මේ මහජනතාවගේ යුගය මිසක් මහරාජලාගේ යුගය නොවේ - අගමැති

Published in පුවත්
Wednesday, 18 March 2015 07:37

පෞද්ගලික අංශයේ බැංකු ‍‍ක්ෂේත්‍රයේ හා කොටස් වෙළෙඳ පොළේ තිබෙන අක්‍රමිකතා ඉවත් කිරීමට තමන් කැප වී සිටින බවත් මේ මහජනතාවගේ යුගයේ තමන් ඇහුම්කන් දෙන්නේ මහජනතාවට මිස මහරාජාලාට ‍නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති රුපියල් බිලියන දහයක බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේදී ඊයේ (17)ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසීය.


භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති කමිටුවේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පසුගිය සඳුදා සිට නිවාඩු ලබා ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කීවේය.

මෙම බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්‌ කරමින් අගමැතිවරයා මෙසේද කීය


ඉහළම ව්‍යවස්‌ථාදායකය වන පාර්ලිමේන්තුව, ජනතාවට වැදගත් වන්නා වූ කරුණු පිළිබඳව දැනුවත් විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. මෙහිදී මූල්‍ය වැදගත්කමක්‌ සහිත කරුණු විශේෂයි. අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 148 වන වගන්තියට අනුව "රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි."

නමුත් පසුගිය කාල වකවානුවේ මෙවැනි කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකළ බව මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන් දන්නවා. එදා අප මතු කළ කිසිදු ප්‍රශ්නයකට නිසි පිළිතුරු ලැබුණේ නෑ. සිදු වුණු හා සිදු වෙමින් පවතින අක්‍රමිකතා පිළිබඳව අප මේ සභාවේ කරුණු හෙළිදරව් කළා. එවක රජයේ ප්‍රතිචාරය වුණේ අපට අවමන් සහ අපහාස කිරීම පමණයි. බැඳුම්කර නිකුතුව පිළිබඳ මා කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ මෙතෙක්‌ නොකළේ පවත්නා ගැටලු පිළිබඳව අඳ, ගොළු බිහිරි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට නොවෙයි. ඒ නිසා මාගේ නිහඬත්වය වරදවා වටහා ගන්න එපා. මට අවශ්‍ය වුණේ ඒ පිළිබඳ මගේ පළමු ප්‍රකාශය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමටයි.

මුලින්ම සිද්ධියට අදාළ පසුබිම පිළිබඳව කරුණු මම ඉදිරිපත් කරන්නම්. මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී මහාමාර්ග අමාත්‍යාංශය විසින් කිසිදු මුදල් වෙන් කිරීමකින් තොරව රුපියල් බිලියන සියය ඉක්‌මවන කොන්ත්‍රාත්වලට අත්සන් කර තිබුණා. මේ හා සම්බන්ධ ගෙවීම් කටයුතු සිදු කිරීමට කඩිනමින් අරමුදල් අවශ්‍ය වුණා. මුදල් අමාත්‍යවරයා, මහා මාර්ග අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති සහ නියෝජ්‍ය මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් පෙබරවාරි 26 වැනිදා රැස්‌වී මේ ගැන සාකච්ඡා කළා. රුපියල් බිලියන 15 ක්‌ කඩිනමින් අවශ්‍ය බව එහිදී ඔවුන් තීරණය කළා. ඒ වන විටත් රුපියල් බිලියන එකක භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත්a කිරීම වෙනුවෙන් මහ බැංකුව දැන්වීම් පළ කර තිබුණා.

අපි මිළ ගණන් කැඳවූයේ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමවේදය අනුවයි. රුපියල් බිලියන 20 කට අධික භාණ්‌ඩාගාර බිල්පත් සඳහා මිල ගණන් ඉදිරිපත් කර අනතුරුව රුපියල් බිලියන 10 ක්‌ දක්‌වා මිළ ගණන් තෝරා ගන්නා ලෙස ඔහු ප්‍රසිද්ධ ණය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් මණ්‌ඩලයට උපදෙස්‌ දුන්නා. ඔහු ඒ උපදෙස්‌ ලබා දුන්නේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු ඉදිරියේදීයි. මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්‌ඩලයේ කටයුතුවලට මැදිහත් වූවා යන චෝදනාව පදනමෙන් තොරයි. ඉන්පසුව ටෙන්ඩර් මණ්‌ඩලය ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා. ඒ නිර්දේශ කිසිදු වෙනස්‌කමකින් තොරව මහ බැංකු අධිපතිවරයා අනුමත කළා.

