනිවාර්ය බවට නීතියක් රටේ තිබුණත්, 1940 දශකයේ ඉඳලා නොමිලයේ අධ්‍යාපනය ලබාදීම සිදුවුණත් භාගෙට භාගයක් පාසල් ගියේ නැහැ. 1946 දී විශ්ව විද්‍යාල ඇතුළුව පාසල් සිසුන් හිටියේ 944,500 ක් විතර. ඒ කියන්නේ වයස 5 ත් 19 ත් අතර ඉගෙන ගන්න වයසයේ සියළුම දරුවන්ගෙන් සියයට 41 යි.
මේ අගය 1959 අවුරුද්ද වෙනකොට සිසුන් 2,150,000 ක් වෙනකම් වැඩිකරගත්තා. ඒ වන විට ඉගෙන ගන්න වයසයේ ජනගහනය අනුව ඒ ප්‍රමාණය සියයට 61 ක්. 1968 වෙනකොට සියයට 83 ක්. මේ තැනට ගේන්න අධ්‍යාපනයේ වටිනාකම් කියලා දෙන්න, දරුවන් පාසලට යොමුකරවන්න විශේෂ උත්සාහයක් රජයට දරන්න සිදු වුණා. අද හතලිස් ලක්ෂයකට වඩා වැඩි සිසුන් ප‍්‍රමාණයක් විධිමත්ව අධ්‍යාපනය හදාරණවා. රටේ සියළුම දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා දෙනවා. අද පාසල් නොයන දරුවෙක් නැති තරම්.
1948 දී පාසල් තිබුණේ 6,400 ක් පමණ. අද දසදහසකට ආසන්න රජයේ පාසල් ප‍්‍රමාණයක් තියෙනවා. පෞද්ගලික පාසල් පිරිවෙන් ආදිය දහසක පමණ ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මකයි. ඒ වගේම අද නිල ඇඳුම්, ආහාර වගේ පහසුකම් තවත් වර්ධනයන කරලා තියෙනවා. ගුරුවරු වැඩි වශයෙන් බිහිකරන්න ජාතික අධ්‍යාපන පීඨ 20 ක් පමණ තියෙනවා. අද ගුරුවරු ප‍්‍රමාණය 250,000 කට ආසන්නයි.
මෙරට පාසල් තුළ මේ වන විට ලෝකය සමඟ සමගාමී ඉහළ අධ්‍යාපනයක් ලබාදෙන්න, ඩිජිටල් තාක්ෂණයේ සිට කෘතිම බුද්ධිය දක්වා අධ්‍යාපනය ලබා දීමේ පියවරයන් අරන් තියෙනවා. රටේ අනාගතය වෙනුවෙන් නව දැනුමෙන් සන්නද්ධ කරලා දරුවන් සුදානම් කරමින් තියෙනවා.
විශ්ව විද්‍යාලයට 1946 දී ඇතුලත් වෙලා හිටියේ 1,300 ක තරම් අඩු ප‍්‍රමාණයක්. 1959 වෙද්දි 5,500 ක් වුණා. 1942 දී කොළඹ ආරම්භ කළ ලංකා විශ්ව විද්‍යාලයෙන් පසුව 1952 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයත්, 1972 දී මොරටු සහ 1974 දී යාපන විශ්ව විද්‍යාල ආරම්භ කෙරුණා.
මේ වන විට විවිධ ආකාරයෙන් පිහිටවපු රජයේ විශ්ව විද්‍යාල 23 කට ආසන්න ප‍්‍රමාණයකුත් උපාධි ප‍්‍රදානය කරන උසස් අධ්‍යාපන ආයතන 26 කට ආසන්න ප‍්‍රමාණයකුත් පවතිනවා. ඉදිරියේ දි ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාල ගනනාවක් බිහි කිරීමටත් සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වල ශාඛා මෙරට ඇති කිරීමට සැලසුම්කර තිබෙනවා.
