පුරුෂ දෘෂ්ටියෙන් විග්‍රහ වන ස්ත්‍රීත්වය බහුලව නිරූපිතයි
ටෙනිසන් පෙරේරා
ලංකාවේ ස්ත්‍රිය පිළිබඳව ලියවෙන නවකතා තිබෙනවා. ස්ත්‍රිය තමයි හුඟක් නවකතාවල කතා නායිකාව හැටියට ඉන්නේ. ඒ පැමිණීම අපිට කියන්න බැහැ ස්ත්‍රීවාදී සාහිත්‍යයක් මේ කතා ඔස්සේ ගොඩනැඟෙනවා කියලා. මොකද ලංකාවේ සාහිත්‍ය තුළ ගොඩනැඟෙන ඒ ස්ත්‍රිය පුරුෂයන් විසින් හසුරුවන, සකසන ස්ත්‍රියක් බවයි දක්නට ලැබෙන්නේ. පුරුෂයන්ගේ ආකල්පවලට අනුව සැකසෙන ඒ ස්ත්‍රිය තමයි හුඟාක් සාහිත්‍යාංගවල චරිත බවට පත්ව තිබෙන්නේ. මම කියන්නේ මේ අනුව ස්ත්‍රියගේ සැබෑ යථාර්ථය, ආධ්‍යාත්මික ලක්ෂණ සහිත කෘතියක් වෙනම් එවැනි කෘති දුර්ලභයි. ඒ වගේම එවැනි සාහිත්‍ය නිර්මාණ කෘති ඉතාම අවම වශයෙන් තමයි අපිට දක්නට ලැබෙන්නේ.
පුරුෂවාදී ලක්ෂණවලින් යුතු ස්ත්‍රීවාදී සාහිත්‍යයක් තමයි වැඩිපුරම අපිට සාහිත්‍ය තුළ හමුවන්නේ. ලංකාවේ මේ බව පැහැදිලිව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ස්ත්‍රීන් අතින් ලියැවෙන යම් යම් සාහිත්‍යාංග ඔස්සේ වුවද හුඟාක් දුරට අපිට දක්නට ලැබෙන්නේ මා පෙර පැවසු පුරුෂ සංකල්ප බවයි මගේ හැඟීම. සමාජය තුළ සිටින ස්ත්‍රිය සැබෑවටම බැලුවොත් පුරුෂයා විසින්ම නිර්මිත ස්ත්‍රියක් බව පෙනෙන්නට තිබෙන කරුණක්. මේ නිසා ස්ත්‍රියගේ ජීවන යථාර්ථයන් ප්‍රතිනිර්මාණය වීම සාහිත්‍යය තුළ ඉතාම අල්පයි. මේ නිසා ස්තa්‍රීවාදී සාහිත්‍යයක් ලංකාවේ සාහිත්‍ය කලාව තුළ තිබෙන බව නිශ්චිතවම කිව නොහැකියි.
ස්ත්‍රියගේ විමුක්තිය, නිදහස වෙනුවෙන් හුඟක් සාහිත්‍ය කෘතිවල කතාබහට ලක්කර තිබුණත් සැබෑ ස්ත්‍රී සාහිත්‍යයක් ඒ ඔස්සේ ගොඩනැඟී තිබෙනවා යැයි කීම අපහසු කරුණක්. පෙරදිග ස්ත්‍රීවාදය කියන දෙයයි බටහිර ස්ත්‍රිවාදය කියන දෙයයි අර්ථ දෙකක් යටතේ තිබෙන බවයි කිව හැක්කේ. බටහිර නිර්මිත ස්ත්‍රී සාහිත්‍යය කියන දේ වෙනමම සංකල්පයක්. වෙනමම සාහිත්‍ය මතවාදයක් ලෙස පවතින දෙයක්. ඉන්දියාව, ලංකාව වගේ දකුණු ආසියානු රටවල්වල බහුතර සාහිත්‍යාංගවල දක්නට ලැබෙන්නේ පුරුෂයා විසින්ම මවපු ස්ත්‍රියක්. ප්‍රබන්ධයක් ගත් විට ස්ත්‍රියට තිබෙන දෙබස්වල තියෙන්නේ පුරුෂයාගේ අදහස්, පුරුෂාර්ථ ඇතුළු දෙබස්, සැබෑ ස්ත්‍රියගේ සිතුවිලි, යථාර්ථය නෙමෙයි එළියට එන්නේ. එයට හේතු තිබෙනවා. ලංකාව වගේ රටවල තිබෙන සංස්කෘතික දාමයේ ස්ත්‍රියට ගැලවී යාමට බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. සාහිත්‍යයේ නිරූපණය වන ස්ත්‍රිය ද එසේමයි. බටහිර සාහිත්‍යයේ එහෙම නැහැ.
