කෙසේ නමුත් ජවිපෙ යනු කාලයෙන් කාලයට විවිධ පාර්ශ්ව වල කොන්ත්‍රාත් ඉටු කරමින් තමන්ගේ පැවැත්ම සකසා ගත් දේශපාලන පක්ෂයකි. ජවිපෙ මේවන විට ජාතික ජන බලවේගයේ නාමයෙන් ඉටු කරමින් සිටින්නේ කවරෙකුගේ කොන්ත්‍රාත්තුවක් දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් කරන්නේ කොන්ත්‍රාත්තුවක් බව පෙනෙන්නට තිබේ. මන්ද රට හමුවේ වන දැවැන්ත අවදානමක් අනතුරක් තිබියදී ජවිපෙ හැසිරීම ඒ නොතකා කරන සාහසික සෙල්ලමක් බවට පත් වෙමින් තිබෙන නිසාය.
තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජවිපෙ කරනවා කියන කාරණ වල බරපතල අවුල් සහගත බව සහ එහි නායකයන්ට ඒ පිළිබඳව ඇති නොදැනුම අනුව රටේ මීළඟ අදියර මහා ඛේදවාචකයක් හෝ විය හැකිය.
ඒ කොහොම නමුත් දැන් ජවිපෙ සිටින්නේ ඔවුන්වත් බලාපොරොත්තු නොවුණු තමන්ට දරා ගත නොහැකි මහා බරකට කර ගසන්නට සිදු ඇති මොහොතක් බලාපොරොත්තුවෙනි. මේ තත්වය මත ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩලය හෝ එහි ඉහළම තීන්දු ගන්නා කණ්ඩායමක් පසුගිය සතියේ රැස්ව ඇති අතර යම් ලෙසකින් හෝ ජනාධිපතිවරණයෙහි ජයග්‍රහණයක් සිදුවුවහොත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තමන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන තීරණාත්මක උපායමාර්ගික කරුණු සාකච්ඡා කර ඇති බව දැන ගැනීමට තිබේ.
මෙහිදී තමන්ට ආණ්ඩුකරණය අත්දැකීම් අතිශය සීමා වීම පිළිබඳව කනස්සල්ල සියළු දෙනා පාහේ මතු කර ඇති අතර, මේ නිසා විය හැකි අවුල් සහගත තත්වයන් වලක්වා ගැනීම වෙනුවෙන් විශේෂයෙන් ජනාධිපති ධුරයේ පළමු දින 100 සඳහා ක්‍රියාත්මක සැලැස්මක හදිසි අවශ්‍යතාවය අවධාරණය කෙරී ඇත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරය සඳහා වැඩිම සුදුසුකම් තිබෙන ආර්ථික සංවර්ධන කමිටුවේ ප්‍රධානියා වන හඳුන්නෙත්ති වෙත මෙම සැලැස්ම කෙටුම්පත් කිරීමට බාර දී ඇති බවද එම තොරතුරු මාර්ග පවසයි.
තවද, එසේම අගමැතිවරයා ඇතුළු ඇමැතිවරුන් ලෙස පත් කරගත යුත්තේ කවුරුන්ද යන්න ගැනද මෙම කණ්ඩායම සාකච්ඡා කර ඇත.
අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන බව පැවැසූවද මුහුණ දීමට සිදුවන ප්‍රායෝගිත දේශපාලන ගැටළු ගනනාවක් නිසා එය යම් කෙටි කාලයකට හෝ පවත්වාගෙන යෑම ගැන ද මෙහිදී සාකච්ඡා කර ඇත. මෙහිදී සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ගැන මත පලවී ඇති අතර පක්ෂයට පිටස්තර පක්ෂ වලින් ඊට සම්බන්ධ කර ගන්නා කිහිප දෙනෙකු ගැන ද කතා බහට ලක්ව ඇත.
මෙහිදී අතිශය වැදගත් කරුණක් ලෙස සාකච්ඡාවට ගෙන තිබුණේ අගමැති තනතුර ගැනය. ජවිපෙ ප්‍රබල නායකයකු වෙතින් මේ සඳහා ලාල්කාන්තව අගමැති කිරීමට යෝජනා කර ඇත. ඊට පෙර ටිල්වින් සිල්වාගේ නම මුලින් යෝජනා වූවත් වයස අනුව ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වී ඇත. ජවිපෙට මෙහිදී මාලිමාවට එකතුව සිටින පිරිසේ බලය ඉස්මතු වීම වලක්වා ජවිපෙ බලය තහවුරු කර ගැනීමේ ප්‍රතිපත්තිය අනුව මෙම කතා බව කෙරී ඇත.
