විල්පත්තු උතුර වනසද් දී බලධාරීන් තවම නිහඬයි Featured

Published in පුවත්
Saturday, 20 June 2015 12:16

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 3000 ක් පමණ නීතිවිරෝධී ලෙස එළි පෙහෙළි කර අලූතින් ජනාවාස පිහිටුවීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු දිගින් දිගට ම සිදු කරද්දී ආණ්ඩුපක්ෂය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන රාජ්‍ය ආයතන ඊට එරෙහිව මෙතෙක් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම විශාල ගැටලූවකි. 2010 වසරේ සිට නීතිවිරෝධි ලෙස ආරක්ෂිත වනාන්තර එළි පෙහෙළි කරමින් සිදු කළ මෙම ජනාවාස පිහිටුවීමේ කටයුතු අද වන විට දේශපාලකයන් විසින් මහා පරිමණ ඉඩම් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇතත් එ් පිළිබඳව නිසි අවධානයක් යොමු නොවීම කණගාටුවට කරුණකි.

එසේ නමුත් මේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටුවීම හේතුවෙන් මේ නීතිවිරෝධී හා පරිසර විනාශකාරී ක්‍රියාවට ජාතිවාදී මුහුණුවරක් ලබා දීමට බොහෝ පිරිසක් උත්සාහ ගනිති. මේ නිසා ම මේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව වගකිව යුතු අංශ ක්‍රියාමාර්ග ගැනීමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට තිබේ. ආණ්ඩුපක්ෂය ද මෙම නීතිවිරෝධී ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වෙනුවට ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ය. ඔවුන්ට පරිසරය ආරක්ෂා කර ගැනීමට වඩා ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට අවශ්‍යව ඇත. බලධාරීන්ගේ මේ මුණිවත රැකීමේ අහිතකර ප්‍රතිඵල භුක්ති විදින්නේ පටු දේශපාලන උවමනාවන් මත පදිංචි කළ අහිංසක ජනතාව හා තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නොනැගිය හැකි වන සතුන් ය.

මෙම අලූතින් ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලිය හුදෙකලා සිදුවීමක් නොවේ. මෙය පසුගිය රජයේ දැවැන්ත ව්‍යාපෘතියක එක් කොටසක් පමණකි. කණගාටුවට කරුණ වන්නේ පසුගිය රජයේ විනාශකාරී ක්‍රියාකාරීත්වය පරාජය කරමින් බලයට පත් වූ වත්මන් යහපාලන රජය ද පසුගිය රජයේ හානි කර ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග හා ව්‍යාපෘති ඒ අයුරින්ම ඉදිරියට අඛණ්ඩව කරගෙන යාම ය.

2009 වසරේ දී යුද්ධය නිමවනවාත් සම`ග ම යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ මොල්ලිකුලම් හා මරිච්චුක්කඞ්ඩෙයි ගම්මාන නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගනිමින් පසුගිය රජයේ විනාශකාරී ව්‍යාපෘතියේ පළමු පියවර තැබුණි. ඉන් පසුව විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ කල් ආරු වනාන්තරය දෙකඩකරමින් පුත්තලම - මන්නාරම මාර්ගය ඉදිකිරීම (එලූවන්කුලමේ සිට සිලාවතුර දක්වා) එම සමස්ථ ව්‍යාපෘතියේ දෙවන පියවර විය. ඉන් පසුව 2010 වසර අවසානයේ දී කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් අලූතින් ජනාවාස පිහිටු වීමේ කටයුතු ආරම්භ කෙරිණ. එමගින් පසුගිය රජයේ බලාපොරොත්තුව වූයේ 2011 - 2030 ජාතික භෞතික සැලැස්මට අනුව මේ ප්‍රදේශයේ මහ පරිමාණ සංචාරක පුරවරයක් හා මහ පරිමාණ නගරයක් බිහි කිරීම ය. ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අයවැයෙන් විශාල ධනස්කන්දයක් වෙන් කෙරිණ. ඊට සමගාමී ව රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා ද තම දේශපාලන හා පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මේ ව්‍යාපෘතිය පසුගිය රජයේ අනුග්‍රහය හා ආශිර්වාදය යටතේ ක්‍රියාත්මක කෙරිණ.