2023 අවුරුද්දේ 42,000කට ආසන්න සිසුන් ගනනක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගත්තා. පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය හදාරණ අය ඊට වඩා වැඩියි. ‘නිදහස් අධ්‍යාපනය’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අද තිබෙනවා.
1946 දී සාක්ෂරතාවය තිබුණේ පිරිමි සියයට 70.1 යි, ගැහැණු 43.8 යි. පොදුවේ සියයට 57.8 යි. අද 94 ක් වෙනක්ම වර්ධනය වුණේ මේ අවුරුදු 76 ක කාලයක ඉදලා හැම රජයක්ම අධ්‍යාපනය සංවර්ධනය කරගත්ත නිසා.
අද ලංකාව යම් අඩු පාඩු මධ්‍යයේ වුවත් ලෝකයේ ඉහළම අධ්‍යාපනයක් තියෙන රටක්. ලෝකය පුරා මෙරට උගතුන්ට, වෘත්තිකයන්ට, පුහුණු ශ‍්‍රමිකයන්ට විශාල ඉල්ලූමක් තියෙන රටක් බවට පත් වෙලා තියෙනවා.
මේ ජයග්‍රහණයන් නිකම් සිදු වුණෙ නැහැ. ඒ ඒ කාලවල රජයන්ට අද්‍යපනය නංවන්න විවධ බාධක වලටත් මුහුණ දෙන්න සිදුව තිබුණා. මේ රට තුළින්ම බාධක අභියෝග ආවා. මේ නිසා ගොඩක් කලින් විය යුතු දේවල් වැළැකී තිබුණා. පටු දේශපාලන බලවේග අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වෙලා තිබුණා. කොහොම වුණත් අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී ලංකාව කියන්නේ ලෝකය හමුවේ තරග කරන්න පුළුවන් සවිමත් රටක්.
වවාගෙන කන්න තීරණය කිරීම
නිදහස ලැබෙන කාලයේ ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන් බොහොමයක් ආනයනය මත රඳාපැවතුණා. ලෝක අර්බුද නිසා ඒ තත්වයන් වෙනස් කරන්න මෙරට කෘෂිකර්මය සහ කර්මාන්ත සංවර්ධනය කිරීමට රජය අවධානය යොමු කර තිබුණා.
රටේ ආදායම් වර්ධනය කරගැනීමට සහ ජනතාව ජීවත් කරවීමට කෘෂි ක්ෂේත‍්‍රයේ වර්ධනය අනිවාර්ය වුණා. වැවිලි ආර්ථිකයට බ්‍රිතාන්‍යයන් වැඩි ප‍්‍රමුඛතාවයක් ලබා දී තිබීම නිසා සාම්ප‍්‍රදායික කෘෂිකර්මයට වැඩි අවදානයක් යොමු වෙලා තිබුණේ නැහැ. ලංකාව කෘෂිකාර්මික රටක් විදිහට සැලකුණත් මේ කාලයේ එහෙම කියන්න පුළුවන් කමක් තිබුණේ නැති තරම්.
එහිදී කෘෂි ක්ෂේත‍්‍රයේ මුලික ගැටළු විසඳන්න ඉඩම් සහ ජලය ලබා දීම විය යුතු වුණා. විශේෂයෙන්ම වියළි කලාපය තුළට සංවර්ධනය රැගෙන යාම මුලික වුණා. ඒ වන විට රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් විතර පදිංචිව සිටියේ තෙත් කලාපීය ප‍්‍රදේශ තුළ. සංවර්ධනයේ දී වැඩි අවධානයක් යොමු කළේ වියළි කලාපයට. මේ නිසා වියළි කලාපය තුළ ජනතාව පදිංචි කර, සාම්ප‍්‍රදායික කෘෂිකර්මය සංවර්ධනය කිරීමට පොහොර, නවීන ක‍්‍රමවේද, නවීන තාක්ෂණය, හඳුන්වලා දීලා නවීකරණය කළයුතු වුණා.