ස්ත්‍රීවාදය බිහි වුණේ ස්ත්‍රිය පීඩාවට පත්කළ රටවලින්
මොහාන් රාජ් මඩවල
මෙහිදී මේ පිළිබඳ මගේ අර්ථකථනය වෙනස්. දැන් ලංකාවේ ස්ත්‍රීවාදී සාහිත්‍යය ගැන කතා කරන්නට පෙර ලෝකයේ ස්ත්‍රීවාදී සාහිත්‍යයක් ඇති වී තිබෙනවා. ලේඛිකාවන් පිරිමින්ට වඩා ස්ත්‍රීන් ගැන ප්‍රබල ලෙස ලියා තිබෙනවා. එය එසේ වීමට යම් හේතුවක් තිබෙනවා. එසේ වීමට හේතුව තමයි විශේෂයෙන්ම ආසියාවේ තමයි ඔය අපි කතා කරන ස්ත්‍රිය ගැන ලියන ප්‍රබල ලේඛිකාවන් බිහි වෙන්නේ. එයට හේතුව තමයි ඉන්දියාවේ, බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ, මේ වගේ රටවල්වල ඉන්න ස්ත්‍රිය පවතින සමාජයෙන් විඳින පීඩාව. අතිශය පුරුෂාධිපත්‍යයෙන් බැට කන ගැහැනියක් තමයි මේ ආසියාතික රටවල ඉන්නේ. ශ්‍රී ලංකාවේත් එය එතරම්ම දරුණු ලෙස නැතත් යම් තරමකට තිබෙනවා. ඊටත් වඩා ශ්‍රී ලංකාවේ නොපවතින තත්ත්වයක් එම රටවල තිබෙනවා ය කියා කියන්න පුළුවන්.
දැන් බලන්න ඉන්දියාවේ, බංගලාදේශයේ, පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ වගේ රටවල තිබෙනවා ආගමික මූලධර්මවාදයක්. එතකොට මේ ආගමික මූලධර්මවාදීන්ට ස්ත්‍රිත්වය කියන්නේ හරියට නිකන් කෙළ පිඩක් සේ විසිකරපු කෙනෙක්. කොහෙත්ම සමාජය විසින් ඉවත දැමුව චරිතයක්. ආගමික මූලධර්මවාදය අනුව ස්ත්‍රිය සිටිය යුත්තේ සම්පූර්ණයෙන්ම පුරුෂයාට යටත්වයි. ස්ත්‍රිය ඉන්නේ පුරුෂයාගේ ලිංගික කාර්යයක් සඳහා පමණයි. ස්ත්‍රියට කිරීමට ඇත්තේ පුරුෂයා වෙනුවෙන් බැලමෙහෙවර කිරීම පමණයි. ස්ත්‍රියට කිසිම අයිතිවාසිකමක් නැහැ. මානව හිමිකමක් නැහැ. සම්පූර්ණයෙන්ම මෙහෙකාර චරිතයක් තමයි ආගමික මූලධර්මවාදීන් ස්ත්‍රියගෙන් දකින්නේ. එතකොට අතිශය පුරුෂාධිපත්‍යයට පත්, එයින් පීඩා විඳින කිසිම නිදහසක් නැති, තමාට කියා හඬක් නැති, ජීවිතය විඳින්න නැති ගැහැනියක් තමයි මම පෙර සඳහන් කළ රටවල සිටින්නේ.