කෙසේ නමුත් ලාල්කාන්තට අගමැති තනතුර මේ මොහොතේ ලබා දීම වෙනුවෙන් දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වන හරිණි ඉවත් කර ලාල්කාන්තට එම මන්ත්‍රී ධුරය ලබා දීමට සිදුවෙයි. නමුත් හරිණි එයින් ඉල්ලා අස්වීමට කැමැති විය යුතුය. හරිණි ඊට කැමැති වුවත් ඒ සඳහා ජවිපෙ මුහුණ දී තිබෙන බරපතල ගැටළුව වන්නේ හරිණි හා සමීප සම්බන්ධතා පවත්වන ශ්‍රී ලංකාවේ බටහිර තානාපති කාර්යාලයකින් හරිණි අමරසූරිය අගමැති ලෙස පත්කිරීම විය යුතු බවට දැඩි බලපෑමක් ජවිපෙ නායකත්වයට එල්ල කිරීම සම්බන්ධයෙනි.
මීට අමතරව, එම බටහිර තානාපති කාර්යාලය ඉල්ලා සිටි පරිදි විදේශ අමාත්‍යවරයාගේ භූමිකාව භාර ගැනීමට පිටස්තර පුද්ගලයකු නම් කර ඇත. ජාජබය කවර මන්ත්‍රීවරුන් යොදාගෙන සුළුතර හෝ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සිදු වුවත් විදේශ සම්බන්ධතා සියල්ල සිදු වනු ඇත්තේ මේ කියන පුද්ගලයා හරහා බව අනාවරණය වේ. පෙර යුගයක රූපවාහිණි ඉංග්‍රීසි නිවේදකයකු වූ මේ පුද්ගලයා මෙරට ප්‍රකට මාධ්‍ය ජාලයක් අයත් සමාගමේ සමූහ විධායක නිලධාරියා ලෙස දැනට කටයුතු කරන්නෙක් බව ද දැන ගැනීමට ඇත. මෙම මාධ්‍ය ජාලයේ හිමිකරුවන් හා ජවිපෙ නායකත්වය අතර දශක කිහිපයක අතිශය සමීප සම්බන්ධතාවයක් ද තිබේ. එසේම මාලිමාවට ආණ්ඩු බලය හිමි වන්නේ නම් මෙම පුද්ගලයාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීමට ද සිදුවනු ඇත.
මෙම හදිසි තත්වයන් අනුව කටයුතු කිරීම ගැන වූ මෙම සාකච්ඡාවට අමතරව විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය බහුතර බලයකින් ජය ගැනීමේ අසීරුතාවය ගැන ද මෙහිදී අවධානය යොමු කර ඇත. .
කොහොම නමුත් අනාවරණය වුණු මෙම තොරතුරු අනුව ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි හැට ගනන් වල කිව් කතාව අදට වලංගුවන ආකාරයක් දැනට පෙනෙන්නට තිබේ. නමුත් එලෙස බටහිර සහය ලබා ගත්තත් ජවිපෙට ඉන්දියාවේ සහය ලබා ගැනීමේ හැකියාව පළුදු වීමක් මේ වන විට සිදුව ඇත. ඒ මෙරට ආයෝජනය සඳහා පැමිණ තිබෙන ඉන්දියාවේ අදානිගේ ව්‍යාපෘති අහෝසි කිරීමක් ගැන පසුගියදා අනුර කුමාර විසින් අදහස් දැක්වීමය. මේ පිළිබඳව ඉන්දියානු මාධ්‍ය තුළ ද මේ වනවිට කතා බහට ලක් කරමින් තිබේ. මේ තත්වයන් තුළ මාලිමා ආණ්ඩුවක් තුළ දී භු-දේශපාලනික ගැටළුව විසඳා ගැනීමේ දැඩි අසීරුතාවයකට ඔවුන් මුහුණ දෙනු ඇත. එහිදී බරපතලම කාරණය වන්නේ ජවිපෙ සහ චීනය අතර වන සමීප සම්බන්ධතාවයන් ඉන්දියාව සහ බටහිර රටවල් බාරගන්නා ආකාරයය. මේ වන විට ඉන්දියාව කලාපීය ආධිපත්‍යය සඳහා සිදු කරමින් තිබෙන මැදිහත් වීම දරුණු තලයක තිබේ.