ඕනෑම් තත්වයක් පාලනය කිරීමේ බලය හමුදාවට - අගමැති

Published in පුවත්
Wednesday, 07 March 2018 21:51

මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙන බවත් ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් අද විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවැසීය..

 

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2018 මාර්තු 07 වන දා
කළ විශේෂ ප්‍රකාශය

මා අද දින මේ ප්‍රකාශය සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටයි. තෙල්දෙණිය ප්‍රදේශයේ රියදුරෙකුට පහර දී, ඔහු මරණයට පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථාන වල සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳවත්, හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ වන විට රටපුරා හදිසි නීතිය පනවා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කළා.

අද දින, කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී තිබෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට අඹතැන්න ප්‍රදේශයේ දී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක වෙනවා.
පවතින තත්ත්වය සළකා බලා හදිසි නීතිය යටතේ නැවතත් අද දින සවස 4.00 සිට මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.

පූජ්‍ය පක්ෂයට අනතුරු සිදු වී ඇති බවට විවිධ කටකතා පතුරුවන නමුත් එබඳු කිසිඳු සිදුවීමක් සිදු වී නොමැති බව මම ප්‍රකාශ කරනවා.

එසේම, මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සුදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩිපුර හමුදා භට පිරිස් මෙම ප්‍රදේශවලට පිටත් කොට තිබෙනවා.

ඒ වගේම, මහජනතාව නොමග යවන, වෛරය පතුරවන හා ජනතාව කුපිත කරවන සුළු අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කොට තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් හා රටපුරා හදිසි නීතිය ද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒවගේම, ඔබේ ප්‍රදේශ වල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටේ අනෙකුත් ප්‍රදේශවල තත්වය සාමකාමී බව කියන්නට කැමතියි. බොරු ප්‍රචාර වලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල මෙන්ම කොල්ල කෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වන පුද්ගලයින්ට හා කණ්ඩායම්වලට එරහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන බව කියා සිටීමට කැමතියි.

මේ නිසා මා අවසන් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජන කොටස් වලින් ඉල්ලා සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබා දෙන ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us