රටේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. -ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර Featured

Wednesday, 21 July 2021 11:04

වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දීර්ඝ කාලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඒ නිසාම නිල බලයෙන් ඔහු දිගු කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. එසේම භාණ්ඩාගාරයට නිලධාරියකු ලෙස පැමිණීමට පෙර ඔහු සේවය කළේ මහ බැංකුවේය.

මෙලෙස ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මේ රටේ සමස්ත ආර්ථික කළමනාකරණයේ පුළුල් භූමිකාවක් නියෝජනය කළ ප‍්‍රමුඛතම විද්වතෙකි. එසේම වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස සිටියදී මුදල් ලේකම් ධුරයට අමතරව එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කලක් කටයුතු කළේ ද ආචාර්ය ජයසුන්දර මහතාය. මේ පසුබිම තුළ ආචාර්ය ජයසුන්දර මහතා වර්තමානයේ ජනාධිපති ලේකම්වරයා වුවත් බොහෝ දෙනකුගේ පිළිගැනීම වන්නේ ඔහු වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සැලකිය යුතු මඟපෙන්වීමක් මේ රජයට ද කරමින් සිටින බවයි. මේ නිසා රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය පිළිබ`ද ඔහු දක්වන අදහස් ද ඉතා වැදගත්ය. ඒවා හුදෙක් අදහස්ම නොව මේ රටේ ක‍්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙල පිළිබ`ද කිසියම් දැක්මක් ද විය හැකිය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් අප ඇසූ ප‍්‍රශ්නවලට ඒ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - මේ වන විට කොරෝනා වසංගතය සමග අපි වසර එකහමාරක් පමණ ගත කරලා තියෙනවා. මේ අනුව දැන් අපේ ආර්ථිකය තියෙන්නේ කවර තැනක ද ?

පිළිතුර - මේකත් හරි ගැඹුරු ප‍්‍රශ්නයක්. දැන් ඇත්තටම කියනවනම් කොරෝනා නිසා මුළු ලෝකයේම ආර්ථිකය පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ඉන්දියාව සියයට 8 ක් පස්සට ගියා. එම රටවල් අප සැලකුවේ ආසියාවේ ආර්ථික බලවතුන් හැටියට. ඒ පසුබැසීම තුළ අපත් පසුබැහැල තියෙනවා. හැබැයි මම මෙය දකින්නේ වෙනස් විදියකට. මේ පසුබැසීම මේ කොරෝනා නිසාම වූ එකක් නෙවෙයි. කොරෝනා එකෙන් පසුබැහැල තියෙනවනම් පසුබැහැල තියෙන්නේ බොහොම පොඞ්ඩයි. මේ පසුබෑම කාලාන්තරයක් තිස්සේ අපේ රටේ වූ දෙයක්. එකක් ප‍්‍රතිපත්ති ඉතා නොසැලකිලිමත් ලෙස වෙනස් කිරීම නිසා ඇති වූ දේවල්. දැන් උදාහරණයක් ලෙස කවුරු මොනවා කිව්වත් මැතිණියගේ ආණ්ඩුව විසින් කරගෙන ගිය ප‍්‍රතිපත්තිවලටත් එහා ගිය ගමනක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තුළ සිදු වුණා. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න, යටිතල පහසුකම් ඇති කරන්න, මාර්ග විදුලිය පුළුල් කරන්න යනාදිය නිසා ලොකු පිබිදීමක් ඇති වුණා. ඒ පිබිදීම වර්ණවත් වුණා යුද්ධය අවසන් වීම නිසා. යුද්ධයෙන් පසුව අපේ රට සියයට 8 ක, 9 ක වගේ ආර්ථික වර්ධනයකට ඇවිත් තිබුණේ. ඒ වර්ධන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම 2015 දී රජය වෙනස් වීමත් සමග වෙනස් වුණා.
රජය වෙනස් වීමත් ප‍්‍රශ්නයක් නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්වල එහෙම රජයන් වෙනස් වෙන්න ඕන. උදහරණයක් ලෙස ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිතුමා ගියා කියල, අලූත් ජනාධිපති කෙනෙක් ආව කියල චීනය සම්බන්ධයෙන් ඒ රජය දරන ප‍්‍රතිපත්තිය, එහෙම නැත්නම් ඇමෙරිකන් ආර්ථිකය සම්බන්ධයෙන් වන ප‍්‍රතිපත්තිය ගතහොත් විශාල වෙනස්කම් නැහැ. වැරදි සිදුව ඇත්නම් ඒවා නිවැරදි කරගැනීම හැර ඇමෙරිකන් ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද සහ ඒ පුරවැසියාව කොහොමද මේ කොරෝනාවෙන් ගලව ගන්නේ කියන එක මත තමයි අලූත් ජනාධිපතිවරයා යන්නේ. හැබැයි අපේ රටේ අවාසනාවකට ඒ ගෙන ගිය දළ වශයෙන් වසර 20 ක පමණ වැඩපිළිවෙල වෙනස් වුණා.
එසේම යුද්ධයෙන් පසුව වාසිසහගත ලෝක තත්ත්වයක් ඇති වෙලා තිබුණ. තෙල් බැරලය ඩොලර් 40 ටත් වඩා අඩු වුණා. මහින්ද ජනාධිපතිතුමාට වැඩිය පසුව පත් වූ රජයට විදේශ සබ`දතා තිබුණ. ඊට පසුව රටක් ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපේ රටේ රජයන් මාරුවෙනවා කියන දේශපාලන පිළිගැනීම රටට වැදගත් වෙලා තිබුණ. මහින්ද ජනාධිපතිතුමා මැතිවරණයෙන් පසු පැය ගණනක්වත් ඉන්නේ නැතුව ගියාම, මමත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යනකොට මට ආසියානු සංවර්ධන බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂතුමා ඊමේල් එකක් එවල කිව්වා එයාට විශ්වාස කරන්න බෑ අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවේ පරිණත බව ගැන කියල. එහෙමයි කිව්වේ.

