2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවේ වෙඩි තැබීමෙන් හා පහර දීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය බවත්, 37 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එහි සඳහන් වේ.
අදාළ පාර්ශ්ව දුන් සාක්ෂි පරස්පර බැවින් මෙම උද්ඝෝෂණය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සිටිය දී යුධ හමුදාව කැඳෙව්වේ කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනාගැනීමට නොහැකි වූ බව ද කොමිසම පවසයි.
උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස්, ජල ප්‍රහාර හා කැරලි මර්දන සහාය ලබා ගෙන ඇත්තේ හමුදාව වෙඩි තැබීම ආරම්භ කිරීමෙන් පසුව බව ද මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ සාක්කිවලින් සනාථ වී තිබේ.
උද්ඝෝෂකයන් දෙසින් වෙඩි හඬ ඇසුණු බවට හමුදාව හා පොලිසිය ප්‍රකාශ කළ ද ඉතිරිපත් කළ ද ලැබී ඇති සාක්ෂි අනුව උද්ඝෝෂකයන් ගිනි අවි භාවිත කර නොමැති බව කොමිසම සඳහන් කරයි. එමෙන් ම ආරක්ෂාව පතා අසල තිබූ කතෝලික දේවස්ථානය තුළට දිව ගිය පිරිසට ද හමුදාව පහර දී ඇති බව ප්‍රකාශවලින් හා ඡායාරූපවලින් පැහැදිලි වන බව ද එහි සඳහන්ය.
දීර්ඝ විමර්ශනයකින් පසු මානව හිමිකම් කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කරමින් කියනුයේ වැලිවේරිය සහ බැලුම්මහර උද්ඝෝෂණ විසිරුවා හැරීමට සහභාගී වූ යුද හමුදා අණදෙන නිලධාරීන් හා ප්‍රධාන නිලධාරීන්ට එරෙහිව යුද හමුදා විනය අනුව කටයුතු කළ යුතු බවයි.
වෙඩි තබා ඇති නිලධාරීන්ට එරෙහිව උපරිම ලෙස හමුදා විනය අනුව හා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බව ද කොමිසමේ නිර්දේශ අතර සඳහන්ය.
වෙඩි වැදී මිය ගිය පුද්ගලයන්ගේ ළඟම ඥාතීන්ට වන්දි ලබා දීම, වෙඩි වැදීමෙන් හා පහරදීමෙන් තුවාල ලබා ඇති අයට සාධාරණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම හා උපකරණවලට අලාභහානී කිරීම සම්බන්ධයෙන් වන්දි මුදල් ගෙවීමට ද කොමිසම රජයට නිර්දේශ කර ඇත.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳව පොලිසියේ හා හමුදාවේ වගකීමක් ඇති බැවින් ඉදිරියේ දී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නිලධාරීන් දැනුම්වත් කර අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසට පොලිස්පති හා යුද හමුපතිට දැන්විය යුතු බව ද කොමිසම නිර්දේශ කර තිබේ.
මානව හිමිකම් කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ආර් පී පෙරේරා, කොමසාරිස්වරුන් වන ටී ඊ ආනන්ද රාජා, ජසීමා ස්මයිල්, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා සහ වෛද්‍ය බර්නාඩ් ද සොයිසා මහත්වරුන් අත්සන් තැබූ මානව හිමිකම් වාර්තාවේ පිටපත් ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, නීතිපති, හමුදාපති සහ පොලිස්පතිට ද යවා තිබේ.
2013 අගෝස්තු 01 දා සිදු කෙරුණු මෙම නින්දිත තිරශ්චීන පහරදීම සහ මනුශ්‍ය ඝාතනය පිළිබඳව වාර්තාවක් එළිදක්වන්නට වසර දෙකක් කොමිසමකට ගත වීම ලංකාවේ මානව හිමිකම් පැවති තත්වය මනාව පිළිබිඹු කරයි. මානව හිමිකම් යනු හුදෙක් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙසින් පෙන්වා කොමිසම් වාර්තා රෝල් කර අහවල් තැන ගසාගෙන සිටි පාලනය ජනතාව විසින් පන්නා දමන ලද්දේ මෙවන් තුච්ඡ ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු දැකීම සඳහා ය.
තම ගජමිතුරු ව්‍යාපාරිකයා වෙනුවෙන් මිනිස් ජීවිත තුනක් බිලිගත් ගහලයා කවුද යන්න "සාක්ෂි පරස්පරතා" දිගහරිමින් දැන ගැනීම රජයේ වගකීමක් වන අතර නැවත මෙවන් ක්‍රියාවන් ඇති නොවීම සඳහා ආදර්ශයක් ලෙස වගකිව යුත්තන්ට උපරිම දඬුවම් පැමිණවිය යුතුය. නමුත් එය 'පහත් තැනින් ජලය ගලා යාමක්' පමණක් ම නොවිය යුතු අතර තෝරුන් මෝරුන් ද දඬුවම් ලැබිය යුතුමය.