අවුරුදු 30 ක බැඳුම්කර නිකුත් කිරීමේ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්‌ පෙබරවාරි 27 වැනිදා මවිසින් පත් කළා. එහි සභාපති ගාමිණි පිටිපන මහතායි. ඔහු නීතිඥ සංගමයේ නීතීඥවරයෙකු වශයෙන් අවුරුදු 27 ක පළපුරුද්දක්‌ ඇති කෙනෙක්‌. විදේශීය හවුල්කාරත්වයක්‌ සහිත සමාගම් ගණනාවක පරිපාලනයට සම්බන්ධ වූ කෙනෙක්‌.

එහි සාමාජික මහේෂ් කලුගම්පිටිය මහතා අපරාධ නීතිය පිළිබඳ නීතීඥවරයෙකු වශයෙන් අවුරුදු 23 ක සේවා පළපුරුද්දක්‌ සහිත ප්‍රවීණයෙක්‌.

තුන්වෙනි සාමාජික චන්දිමාල් මෙන්ඩිස්‌ මහතා නීතීඥ සංගමයේ නීතිඥවරයෙකු වශයෙන් අවුරුදු 18 ක පළපුරුද්දක්‌ ඇති කෙනෙක්‌. පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්‌වීම් කටයුතු සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය කේ. එම්. චොක්‌සි මහතාට සහාය වුණු නීතිඥයෙක්‌.

මෙම සෑම පුද්ගලයෙකුම වසර ගණනාවක පළපුරුද්දක්‌ සහිත ප්‍රවීණයන් වන අතර ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් විමසා බලන්නට පුළුවන්. මෙම නීතීඥවරුන් එකිනෙකා අතර කුළුපඟ සබඳතාවක්‌ නොමැති අයයි. එසේම තම ප්‍රතිපත්ති සුරකින පුද්ගලයන් වශයෙන් ප්‍රකට අයයි. ඒ නිසාම ඔවුන් මහජන පිළිගැනීමට ලක්‌වූ පුද්ගලයින්. මේ වන විටත් එම කමිටුව රැස්‌වී පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තියෙනවා. ඔවුන් පදනම් විරහිත විවේචනයන්ට ලක්‌වීම පිළිබඳව මම දැඩි සේ කනගාටු වෙනවා. මෙම විවේචකයන්ගේ අරමුණ වී ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීම බව ඉතා පැහැදිලියි.

ඔවුන් එක්‌සත් ජාතික පක්‍ෂයේ නීතිඥවරුන් කියමින් චෝදනාවක්‌ද නැගෙනවා. පසුගිය කාලයේ නීතීඥවරුන් බොහෝ දෙනෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට සහයෝගය දැක්‌වීමට ඉදිරිපත් වුණා. මොවුන් එක්‌සත් ජාතික පක්‍ෂ නීතිඥවරුන් යෑයි චෝදනා කරන එක්‌ පුද්ගලයෙක්‌ වන්නේ ශිරාල් ලක්‌තිලකයි. ඔහු රජයේ වගකිවයුතු තනතුරක්‌ දරමින් රජයට එරෙහිව මෙවැනි අපවාද නැගීම නිසා ඔවුන්ගේ විවේචන පිටුපස ඇති අරමුණ පිළිබඳව අපට සැක සංකා මතුවෙනවා.

රුපියල් මිලියන පහක්‌ වටිනා පොදු දේපොළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් මෑත කාලයේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේ ඔය කියන ශිරාල් ලක්‌තිලක මහතාමයි. මෙම ව්‍යාපාරයට එක්‌ව සිටින සුසිල් කිඳෙල්පිටිය මහතා, කාන්තාවකට රිවෝල්වරයක්‌ එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ සිටි අයෙක්‌. පසුව එම කාන්තාව විසින්ම තමන් නැගූ චෝදනා ඉවත් කර ගත්තා. මේ නිසා අප පත් කළ කමිටුවේ සාමාජිකයන්ට චෝදනා පුද්ගලයන්ගේ අවංක භාවය පිළිබඳ ගැටලු මතුවෙනවා.