ඇෆ්ගනිස්ථානය, බංගලාදේශයේ වැනි රටවල, ඉන්දියාවේ, පකිස්ථානයේ, ඉරානයේ යම් තරමක මේ ආගමික මූලධර්මවාදය තිබෙනවා. දැන් එතකොට ස්ත්‍රිය විඳින පීඩාව, ආගමික මූලධර්මවාදීන් සහ සමාජයේ පුරුෂාධිපත්‍යය බෙදීම අරභයා බටහිර ස්ත්‍රීන් එයට එරෙහිව නැගී සිටිනවා සමාජ ක්‍රියාකාරකයින් හා නිර්මාණ ශිල්පීන් සහ ලේඛිකාවන් විදිහට. උදාහරණ කිව්වොත් බංගලාදේශයෙන් මතුවන තස්ලිමා නස්රීන් කියන්නේ ඒ වගේ චරිතයක්. තස්ලිමාගේ ‘ලැජ්ජා’ කියන කෘතිය බිහිවන්නේ 1992 දෙසැම්බර් 6 වැනිදා ඉන්දියාවේ මුස්ලිම් දේවස්ථානයක් හින්දුන් විසින් විනාශ කරනවා. එහෙම කළාට පසුව බංගලාදේශයේ සිටින මුස්ලිම් ජනතාව මොකද කරන්නේ එහි සිටින සුළුතරයක් වන හින්දුන් විනාශ කරමින් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. මේ කම්පනය නිසා තමයි තස්ලිමා මේ පොත ලියන්නේ. මේ පොත ලියු නිසා ආගමික මූලධර්මවාදීන් විසින් ඇයට මරණ තර්ජනය කරනවා.
පෙළපාළි යනවා. එතකොට ස්ත්‍රීවාදී සාහිත්‍යය කියන්නේ මෙවැනි පදනමක් මතයි. විශේෂයෙන් ස්ත්‍රිය විඳින පීඩාවන් සමඟයි. මේ වගේම තත්ත්වයක් තිබෙන ලේඛිකාවන් සිටිනවා ඉන්දියාවේත්. එහි ඉන්න මහේෂ්වතා දේවි, ඉස්මත් චුට්ටායි, ගීතා හරිහරන්, චුඩාමණී රාගවන් වැනි ලේඛිකාවන් උදාහරණ විදිහට කියන්න පුළුවන්. මේ සමස්තය ගත්තම ඔය කියන ආගමික මූලධර්මවාදය සහ සමාජය තුළින්ම ස්ත්‍රියට දෙන පීඩනය ඔස්සේ තමයි ස්ත්‍රිවාදී සාහිත්‍යයක් බිහිවන්නේ. පුරුෂයෙක් අතින් ලියැවුණු එහෙම සාහිත්‍යයක් තිබෙනවා ද? සල්මන් රුෂ්ඩි වගේ කෙනෙක් ගත්තම ඔය ආගමික මූලධර්මවාදය ගැන පිරිමියෙක් ලෙස ලියු කෙනෙක්. නමුත් ස්ත්‍රින් මේ ගැන ලියන්නේ ඔවුන් සිටි සමාජයේ ඉඳගෙන ඔවුන් විඳි පීඩාව ඔස්සේමයි ලියන්නේ. තස්ලිමා වගේ, ඉස්මත් චුට්ටායි වගේ ලේඛිකාවන් අතින් තමන් විඳින පීඩාවම තමයි ප්‍රකාශනයක් සාහිත්‍යාංගයක් ලෙස බිහිවෙන්නේ.
