පොලිසියට අසත්‍ය ප‍්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා කර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වටරැක විජිත හිමියන් එළඹෙන 7දා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. එසේම උන්වහන්සේ ගමන්ගත් වාහනය රුපියල් ලක්ෂ 50ක බැඳුම්කරයක් මත නිදහස් කරනු ලැබීය.

තමන් වහන්සේ පැහැර ගැනීමකට ලක්වු බවත් කිසියම් පිරිසක් තමන්ට පහරදී ගෙනවිත් දැමු බවත් පූජ්‍ය වටරැක විජිත හිමියන් මුලින් කියා සිටියහ.

පොලිසිය විසින් උන්වහන්සේ සොයාගත්තේ පානදුර හිරණ ප‍්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටියදිය.

මිට අදාළ වීඩියෝ දර්ශන මොරටුව විශ්ව විද්‍යාලය වෙත යවා වාර්තාවක් ලබාගන්නැයි ද පානදුර මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබේ.

අදාළ වාර්තාව මීලග නඩු දිනයේ දී තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.

කොන්ත්‍රාත් සමාගමක් මඟින් ඉදිකිරීමක් සිදු කර ගෙන ලක්ෂ 18කට ආසන්න ගෙවිමක් බැංකුව මඟින් අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රවිණ නිළි සබීතා ජානකි පෙරේරා හා ඇ‍ගේ සැමියාට එරෙහිව කොන්ත්‍රාත් සමාගමක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුව මේ මස 15 වන දින කැඳවීමට මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ(01) නියම කළේය.

අංගොඩ, වල්පොල පාරේ ස්ථාපිත ලක්මිණ ලංකා බිල්ඩීන් සිස්ටම්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක විතානගේ අමල් අසේල විතාන යන අය විසින් ප්‍රවිණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි සබිතා ජානකි පෙරේරා හා ඇගේ සැමියා වන දොන් උපාලි ජයසිංහ හා ඩී.පී.ජයසිංහ ටුවර්ස් ට්‍රාන්ස්පෝට් කම්පැණි සාමාගම වෙත මෙසේ ඊයේ නඩු පවරනු ලැබිණ.

තමා ඉහත සමාගමේ මුදල් එකතු කිරීමේ බලයලත්නිලධාරියා බවත් විත්තිකරුවන්ගේ අනුදැනුම මත කොළඹ 9.බේස්ලයින් මාවතේ පිහිටි කාර්යාලයේ දී නිම කළ ඉදිකිරීමක් වෙනුවෙන් රුපියල් 188,576.10ක් වටිනාමකින් ලියූ චෙක්පතක් විත්තිකරුවන් ලබා දුන් බවට පැමිණිල්ලේ සඳහන්ය.

විත්තිකරුවන් විසින් ලියු චෙක්පතේ මුදල් ලබා ගැනීමට පුද්ගලික බැංකුව වෙත ගිය අවස්ථාවේ දී චෙක්පතේ මුදල් ගෙවීම් නොකරන ලෙසට විත්තිකරුවන් විසින් බැංකුවට දැනුම් දී ඇති බව පවසන පැමිණිලිකරු වංක චේතනාවෙන් මෙම අණ කිරීම සිදු කරන ලද්දක් බවට පවසා සිටී.

මුදල් ආපසු අය කර ගැනීමේ පනත අනුව දඩූවම් ලැබිය වරදක් බවට අධිකරණයේ චෝදනා ගොනු කොට තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේ දී අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් සහතික කොටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ නීතිඥවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව කැඳවීම ‍මේ මස 15 වන දින යළි කැඳවීමට නියම කෙළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රදිප් ශ්‍රි ඇල්විටිගල ,එම් අන්වර් හා ඒ.සී.එම් ස්මයිල් අධිකරණය හමුවේ කරුණු දැක්වුහ.

"මට ජනාධිපතිතුමා ඇමැතිකමක්‌ දීල තියෙනවා. නිලතලවලින් විතරක්‌ වැඩක්‌ නෑ. මට ජනතාවට වැඩ කරන්න නිදහස නැත්නම් මම පක්‍ෂයෙනුත්, දේශපාලනයෙනුත් ඉවත් වෙනවා" යෑයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ශ්‍රිලනිප ශාඛා කමිටු පිහිටුවීමේ අවස්‌ථාවකට එක්‌වෙමිනි.

කැලණිය සංවිධායක කමට ශ්‍රිලනිප අපේක්‍ෂකයකු මිසක්‌ වෙනත් පක්‍ෂයක කෙනෙකු අවශ්‍ය නැතැයි ද එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

වයස අවුරුදු තුනක් වූ පිරිමි දරුවෙක් හා අවුරුදු හතක් වූ ගැහැණු දරුවෙක් එල්ලා මරා දමා ඇතැයි පොලීසිය පවසයි.