එසේම එම රජයේ ප‍්‍රතිපත්තිය තුළ යටිතල පහසුකම් ඉදිකිරීම සම්පූර්ණයෙන් නතර වුණා. ඒ නතර වීම කොපමණ භයානක ද කියනවනම් 2014 පසුව අද වෙනකම් පොඩි පොඩි ව්‍යාපෘතියක් දෙකක් හැර විදුලි පද්ධතියට එකම විදුලි බලාගාරයක් ඇවිත් නැහැ. මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය ඉදිරියට ගිහින් නැහැ. වරාය නාගරික සංවර්ධනය පැත්තෙන් සංවර්ධනයක් වෙලා නැහැ. මේ යටිතල පහසුකම් සංවර්ධනය නොවීම එක පැත්තකින් වෙන ගමන් විශාල වශයෙන් සංකීර්ණ බදු, ඉහළ පොළී වගේ දේවල් සමග සම්ප‍්‍රදායික ආර්ථික ප‍්‍රතිපත්තියකට නොදැනුවත්වම හෝ ඒකෙ තියෙන වාසි අවාසි නොසලකා ක‍්‍රියාත්මක කිරීම උඩ සියයට 5 කින් වර්ධනය වූ ආර්ථිකය 2019 වෙනකොට 2.3 ට අඩු වෙලා තිබුණේ. 2.3 කියන්නේ වර්ධනයක් නෙවෙයි. මේ වර්ධනය අද දියුණු රටකටත් මදි. දියුණු රටක වුණත් ආර්ථික වර්ධනය සියයට 3ක් 4ක් ගන්නවා. මොකද තාක්ෂණය සහ ඵලදායිතාව මගින් ඉහළට යන්න අවශ්‍ය නිසා. මේ නිසා සියයට 2.3 කට දියුණු වෙන රටක් ආව කියන එක ඉතා දුර්වලයි. ඒක පුද්ගල ආදායමත් ඩොලර් 4000 පමණ මට්ටමේ අවුරුදු පහක් පමණ තිබුණා.

ප‍්‍රශ්නය - ඔබ කියන්නේ මේ තත්ත්වය කොරෝනාවලට මුහුණ දීමට වඩාත් අපහසු තත්ත්වයක් ඇති කළ බව ද ?

