පරාජය වූ දුෂ්ට බලවේග කඳුළු සලමින් යළි ජනතාව ඉදිරියට එන්න හදනවා

Published in පුවත්
Tuesday, 13 January 2015 09:47
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කොට ඇති දින 100 වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දෙන ලෙස මේ අවස්‌ථාවේ තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසූහ.
 
විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල සංශෝධනය කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා පිහිටුවීම, මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම ඇතුළු වැදගත් කරුණු රැසක්‌ මෙම දින 100 වැඩපිළිවෙලට අයත් වන බැවින් එය ක්‍රියාත්මක කිරීම සඳහා වසර දෙකක්‌ තුළ පියවර ගත යුතු බවත් එම වසර දෙකෙන් පසු මහ මැතිවරණයකට ගොස්‌ ජනතා මතය විමසිය හැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ. කෝට්‌ටේ නාග විහාරයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්විණි.
 
ජනාධිපති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇතත් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වැඩකටයුතු නිමවී නැති බවත් තම අරමුණු ඉටුකර ගන්නා තෙක්‌ එම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන බවත් සෝභිත හිමියෝ තවදුරටත් සඳහන් කළහ.
 
උන්වහන්සේ මෙසේද කීහ.
 
පාලනයේ වෙනසක්‌ ඇතිවී තිබෙන මේ අවස්‌ථාවේ අප කළයුත්තේ ගහ බැණ මරා ගැනීම නොවෙයි. ජනාධිපතිවරණයේදී මේ රටේ හැට දෙලක්‍ෂයක්‌ ජනතාවක්‌ විසින් පිළිගනු ලැබූ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සියලු දෙනාම සහයෝගය ලබාදිය යුතුයි.
 
දෙමළ ජාතික සන්ධානයත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසය ඇතුළු මුස්‌ලිම් දේශපාලන පක්‍ෂත්, ශ්‍රීලනිපයත් එජාපයත් තවත් පක්‍ෂ රාශියකුත් පසුගිය ජනාධිපතිවරණයේදී එක්‌වී කටයුතු කළා. මේ නිසා සමහරු ජාතිවාදී ප්‍රචාර ගෙන යනවා. මේ ආණ්‌ඩුව හදන්න දෙමළ මුස්‌ලිම් ජනතාවත් උදව් වුණා. ඒ නිසා දෙමළ ජනයා කොටි වශයෙන් හඳුන්වා පැත්තකට දැමීම වැරදියි. එවිටයි ඊළාම් ඇති වන්නේ.
 
මෙහිදී අදහස්‌ දැක්‌වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේ පැවැසීය.
 
පසුගිය 8 දා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ අයථා අන්දමින් උපයාගත් ධනය, රාජ්‍ය දේපළ, අල්ලස්‌දීම, රාජ්‍ය මාධ්‍ය නිර්ලඡ්ජිත ලෙස යොදා ගැනීමෙන් නොවෙයි. එතුමාට විරුද්ධව ආණ්‌ඩුව ගොබල්ස්‌ටත් එහා යමින් පට්‌ටපල් බොරු අසත්‍ය ප්‍රචාරය ගෙන ගියා.
 
ජනතාව විසින් පරාජය කරනු ලැබූ දුෂ්ට බලවේග නැවතත් සිල් රෙදි පොරවාගෙන කඳුළු සළමින්, සාන්තුවරුන් වගේ හැසිරෙමින් යළිත් ජනතාව ඉදිරියට පැමිණීමේ ලකුණු තිබෙනවා. ඒ දුෂ්ට බලවේග විසින් මහජනතාවට එරෙහිව සිදුකරනු ලැබූ අපරාධ අමතක කොට දැන් නැවතත් මහජන අනුකම්පාව ලබා ගැනීමට කටයුතු කරාවි. එම දුෂ්ට බලවේග යළිත් පරාජය කිරීම අත්‍යවශ්‍යයි.
 
ජනතාව ජනවාරි 8 දා ජයග්‍රහණයක්‌ ලබා ගත්තේ කලක්‌ සිටිය අය එළියට දමා වෙනත් එවැනිම පිරිසක්‌ එම පුටුවල වාඩිකර වීමට නොවෙයි. අපි මේ ජනතා අභිලාෂයන් ඉටු කරවා ගැනීමේ අරගලය ආරම්භ කළා පමණයි. මේ අවස්‌ථාවේ දූෂිත දේශපාලනඥයන් හා දූෂිත නිලධාරීන්ද පැති මාරුකොට ආණ්‌ඩුවට එක්‌වෙන්න බලනවා. මේ පක්‍ෂ මාරු කරන අයගේ යටි අරමුණු අප තේරුම් ගත යුතුයි.
 
අදහස්‌ දැක්‌වූ නීතිඥ රවී ජයවර්ධන මහතා මෙසේ කීවේය. පසුගිය කාලයේ මේ රටේ පොලිසිය, අධිකරණය අපකීර්තියට පත්වුණා. හිටපු අගවිනිසුරුවරිය පන්නා දමා එම ධුරයට පත් කළ තැනැත්තා ජනාධිපතිගේ උපදේශකයෙක්‌ මෙන්ම බැංකුවක සභාපතිවරයෙක්‌. ඔහුගෙන් අධිකරණයේ ස්‌වාධීනත්වයක්‌ අපේක්‍ෂා කරන්නට බැහැ. අද නීතිඥයන් සියලු දෙනාම ඔහු ඉවත් කරන ලෙස ඉල්ලා අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විශාල උද්ඝෝෂණයත් කරනවා.
 
දැන් සමහරු නැවතත් මේ රටේ ජාතිවාදය ඇවිස්‌සීමට කටයුතු කරනවා. ඒවාට ඉඩ නොදෙන ලෙසත් එවැනි පුද්ගලයන් සොයා දඬුවම් දෙන ලෙසත් අපි ආණ්‌ඩුවෙන් ඉල්ලනවා.
Last modified on Tuesday, 13 January 2015 09:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us