වහාම ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ජයන්ත ධර්මදාස මහතා මෙම ධුරයට පත් දෙවන අවස්ථාව මෙය බව ය.

මීට පෙර වර්ෂ 2012 සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවේ එන්. සිරිනිවාසන් මහතා ය.

සිරිනිවාසන් මහතා පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිණි.

අඛණ්ඩව වැසි ඇඳ හැළුණහොත් නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි පැය 24 තුළ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී.70-80පමණ දක්වා වැඩි වීමට ඉහළ හැකියාවක් පවතින බවයි.

දිවයිනේ බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්ථාන වලත්ද වැසි (මි.මි 100 පමණ)ද ඇති වියහැකිය.

එසේම මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහාපොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලසුළං වේගය විටින් විටපැ. කි. මී.80 පමණ දක්වා ඉහල යා හැකිය.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කරනු ලැබේ.

ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගමන් කළ මෝටර් රථය ඊයේ (30 දා) උදේ පයාගල බණ්‌ඩාරනායක විද්‍යාලය අසල ගාලු පාරේදී යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ මවක හා පුතකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් තුවාල ලැබුවේ හීනටියන්ගල ගාල්ල පදිංචි විඡේසිංහ ගමආරච්චිගේ විජිත් වික්‍රමතිලක (19) පුතා සහ චින්තා කනකරත්න (46) මව යන දෙදෙනායි. ජනාධිපති ප්‍රධානත්වයෙන් බේරුවල මොරගල්ල සිනමන් බේ සංචාරක හෝටලයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගිවීමට යමින් සිටියදී ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථය මෙසේ අනතුරට ලක්‌විය.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියේ ඇමැතිවරයාගේ නිල රථය ගැටී මෙම අනතුර සිදුවී ඇත. වම් පසින් ධාවනය කළ යුතු ඇමැතිවරයාගේ නිල රථය මාර්ග නීති කඩ කරමින් දකුණු පසින් ධාවනය කර ඇතැයි ද පොලිසිය පවසයි.

ඇමැතිවරයාගේ මෝටර් රථය සහ රියදුරු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමැතිවරු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රිවරු අද (30දා) පෙරවරුවේ බේරුවල සිනමන් සිටි හෝටලයට රැස්වෙති. ඒ ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ජාතික මට්ටමේ මැතිවරණ පිළිබඳ රජයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙනයෑම පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනකට සහභාගි වීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල සිය පක්ෂ සංවිධානය, ආසනබල මණ්ඩල දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩ සටහනක යෙදී සිටී.

මේ දිනවල ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේ එකිනෙකා විවේචනය කර ගනිමින් කෙරෙන ප්‍රකාශ හා අනියමින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් සියුම් ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන්ද මේ වැඩසටහනේදී ජනාධිපතිවරයා කරුණු දැක්වීමක් කරණු ඇතැයිද අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය හා තවත් පිරිසක් කොළඹ හෝටලයකට ‍රැස්වී ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් සකච්ඡා කිරීම ගැන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් අතින් විවේචනය වුයේ සිරිකොත මුලස්ථානය තිබියදී හෝටල්වලට ‍රැස්වී රහස් කතා පවත්වන බව කියමිනි.

වසර විසි හතරකට පෙර මඩකලපුව කුරුක්කල්මඩම් ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන, මුස්ලිම් ජාතිකයන්ට අයත් මිනීවලක් බවට හඳුනා ගෙන ඇති ස්ථානයක් යලි ගොඩ දැමීම සඳහා මීළඟ අඟහරුවාදාට කටයුතු යොදන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

එක්දහස් නවසීය අනූව වසරේ ජුනි මාසයේ මඩකලපුව කල්මුනේ මහා මාර්ගයේ රථවාහනවල ගමන් ගත්, කාත්තන්කුඩිය ඇතුළු අවට ප්‍රදේශවල පදිංචී මුස්ලිම් ජාතිකයන් එකසීය හැටපස් දෙනෙකු , කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර වෙරළ ප්‍රදේශයේ වල දමා ඇතැයි මුස්ලිම් ජාතිකයන් දිගින් දිගටම කළ චෝදනා අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.

 

ඉල්ලීමක්

ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ සිරුරු කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට උදව් කරන මේන් ඝාතනය කෙරුණු බව පැවසෙන මුස්ලිම් ජාතිකයන්ගේ ඥාතීන් කීහිප දෙනෙකු කලවන්චිකුඩි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මුස්ලිම් ජාතිකයන් ඝාතනය කර වල දමා ඇති බවට සැක කෙරෙන වෙරළ ප්‍රදේශයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් පිලිබඳ පරීක්ෂණ කොමිසම මඩකලපුව දිස්ත්‍රික්කයේ කරන ලද පරීක්ෂණ කටයුතුවලදී, ඝාතනය කෙරුණු බවට සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් මේ සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබේ.