එහි දී පළමු ව අදාළ ආමාත්‍යවරයා විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට දැඩි බලපෑම් එල්ල කර වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර බිම් පාරිසරික නීතිරීති උල්ලංඝණය කරමින් වෙන් කර ගැනින. ඉන් පසුව දිස්ත්‍රික් ලේකම් වරයා හරහා එම භූමිය අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි වලට වෙන් කර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සිදු කරන මුවාවෙන් පුත්තලම, කල්පිටිය හා මන්නාරම ඉඩම් හිමි ජනතාවට බෙදා දෙන ලදී.

2010 වසරේ සිට 2013 වසර දක්වා නීතිවිරෝධි ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කර සිදු කළ ජනාවාස පිහිටු වීමේ ක්‍රියාවලියට රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් නීත්‍යානුකූල මුහුණු වරක් ලබා දීම සිදු කෙරුනේ 2013 වසරේ දී ය. ඒ අනුව 2013 ජනවාරි 15 වන දින එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා විසින් යොමු කළ “අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කිරීම යනුවෙන් දැක්වෙන ලිපියේ සඳහන් කර ඇති පරිදි මන්නාරම, මුලතිව් හා වවුනියාව යන දිස්ත්‍රික්ක තුනට අයත් වනාන්තර අක්කර 2388 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අලූතින් ජනාවාස පිහිටු වීම සඳහා නිදහස් කරණ ලදී. එය සිදු කරණ ලද්දේ හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් මන්නාරම දිස්ත්‍රීක් ලේකම් වරයා වෙත යොමු කරන ලද 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගිනි. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ මරිච්චුකඞ්ඩි - සිලාවතුර මර්ගයේ 23 හා 29 යන කිලෝමීටර් කණු අතර මීටර් 250 ක් පළල වනාන්තර බිම් තීරුව නිදහස් කරණ ලදී. එම ප්‍රදේශයේ කූලන්කුලම්, තම්බදා, මුසලික්කාඩු, මෙතන්වැලි, පන්ඩාරවේලි, පූනච්චිකුලම්, පූතුවේලි, මුසාලි හා කායකුලි යන ගම්මාන වල අවතැන් වූ ජනතාව පදිංචි කිරීම සිදු කරණ බව සඳහන් විය. නමුත් සිදු කෙරුනේ මීට හාත්පසින් ම වෙනස් දෙයකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා දිගින් දිගට ම සඳහන් කරන්නේ අවතැන් වූ ජනතාවගේ ඉඩම්වල ම ඔවුන් ව පදිංචි කරණ බවත් මේ ප්‍රදේශ යුද්ධය පැවති සමයේ දී වනාන්තරයෙන් වැසී ගොස් පැවති බවත් ය. එම ප්‍රකාශ සියල්ලම සාවද්‍ය ප්‍රකාශයන් ය. අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිවල පැහැදිළිව ම සඳහන් කර ඇත්තේ මේ ප්‍රදේශයෙන් පරිබාහිර ගම්මාන 9 ක අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස් කර දෙන ලෙස ය. එම කාලවකවානුවේ දී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහභාගී වු කිසිදු රැස්වීමක දී මේ ඉඩම්වල පෞද්ගලික හිමිකාරීත්වයක් පිළිබඳ ව සඳහන් කර නොමැත. අමාත්‍යවරයා දිගින් දිගට ම ඉල්ලා ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර පදිංචි කිරීමේ කාර්යය සඳහා ලබා දෙන ලෙසට ය. නමුත් අද වන විට ඔහු මෙම ඉඩම් අවතැන් වූ ජනතාවට අයත් බව පවසමින් කිසිදු බියකින් තොරව අසත්‍ය කරුණු සමාජ ගත කරති.
එපමණක් නොව 1938 වසරේ සිට මේ දක්වා ප්‍රකාශයට පත් ව ඇති සියලූම සිතියම් පරිශීලනය කිරීමේ දී ද මේ ප්‍රදේශයේ කිසිදු ආකාරයක ජනාවාස නොපැවති බවත් වනාන්තර පද්ධතියක් ලෙස පැවති බවත් තහවුරු වී තිබේ. අගලේ සිතියම්, 1:50000 සිතියම්, ගුවන් ඡායාරූප හා ගූගල් සිතියම් පරිශීලනය කිරීමේ දී මේ බව ඉතා හොදින් තහවුරු වේ. එම සිතියම් සියල්ල පරිශීලනය කිරීමේ දී පෙනී යන්නේ 2010 වසරේ සිට මේ ප්‍රදේශය ජනාවාස කිරීම ආරම්භ කර ඇති බව ය.