පිළිතුර - ඇත්තටම අර වර්ධනය තිබුණ නම් ඔන්න කොරෝනා එකේ බලපෑම තියාගන්න තිබුණ. හේතුව සංචාරක කර්මාන්තය වුණත් පාස්කු ප‍්‍රහාරය නිසා ප‍්‍රථම වරට වසර දහයකට පසුව තේරුම් ගත්ත ජාතික ආරක්ෂාවක් එක්ක වැළ`දගෙන තියෙන කර්මාන්තයක් කියන එක. යුද්ධය තියෙන කොට මේක තේරුම් ගත්තේ නැහැ. ජාතික ආරක්ෂාව ස`දහා කරන වියදම ජාතික ආයෝජනයක් කියල. ඒත් පාස්කු සිද්ධියෙදි ඒක තේරුණා. 2018 දී ඩොලර් බිලියන 4.3 ක් පමණ සංචාරක කර්මාන්තයෙන් ලැබුණ. සැලසුම් කරලා තිබුණේ ඩොලර් බිලියන දහයකට යන්න. අපේ රටේ සංචාරක ආකර්ෂණය සහ සංචාරක ආයෝජන ඇතුළු සියල්ල ගත්තම ඒ රජය යටතේ පමණක් නෙවෙයි ඕනෑම රජයක් යටතේ අපේ සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 10 කට යන්න තිබුණ. ඒ සංචාරක කර්මාන්තය බින්දුවට ආවේ කොරෝනා නිසාම නෙවෙයි පාස්කු නිසා. කොරෝනා එකෙන් ඩබල් හිට් වෙලා තියෙන්නේ.
ඒ නිසා මම දකින්නේ කොරෝනා නෙවෙයි කාලාන්තරයක් තිස්සේ අධ්‍යාපන ක‍්‍රමයේ, සෞඛ්‍ය අංශයේ, රාජ්‍ය අංශයේ, රාජ්‍ය ව්‍යාපාරවල සහ ජාතික නිෂ්පාදන ක‍්‍රියාවලියේ මෙන්ම ආනයන අපනයන ව්‍යුහයේ වෙනස්කම් නොකර ප‍්‍රශ්න කල් දැමීම නිසා මේවායේ සමස්ත ප‍්‍රතිඵලය තමයි දැන් මේ පෙන්නේ. මේක කවුරුත් වෙන් කරලා පෙන්වන්නේ නෑනෙ. ඒ නිසා ගිය වසරේ 3.6 ක ඍණ වර්ධනයක් කියනකොට මට නම් ඒක ලොකු ප‍්‍රශ්නයක් නෙවෙයි. ඊටත් වැඩිය ආර්ථික පසුබැසීමක් ඇති වෙන්න තිබුණ ආර්ථිකය වර්ධනය වෙලා තිබුණ නම්. ඍණ වුණේ සියයට 2.3 ක වර්ධනය. ඒ නිසා මම දකින්නේ කාලාන්තරයක් තිස්සේ ඇති වූ පසුබෑම කොරෝනා නිසා තවත් දුෂ්කර වූ බවයි.

ප‍්‍රශ්නය - මේ දිනවල රටේ බලවත් විදේශ විනිමය හිඟයක් පවතින බව සාකච්ඡුා වෙනවා. මේ ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොම ද?

පිළිතුර - රටේ විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. එහෙම නැහැ කියන එක ප‍්‍රශ්නයට මුහුණ දීමක් නෙවෙයි. 2019 වෙනකොට මහ බැංකුවේ වාර්තා අනුව අපේ රටේ අපනයනය ඩොලර් බිලියන 11 ක් පමණ වුණා. හැබැයි අපි ආනයනය කරනවා ඩොලර් බිලියන 22 ක් පමණ. මේ නිසා වසරකට වෙළෙ`ද හිඟය ඩොලර් බිලියන 10ක්, 11 ක්. මේක තමයි මේ අර්බුදයේ ඇත්ත තැන. මේ අපි අපේ රටේ අපනයනය වගේ දෙගුණයක් ආනයනය කිරීමේ ප‍්‍රතිවිපාකයයි. ඒත් කමක් නැහැ ඒ හා සමාන සේවා අංශවල ඉපැයීමක් ලැබෙනව නම්. සේවා අංශ දෙකයි තියෙන්නේ. එකක් අපේ විදේශ ශ‍්‍රමිකයන්. ඒකෙන් සාමාන්‍යයෙන් ලැබුණා ඩොලර් බිලියන හතක්. අර ඩොලර් බිලියන 10 ක වෙළෙ`ද හිඟයෙන් එය අඩු වුණාම තව ඩොලර් බිලියන තුනක් තියෙනවා.
සංචාරක කර්මාන්තය බිංදුවයි. වෙන විදේශ විනිමය උපයන ආදායම් මාර්ග නැත්නම් එතනම ඩොලර් බිලියන තුනක විතර හිඟයක් තියෙනවා. ඒ හිඟය එහෙම තියෙන ගමන් ණයවලටත් ගෙවන්න ඕන. ඉන් බැ`දුම්කර කල්පිරෙන වෙලාවට ගෙවන්න ඕන. දැන් මේ මාසේ ගෙවන්න තියෙනවා ඩොලර් බිලියනයක්. එතකොට අපේ රට යුද්ධයේදිවත්, සුනාමියේදිවත්, මේ අවස්ථාවේදිවත් ණය ගෙවීම පැහැර හැරපු රටක් නෙවෙයි. ඒක එක ශක්තියක් රටේ. ඒ කියන්නේ කුමන දුෂ්කරතාවකදී වුණත් ණය ගෙව්වා.
එතකොට අර ගෙවුම් ශේෂයේ ඩොලර් බිලියන තුනක ප‍්‍රමාණය ණයත් ගෙවල රැකගන්න නම් අපට තිබෙන එකම විකල්පය ආනයනය සීමා කිරීම. ඒ ආනයන සීමා කිරීමේ සමහර ඒවා අපේ ප‍්‍රතිපත්ති එක්ක ගැළපෙනවා. පොසිල ඉන්ධන ගෙන්වීම සහ වාහන වගේ දේවල්. ඉතුරු ආනයන අපට සීමා කරන්න බැහැ. උදාහරණයක් ලෙස දුරකථන ගත්තොත් අපි තාක්ෂණ හෝ ඩිජිටල් ආර්ථිකයකට යනගමන් දුරකථන ගෙන්වන්නෙ නැතුව ඉන්න බැහැ. ඒවා ඕන. අපි සංචාරක ආර්ථිකයක් හදන්න යනවා නම් සංචාරකයන්ට අවශ්‍ය භාණ්ඩ වෙළෙ`දපොළක් රටේ තියෙන්න ඕන. ඒ වගේම අපනයනය කරන ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්න දෙන්නත් ඕන. ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය ප‍්‍රාග්ධන භාණ්ඩ ගේන්න ඕන. කෘෂිකර්ම අංශය ගොඩන`ගනව නම් ඒ අංශයේ තාක්ෂණයට ඉඩ දෙන්න ඕන. එතකොට අපි අපනයන කරන රටවලට කිව්වොත් ඔයගොල්ලො අපෙන් ආනයනය කරන්න. අපි ඔබෙන් ආනයනය කරන්නේ නැහැ කියල. එහෙම කරන්න බැහැ. ලෝක ආර්ථිකය තියෙන්නේ රටවල නිෂ්පාදන හා සේවාවන් හුවමාරු කරගන්න. ඒ නිසා කිසියම් විදියකට විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. මේ නිසා අපි විදේශ විනිමය ලබා දීමට සැලසුම් කරලා තියෙන්නේ ප‍්‍රමුඛතා අනුවයි.

