පාතාල කල්ලි නැවතත් සක්‍රීයවී ඇත. කාගේ වුවමනාවට සිදුවෙනවාදැයි නොතේරෙන තරමට තැන තැන මිනීමැරුම් සහ අතපය කැපිලි වර්ධනයවී ඇත. රටේම අවධානය නැවතත් පාතාලයේ හිස එසවීම දෙසට යොමුවෙද්දී ආණ්ඩුව තමවත් තක්බීර්වී සිටින්නේ කලයුත්තේ කුමක්ද කියා නොදැනය. එ.ජා.ප ආණ්ඩු මර්දනයන් පිළිබද නොදන්නා අතදරුවන් ලෙස පස්ස කසමින් මේ මොහොතේ සිටියත් උතුරේ දකුණේ වෙනසක් නැතිව දහස් ගණනක් ජීවිත නසා දැමූ ජන ඝාතනවලට එ.ජා.ප ආණ්ඩුවද සෘජු හා වක්‍රලෙස සම්බන්ධය. ඒ නිසා දැන් බබා පාර්ට් දාගෙන පැත්තකට වී සිටියාට පලක් නැත.
මේ ආකාරයට පාතාලය නැගී සිටීම හමුවේ ජනතාව සිතනා ආකාරය දෙවිදිහකට උපකල්පනය කල හැක. එක් ආකාරයක්නම් ජනතාවගේ පරිකල්පනය වන්නේ යහපාලන ආණ්ඩුවට පාතාලය මට්ටු කිරීමට තරම් කොන්දක් නැත, එමෙන්ම ජනාධිපතිවරයාට සද්දයක් දමා පාතාලය බයකරගැනීමට ගැම්මක් නැත යන්නය. අනෙක් උපකල්පනයනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී පාතාලයට උන්හිටිතැන් නැතිවෙන්නට බැට දුන්බවත්, දැන් මහින්ද නැති නිසා පාතාලය හිස ඔසවන බවත්ය. ඒ නිසා සරලම උපකල්පනය පාතාලය හිස එසවීම නිසා වක්‍රාකාරව මහින්දට වාසියක් ලැබෙන සාධකයක් බවයි. හරියටම “කොටි නැගිටීමේ“ බිල්ලා ලෙසින්ම පාතාලය නැගිටීමේ බිල්ලා භාවිතා කරන්නට විමල්ලාට,ගම්මන්පිලලාට,දිනේෂ්ලාට නොමිලේම චාන්ස් එකක් ලැබෙනු ඇත. ඒ නිසා මේ පාතාලය නැගිටීමේ සිදුවීම්දාමය ආණ්ඩුවේ ආරක්ෂණ ක්‍රමවේදයේ අසමත්භාවය පිළිබද සැකයක් මෙන්ම මහින්දලාගේ සැලසුමක් ද යන සැකයත් ද්විත්වාකාරයෙන් මතුවෙන අවස්ථාවක් ලෙස හදුනාගත හැක.
2007 සිට 2012 ඇතුලත කාල පරිච්ඡේදය මහින්දවාදීන්ට අනුව පාතාලය කම්බස්කල කාලසීමාවක් ලෙස හැදින්වේ.ඒත් මහින්ද කලේ තමන්ට පසමිතුරු පාතාලය සහ හිතමිතුරු එහෙත් අනාගතයේ ප්‍රශ්නයක් විය හැකියැයි සිතූ පාතාලය විනාශ කිරීම සහ එසේ නොවන කොටසට පාඩුවේ සිටින්නට හැරීමය. ඒ සමාව ලැබූ පාතාලය එක්කෝ නිල නොලත් ආරක්ෂකයන් බවට පත්වීය, නැතිනම් දේශපාලනයට හෝ ව්‍යාපාරවලට අත ගැසූහ. මහින්ද බලයෙන් පහවුණ පසු නන්නත්තාරවී සිටින ඔවුන් දැන් කලඑළි බැස තිබෙන්නේ මහින්ද වෙනුවෙන්ද යන සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැකිය.