මේ අනුව පෙනීයන්නේ මුලූමහත් සමාජය ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා විසින් මුලා කිරීමට උත්සාහ දරණ බව ය. එපමණක් නොව ඇමති වරප්‍රසාද භාවිතා කරමින් කිසිදු බියකින් තොරව සාවද්‍ය කරුණු සමාජ ගත කිරීම ද සිදු කරණ බව ය.

මේ තත්ත්වය සාදාරණී කරණය කිරීමට දිස්ත්‍රික් ලේකම් වරයා ද සාවද්‍ය ප්‍රකාශ බොහොමයක් සිදු කෙරින. ඔහු පළමු ව සඳහන් කළේ අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කළ කල් ආරු වනාන්තරය තමන් යටතේ පාලනය වන රජයට අයත් භූමියක් බව ය. එබැවින් තමන් විසින් අක්කර භාගය බැගින් අවතැන් වූ ජනතාව අතර මේ ඉඩම් බෙදාදුන් බව ඔහු සඳහන් කෙරින. නමුත් 2001 වසරෙන් පසුව දිස්ත්‍රික් ලේකම් වරුන්ට අයත් වනාන්තර නොමැති බව මන්නාරම දිස්ත්‍රික් ලේකම් වරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. වන සම්පත් හා පරිසර අමාත්‍යංශයේ ලේකම් විසින් 2001 අගෝස්තු 10 වන දින නිකුත් කළ 05/2001 අමාත්‍යංශ චක්‍රලේඛණයට අනුව ලංකාවේ සියලූම දිස්ත්‍රික් ලේකම් වරුන්ට හා ප්‍රාදේශීය ලේකම් වරුන්ට දැනුම් දී ඇත්තේ රජයට අයත් සියලූම අවශේෂ කැලෑ කළමනාකරණය හා පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරණ බව ය. ඒ අනුව මෙම වනාන්තර පාලනය වන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ ය. එසේ තිබිය දී මන්නාරම දිස්ත්‍රික් ලේකම් වරයා විසින් සිදු කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් බෙදා දීම හා එම වනාන්තර ඉඩම්වල නීතිවිරෝධී ක්‍රියාවල නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ය.

2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධි ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සඳහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය.

එවන් තත්ත්වක් පවතිද් දී පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ආධාර හා අනුබල යටතේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ හා දිස්ත්‍රික් ලේකම් වරයාගේ මෙහෙය වීම මත නීතිවිරෝධී ලෙස කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් 2010 වසරේ සිට 2013 වසර දක්වා ම නව ජනාවාස පිහිටුවීම සිදු කෙරිණ. එම කාල වකවානුව තුළ අනවසරයෙන් වනාන්තර එළි පෙහෙළි කිරීමට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් මේ නීති විරෝධි ක්‍රියා තව තවත් වර්ධනය විය.

වන සංරක්ෂණ ආඥා පනත පමණක් නොව ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන අනපනත් උල්ලංඝණය කරමින් මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා අලූතින් ජනාවාස පිහිටු වීම සිදු කර ඇත. 1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු ක්‍රියාමාර්ගයකට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් යොමු වී නොමැත. නමුත් ඊට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තුරුත් ගෙන නොමැත.

1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම හා පදිංචිය සඳහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව කල් ආරු වනාන්තරය එළි පෙහෙළි කරමින් මහා පරිමාණ ජනාවාස පිහිටු වීමට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අනුව පෙනී යන්නේ පසුගිය රජය පැවති සමයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හා රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සියල්ල ම අකර්මන්‍යව සිටි බව ය. මේ නිසා දැවැන්ත විනාශයක් කල් ආරු වනාන්තර පද්ධතියට සිදු වී ඇත.