එතකොට මේ මෑතකදී ලියැවුණා පොතක් අපේ ලේඛිකාවක් පුෂ්පා රම්‍යානි කියලා ඇය ලියනවා ‘සුදු හිම පලස’ කියලා කෙටිකතා පොතක්. ඇය මෙයට පාදක කරගන්නේ ඇෆ්ගනිස්ථානයේ ඇය ගතකරපු කාලේ තුළදී ඇෆ්ගනිස්ථාන ස්ත්‍රිය මුහුණ දෙන ඛේදවාචකයන්. ඇෆ්ගනිස්ථානය කියන්නෙත් තලේබාන් ආගමික මූලධර්මවාදීන් විසින් ස්ත්‍රිය අන්තිම පීඩිත පන්තියට පත්කර තිබෙන රටක්. නිදහසක් නැති කිසිම සමාජ අයිතිවාසිකමක් නැති ජීවත්වෙන්න පවා නිදහසක් නැති පුරුෂාධිපත්‍යයට යටවුණු කාන්තාවන් සිටින රටක්. මේ ස්ත්‍රින් පිළිබඳව පුෂ්පා කතා කරනවා. මේ තරම් මූලධර්මවාදී තත්ත්වයක් සහ සමාජ පීඩිත බවක් ලංකාවේ දක්නට නැහැ. විශේෂයෙන්ම ස්ත්‍රියක් කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම ස්ත්‍රිය විඳින පීඩාව කේන්ද්‍ර කරගෙන ස්ත්‍රිවාදී සාහිත්‍යයක් බිහිවෙන්නේ ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වගේ රටවලයි.
ලංකාවේ දැඩි ආගමික මූලධර්මවාදයක් දක්නට නැහැ. ඒක නිසා ස්ත්‍රිවාදී කියලා ඒ වෙනුවෙන්ම සාහිත්‍යයක් බිහිවන්නේ නැහැ. නමුත් ස්ත්‍රිය වෙනුවෙන් ලියන ලේඛිකාවන් නැතුවා නොවෙයි. යම් ආකාරයකට සුමිත්‍රා රාහුබද්ධගේ නවකතා හෝ කුමාරි කුමාරගමගේ කියලා නවක ලේඛිකාවක් ඉන්නවා. මෙවැනි ලේඛිකාවන්ගේ සාහිත්‍යකරණ තුළ සමාජයෙන් පීඩා විඳින ස්ත්‍රින් ගැන සඳහන් වෙනවා. නමුත් මම සැබෑවටම ස්ත්‍රිවාදී සාහිත්‍යයක් දකින්නේ මම පෙර සඳහන් කළ රටවල පමණයි. අපේ රටේ එම රටවලට සාපේක්ෂව වර්ධනය වුණු ප්‍රබල ස්ත්‍රිවාදී සාහිත්‍යයක් දක්නට නැහැ.
මගේ නිර්මාණවල ස්ත්‍රීවාදය නැහැ
කැත්ලින් ජයවර්ධන
ස්ත්‍රීවාදී සාහිත්‍යයක් ගැන කතාබහ කරන විට විශේෂයෙන්ම මගේ සාහිත්‍ය නිර්මාණ තුළ ස්ත්‍රීවාදී සාහිත්‍යයක් ඉස්මතු කරමින් මම ලියන්නේ නැති බව කිව යුතුයි. නමුත් ස්ත්‍රීවාදි ලෙස හඳුන්වන ස්ත්‍රීන්ට සිදුවෙන අසාධාරණය පිළිබඳව සාහිත්‍යයෙන් කතා කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බව සාහිත්‍යයේ නියැළෙන සාහිත්‍යවේදිනියක් ලෙස මමත් පිළිගන්නවා. ඒක තමයි මට ගොඩක්ම කියන්න අවශ්‍ය. ස්ත්‍රීවාදී කියන වචනයට මම එතරම් කැමැත්තක් දක්වන ලේඛිකාවක් නෙමෙයි. මම කියන්නේ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම ගැටලු පිළිබඳ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කතාබහ කළ යුතුයි කියලයි. මම ස්ත්‍රියක් වූ තරමින් මම ස්ත්‍රීවාදී වෙනවා කියා දෙයක් නැහැ.
