වරාය නගරය ඉදිකිරීම ගැන තීරණයක් ගෙන නෑ - රනිල්

Published in පුවත්
Friday, 06 February 2015 21:36

ඊයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා වරාය නගරය ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් විමසනු ලැබුවා එහිදී ඊට පිලිතුරු දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූවේ ඒ සම්බන්ධයෙන් වන ගැටළු පවතින බවත් ඒ පරික්ෂා කිරීමන් පසුව තීරණයක් ගන්නා බවත්ය.

එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.


ගරු අනුර දිසානායක මහතා
(மாண்புமிகு அநுர திஸாநாயக்க)
(The Hon. Anura Dissanayake)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මට ප්‍රශ්නයක් පැන නැඟී තිබෙනවා. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේ දී කැබිනට් ප්‍රකාශකතුමා විසින් ප්‍රකාශයට පත් කළා, Colombo Port City ව්‍යාපෘතිය කිසිදු විරෝධයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යන බව. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, නමුත් අපේ රටේ හෙක්ටෙයාර් 575ක් මුහුද ගොඩ කරන්න යනවා. මුහුද ගොඩ කිරීම පිළිබඳව නීතියක්වත් අපේ රටේ නැහැ. මෙයින් ඇති වන පරිසර හානි පිළිබඳව නිසි ඇගැයීමක් සිදු කරලාත් නැහැ. ඒ වාගේම මෙහි ඇති වී තිබෙන මූල්‍ය ගනු දෙනු පිළිබඳවත් විශාල ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමා විපක්ෂ නායකතුමා වශයෙන් මේ පැත්තේ සිටිනකොට මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල ආන්දෝලනයකට තුඩු දෙන ලිපි ලේඛන සහ කරුණු ඉදිරිපත් කර තිබුණා.


පසු ගිය මැතිවරණ ව්‍යාපාරය තුළත් මේ ව්‍යාපෘතිය පිළිබඳව විශාල චෝදනාවක් සහ විශාල ජනමතයක් ගොඩ නැඟිලා තිබුණා. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් ඒ වෙලාවේ මැතිවරණ වේදිකාවේදී මේ ව්‍යාපෘතිය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ විධියට ජනතාවට කරුණු කියලා ජනවරමක් අරගෙන, කැබිනට් ප්‍රකාශක ගරු රාජිත සේනාරත්න ඇමතිතුමා කිව්ව පරිදි ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ ව්‍යාපෘතිය කිසිදු සොයා බැලීමකින් තොරව ඉදිරියට ගෙන යන්න තීරණය කර තිබෙනවා. කිසිසේත්ම ඒ ආකාරයේ තීරණයක් ගත යුතු අවස්ථාවක නොවෙයි තිබෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එවැනි තීරණයක් ගැනීමට හේතු සාධක වුණේ මොකක්ද කියලා මේ ගරු පාර්ලිමේන්තුව දැන ගන්න කැමැතියි.


ගරු රනිල් වික්‍රමසිංහ මහතා
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க)
(The Hon. Ranil Wickremasinghe)

ගරු මන්ත්‍රීතුමා හදිසියේ මේ ප්‍රශ්නය යොමු කළේ. ඇත්ත වශයෙන්ම Port City ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තිබුණා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒකට අදාළ ලිපි ගොනු සියල්ලම මම ඉල්ලුවා. ඒ ලිපිගොනු පරීක්ෂා කර බැලුවාම වුවමනා කරන වාර්තා සියල්ලම නැහැ. පරිසර වාර්තා‍වත් අඩුවක් තිබුණා. ඒ නිසා මේ ගැන සොයා බලන්න අපි වෙනම කොමිටියක් පත් කර තිබෙනවා. ඊට අමතරව ඒ වාර්තා ලබා ගත්තාට පස්සේ තීරණ ගන්න, මගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කාරක සභාවකුත් පත් කර තිබෙනවා. පරිසර සංවිධාන ගණනාවක් යෝජනා කර තිබුණා, මේ වරාය නගරය ඉදි කිරීම - Port City ව්‍යාපෘතිය - සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. අපි එහෙම අහෝසි කළේ නැහැ.

ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් තිබෙනවා. ඒ කොමිටියේ වාර්තාව ලැබිලා අපේ අනු කාරක සභාවේ තීරණයක් ගන්නා තෙක්, ඒ ගැසට් නිවේදනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වාර්තාව දිහා බලලා තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අපි තීරණයක් ගන්නේ.

අපි මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියන ස්ථාවරයේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවට ගැසට් පත්‍රය ඉදිරිපත් කිරීම ගැන සම්පූර්ණ වාර්තාව ලැබුණාම අපි තීරණය කරන්නම්. වුවමනා නම් ඉදිරියේදී අලුත් ගැසට් පත්‍රයක් හෝ ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතැන කාරණා දෙකක් ති‍බෙනවා. එක කාරණයක් තමයි මේක විශාල ව්‍යාපෘතියක් වීම. චීන රජයේ අනුග්‍රහය ලැබුණු එකක්. ඒ නිසා ඉල්ලීම පරිදි නිකම් ඒ ව්‍යාපෘති නවත්වන්න බැහැ. අනෙක් අතට ඒ වාගේම වැදගත් දෙයක් තමයි, මේ රටේ පරිසරය ආරක්ෂා වෙන්න ඕනෑ කියන එක. පරිසරයට හානියක් වෙන්න බැහැ.

ඒ වාගේම නීති රෙගුලාසි අනුව ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ වාර්තාව ලැබුණාම අපි කැබිනට් අනු කාරක සභාවෙන් බලලා කැබිනට් මණ්ඩලය මඟින් අන්තිම තීරණයක් ගන්නවා. එහෙත් ඒක සම්පූර්ණයෙන්ම ඉරා දමන්න කියන ස්ථාවරයේ අපි හිටියේ නැහැ. අපි තවම මේ ගැන පරීක්ෂා කර ගෙන යනවා. එතුමා කිව්වා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉරා දැම්මේ නැහැයි කියලා. ඒක හරි. ඒ කොමිටියේ වාර්තාව ලැබුණාම අපි මේ ගැන විශේෂයෙන් සොයලා බලලා තීරණ ගන්නම්. අපි ඒ තීරණය ගැන මේ සභාවටත් දැනුම් දෙනවා.

අද මට චීන ජනරජයේ විශේෂ නියෝජිතතුමා හමු වුණා. මම එතුමාට කිව්වා, අපට තවම සම්පූර්ණ වාර්තාව ලැබිලා නැහැ, ඒ වාර්තාව ලැබෙන්න සුමාන දෙකක් යනවා, ඒකේ කොපියක් චීන තානාපතිතුමාටත් ලබා දීලා ඊට පස්සේ එහි තිබෙන කරුණු අපි සාකච්ඡා කරමු කියලා. ඒවා ලැබුණාට පස්සේ ඒ ගැන සම්පූර්ණයෙන්ම දැනුවත් කරන්නම්.

--

Last modified on Friday, 06 February 2015 22:46

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us