1948 ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවා කෘෂිකර්මාන්තය වෙනුවෙන් රජයේ ඉඩම් බොදා හැරීම සිදු කළා.
නිදහස ලැබීමට සමගාමීව 1947-53 හය අවුරුදු කාලසීමාවට සකස් කළ සංවර්ධන වැඩසටහහනේ වැදගත්ම අංගයක් වුණේ ගල් ඔය නිම්නයේ දැවැන්ත බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයයි. මෙය මෙරට කෘෂි ක්ෂේත‍්‍රයේ විශාල පිම්මකට හේතු වුණා.
ගල් ඔය මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම තවත් වාරිමාර්ග ව්‍යාපෘති ගනනාවක් වෙනුවෙන් විශාල මුල්‍ය ආයෝජනයක් රජය සිදු කළා. මේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී විදේශ ආධාර ලබා ගැනීම සිදු වුණත් ආයෝජනයෙන් සියයට 80 ක් විතර මෙරට රජය දැරුවේ.
ඉඟිනියාගල වේල්ල බැඳ, සේනානායක සමුද්‍රය නම් ජලාශය ඉදිකිරීම කළා. අවුරුදු 10 ක් තුළ පවුල් 25,000 ක් නිවාස සහ අනෙකුත් පහසුකම් සමඟ මෙම සංවර්ධිත ගොවි ජනපද 40 ක පදිංචි කළා. ගල් ඔය නිම්නයේ සහ තදාසන්න ප‍්‍රදේශ වල අක්කර 2,00,000 ක වැඩි ඉඩම් ප‍්‍රමාණයක් සංවර්ධනය කළා. වියළි ඉඩම් අක්කර 1,20,000 පමණ ජලය ලබා දීම සිදු වුණා. සත්ව ගොවිපොළ වෙනුවෙන් අක්කර 10,000 ක් වෙන් වුණා. මීට අමතරව කිලෝ වොට් 25,000 ක ජල විදුලි බලාගාරයක්ද ප‍්‍රදේශයේ කාර්මික නිශ්පාදනයන්ට ද පහසුකම් සැලසීමද සිදුවුණා. මේ ව්‍යාපෘතිය මගින් ග‍්‍රාමීය ජනතාවගේ රැකියා ප‍්‍රශ්න, ආදායම් ප‍්‍රශ්න බොහොමයක් විසඳා ගන්නත් හැකි වුණා.
ඒ අනුව 1946 දී මෙරට අක්කර 2,076,000 ක් වූ ගොවි බිම් ප‍්‍රමාණය 1959 වන විට අක්කර 2,351,000 ක් දක්වා වර්ධනය කරගත්තා. 1969 වන විට ගොවි ජනපදකරණ වැඩසටහන් මගින් ගොවි පවුල් 70,700 ක් පමණ නව ඉඩම් වල පදිංචිකර කෘෂි කර්මාන්තය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබුණා.
ඒත් රජයේ ඉඩම් නොමිළයේ දුන්නා කියා මේ සංවර්ධනය ඇති වුණේ නැහැ. ගොවි ජනතාව ඒ වෙනුවෙන් පොළඹවන්නත් වෙනම වැඩ කරන්න සිදු වුණා. වියළි කලාපය තුළ ගොවි පවුල් පදිංචි කිරීමේ දී ඔවුන්ට රජයෙන් මාසිකව රු. 80 ක පමණ ගෙවීමක් පවා සිදු කරමින් මෙම මේ සඳහා පෙළඹවීම කර තිබුණා. ස්ථිර නිවාස සකසා ගැනීමට රු. 1200 ක පමණ ණය පහසුකම් සලසා දීමත් කළා. එදා පැවැති අර්බුද වටහා ගනිමින් නිවැරදි තීරණ ගනිමින් රාජ්‍ය ආදායම් මේ වෙනුවෙන් ආයෝජනය කිරීමේ ප‍්‍රතිලාභයන් අද රට අත් විදිනවා. එදා පටන් හැම රජයක්ම මෙරට කෘෂිකර්මාන්ත දියුණු කිරීමට ප්‍රමුඛතාවයක් ලාබා දී තිබෙනවා.