නමුත් මම පිළිගන්නවා ස්ත්‍රියට සදාකාලිකව ශත වර්ෂ ගණනාවක සිටම එන අසාධාරණය ඒ විදිහටම සිදුවෙනවා කියන දෙය. ඒක මොන විදිහට නූතන මානයෙන් බැලුවත් විසිඑක් වන සියවසේදීත් එහි අඩුවක් පාඩුවක් වෙලා නැහැ. ඒ දෙය එලෙසම සිදු වෙනවා. එලෙස වුණා කියලා මම ස්ත්‍රීවාදීව සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙනවා කියලා එකක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මම මගේ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ ස්ත්‍රියකගේ උදාහරණ විදිහට මගේ ‘තඹරවිල’ ‘දාදු කැට’ වගේ නවකතාවල ඒ චරිත නිරූපණයන්වලදී ස්ත්‍රිය පිළිබඳව ඇයට සිදුවන අසාධාරණයක් පිළිබඳව නිරායාසයෙන් සාකච්ඡාවට බඳුන් කරනවා. එය හිතල මතල ස්ත්‍රීවාදී නවකතා ලෙස මම ලියන්නේ නැහැ. මගේ හිතේ ඇදෙන කළල බීජයේ හැටියට ඒ චරිත නිර්මාණය කිරීමේදී එය නිරායාසයෙන්ම ස්ත්‍රිය ගැන කියවෙන අවස්ථා හුඟාක් තිබෙනවා. එතැනදී ස්ත්‍රිය උත්කර්ෂයට නඟන්නවත් ඇයට සම තැන ලබා දෙන්නවත්, කියන අරමුණක් මගේ සාහිත්‍ය නිර්මාණ්‍ය තුළ මට නැහැ.
හැබැයි ශතවර්ෂාධික කාලයක් ඉඳන් අපි කවදාවත් අහල නැහැනෙ යුග පුරුෂයො මිසක් යුග ස්ත්‍රීන් ගැන. මහා පුරුෂයො ගැන මිසක් මහා ස්ත්‍රීන් ගැන. ඒ කියන්නේ මහා ස්ත්‍රීන් යුග ස්ත්‍රීන් පහළ වෙන්න පුළුවන් ඇයගේ බුද්ධිමත් භාවය උඩ. බුද්ධිමත් භාවයේ අඩුවක් ස්ත්‍රියට කවදාවත් තිබුණේ නැහැ. නමුත් මේක එහෙම මහා ස්ත්‍රීන්, යුග ස්ත්‍රීන් කියන ඒවා කප්පාදු කළේ පුරුෂ පක්ෂය විසින් කියන බව මම දන්නවා. නමුත් ඉතින් මම මගේ සාහිත්‍යකරණය තුළ වාදීව එක තැනක ඉන්නේ නැහැ. සියලුම මානව වර්ගයා ගැන සමානව සිතන්න තමයි මම මගේ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ උත්සාහ කරන්නේ. ස්ත්‍රිවාදී සාහිත්‍ය කියන සාහිත්‍යාංග කලාතුරකින් තමයි අපිට දකින්නට තිබෙන්නේ.