මේ අතරතුර කල් ආරු වනාන්තර පද්ධතියේ පවතින පාරිසරික, ජෛවවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2012 ඔක්තෝම්බර් 10 වන දින අංක 1779/15 දරණ ගැසට් නිවේදනය යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි කල් ආරු වනාන්තරයේ හෙක්ටයාර 6042 ක භූමි ප්‍රදේශයක් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම වන රක්ෂිතය ප්‍රකාශයට ප්‍රකාශයට පත් කර මාස 4 කට පසුව එම වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 1080 ක් හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතා විසින් නීති විිරෝධි ලෙස ජනතාව පදිංචි කර අලූතින් ජනාවාස පිහිටු වීම සඳහා 2013 පෙබරවාරි 14 වන දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් ලබා දී තිබේ. දේශපාලන බලයට යට වී නිලධාරීන් මේ සිදු කළ විනාශය හේතුවෙන් අද වන විට එ් අවට ජෛව ප්‍රජාව දැඩි පීඩනයකට ලක් ව සිටී.


ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව වන රක්ෂිතයක් තුළ හෝ එහි මායිමේ සිට මීටර් 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් අනුමැතියකින් පසුව පමණක් වන රක්ෂිතයකට අයත් ඉඩම් නිසි පරිදි නිදහස් කිරීමේ හැකියාව ඇත. නමුත් හිටපු වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් මෙම වනාන්තර ඉඩම් අක්කර 1080 නිදහස් කර ඇත්තේ රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ බලපෑම මත පාරිසරික අනුමැතිය ද ලබා නොගෙන ය. මෙවන් බෙලහීන, පරිසරය ගැන නොසිතන, තමන්ගේ නිල බලය ගැන නොදන්නා, තනතුර රැක ගැනීම වෙනුවෙන් ඕනෑම නින්දිත ක්‍රියාවක නිරත වන මෙවන් නිලධාරීන්ගේ තීරණ හේතුවෙන් මෙම වනාන්තර පද්ධතියේ විනාශය සිදු වීම දැවැන්ත අපරාධයකි.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට මෙම වන රක්ෂිතයේ අක්කර 2500 ක් පමණ එළි පෙහෙළි කර පවුල් 1500 කට වැඩි ප්‍රමාණයක් පදිංචි කර තිබේ. එම භූමිය තුළ ස්ථීර නිවාස 500 ක් පමණ හා තාවකාලිකව ඉදි කළ මඩු 1000 කට වැඩි ප්‍රමාණයක් වේ. මෙම අක්කර 2500 ට අමතර ව තවත් වනාන්තර අක්කර 500 ක් රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත එළි පෙහෙළි කර තිබේ. අනවසරයෙන් පදිංචි කළ ජනතාව සඳහන් කරන්නේ මෙම වනාන්තර අක්කර 500 එළි පෙහෙළි කර ඇත්තේ ජනතාව පදිංචි කිරීමට නොව අමාත්‍යවරයාගේ පෞද්ගලික උවමනාවන් මත බව ය.

මේ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු වන සංරක්ෂණ ජනරාල් කේ. පී. ආරියදාස මහතාගේ 2013 පෙබරවාරි 14 වන දින දරන ලිපිය ම`ගින් නීති විරෝධී ලෙස ලිඛිත ව ලබා දුන් වනාන්තර අක්කර 1080 මෙන් තුන් ගුණයක වනාන්තර මේ වන විට මෙම රක්ෂිතයෙන් එළි පෙහෙළි කර තිබේ. එම වනාන්තර සියල්ල ම එළිපෙහෙළි කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමිනි. එම වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, එවායේ පදිංචි වීම, මාර්ග සකස් කිරීම හා වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී වේ. එවන් වරදක් සිදු කරන පුද්ගලයකු හෝ ඒ සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරද කරුවකු වෙයි. එවන් වරදක් සඳහා වැරදිකරුවකු වන පුද්ගලයකු වසර 05 ක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් ලක්ෂයත් දස ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වන රක්ෂිතයට කරන ලද විනාශය සඳහා අධිකරණය මඟින් නියම කරන දඬ මුදලකට ද යටත් කළ හැකි ය.

