1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8කට සීමා කරන්නැයි ඉල්ලමිනි.
වැඩ වරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස 1000කට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවිය.
1886 මැයි මස 3 වැනි දා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනයකි.
හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අතර සිව්දෙනෙකු මියගියහ.
දින 4ක් පුරා පැවැති මේ වැඩ වර්ජනයට ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් එක්වන්නට පටන් ගත් අතර පෙර දින පහරදීමට එරෙහිව මැයි මස 04 වැනි දා කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවර හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය.
පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මියගියේ ය.
ගැටුම තවත් වර්ධනය වූයේ, පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි.
මෙම ගැටුමේදී මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටත් නිශ්චිත නැත.
සටනට පණ දුන් කම්කරු නායකයින් වූ - ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව නඩු පැවරුණි.
ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ය.
සෙසු 5දෙනා එල්ලා මැරීමට නියම කෙරුණි.
සේවා අයිතීන් වෙනුවෙන් අරගල කරමින් රතු ලේ වැගිරු එම කම්කරු සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදීයි.
ඒ අනුව සෑම වසරකම මැයි මස පළමු වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.
කම්කරු පක්ෂ නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමු වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේදීයි.
-P.M