නමුත් එවැනි විශාල ළමා සාහිත්‍යයක් අපට නැහැ. අපට ඇති ළමා පොත් සංඛ්‍යාව ඉතාමත් අඩුයි. ඒ තියන පොත්වල වුණත් තත්ත්වය සතුටුදායකයි කියල සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නැහැ. සමහර පොත්වල ඇතුළත් කරුණු ළමයින්ට ගැලපෙන්නෙ නැහැ. චිත‍්‍ර අතින් බැලූවත්, නිමාව අතින් බැලූවත්, ඒ තියා මුද්‍රිත කරදාසිය අතින් බැලූවත් බොහෝ පොත් පත් තියෙන්නෙ දුර්වල තත්ත්වයක. හොඳ ගනකම් ඇති කවරයක් යොදල, හොඳ නිමාවක් ඇතුව, ළමයින්ගෙ සිත් ගන්නා සුළු වර්ණචිත‍්‍ර රාශියක් යොදල ගනකම් ඇති කරදාසියක මුද්‍රණය කරල හොඳ ළමා පොතක් නිපදවන්න විශාල වියදමක් කරන්න වෙනව. නමුත් ළමා පොත් අංග සම්පූර්ණ වන්නෙ ඒ විදියට මුද්‍රණය කළොත් විතරයි.
ළමයින්ට පොත ගැන ආදරයක් ඇතිවෙන්නෙත්, පොත කියවීමට ආසා උපදින්නෙත් ඒ පොත පියකරු වුණ තරමටයි. මේ නිසා ළමා පොතක ඇතුළත් කරුණු වගේ ම එහි බාහිර පෙනුමත් වැදගත් වෙනව.’’
මහගම සේකර - ‘‘ළමා සාහිත්‍ය මූලධර්ම හා එහි පරමාර්ථ’’ - පිටු 90, 91
එදා ජිවතුන් අතර සිටිය දි ළමා පොතක් කෙසේ විය යුතු ද යන්න මහගමසේකර මෙසේ පැවසුවේ ඒ වන විට ඔහු ප්‍රාර්ථනා කළ පරිදි ළමා පොත් ප්‍රකාශයට පත් නොවූ බැවිනි. එහෙත් අද ජීවතුන් අතර නැති මහගමසේකර එදා මැවූ සිහිනය සැබෑ කරමින් ඔහු ප්‍රාර්ථනා කළ ආකෘතිය, අන්තර්ගතය සහ රසවත් බව පිළිබිඹු කළ ළමා කෘතියක් මීට තෙවසරකට පෙර නිකුත් වී ඇත. එනම් ‘‘ගෙජ්ජි මාලය’’ යි. මෙම කෘතිය නෙවිල් පෙරේරාගේ රචනයක් වන අතර පිටකරවරය ඇතුළු සමස්ත කෘතියේ ම සිතුවම් නිමවා ඇත්තේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී ශාන්ත කේ. හේරත් ගේ තෙළි තුඩිනි. කෘතිය ප්‍රකාශනයට පත් කොට ඇත්තේ ‘‘භාවි ප්‍රකාශන’’ ආයතනය මගිනි.
වර්තමානයේ වෙළෙඳ පොළෙහි අලෙවියට තබා ඇති ළමා පොත් කෙරෙහි අවධානය යොමු කළ විට එම පොත් පිළිබඳව කුමක් කියන්න ද, කුමක් ලියන්න ද යන්න ගැටලුවකි. එහෙත් ‘‘ගෙජ්ජි මාලය’’ කියවූ සැණින් එහි අන්තර්ගත ළමා සාහිත්‍යය රසය මතු නොව ළමයින්ගේ මනසට නවමු අදහස් ගොන්නක් එක් කරන්නට සමත් වු බව සිහිපත් කළ යුතු ය.