ඒත් වැවිලි ආර්ථිකය අත්හැරියේ නැහැ. මොකද ඒක තමයි රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබුණේ ඒක දියුණු කරන්නත් පියවරයන් රැසක් ගත්තා.
වැවිලි සඳහා අක්කර 3,501,000 ක් 1946 දී තිබුණා. ඒක 1959 වෙද්දි 3,758,000 ක් දක්වා වැඩි කරගත්තා. රටට විදේශ ආදායම් වගේම, රාජ්‍ය ආදායමට බදු එකතු කරගැනීමේ ප‍්‍රධාන මාර්ගය වුණේ වැවිලි.
එදා දියර කිරි නිශ්පාදනය සඳහා කිරි එළදෙනුන් හිටියේ 1,602,000 යි. 1959 වන විට 2,267,000 ක් දක්වා වැඩි කරගත්තා. අද මිලියන 10ක තරම් කිරි එළදෙනුන් සිටියත් රටේ ජනගහන වර්ධනය අනුව අවශ්‍යතාවය සපුරගන්න ප‍්‍රමාණවත් නැහැ. ඒ ක්ෂේත‍්‍ර තව දියුණු වෙන්න ඕන. නව ආයෝජන එකතුවෙන්න ඕන.
වී නිෂ්පාදනය 1948 දී බුසල් මිලියන 18.7 යි, එදා රටේ අවශ්‍යතාවයෙන් භාගයයකට පමණ ඒක ප‍්‍රමාණවත් වුණා. අනෙක් මදි පාඩුවට සහල් ආනයනය කරමින් හිටියේ. ඒත් 1960 වෙද්දි වී බුසල් මිලියන 43 කට වැඩි කරගත්තා. අද වාර්ෂික වී නිශ්පාදනය බුසල් මිලියන 240 කට වඩා ලබාගනිමින් රට සහලින් ස්වයං පෝෂිත කරලා තියෙනවා.
රටේ ආහාර අර්බුදය, කෘෂි කර්මය නඟා සිටුවීමෙන් සෑහෙන දුරකට විසඳගන්න නිදහසෙන් පසු මුල් දශක දෙක තුළ සමත් වුණා. අසූව දශකයේදී මහවැලි සංවර්ධන යෝජනා ක‍්‍රමය මඟින් මෙරට කෘෂි ක්ෂේත‍්‍රය දැවැන්ත වර්ධනයකට යොමු කළා. තවත් වාරි මාර්ග ව්‍යාපෘති සිය ගනනක් සංවර්ධනය කරලා තියෙනවා.
නිදහස ලැබුණු සමයේ දී සාම්ප‍්‍රදායිත තේ පොල් රබර් කුළු බඩු වැනි අපනයන ආර්ථිකයට ඒ වන විට ලෝක අර්බුද එක්ක ගැටලුවකට මුහුණ දීමත්, රටේ විදේශ විනිමය ආදායම් තවදුරටත් වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා, කෘෂි නවීකරණ වැඩසටහන් අපනයනය ඉලක්ක කර ගත් නව භෝග වගාවන්ට යොමු වීමත් සිදු වුණා.
ඒ අතර නව අපනයන භාණ්ඩ නිශ්පාදන අවස්ථා සේවීමට සිදුවුණා. නව කර්මාන්ත ඇති කිරීම ගැනත් වැඩි අවධානය යොමු කළා.
- සුභාෂ් ජයවර්ධන
( 'අවුරුදු 76 මොනවද කළේ? ' ඉතිරි කොටස් 11 හෙට සිට)
1කොටස - රටක සංවර්ධනය කියන්නේ මොකක්ද ?
2කොටස - වැරැද්ද කළේ කවුද ?
3කොටස - අලුත් රටක පදනම