අයිතීන් ගැන,වගවීම් ගැන,සමාජ සාධාරණය ගැන සැමට එක නීතියක් ගැන අතීතයේද වර්තමානයේද විවිධ කතිකාවත් සමාජයේ නිරන්තරයෙන් ඇසුනද එය වතුකරයේ ලයිම් ගම්මාන වල ජීවත්වෙන අහිංසක දමිළ ගැමියන්ට එදත් අදත් අවැසි මාතෘකා වී ඇත. වතුකරයේ ජනතාව යනු බොහෝවිට දරිද්‍රතාවයෙන් පෙළෙන අඩු අධ්‍යාපනයක් සහිත සාක්ෂරතාවය අඩුම ජන කොටසක් වන අතර කුඩා වයසේදීම ඔවුන්ගේ ජිවිත ගෙවෙන්නේ ආර්ථික අරගලයත් සමග පොර බදිමිනි. ඒ නිසාම මේ මොහොතවන විට සොයාගෙන ඇති පරිදි වතු ගම්මාන වල ජිවත්වන බාලවයස්කාර දරුවන් බහුතරයක් මෙහෙකාර සේවය සදහා තැරවූකරුවන් විසින් කොන්ක්‍රීට් වනාන්තරයට විකිනෙමින් ඇත.
අපට නැවත නැවතත් මෙවන් මාතෘකාවක් පිළිබදව කතා කිරීමට සිදුව ඇත්තේ ඩයගමින් ඇසුණු ඉෂාලිනිගේ ඛේදවාචකයත් සමගය. ඉෂාලිනි යනු වතුකරයේන් ඇසුණු ආරම්භක කතාව නොවන අතර එය අවසාන කතාව වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඉෂාලිනිගේ කතාව අනෙක් දරුවන්ගේ කතාවන්ට වඩා විශේෂිත වන්නේ මහජනයාගේ ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහජන නියෝජිතයෙක් වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ නිවස තුළදී ඉෂාලිනිට මෙවන් ඛේදනීය ඉරණමක් අත්විමයි.
ඉෂාලිනි විසින් තම සිරුරට ගිනිතබා ගත්තද ? නොඑසේනම් ඇයට ගිනි තැබුවා දැයි තවමත් නොවිසිදුන ගැටලුවකි. යම් හෙයකින් ඇය ගිනි තබා ගත්තයැයි තහවුරු වුවත් එය එතැනින් අහවර කළ නොහැකිය. මන්ද යම් පුද්ගලයෙකු විසින් සිය දිවි හානි කරගැනීම සදහා විවිධ උපක්‍රම භාවිතා කළද තම ශරීරයට ගිනි අවුළුවා මිය යන්නට අවශ්‍ය යැයි සිතුවිල්ලක් ඇති වීමට ඔහු හෝ ඇය අධික කායික, මානසික පිඩනයකින් පසු වූ අයෙක් විය යුතුය. අනෙක් අතට ඉෂාලිනිවන් බාලවයස්කාර දරුවකු එවන් අතිශය දරුණු තීරණයක් ගැනීමම ගැටලු සහගතය.
කෙසේ හෝ ඇය බදුර්දින්ගේ නිවාස තුළදී තාඩන පීඩන වලට ලක් වූවා යැයි දරුවා වරෙක ප්‍රකාශ කළ බව ඉෂාලානිගේ මව විසින් මාධ්‍යට පවසා තිබේ. එසේම එහි තවත් බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ සිටින බවත් ,මිය ගිය ඉෂාලිනි ඇතුළු ඇතැම් දරුවන් මේ වන විටත් අපයෝජනයන්ට ලක් වී ඇති බවත් විමර්ශන වලින් තහවුරු වී තිබේ. එමෙන්ම බදුර්දින්ගේ නිවස මෙහෙකාර සේවයට සිටින දරුවන්ගේ මුලික අයිතීන් පවා උල්ලංඝණය කරමින් එම දරුවන්ට තම දෙමවුපියන් සමග දුරකතනයෙන් හෝ ගණුගෙනු කිරීමට , දෙමාපියන්ට තම දරුවන් මුණ ගැසීමට ඇති අයිතියට පවා ඉඩකඩ අහුරා ඇති බව පෙනී යයි.
මේ සියල්ලටම වැඩියෙන් වඩාත් සැක සහිත තොරතුර වනුයේ තව දුරටත් දරුවාට නිවසේ සේවය කිරීමට නොහැකි බව තම දෙමාපියන්ට දැන් වූ පසු ඔවුන් විසින් ඇයව රැගෙන යාමට දිනයක් නියම කරගෙන තිබියදී එම දිනට දින තුනකට පෙර ඇය මෙලෙස ගිනි තබා ගත්තා යැයි නිවැසියන් ප්‍රකාශ කර සිටීමය. එය එසේ සිදු වුයේ හිටපු අමාත්‍ය බදියුදීන්ගේ නිවස තුළ සිදු වූ සියලු රහස් එළියට යාම වළක්වාලීමට ඉෂානිව නිහඩ කළා දැයි අප දන්නේ ද නැත.
සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමුවනදා ලෝක ළමා දිනය සෑම රටකම සමරයි. එම දිනයට සමගාමිව විවිධ වැඩසටහන් ශ්‍රීලංකාව තුළත් ක්‍රියාත්මකයි. එහෙත් මේ ලංකාව තුළම දිනකට ළමා අපචාර 2ක් ගැනවත් පැමිණිලි ලැබෙන බව ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව ගණනය කර ඇත. එසේනම් අප රටක් ලෙස සමරන්නේ කුමන ළමා දිනයක්දැයි අප අපෙන්ම ප්‍රශ්න කළ යුතුව ඇත.
ළමා මෙහෙකාර සේවය දඩුවම් ලැබිය හැකි වරදක්ව තිබියදී දරුවන්ගේ ශ්‍රමය සුරාකමින් කායිකව විවිධ අපයෝජනයන්ට ලක් වෙමින් අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගන්නට සිදු වූ ඉෂාලිනිලා වන් දරුවන් තවත් බිහි නොවෙතැයි කිව නොහැක. එහෙත් ඉෂාලිනිට සිදු වූ සෝචනීය ඉරණමත්, ඒ අම්මාගේ කඳුළු මතින් නැගෙන වතුකරයේ පිඩිත ජනයා මුහුණ දෙන පීඩනයට, අසාධාරණයට, අයුක්තියට උත්තරයක් අපට තිබිය යුතුය. එය හෙට දවසේ නොව අදම ඉටුවිය යුත්තකි. ඉෂාලිනීගේ මරණය වතුකර ජනතාවගේ ඛේදජනක ඉරණම වෙනස් කළයුතු බව අද සමස්ත ජනතාවට ඇඟිල්ලෙන් ඇණ කරන ඉල්ලීම වී තිබේ. අප වත්මන් රජයෙන් එය අපේක්ෂා කරමු. මන්ද නියමිත වේලාවට නිවැරදිම තීරණ ගන්නා ජනපති ඇතුළු වත්මන් පාලනයට එය සිදුකළ හැකි බවට විශ්වාසයක් අප සතුව ඇති නිසාය.
-පංචාලි