‘‘ගෙජ්ජි මාලය’’ කෘතියට අන්තර්ගත වන්නේ අපේ ජනකතාවකි. එනම් මීයාගේ පරම හතුරා වන බළලාගෙන් බේරී සිටීම සඳහා මීයන් විසින් යොදාගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ දි පැන නැගි ගැටලුව යි.
පුරාණ කතාවට අනුව බළලාගෙන් බේරි සිටීම සඳහා ඌ පැමිණෙන විට මීයන්ට දැනගැනීමට සැලැස්විය යුතු ය. ඒ සඳහා බළලාගේ කරේ ගෙජ්ජි මාලයක් එල්‍ෙමට යෝජනා කෙරේ. නමුත් ගෙජ්ජි මාලය බළලාගේ කරේ එල්ලන්නට ඉදිරිපත්වන්නේ කවුද යන ගැටලුව පැන නැගි හෙයින් එකි යෝජනාව තිඹිරි ගෙයි දී ම මිය යයි. එය හේතු කොට ගෙන තව තවත් මීයෝ බළලාගේ ආහාරය පිණිස ම කැපවෙති.
පුරාණ ජනකතාව එය වුව ද නෙවිල් පෙරේරා නම් වු කතුවරයා මෙම ජනකතාව ප්‍රතිනිර්මාණය කරයි. ඔහු මෙම කතාවට බළලා වෙනුවට බැළලියක් ආදේශ කරයි. ඊට අමතරව බළල් පැටියකු ද කතාවේ චරිත අතර සිටියි. බැළලිය පැරණි පරම්පරාව සංකේතවත් කරන අතර පැටියාගෙන් (කිටී) සංකේතවත් වන්නේ නුතන පරපුරයි. නුතන පරපුරේ අදහස් සහ පැරණි පරපුරේ අදහස් බොහෝවිට පරස්පරතාවයක් උසුලයි. ‘‘ගෙජ්ජි මාලය’’ කෘතියේ කිටී නමැති බළල් පැටියා ද පුරාතන අදහස් පසෙක ලා නුතනත්වය වැලඳගත්, නවමු සිතුම් පැතුම්වලින් පිරිපුණ් බළල් පැටියෙකි.
එදා මෙන්න ම මෙදා ද මීයෝ බළලාගේ කරේ ගෙජ්ජි වැලක් බඳින්නට යෝජනා කරති. ඒ බැළලියගෙන් තමන්ට වන අනතුරු වළක්වා ගැනීම පිණිස ය. මෙම කතා බහ අසා සිටින කිටී සිය මවගේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරේ. එනම් පැරණි පරපුරේ අදහස් පිළිබඳව කලකිරේ. මේ නුතන සාමාජිකයා අලුතෙන් සිතන්නට යොමු වේ. එය අලුත් පරපුරේ සිතුවිල්ල යි. එහෙත් සිය මව මීයන් සමග මෙතරම් සතුරු ඇයිද යන්න පිළිබඳව ද තමන්ගේ ම අදහසක් උපදවාගනී. එනම් මීයන් නිරන්තරයෙන් ම ආහාරවර්ග, රෙදිපිළි සහ වෙනත් දැ සොරකම් කිරීම (සපා දැමීම) ය. නව පරපුර ද යම් ව්‍යසනයක් දුටු විට ඒ පිළිබඳව ඍජු තිරණ ගැනීමෙන් වැළකි කිහිප වතාවක් සොයා බලා නිවැරදි නිගමනයකට පැමිණෙති.
බැළලියගේ කරේ ගෙජ්ජි මාලය එල්ලන්ට කිසිවකු ඉදිරිපත් නොවන විට එය සිය මවගේ කරේ එල්ලන්ට මේ පුංචි බළල් පැටියා ඉදිරිපත් වන්නේ එතෙක් මේ සත්ව පරපුර අතර පැවති නොහොඳ නෝක්කාඩුව අලුයම ලූ කෙළ බපිඩක් සේ ඉවත දැමමිනි. එහෙත් කුඩා බළල් පැටියා තම යුතුකම ඉටුකරන්නේ මියන්ගෙන් ද පොරොන්දුවක් ලබා ගනිමිනි. එනම් මින් ඉදිරියට එම නිවසේ තිබෙන කිසිඳු ආහාරපානයක් හෝ වෙනත් කිසිවක් සොරකම් නොකරන (සපා නොකන) ලෙසයි.