යටියන්තොට මාලිබොඩ ප‍්‍රදේශයේ වතු නිවාසයක සිදු වූ මෙම සිද්ධියට සැක පිට දරුවන්ගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව සිදු කළ සොයා බැලීමකදී අදාළ මළ සිරුරු සොයා ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දරු දෙදෙනාගේ මව විදේශගතව ඇති බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගේ තර්ජනයට ලක් වූ පොලිස් කොස්තාපල් සුමින්ද මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පොලිස්පති වෙත තැපෑලෙන් යවා ඇති බව වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවය කළ සුමින්ද සමන් මහතා පසුගිය මැයි මාසයේ 30 වෙනි දින ප‍්‍රහාරයකට ලක් වූ අතර, ඔහු ගමන් ගනිමින් සිටි මෝටර් රථයට ද ගිනි තබා තිබිණ.

මැයි මස 20 වෙනි දින කොට්ටාව පිවිසුමේදී සිය රියැදුරාට දඩ කොලයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සහ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතා අතර වාග් ප‍්‍රහාරයක් ඇති විය.

ඉන් අනතුරුව ප‍්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අදහස් දැක්වුහ.

කෙසේවෙතත් තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සුමින්ද සමන් මහතා කියා සිටියේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයේ දී ඊයේ (1) පස්වරුවේ පත් පත්කරනු ලැබිණි.

වසර තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන මෙම කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වන වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස් වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා බලතල මෙම කොමිසම් සභාවට පැවරේ.

එස්. සී. මානප්පෙරුම, ආනන්ද සෙනෙවිරත්න, එන්.එච්. පතිරණ, එස්. තිල්ව නඩරාජා, එස්. ඒ. මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස්. සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි.එන්. සොයිසා ගුණසේකර මහත්ම මහත්මීහු මෙහි සෙසු සාමාජිකයෝ වෙති.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ මුදල් හා විගණන අංශයේ පිවිසුම් දොරටුව කඩා, එම ගොඩනැගිල්ලට ගිණිතැබිම සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී චෝදනාවට ලක්වූ, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයකුට රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මෙසේ වන්දි නියම වුයේ සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වන දොන් පීටර් නානයක්කාරටය.

ඔහු ඊට හානි කළ බව සොයා ගැනුණේ ඔහුගේ ඇඟිලි සලකුණු තුනක් එහි සටහන් වී තිබීමෙනි.

2013 ජුලී 31 වැනිදා එම ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් බවත් ගින්නට කලින් එම දොර කඩා ඇති බවට කොම්පඤ්ඤවීදියේ පොලීසියට පැමිණිලි ලැබී ඇති බවත් අධිකරණයේදී කියැවිණි.

පොලිස් විමර්ශන වලින් පසුව මෙම පුද්ගලයාට විරුද්ධව අධිකරණ කරුණු ගොනු කර තිබූ අතර ඒ අනුව ඊයේ (30) දින ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබිණ.

එම නඩුව කැඳවූ අවස්ථාවේ සතොස ගොඩනැගිල්ලේ හය වැනි මහලේ වීදුරු දොරකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති නිසා රුපියල් එකොළොස්දහස් දෙසිය පනහක් වන්දි ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහුට නියෝග කළේය.

මෙම ගින්නෙන් විනාශවී ඇති භාණ්ඩ අතර වංචා දූෂණ ලිපිගොනු සහ ඒ පිළීබඳ ඇති වෙනත් ලිපි ලේඛණ, සේවකයන්ගේ විනය ප්‍රශ්න සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණ හා එහි සාක්ෂි සටහන් සියල්ලද විනාශ වී ඇත.

මෙම ගින්න හේතුවෙන් අමාත්‍යංශය ලැබූ පාඩුව මිලියන ගණනක් බවත් පැවසේ.

දෙපාර්ශවයේම එකඟත්වයෙන් සිද්ධිය සමථකට පත් විය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රමිතීන්ට අනුකූල නොවු තෙල් තොගයක් ගොඩබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සිරිසේන අමරසේකර මහතා ප්‍රකාශ කළේ අබුඩාබි සිට ආනයනය කළ අදාළ තෙල් තොගය වෙනුවට වෙනත් තෙල් තොගයක් ලබාදීමට නියමිත බවයි.

මෙම තෙල් තොගය නැවත හරවා යාම හේතුවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් හිඟයක් මතු වීමේ අවදානමක් නොමැති බව ද සභාපතිවරයා සඳහන් වැඩිදුරටත් සඳහන් කළේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us