රාජිත රිමාන්ඩ්

Published in පුවත්
Friday, 29 August 2025 11:28

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළාය.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමට පැමිණීම මඟහැරීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 12 වනදා මෙම විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව නීතිඥවරිය පැවසුවාය.

එම නිසා මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.

මෙහිදී රාජිත සෙනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය.

ඇප පනත යටතේ තම සේවා දායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේය.

අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ මේ වගේ පුද්ගලයන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවා දායකයා සෑම නඩු දිනයකම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත් ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේය.

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ පුද්ගලික පහරදීම් සිදුකිරීමෙන් වළකින ලෙසය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම සැකකාර රාජිත සේනාරත්න මහතා මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළාය.

ඒ අනුව ඇප පනතේ 14 (2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළාය.

වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුවද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මඟහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

කෙසේ වෙතත් මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළේය.

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න මහතා වහාම රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියාය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඒ මහතා රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us