ගාල්ල නගර ආසන්නයේ කලක පටන් පත්තුවෙන පතාලයේ ගැටුම පිටුපස සිටින්නේද බලය අහිමිවූ දේශපාලන බලවතෙක් සහ බල්ටි ගැසූ දේශපාලඥයෙක් බව ප්‍රකට කරුණකි. අනුරාධපුරයේ පාතාලය පණ ගසාඑමින් කරාටේ වසන්ත ඝාතනය කරද්දී එය පිටුපස සිටින්නේද බංකොලොත් දේශපාලන චරිතයකි. පසුගිය දිනවල සිදුවූ සිදුවීම් දෙස විමර්ශණාත්මකව බලද්දී එවැනිම චරිත බොහෝ ප්‍රමාණයක් සොයාගත හැකි බව සහතිකය. ඒ නිසා පාතාලය නැගී සිටීම දේශපාලනික සටන් පාඨයක් බවට පත්කරගැනීමේ වුවමනාවක් ඇති පිරිසක් සිටින බව අමතක කලයුතු නැත.
හෙට විපක්ෂයේ වේදිකාවල “කොටි නැගිටිනවා“ වෙනුවට “පාතාලය නැගිටිනවා“ ඇසෙනවා හොදටම විශ්වාසය. ඒ තුළින් නැවත මහින්ද රාජපක්ෂ බංකොලොත් විපක්ෂයේ කාඩ්බෝඩ් චරිත කිහිපය සමග නැවත බලය උදුරාගැනීමට මුට්ටිය දමා බැලීම නිසැකය. ඒ නිසාවෙන් පාතාලයේ මේ ක්‍රියාකාරකම් මහින්දගේ දේශපාලන බලය නැවත ලගාකරගැනීමේ ප්‍රයත්නයේ කොටසක් නොවේයැයි කාහට තර්කකල හැකිද. අනිත් පැත්තෙන් වත්මන් ආණ්ඩුවේ දියාරු වැඩපිළිවෙල නිසා පාතාලයේ නැවත නැගීසිටීමට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකිව ඇත. විශේෂයෙන්ම පාතාලයට එරෙහිව ක්‍රියාත්මකවූ පෑලියගොඩ අපරාධ කොට්ටාශය, මිරිහාන විශේෂ විමර්ශණ ඒකකය, කොළඹ අපරාධ කොට්ටාශය වැනි ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති අතර ඒවා නැවත සක්‍රීය කිරීමට තවමත් ආණ්ඩුවේ සූදානමක් නැත.
දැනගන්නට ලැබී ඇති පරිදි පාතාල කල්ලි 15ක් පමණ නැවත සක්‍රීයව ඇත. කොළඹ, මිගමුව, ගාල්ල, තංගල්ල, වීරකැටිය වැනි ප්‍රදේශවල ඒවා දැඩිලෙස ක්‍රියාත්මක වෙයි. අනිත් පැත්තෙන් ඉස්ලාමීය අන්තවාදී කල්ලි කාතන්කුඩි,සමන්තුරේ සහ කන්තලේ යන ප්‍රදේශවල නිදැල්ලේ හැසිරෙන තත්ත්වයක් උද්ගතව ඇත. පොලීසිය තුල දක්ෂ නිලධාරීන් ඒවා මර්දනය සදහා යොදවා ඇත. ආණ්ඩුව හොරුන්ට එරෙහිව කටයුතු කරනා උදාසීන සහ මෙගාඩීල් මානසිකත්වයෙන්ම පාතාලයටද උත්තර දෙන අයුරු පෙනෙන්නට ඇත. ඒ නිසාවෙන් පාතාලය සාධකයක් කරගෙන දේශපාලන ගමන හදාගන්නට දගලන ඇත්තන්ට එරෙහිවද කණේ පාරක් දෙන්නට ඇති අවස්ථාව ආණ්ඩුව අහිමිකරගෙන ඇත.