සිදුකරගෙන යන පරීක්‍ෂණ මේ බැඳුම්කර නිකුතුවට පමණක්‌ සීමා වන්නේ නැහැ. 2012 වසරේ සිට මේ දක්‌වා සිදුවූ පොදු වෙන්දේසි කිරීම් පෞද්ගලික අයදුම්කරුවන්ට බැඳුම්කර නිකුත් කිරීම් ඇතුළු සියලුම ගනුදෙනුත් මීට ඇතුළත්. අවශ්‍ය යෑයි හැඟෙනවා නම් මේ පිළිබඳව වෙනත් ප්‍රවීණයන්ගෙන්ද කරුණු විමසීමට කමිටුවට හැකියාව තිබෙනවා. මීට කලින් මේ ක්‍රියාදාමයන් සිදු වුණේ අයහපත් ක්‍රමවේදයන් ඔස්‌සේ නිසා බොහෝ විස්‌මයජනක කරුණු මේ පරීක්‍ෂණයේදී හෙළිදරව් වෙතැයි මම විශ්වාස කරනවා.

පසුගිය සඳුදා සිට අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවාඩු ලබා තිබෙන අතර මේ පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක්‌ ඔහු තම රාජකාරි කටයුතුවලින් වැළකී සිටින බවද මට දන්වා තිබෙනවා. මේ නිසා සාධාරණ හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්වීමේ පසුබිම ඔහු සළසා තිබෙනවා. මෙම තනතුර මීට පෙර දැරූ පුද්ගලයන් ක්‍රියා කළ ආකාරයට වඩා මෙය හාත්පසින්ම වෙනස්‌ තත්ත්වයක්‌. කෙසේ වෙතත් මහ බැංකු අධිපතිවරයා විසින් අත්සන් කළ යුතුම ලියකියවිලි වේ නම්, ඒ පිළිබඳව තීරණයක්‌ ගැනීමට කලින් මම නීතිපතිවරයාගේ උපදෙස්‌ ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

රජයට එරෙහි චෝදනාවක්‌ නැගුණු අවස්‌ථාවක, ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්‌වීමත්, ඒ ගැන සොයා බැලීමට පරීක්‍ෂණ කමිටුවක්‌ පත් කිරීමත්, එතැනින් නොනැවතී ඒ පිළිබඳ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක්‌ කිරීමත් මෑත ඉතිහාසයේ මේ සිදු වන්නේ පළමු වතාවටයි. පසුගිය දස වසරක පමණ කාලයක්‌ තුළදී මූල්‍ය ක්‍ෂේත්‍රයේ සිදුවූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවන් පිළිබඳව සොයා බැලීම සූක්‍ෂම අයුරින් නවතා දමා තිබුණා. ඒ අවස්‌ථාවල සමහරු කටයුතු කළේ ඇස්‌ කන් නැති අය වගෙයි. ඇත්තෙන්ම සිදුකළ යුත්තේ මේ රජය ගෙන යන යහපාලන ක්‍රියාදාමය ප්‍රශංසාවට ලක්‌ කිරීමයි. නමුත් ඒ කාලයේ නොදරුවන් මෙන් කතා නැතුව සිටි අය අද වීරයන් මෙන් රජයට පහර ගසන්න ඉදිරිපත් වී සිටිනවා.

මේ සභාවේ ඔබ සැමට ඒ පිළිබඳ විමර්ශනය කරන්නට, නිදහසේ අදහස්‌ පළකරන්නට අවකාශ ලැබෙනවා.

ව්‍යාපාරික ප්‍රජාවට යහපත් වන, නිදහස්‌ හා සාධාරණ වාතාවරණයක්‌ අප විසින් නිර්මාණය කර තිබෙනවා. ඔවුන්ට දැන් බියෙන් තැති ගැනීමට අවශ්‍යතාවක්‌ නැහැ. මෙය මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයටත් පොදුයි. තර්ජනය කිරීම් තැති ගැන්වීම් හෝ සුදු වෑන් වලින් යන්න ඔවුන්ට අවශ්‍ය වෙන්නෙත් නැහැ. පසුගිය කාලයේ ඔවුන්ට සමහර ක්‍ෂේත්‍ර ගැන කතා කිරීම තබා ඒ ක්‍ෂේත්‍ර දිහා බලන්නවත් තහංචි දමා තිබුණා.

ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය හා සම්බන්ධ සියලුම ආචාර ධර්මවලට එරෙහිව යමින් නැෂනල් ඩිවලොප්මන්ට්‌ බැංකුවේ එවක කළමනාකාරිත්වය විසින් හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගේ පෞද්ගලික බැංකු වාර්තා බලහත්කාරයෙන් නිකුත් කළා. බැංකු ක්‍ෂේත්‍රයේ නියෑළී සිටින අය මේ පිළිබඳව සොයා බැලීම වටිනවා. මේවා කැසිනෝවත් සූදු පළවල්වත් නෙවෙයි. ඒවාට අදාළ වූ පිළිගත් සම්ප්‍රදායන් හා සම්මුතීන් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ නියෑළීS සිටින්නන් පිළිබඳවත් සොයා බැලීම සිදුවිය යුතු යෑයි මා සිතනවා.

කැබිනට්‌ මණ්‌ඩලය විසින් ගන්නා තීරණය එහිදී අනුගමනය කර නොමැති බව ඉතා පැහැදිලියි. ඒ වගේම එසේ නොකළ බව යළි කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම් දී නැහැ. මේ මුදල් ඒවා වෙන් කළ කාරණා වෙනුවෙන් යොදා ගෙන නැහැ. ඒ නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක ගුවන් යානයකවත් අයිතිය නැහැ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට සිදුකළ යුතු ගෙවීම් හා ලංකා බැංකුවෙන් ලබාගත් ණය පියවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්‌ අවශ්‍යයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්‌ පසුගියදා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්‌ භාරදී තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙනුත් එසේ කිරීමට ඔබ සූදානම් ද කියලා ඒ මන්ත්‍රීවරුන්ගෙන් අහන්න මම කැමතියි.

රටේ සංවර්ධනය වෙනුවෙන් සැබවින්ම වියදම් කළ මුදල් ප්‍රමාණය වගේම දූෂිතයන්ගේ සාක්‌කු තර වූ ආකාරයත්, හෙමින් නමුත් ළඟදීම අපි අනාවරණය කරන බව මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ අය ජනතාවගේ මුදල් නිකරුණේ නාස්‌ති කළ ආකාරය ළඟදීම මේ රටේ ජනතාවට දැනගන්නට ලැබේවි. සමෘද්ධිය පිළිබඳ වෙනස්‌ චිත්‍රයක්‌ මවා පෙන්වීමට උත්සහ කළාට සැබවින්ම තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ ඛේදජනක තත්ත්වයක්‌. විවිධ බොරු ව්‍යාපෘති ඔස්‌සේ, වර්ධනය හා ලැබීම් පිළිබඳ ව්‍යාජ ප්‍රචාර සමාජගත කර තමන් ආර්ථික විශේෂඥයන් යෑයි කියා ගත් පිරිසකගේ පාලනය යටතේ මහ බැංකුව පසුගිය වසර 3 දී මහා පරිමාණයෙන් පාඩු ලබා තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කළ එවැනි සංදර්ශන වෙනුවෙන් කැබිනට්‌ අනුමැතියකින් තොරව ඩොලර් මිලියන ගණන් මේ අය පසුගිය කාලයේ වියදම් කරලා තියෙනවා. එම සමාගම්වල රියෑදුරන්ට පවා ඒ වෙනුවෙන් ඉහළ ගෙවීම් කර තියෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ දූත සේවාව දේශපාලන හිතවතුන්ගෙන් හා පැවති රජයේ ඥතීන්ගෙන් පිරී තිබූ පසුබිමකදීයි.

සැබවින්ම අපේ තානාපති කාර්යාලවලින් සිදු වූයේ රට ප්‍රවර්ධනය කිරීම වෙනුවට ඒවායේ සේවය කළ අය පිම්බීම පමණයි. අති විශාල මුදල් ප්‍රමාණයක්‌ නිරපරාදේ නාස්‌ති වුණා. මහ බැංකුව මේ සියල්ල වංචනික ලෙස මෙහෙයවූ බවටත්, ආර්ථික දත්ත වෙනස්‌ කළ බවටත් විශ්වාසනීය චෝදනා මෙහිදී මතුවුණා. එය එක අතකින් රටේ ආර්ථිකයට හානි කිරීමක්‌. අනෙක්‌ අතින් තම පුද්ගලික අරමුණු සඳහා බදු ගෙවන ජනතාවගේ මුදල් කොල්ලකෑමක්‌. මේ වංචනිකයන් නීතිය ඉදිරියට පමුණුවන්න අප කිසිසේත්ම පසුබට වන්නේ නෑ.

