රාජපක්ෂ පාලනය තුළ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා වැනි ඇමති පුතුන් ඩෙඟා නටමින් ජෝගි දමද්දී, රාජපක්ෂගේ අතින් රෝල්ස්, කට්ලට් කෑ ජනමාධ්‍ය හුවා දැක්වූයේ ඇමති පුතුන් නෝටි වුණත් රාජපක්ෂ පුතුන් නම් නයිස් බවය. ඔවුන් රහසින්වත් පව් නොකරන සූකිරි බෝල වැනි කොල්ලන් බවය. මෙසේ එදා රාජපක්ෂ පුතුන් සුදනන් වීමේ හේතු මොනවාද ?
එකක් නම්, රාජපක්ෂ පුතුන් රාත්‍රී සමාජ ශාලා නොව වැසිකිළියකට ගියත් ගියේ ජනාධිපති ආරක්ෂක බළ ඇණි පිරිවරාගෙන වීමයි. සිහියක් පතක් ඇති එකෙක් ඔවුන් හා ගැටුම් ඇතිකරගැනීමට සිතුවේ නැත. රාජපක්ෂලාගේ තරම රට ම දැන සිටි බැවින් පෙරකී තාජුඩීන් වැනි ඔවුන්ගේ ම මිතුරෙක් හැර කිසිවෙක් විහිළුවට හෝ ඔවුන් හා පැටළෙන්නට ගියේ නැත.
දෙවැන්න, යමක් සිදු වුවද එය මාධ්‍ය හරහා ප්‍රචාරණය වීම වැළැක්වීම රාජපක්ෂ පුතුන්ට එක් දුරකථන ඇමතුමකින් පමණක් වුව සිදුකළ හැකි ඉතා සරල කටයුත්තක් වීමයි. මාධ්‍යවේදීන්ට ඒ සමයේ මහ මඟදී මුහුණ දීමට සිදුවූ දේවල් මතක ඇති කෙනෙක් ලෙහෙසියකින් රාජපක්ෂ පවුලට අතක් දිගුකොට යමක් ලීවේ නැත. උක්ත තාජුඩීන් ඝාතනය ගැන පවා සැක පහළ කරමින් ලිවීමට නිර්භය වුණේ ඉතාම අතළොස්සක් පමණි. අනෙක් අතට ඔවුන්ගේ ගුණගායනා ලියවා ගැනීමට ඕනෑ තරම් වන්දිභට්ට මාධ්‍යවේදීන් ඕනෑම මොහොතක සපයා ගැනීම ඔවුන්ට පහසු කරුණක් විය.
තෙවැන්න නම් සිද්ධියක් පිළිබඳ පරීක්ෂණ යට ගැසීම හෝ වෙනතක යැවීම ඔවුන්ට ඉතාම පහසු වීමයි. රාජපක්ෂ සමයේ පොලීසිය සැදී පැහැදී සිටියේ සාක්ෂි දීමට උසාවි ඉදිරිපත් කළහොත් 'කරදරයක්' විය හැකි සැක කරුවන් ආයුධ පෙන්වීමට රැගෙන ගොස් අපාය පෙන්වීමටය. පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියේ එවැන්නන් වැලිකඩ බන්ධනාගාරයට හෝ පැන වැලිගම්පිටි යැවීමට ය. එවන් පොලීසියකින් කවර අපරාධයක් ගැන වුව පරීක්ෂණ පැවැත්වෙන්නේ සිය හාම්පුතුන් වූ රාජපක්ෂ පවුල ගැලවෙන ලෙසය.
ඇමති පුතුන් කළු වී රාජපක්ෂ පුතුන් සුදු ම සුදු වීමේ ඉතිහාසය මේකය. තව ඉදිරියට තව තවත් කරුණු හෙළිදරව් වනු ඇත. මේ මොහොතේ වැදගත් වන්නේ යළි මේ මජර පාලක පරපුරත් යළි මෙවැනි මජර පාලනයක් ඇතිවීම වැලැක්වීමත් වෙනුවෙන් ජනතා පරමාධිපත්‍යයේ කතිරය පාවිච්චි කිරීම්ය.
තුශාරිකා විතානගේ