පුරුෂවාදී වේවා ස්ත්‍රිවාදී වේවා වාදීන් කියන තැන මම ඉන්නෙ නැහැ. නිරායාසයෙන් නිර්මාණකරුවාට සමාජ අසාධාරණය හමු වෙනවා. එය ස්ත්‍රීවාදය තුළ පමණක් නොවෙයි. ඒ නිර්මාණයේ දී ගොඩනඟන චරිත උඩ ඒ අසාධාරණය, සමස්තය ගැන කතා කරනවා. හැබැයි ස්ත්‍රීවාදි නිර්මාණයක් කරනවා කියලා මම පටන් අරන් නැහැ කවදාවත්. ස්ත්‍රිවාදී සාහිත්‍යයක් ගැන කරුණාසේන ජයලත් වගේ ලේඛකයින් එක්තරා ආකාරයක ස්ත්‍රිවාදි සාහිත්‍යයක් ගැන කතා කළා. ‘ගැහැනු ළමයි’ වගේ නවකතාවක් ගත්තොත් අපිට පෙනෙනවා එය ස්ත්‍රිවාදී සාහිත්‍යයක් තමයි කියන එක. ස්ත්‍රිය පිළිබඳ, ඇය මුහුණ දෙන සමාජ අසාධාරණය පිළිබඳ ගැඹුරින් හිතපු ලේඛකයෙක් තමයි ඔහු. සුමිත්‍රා රාහුබද්ධ වගේ ලේඛිකාවක් ගත්තත් එක්තරා ස්ත්‍රිය මුහුණපාන සමාජ අසාධාරණය ගැන ඇය ඉතා ගැඹුරින් කතාබහ කරනවා. ඒ වගේ ස්ත්‍රිවාදී සාහිත්‍යයක් දක්නට තිබෙනවා. නමුත් සමස්ත වශයෙන්ම කරුණාසේන ජයලත් ගෙන් සුමිත්‍රා රාහුබද්ධ ගේත් හැම පොතක්ම එලෙසයි කියල මම කියන්නේ නැහැ.
බල අරගල කරන ස්ත්‍රීත්වයක් එපා
අනුල ද සිල්වා
ස්ත්‍රීවාදී සාහිත්‍යයක් කියන එක විග්‍රහ කිරීම අසීරුයි. ඒ තුළ පැතිකඩ කිහිපයක්ම දක්නට ලැබෙනවා. ස්ත්‍රීවාදින් කියල කොටසක් අද ලාංකේය සමාජයේ සිටිනවා. නමුත් ගැහැනු ස්ත්‍රිවාදීන්ය කියන පිරිමි පාගාගෙන ඉන්න තරම් කාන්තාව දරුණු විය යුතුයි කියා මම හිතන්නේ නැහැ. අයිතිවාසිකම් ඉල්ලමින්, පිරිමින් සමඟ අරගල කරන්න ගන්න කාන්තාවන්ට අවශ්‍ය නැහැ කියන එකයි මගේ මතය. මම ලියන්නේ, මට අවශ්‍ය පවුල් සංස්ථාව ගොඩනඟන, ජීවිතයට අභීතව මුහුණ දෙමින් ජීවිතය ජීවත් කරවන්නට වෙර දරන ගැහැනුන් ගැන ලියන්නයි.
මම රචනා කරන නවකතා ඔස්සේ ගැහැනුන් ගැන නිරන්තරයෙන්ම කතාබහ කරනවා. ඒ තුළ යම් යම් ස්ත්‍රීවාදී පැතිකඩයන් නිරූපණය වෙනවා. ඒ විදිහට මා අතින් රචනා වුණු සාහිත්‍ය නිර්මාණ තුළ එකී කාන්තාවන්ගේ ආත්ම ශක්තිය වැඩි කරල, ඔවුන්ගේ හිත ධෛර්යවත් කරලා පරාජය හමුවේ නොසැලී කෙළින් සිටගෙන හඬා නොවැටී කරුණාවෙන් මෛත්‍රියෙන් ගැහැනුන්ගේ ප්‍රශ්න විසඳන චරිත ගොඩනඟන්න මගේ සාහිත්‍ය කලාව තුළ මම කැමැතියි. එයයි ස්ත්‍රිවාදී සාහිත්‍ය කලාවක් ලෙස මම දකින්නේ. මම නවකතා සාහිත්‍යයට පිවිසි මුල් අවදියේ බොහෝ දෙනා මගෙන් ඇසු කරුණක් තිබුණා. ගැහැනු ගැන ලියන්නෙ නැත්තෙ ඇයි? කියලා.