මේ වර්ෂයේ ආර්ථිකය අපට විවෘත කරගන්න පුළුවන් නම්, රටේ ජනගහනයේ ප‍්‍රතිශක්තිය ඇති කරගන්න පුළුවන් නම් මේ කොරෝනාවත් එක්ක ජීවත්වෙන පරිසරයක් හදාගන්න රටේ සෞඛ්‍ය සේවාවට පුළුවන් නම්, පාසල් විවෘත කරන්න පුළුවන් නම්, නිෂ්පාදන අංශ සහ සංචාරක කර්මාන්තය පණ ගන්වා ගන්න පුළුවන් නම් ඒ කාලය වෙන තෙක් ඇතිවෙන දුෂ්කරතාවන් මේ තියෙන්නේ. මම දකිනවා රටේ ව්‍යාපාරිකයන්, රටේ බැංකු මේ කතාව රටට කියන්න ඕන. මේක රජයේ කටයුත්තක් නෙවෙයි.
මහ බැංකුව වුණත් මම මෙතන දකිනවා නායකත්වය දෙනවා මදි. මහ බැංකුවට පුළුවන් වෙන්න ඕනෑ රටේ විදේශ විනිමය කළමනාකරණය කිරීමට නවීන ක‍්‍රමවලට අපේ බැංකු ක‍්‍රමය යොමු කරන්න. උදාහරණයක් ලෙස අපි ප‍්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක් ගත්තා රටට විදේශ විනිමය එවනවනම් විශේෂයෙන් මැදපෙරදිග රටවල්වලින් ඒ හැම ඩොලරයටම රු. 2 ක් වැඩියෙන් දෙන්න. ඒක ආකර්ෂණයක්. අපිට රුපියල් දෙන එක නෙවෙයි ප‍්‍රශ්නය. විදේශ විනිමය අද්දවා ගැනීමට බැංකු විදේශ ගනුදෙනු කරන විට මේ රටේ දැන් ඇති ආර්ථික තත්ත්වය උඩ බැංකුවලට මීට වැඩිය කටයුතු කරන්න පුළුවන්. මොකද අපිට විතරක් නෙවෙයි මේ ප‍්‍රශ්නය. පිට රටවල්වලින් මීට වැඩිය විදේශ මුදල් සොයා ගැනීමේ ක‍්‍රියාවලීන්වලට එහෙම බැංකු සකස් වෙන්න ඕන.

 

 


සංවාදය - ශ්‍යාම් නුවන් ගනේවත්ත මනෝජ් අබයදීර

දිවයින

Leave a comment

Gossip

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

මාධ්‍යවේදියා පැහැරගෙන යෑම - රාජිතගේ කිඹුලා පාර්ට් 2 ද?

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළි...

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

විමල්ගේ විඩියෝ ලීක්කළා යැයි පෞද්ගලික ලේකම්ව පන්නලා.

ඇමැති විමල් වීරවංශ වෙනම දේශපාලන ගමනක් සඳහා ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණයක් දියත්කර...

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

ගුවන් ගත වූ ගුවන් යානයක් බළලලෙකු නිසා නැවත ගොඩබිමට !

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩා...

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංක...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us