මේ අනුව මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතය එළි පෙහෙළි කරන පුද්ගලයන්ට හා ඒ සඳහා ආධාර හා අනුබල ලබාදෙන රිෂාඞ් බදියුර්දීන් අමාත්‍ය වරයාට මෙන්ම මන්නාරම දිස්ත්‍රික් ලේකම් වරයාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එසේ නමුත් රක්ෂිත වනාන්තරය විනාශ කරමින් ජනාවාස ව්‍යාප්ත කිරීමට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තව ම අපොහොසත් වී ඇත. රක්ෂිත වනාන්තරය අඛණ්ඩව එළි පෙහෙළි කරමින් තිබිය දී වන සංරක්ෂණ නිලධාරීන් ඇස් කන් නැත්තවුන් සේ මුනිවත රැකීම කණගාටුවකට කරුණකි. එම දෙපාර්තුමේන්තුව මගින් නීත්‍යානුකූල නොවන ලෙස හෝ නිදහස් කර ඇති වනාන්තර ප්‍රමාණය මෙන් තෙගුණයක් පමණ වනාන්තර රක්ෂිත භූමියෙන් මේ වන විට එළිිපෙහෙළි කර ඇතත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තවම නිහඩව සිටින්නේ කුමන හේතුවක් මත ද යන්න ගැටළුවකි.
මෙම රක්ෂිත වනාන්තරය හුදෙකලා වනාන්තරයක් නොවේ. විල්පත්තු උතුරු අභය භූමිය හා විල්පත්තු ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා බැදී පවතින සුවිශේෂී වනාන්තර පද්ධතියකි. මෙම වනාන්තර පද්ධතිය ඛණ්ඩනය නොවී පැවැති අතර අලි - ඇතුන්ගේ ප්‍රධාන නිජබිමක් විය. එපමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමෙන් ගලා බසිනා මෝදර ගං ආරු ඔයේ හා මෙම රක්ෂිතය හරහා ගලා යන කල් ආරු ඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. මෙම වන රක්ෂිතය වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වලින් වැඩි ප්‍රමාණයක් සමන්විත වන අතර සුළු වශයෙන් කටු පදුරු සහිත ලදු කැලෑ බිම්, ගංගාශ්‍රිත වනාන්තර හා විල්ලූ පරිසර පද්ධති වලින් සමන්විත ය.

මෙම වනාන්තර පද්ධතිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැ`දී පවතින අතර එහි ජෛව විවිධත්වයට සමාන ජෛව විවිධත්වයක් මෙම වන රක්ෂිතය තුළින් ද වාර්තා වේ. ඊට අමතර ව පුරා විද්‍යාත්මකව වැදගත් වන ප්‍රදේශයක් ලෙස ද මේ ප්‍රදේශය සැලකිය හැකි අතර ප්‍රධාන වශයෙන්ම මහා ශිලා යුගයට අයත් සාධක හමු වන වනාන්තර ප්‍රදේශයක් ලෙස සැලකිය හැකි ය.

නමුත් අද වන විට වන සතුන්ගේ වාසස්ථාන, පුරා විද්‍යාත්මකව වැදගත් වන ප්‍රදේශ, ජල පෝෂක වනාන්තර බිම් හා සුවිශේෂි පරිසර පද්ධති ඇතුළු ව අක්කර 3000 ක භූමියක් සම්පුර්ණයෙන්ම එළි පෙහෙළි කර තිබේ. එසේ එළි පෙහෙළි කර ඇත්තේ වන රක්ෂිතය ඛණ්ඩනය කරමිනි. ඊට අමතර ව තව දුරටත් වනාන්තර එළි පෙහෙළි කිරීම සඳහා රක්ෂිත වනාන්තරය තුළ ට මාර්ග සකස් කිරීම ද සිදු කර තිබේ. මේ නිසා අලි - ඇතුන් ඇතුළු ව බොහෝ සත්ත්ව ප්‍රජාවකගේ ගැවසුම් ප්‍රදේශ ඛණ්ඩනය වීමට හා ඇහිරීමට ලක් ව තිබේ.