රජය සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ විශ්වාසය බිඳවැටී ඇති බව සමහර මාධ්‍ය වාර්තා කරනවා. නමුත් සැබවින්ම සිදුව තිබෙන්නේ පෞද්ගලික අංශය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටී තිබීමයි. මටත් ඒ ගැන තියෙන්නේ එහෙම අදහසක්‌. නූතන පාරදෘෂ්‍ය පද්ධති සමග අනුගත වෙනවාද, නොඑසේ නම් ඉන් බැහැර වෙනවාද යන්න තීරණය කිරීමට පෞද්ගලික අංශයට අද කාලය එළඹ තියෙනවා. මම ළඟදීම ඒ අයව කැඳවනවා.

පෞද්ගලික අංශයේ, බැංකු ක්‌ෂේත්‍රයේ සහ කොටස්‌ වෙළෙඳපොළේ තිබෙන අක්‍රමිකතා ඉවත් කිරීමට මම කැපවී සිටිනවා. මේ මහජනයාගේ යුගයයි. මම ඇහුම්කන් දෙන්නේ මහජනතාවටයි. මහරජාලාට නොවෙයි.

පැවැති අඳුරු යුගය අවසන් කිරීමට ජනතාවට වුවමනා වෙලා තියෙනවා. පසුගිය මාස දෙක පුරා අපි ඒ "වෙනස" සිදු කරමින් යන බව පෙන්වා තියෙනවා. අපට දැන් තියෙන්නේ බැඳුම්කර ප්‍රශ්නයක්‌ නොවෙයි. ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ සමහර පුද්ගලයන් හා සම්බන්ධ ගැටලුවක්‌. මීට පෙර ඔවුන් ජනාධිපතිවරණයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පැරදවීමට උත්සාහ කළා. දැන් ඔවුන් සහ ඔවුන් වටා ඉන්න කයිවාරුකාරයන් පහත් පෙළේ දේශපාලන වාසි වෙනුවෙන් අපට මඩ ගහන්න උත්සාහ කරනවා. ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයෙන් පසු බලයට පත්වුණ නව රජය විසින් ඇති කළ ප්‍රජාතාන්ත්‍රික වාතාවරණයෙන් ඔවුන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියන එක මම මේ වෙලාවේ සඳහන් කළ යුතුයි.

එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැරදුනා නම් අඩි හයක්‌ පොළව යටට යවන්න බලා සිටි අය අද යහපාලනය ගැන උගන්වන්න එනවා. සදාචාරය ගැන පාඩම් කියා දෙන්න එනවා. අපි ඒ අයගේ අරමුණු ගැන හොඳට දන්නවා. ඔවුන් මේ මඩ ගහන්නේ පරාජයේ වියරුව නිසයි. ඔවුන් ප්‍රශ්න ගැන ක්‍රියා කරපු අන්දමට වඩා සහමුලින්ම වෙනස්‌ අන්දමට අපි ප්‍රශ්න ගැන ක්‍රියා කොට තිබෙන බව අපි පැහැදිලිව ඔප්පු කොට තිබෙනවා. තැන් තැන්වල හැංගි හැංගි මඩ ගහන්නේ නැතිව මහ මැතිවරණයකට පැමිණ අප සමග මුහුණට මුහුණ සටනකට එන ලෙස මම ඔවුන්ට අභියෝග කරනවා.

මහජනතාව යහපාලනය වෙනුවෙන් අපිත් සමග එකතු වෙලා ඉන්නවා. යුක්‌තිය හා සාධාරණත්වය, සෞභාග්‍ය සහ රැකියා අවස්‌ථාවන් උදා කිරීම වෙනුවෙන් ඔවුන් අපත් සමග සිටිනවා. නිදහස වෙනුවෙන් ඔවුන් අප හා එක්‌වී ඉන්නවා.

අප සියල්ලන් එකතු වී ආරම්භ කළ මේ ගමන ගැන ඔවුන් විශ්වාසය තබා තිබෙනවා. අපි ඒ විශ්වාසය කිසිදා පළුදු කරන්නේ නැහැ. පටන්ගත් මේ අභියෝගාත්මක ගමන අපි සාර්ථක කරගන්නවා. අප ඒ ගමන ඉදිරියටම යනවා.

Last modified on Wednesday, 18 March 2015 07:40

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us