මෙම කතා රචකයා පුරාණ ජනකතාවක් ප්‍රතිනිර්මාණය කරමින් සමාජ ගතකරන්නට උත්සුක වන්නේ කුමක් ද? සැබැවින් ම මේ වන විට රටේ ජනතාව විවිධාකාර හේතූන් මත භේද බින්නව සිටිති. එය තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවේ. ඒ පිළිබඳ මූලික අත්තිවාරම දැමිය යුත්තේ නූතන පරපුර යි. එය ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමකි.මේ කුඩා බළල් පැටියා නියෝජනය කරන්නේ වත්මන් පරපුරයි. දුරාතීතයේ සිට පැවත එන විවිධ මතවාද (මිනිස් පැවැත්මට අහිතකර), ජාති, ආගම්, කුල භේද සියල්ල නුතන පරපුර විසින් ප්‍රතික්ෂේප කරමින් සිටිති. අනාගතයේ මෙය සහමුලින් ම ඉවත් කළ හැකි නම් එය සෞභාග්‍යමත් රටක් බිහිකිරීම සඳහා කදිම අත්වැලකි. ලේඛකයා පුරාණ ජනකතාවක් ඇසුරින් සමාජයට රැගෙන එන පණිවිඩය එය යි. සැබැවින් ම ළමා, යොවුන් මතු නොව වැඩිහිටි නවකතාවෙන් පවා සිදු කළ යුත්තේ මිනිසුන්ට රසයක් ලබාදෙන අතර ම පවතින සමාජ, දේශපාලන, ආර්ථික සහ ආගමික ව්‍යසනයන් කෙරෙහි සිත් යොමු කොට හැකිතාක් දුරට එකී ගැටලු සමනය කරගැනීමට සුදුසු මාර්ගයක් සැකසීම ය. නෙවිල් පෙර්රා නමැති ලේඛකයා මෙම සද් ක්‍රියාව කදිමට ප්‍රායෝගික තලයට ගෙනවිත් ඇත.
මෙම කෘතිය 2012 වසරේ සිංහල සහ ඉංග්‍රීසි භාශාවෙන් ප්‍රකාශයට පත් කළ අතර එම වසරේ හොඳම ළමා කෘතිය ලෙස රාජ්‍ය සාහිත්‍යය සම්මානයෙන් ද පිදුම් ලැබිය. පසුගිය වසරේ රාජ්‍ය භාශා සහ ඒකාබද්ධතා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මෙම කෘතිය දෙමළ බසට ද පරිවර්තනය කොට නොමිලේ බෙදාහැරීමට කටයුතු කළේ ය. ඒ, පවතින වර්ගවාදි, ආගම්වාදි, ජාතිවාදි සහ ගෝත්‍රවාදි සමාජය වෙනුවට යහපාලනයෙන් යුක්ත සමාජයක් උදාකරලිමේ පරම පිවිතුරු අරමුණෙනි. සැබැවින් ම දැන් එයට කාලය එලඹ ඇත.
මෙම කෘතියේ ළමා රසාස්වාදය මෙන්න ම වැඩිහිටියන්ට ආදර්ශයට ගත හැකි සමාජ, දේශපාලන, යථාර්ථය ද මැනවින් පිළිබිඹු කොට ඇත්තේ ළමා කතා යනුවෙන් වෙළෙද පොළෙහි අලෙවියට ඇති කිසිඳු වටිනාකමක් නැති තුට්ටු දෙකේ ළමා කතා අභියෝගයට ලක් කරමිනි.
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.