වන රක්ෂිතය තුළ හුදෙකලාව මෙම ජනාවාස පිහිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර එම ප්‍රදේශයේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය විදුලි බලය, මාර්ග පහසුකම් හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට විශාල අමතර පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. විශේෂයෙන්ම ජනාවාස පිහිටන සිලාවතුර ප්‍රදේශයට සැලකිය යුතු දුරකින් මෙම ජනාවාස හුදෙකලාව වනාන්තරය තුළ ස්ථාපිත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ. ඉදිරියේ දී මෙම හුදකලාව පදිංචි කළ ජනතාවට අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට සිදු වනු ඇත. අද වන විට ද එම තත්ත්වය දැක ගත හැකි ය. එපමණක් නොව මෙම ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා ගැනීමට ද විශාල පිරිවැයක් දැරීමට සිදු වනු ඇත. මීට අමතර ව විශාල ගැටලූවක් ලෙස පවතින්නේ පදිංචි කළ ජනතාවට අවශ්‍ය වගා බිම් ලබා දීමට තව තවත් රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වීම ය. දැනට පදිංචි කළ ජනතාවට ඇති ප්‍රධාන ගැටළුව ආදායම් උත්පාදන මාර්ග නොමැති වීම ය. ඔවුන්ගේ වගා කටයුතු සඳහා අමතර ඉඩම් ලබා දෙන ලෙසට මේ වන විට ද පදිංචි කළ ජනතාව දැඩි බලපෑම් එල්ල කරති. ඊට අමතර ව අළුතින් පදිංචි වූ බොහෝ ජනතාව රක්ෂිත වනාන්තර තව දුරටත් එළි පෙහෙළි කරමින් හා රක්ෂිත වනාන්තරයේ මායිම් කණු ඉවත් කරමින් වගා බිම් ස්ථාපිත කිරීම සිදු කරමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය විය හැකිය.

මීට අමතර ව දඩයම, දැව ජාවාරම, හා අලි - ඇතුන් මරා දැමීම යන නීති විරෝධී ක්‍රියා වල වර්ධනයක් මේ ප්‍රදේශයේ දැක ගත හැකි ය. මේ සියළු තත්ත්වයන්්ට හේතු වී ඇත්තේ නුසුදුසු ස්ථානයක, දේශපාලන උවමනාවන් මත පදනම් ව අලූතින් ජනාවාස පිහිටුවීම ය. විශේෂයෙන්ම රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයාට අවශ්‍යව ඇත්තේ අලූතින් ජනතාව පදිංචි කරමින් මන්නාරම දිස්ත්‍රික්කයේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීම හා ඉඩම් අත් පත් කර ගැනීම ය. ඊට අමතර ව යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ගෙන්වා ගැනීමේ දැවැන්ත ජාවාරමක ද රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා නිරතව සිටින බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී ලෙස අලූතින් ජනාවාස පිහිටුවීමේ මෙම හානි කර දැවැන්ත ව්‍යාපෘතිය සඳහා වගකීම් විරහිතව Australian Aid, European Union, Swiss Agency for Development and Cooperation යන රාජ්‍ය නොවන සංවිධාන මුදල් ආධාර ලබා දී තිබේ. එම ව්‍යාපෘති ක්‍රියාත්මකකරු ලෙස එක්සත් ජාතීන්ගේ නිවාස වැඩසටහන (UN Habitat) ක්‍රියා කර ඇත. මීට අමතර ව මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සංවිධාන වලින් ද විශාල මුදල් ආධාර ප්‍රමාණයක් මේ සඳහා ලැබී තිබේ. නමුත් මෙවන් දෑ සිදු වූයේ කුමන අයුරින්ද යන්න පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම කණගාටුවට කරුණකි.

මේ තත්ත්වය මෙසේ පවතිද් දී රිෂාඞ් බදියුර්දීන් අමාත්‍යවරයා සතු ඡන්ද පදනම හේතුවෙන් යහපාලන රජය ද රක්ෂිත වනාන්තර වනසමින් සිදු කරන දැවැන්ත විනාශය දෙස තවම බලා සිටී. අනාගත හා වර්තමාන පරපුරට අයත් සියළු ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් වෙන් කළ මෙම වන රක්ෂිත එක් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික උවමනාව මත විනාශ කිරීමට ඉඩ දිය හැකි ද යන්න ප්‍රධාන ගැටළුවකි.