මමත් ඒ වන විට ඒ ගැන හිතලා තිබුණෙ නැහැ. ගැහැනියකගේ ප්‍රශ්න ගැහැනියකටයි තේරෙන්නේ. මට හමුවෙච්ච චරිත මා ලැබු අත්දැකීම් අනුව මම මේ චරිත ගැන ලිව්වා. පවුල් සංස්ථාව ගත්තම ඒ තුළ ගැහැනියකට ඉටුකිරීමට යුතුකම් රැසක් තිබෙනවා. දරුවෙක් වදන ගැහැනියකට දරු ප්‍රසූතියේදී දැනෙන ඒ වේදනාව ඉවසන්න පුළුවන්නම් ජීවිතයේ සිදුවන අනේකවිධ එවැනි වේදනා ඉවසන්නත් ඇයට පුළුවන් විය යුතුයි. පිරිමියකුට ඒ දේ බැහැ. ඒ වුණත් මම හිතන විදිහට ලාංකේය සමාජයේ ගැහැනියකට පිරිමියෙක් අබිබවා යන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්නවා සමහර ලේඛක ලේඛිකාවන් ස්ත්‍රීවාදින් ලෙස කියාගත් පිරිසක් සියයට එකක් දෙකක් පමණ. ඇත්තටම බැලුවොත් ඔවුන්ගේ පවුල් සංස්ථා දෙදරා ගොස් තිබෙනවා. කොහොම නමුත් මම දන්න තරමින් මට හැඟෙන තරමින් ලංකාවේ ස්ත්‍රීවාදි සාහිත්‍යයක් දකින්න නැහැ.
මානවවාදි යන වචනයයි වඩා ගැළපෙන්නේ
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ස්ත්‍රීවාදී කියලා වචනයෙන් කියන විටම ඒකේ යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. එසේ නම් එහි අනෙක් පැත්ත පුරුෂවාදී විය යුතුයි. මං හිතන්නේ සාහිත්‍ය සමාජයේදී වඩාත්ම ගැළපෙන්නේ මානවවාදී වචනය කියලයි මට හිතෙන්නේ.
අප වෙසෙන සමාජ සංස්කෘතික වටපිටාව තුළ වඩාත් පීඩාවට මුහුණ දෙන්නෙත් බොහෝ පීඩා විඳ දරා ගන්නේත් ස්ත්‍රිය බව තමයි ඇත්ත. ඒ ගැන ලියු පමණින් ඒක ස්ත්‍රීවාදී ද? ස්ත්‍රීවාදය සහ පුරුෂවාදය වෙන්කර ගන්නේ කොතැනින් ද? නමුත් අපි දන්නවා මොනිකා රුවන්පතිරණ වගේ කිවිඳියක් ගත් කල ස්ත්‍රිය ලබන බොහෝ කටුක අත්දැකීම් ඉතා තියුණු ලෙස ලිව්වා. ඊවා රණවීරගේ භාවිතයත් විශේෂයි. ලෝක මට්ටමින් ගත් කල හෙන්ඩ්රික් ඉබ්සන් වගේ ලේඛකයෙක් ඔහුගේ බොහෝ නිර්මාණ ස්ත්‍රිය මුල් කරගෙන නිර්මාණය කළා. නමුත් ඔහු වරෙක ප්‍රතික්ෂේප කළා ඔහු ස්ත්‍රීවාදී ලේඛකයෙක් කියන මතය. තස්ලිමා නස්රීන්ගේ භාවිතය මේවාට වඩා වෙනස්.
සිනමාවේදී නම් ක්‍රියාදාම ගණයේ සිනමා පටවලට පුරුෂ රූපී සිනමා පට කියන වචනය භාවිත කරනවා. නමුත් සාහිත්‍යයේදී එලෙස වර්ග කරන එක යෝග්‍ය වන්නේ කුමන පදනමක් යටතේ ද කියන එකේ විශාල ගැටලුවක් තිබෙනවා. ස්ත්‍රීත්වය නියමාකාරයෙන්, අව්‍යාජව සාහිත්‍ය තුළ ප්‍රතිනිර්මාණය කරන්න හැකිනම් එය සිදුවනු ඇත්තේ පුරුෂ පක්ෂයෙන් බවයි මගේ හැඟීම.
සංලාප - තුෂාරි නේරංජා වික්‍රමසිංහ
- silumina