එම මිනී වලවල් තුල ඇති ශරීර කොටස් ගොඩ ගෙන ඉස්ලාම් ආගමට අනුව අවසන් කටයුතු කිරීමට කොමිසම සහය දිය යුතු බවට ඝාතනය කළා යැයි සැක කෙරෙන පුද්ගලයන්ගේ ඥාතීන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දැක වූ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් එම ස්ථානයට ගොස් නිරීක්ෂණ කටයුතු කළ බවත් පැවසේ.

(බීබීසී සංදේශය)

ජාතිවාදය සහ ආගම්වාදය ඉස්මතු වන දේශපාලන පක්ෂ නාම ලියාපදිංචි නොකිරීම කෙරෙහි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ දැඩි අවධානය යොමුව තිබේ.

එවැනි පක්ෂ ලියාපදිංචියේ දී දේශපාලනඥයින් සහ පක්ෂ සාමාජිකයින් විසින් සිය පෞද්ගලික මතවාද ‍පොදු ජනතාව අතරට ගෙනයාමෙන් ඇතිවන අනවශ්‍ය ගැටුම් නතර කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

මේ වන විටත් පවතින එවැනි දේශපාලන පක්ෂ දෙකක නම් එම පක්ෂවල නියෝජිතයන්ගේ ද පූර්ණ එකඟාතව මත වෙනස් කළ බව දේශප්‍රිය මහතා ‘ පැවසීය.

ඒ අනුව අකිල ඉලංගෙයි මුස්ලිම් කොංග්‍රසය අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය ලෙස සංශෝධනය වී ඇති අතර එක්සත් මුස්ලිම් පෙරමුණ එක්සත් සාම පෙරමුණ ලෙස සංශෝධනය වී ඇති බව ද මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

මේ අතර අලුතෙන් පක්ෂ ලියාපදිංචියේ දී ජාතීන් සහ ආගම් අතර ගැටුම් ඇතිවීම කෙරෙහි බලපාන පක්ෂ නාම සඳහා ඉඩ ලබා නොදීමට පියවර ගන්නා බව ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

ඒ සඳහා එම පක්ෂවල නියෝජිතයින් ද එකඟකරවා ගැනීමට තමන් කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(srilankamirror)

යලිත් වරක් මෝටර් රථ ධාවන තරඟ මහනුවර නොපවත්වන බවට සංවිධායකයන් ප්‍රතිඥා දුන් බැවින් මේ සති අන්තයේ එම තරඟ පැවැත්වීමට අනුමැතිය පළ කළ බව අස්ගිරි මහ නාහිමියෝ පවසති.

එළැඹෙන සති අන්තයේ රාත්‍රී මෝටර් රථ තරඟ පැවැත්වීම පිණිස දැනටමත් විශාල මුදලක් වැය කොට ඇතැයි සංවිධායකයන් තමන්ට දැනුම් දුන් බව මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාමියෝ, එබැවින් මේ වතාවේ පමණක් එම තරඟ මහනුවර පැවැත්වීමට සිය අනුමැතිය පළ කළ බව සඳහන් කළහ.

අදාළ තරඟ පැවැත්වෙන්නේ දළදා මාලිගාව පවතින වීදියේ නොවන බවත් මහානායක හිමියන් සඳහන් කළ බව ලංකාදීප මාණ්ඩලික වාර්තාකරු ජේඒඑල් ජයසිංහ බීබීසී සංදේශයට පැවසූහ.

 

විරෝධය

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මහනුවර දළදා නගරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති රාත්‍රී මොටර් රථ සැණකෙළිය නතර කරන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කොට තිබුණි.

මෙවැනි සැණකෙළියක් පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව, මහානායක හිමිවරුන් විසින් සඳුදා ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කොට තිබිණ.

මේ අතර අඟහරුවාදා රැස් වූ මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය රාත්‍රී මෝටර් රථ තරඟවලට ප්‍රබල විරෝධය පළ කරමින් යෝජනාවක් සම්මත කොට ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අලුත්ගම හා දර්ගා නගරයේ ගැටුම් වලින් හානියට පත් ජනතාව හමු වෙති.

එම ප්‍රදේශවල පැවති ගැටුම් හේතුවෙන් හානියට පත් දේපළ හා එහි ප්‍රමාණය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

ගැටුම් වලින් දැඩි ලෙස හානියට පත් දර්ගා නගරයේ තත්වය විමසමින් එම ප්‍රදේශයේ විපතට පත් මුස්ලිම් වැසියන් හමුවූ මන්ත්‍රීවරයා, ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියට පැමිණ ඒ අවට ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමු විය.

පතිරාජගොඩ ශ්‍රී විවේකාරාම විහාරාධිපති හිමියන් ඇතුළු ගැටුම් වලින් හානියට පත් සිංහල පවුල් හමුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් තොරතුරු විමසා බැලිය.

පීඩාවට පත් ජනතාවට සහන ලබා දෙමින් ප්‍රදේශය යළි ගොඩ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ පිළිබඳ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත් වූ බවත් මෙම ගමනට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර බීබීසී සංදේශයට පැවසුවේය.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us