ඔහු වටා සිටි තක්කඩියන් විසින් මහින්ද රාජපක්ෂ නම් දේශපාලඥයා, දේශපාලනික මරණයට පත්කර ඔහුව රාජ්‍යත්වයකට, දේවත්වයකට නංවා සිංහල බෞද්ධයාගේ උත්තරීතර නායකයා බවට පත් කරනු ලැබීය. එදා ශ්‍රීලනිපයත්, ජවිපෙත්, ජාතික හෙළ උරුමයත්, කහකඩයෝ පිරිසකුත් මේ සිදුකරනු ලැබීය. එදා මංගල සමරවීර හා වාමාංශිකයන් යයි කියන පිරිසත් වැටී සිටියේ මේ ගොඩටමය.
2005 දී රනිල් වික්‍රමසිංහට එරෙහිව ජාතිවාදී ඝෝෂාව හැර වෙනත් විකල්පයක් නොමැතිකමෙන් මහින්දට තෝරා ගන්නට සිදුවූයේ මේ සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රකාශනයමය. මෙය කිසිසේත්ම එල්ටීටීඊ ප්‍රභාකරන්ට එරෙහිව යොදාගත්තක් නොවේ. ප්‍රභාකරන් ඝාතනය කිරීම යනු මේ සිංහල බෞද්ධ ජාතිවාදය තමන්ගේ උරුමයක් බවට පත්කර ගැනීම වෙනුවෙන් ගත් කුකුල් බිල්ලකි.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් ඔබ්බට ගොස් තමන්ගේ ඒකාධිපති රෙජීමයේ පැවැත්ම වෙනුවෙන්ද ජාතිවාදය යොදාගන්නා තැනට මහින්ද පාර්ශ්වය පත් විය. කවර හෝ හේතු මත ජවිපෙට, මංගලට, හෙළ උරුමයට මහින්දගෙන් ගැලවෙන්නට සිදුවූ නමුත් මහින්ද පාර්ශ්වයේ ජාතිවාදය එලෙසම විය. යළි සිංහල බෞද්ධ ජාතිවාදය වෙනත් කිසිදු පාර්ශ්වයකට හිමි කර නොදීමටද මහින්ද පාර්ශ්වය වග බලා ගත්තේය. මහින්ද ද එහිම ගොදුරක් බවට පත්ව බොල් සුරුවමක් බවට පත් විය.
රනිල් වික්‍රමසිංහට එරෙහිව අදත් ජාතිවාදයම හැර වෙනත් විකල්පයක් මහින්ද පාර්ශ්වය සතුව නොමැත. සිංහල බෞද්ධ ජාතිවාදය පෝෂණය කරමින් රට ගිනි තබමින් සිටින්නේ ඒ නිසාය.
දෙමළාට එරෙහිව මුසල්මානුවාට එරෙහිව අද රට පුරා ගොඩනැගෙන සිංහල බෞද්ධ ගෝත්‍රික ජාතිවාදී සාහසිකත්වය මහින්දගේ නාමයෙන් පැතිර වූ ම්ලෙච්ඡ ආගමකි. ඒ අදහන බැතිමතුන්ගේ උත්තරීතර නායකයා මහින්දය. මේ අද සිදුකරමින් පවතින විනාශය මේ බැතිමතුන්ගේ නොමද දායකත්වයෙන් සිදුවන්නකි.
රටත් ජනතාවත් සභ්‍යත්වයත් ඔවුන් විනාශ කරමින් සිටී... මෙය ආපසු හැරවිය හැක්කේ මහින්දටම පමණි. නමුත් ඔහු දැන් බොල් සුරුවමකි.
මේ බොල් සුරුවම විනාශ කළ යුතුව තිබේ... ඊට ශිෂ්ඨ සම්පන්න උත්තර නැත... නමුත් ඒ වෙනස් කිරීමට මේ යහපාලනය සමත් නැත. එය දුර්වලය.
අනෙක, රටේ බහුතරයක් ගොබ්බයෝ වන විට යහපාලනයෙන් කොහෙත්ම වැඩක් නැත. ආණ්ඩුවට නොතේරෙන තැන එතනය.