පසු ගිය රජය සමයේ දී ආරම්භ වී වත්මන් රජය තුළ ද ක්‍රියාත්මක වන මෙම දැවැන්ත වන විනාශයට රජයන් දෙකම එක සේ ආධාර හා අනුබල ලබා දීම මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වීම පිළිබඳව අපට ඇත්තේ විශාල සැකයකි.

අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ මොල්ලිකුලම් හා මරිච්චුකඞ්ඩු ගම්මාන දෙකෙහි අවතැන් වූ ජනතාව එම ප්‍රදේශ වල ම නිසි පරිදි නැවත පදිංචි කිරීමට කටයුතු කරන ලෙස ය. දැනට වන රක්ෂිතයේ එළි පෙහෙළි කර ඇති සියළු වනාන්තර නැවත වන රක්ෂිතයට පැවැරීම හා එළි පෙහෙළි කළ ප්‍රදේශ වල නැවත වනාන්තර වර්ධනය වීමට අවස්ථාව ලබා දීම සිදු කළ යුතු ය. එමගින් වනාන්තර පද්ධතියේ ඛණ්ඩනය වීම යතා තත්ත්වයට පත් කළ හැකි වන අතර එමගින් සියලු ජීවීන්ගේ සුරක්ෂිතතාව හා ජල පෝෂක වල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය.

මෙම දැවැන්ත නීති විරොධී වන විනාශය සඳහා දායක වූ හා ආධාර හා අනුබල ලබා දුන් සියලූ රජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර වනාන්තරයට සිදු කළ හානියට වන්දි මුදලක් ද අය කර ගත යුතු ය. එම මුදල නැවත මෙම වනාන්තරය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යෙදවිය යුතු ය. එ් සඳහා නීත්‍යානුකූල හැකියාව ද ඇත.

එපමණක් නොව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ නිවරැදි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු අතර එහි දී රක්ෂිත ප්‍රදේශ වල පැවැත්මට එල්ලවන බලපෑම් අවම කිරීමට හා එවායේ සුරක්ෂිත තාවය ඇති කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු ය. එපමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතු පටු දේශපාලන උවමනාවන් මත නොව පැහැදිලි විනිවිද භාවයකින් යුතු ව යථාර්තවාදීව සිදු කළ යුතු ව ඇත.


රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කර ඇති ආකාරය

Picture1

20150429 135621

w2

රක්ෂිත වනාන්තර මායිම් ඉවත් කර වනාන්තර එළි පෙහෙළි කර ඇති ආකාරය

wi


ජල පෝෂක වනාන්තර විනාශ කර අලූතින් තාවකාලින ජනාවාස ඉදි කර ඇති බවට සාක්ෂි

07

10


රක්ෂිත වනාන්තර විනාශකර නීති විරෝධී ව ජනාවාස ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ආධාර ලබා දී ඇති ආකාරය

20150429 135432

1

1938 අගලේ සිතියමට අනුව කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ ජනාවාස නොපැවති බවට සාදක

One-Inch-Map

1:50000 සිතියමට අනුව කල් ආරු වනාන්තරය නැතහොත් මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ ජනාවාස නොපැවති බවට සාදක

Picture2

ගූගල් සිතියම් වලට අනුව මෙම වනාන්තරයේ 2010 වසරෙන් පසු ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කළ ආකාරය
2006 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)

m4

2009 සිතියම (ජනාවාස ව්‍යාප්තව නොමැත)

m3

2011 සිතියම (වනාන්තර ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත)

m2

2011 සිතියම (වනාන්තර විශාල වශයෙන් ඉවත් කර ජනාවාස ව්‍යාප්ත කර ඇත)

m1

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2013 පෙබරවාර 14 දින අංක EMDL/04/02/08/11/2012 දරණ ලිපිය මගින් නීති විරෝධීව ලබා දුන් වනාන්තර ප්‍රදේශය (දම් පැහැයෙන් දැක්වෙන) මෙන් තෙගුණයක පමණ වනාන්තර මරිච්චුක්කඞ්ඩෙයි - කරඩික්කුලි වන රක්ෂිතයේ එළි පෙහෙළි කර ඇති ආකාරය (කහ පැහැයෙන් දැක්වේ)

Settlements-and-Protected-Z

සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය

 

Last modified on Saturday, 20 June 2015 05:40

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us