ඉන්දියාවේ රාජස්ථාන ප‍්‍රාන්ථයේ පිහිටි තම නිවසේදී ගෞරි මිනා ඇගේ පුතුට උපත ලබා දුන්නේ නියමිත දිනට මාස දෙකකට පෙරය. කිලෝ ග්‍රෑම් 1.2ක් වූ බිලිදා ඉන්දියාවේ සාමාන්‍ය දරු උපතකදී වාර්තා වන දරුවකුගේ බරට වඩා අඩක් පමණ බරින් අඩු විය. අඩු බර දරු උපතක් වූ නිසාම තම බිලිදු පුතුගේ ජීවිතයට අනතුරක් වේ යැයි ගෞරි මෙන්ම ඇගේ සැමියා වූ දේවිදාල් බියෙන් පසු විය.
නිවෙස අසල වෛද්‍යවරයෙකුට ඔවුන් දරුවා පෙන්වීමට තීරණය කළේ ඒ නිසාය. වහාම බිලිදා රජයේ රෝහලකට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබිණි. ඝනකම් බ්ලැන්කට් එකක දරුවා ඔතාගත් යුවළ කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටි ඔවුන්ට ආසන්නම රජයේ රෝහල වෙත දරුවා රැගෙන ගියහ.
උදයපූර් නගරයේ මහාරානා බෝපාල් රජයේ රෝහලේ වෛද්‍යවරු මීනාගේ බිලිදු දරුවා පරීක්ෂා කළහ. දරුවා ජීවත් කරවීමේ හැකියාව අවම බව ඔවුන්ගේ තීරණය විය. බිලිදාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වී නොතිබිණ. ඒ නිසාම බැක්ටීරියා ආසාධනයකට ලක්ව සිටි බිලිදාගේ ජීවිතය අවදානම් සහගත වූයේය. ප‍්‍රතිකාර ලෙස ප‍්‍රතිජීවක ඖෂධ ලබාදුන්නද මව්කිරි ලබාදීම වඩා හොදම ප‍්‍රතිකර්මය බව වෛද්‍යවරු මීනාට දන්වන ලදහ. මව්කිරි වල අඩංගු හෝර්මෝන සහ වර්ධක මූලාශ‍්‍ර දරුවාගේ සිරුර ශක්තිමත් කරනු ඇති බව වෛද්‍ය නිගමනය විය.
එහෙත් 22 හැවිරිදි වියේ පසුවූ පෝෂණ ඌණතාවෙන් පෙළෙන මීනාට තම දරුවාට ලබාදීමට තරම් මව්කිරි නිෂ්පාදනය වූයේ නැත. තම කුසින් උපන් දරුවා මරු තුරුලට යනතුරු බලාසිටීම හැර මීනාට සහ සැමියාට වෙන කරන්නට දෙයක් නොවීය.
එහෙත් මරණය පෙනි පෙනී කුඩා බිලිදාට ජීවත් වීමේ වාසනාව තිබුණි. මව්කිරි බැංකුවක් පිළිබදව මීනාට අසන්නට ලැබුණේ අහම්බෙනි.
රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන යන මෙම මව්කිරි බැංකුව උතුරු ඉන්දියාවේ පළමු මව්කිරි බැංකුව ලෙස ප‍්‍රකටව තිබේ. පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට නොමිලේ මව්කිරි ලබාදීම ආරම්භ කර තිබුණේ ප‍්‍රදේශයේ සෞඛ්‍ය සේවා නගාසිටුවීමේ තවත් එක් පියවරක් ලෙසය. සෞඛ්‍ය විශේෂඥයෝ මේ මව්කිරි බැංකුවේ කිරි හැ`දින්වූයේ ‘දියරමය රත‍්‍රං’ ලෙසය.
රජයේ රෝහල් පරිශ‍්‍රයේම පවත්වාගෙන යන මේ මව්කිරි බැංකුවට කුඩා වුවද සියලූ නවීන අංගයන්ගෙන් යුත් සායනයක් තිබේ. එච්.අයි.වී, හෙපටයිටීස් ආදී රෝගවලින් තොර මවුවරුන්ගෙන් ලබාගන්නා මව්කිරි පැස්ටරීකරණයට සහ ශීත කිරීමට ලක්කර වයස මාස හතර දක්වා වූ බිලිදන්ට ලබාදීම සිදුකරයි.
මෙම මව්කිරි බැංකුවේ කාර්ය මණ්ඩලය මේ සදහා විශාල කැපකිරීමක් සිදුකරති. ප‍්‍රදේශයේ මව්කිරි දෙන මව්වරුන් සොයා ගොස් මව්කිරි හිග මව්වරුන්ගේ දරුවන් වෙනුවෙන් කිරි පරිත්‍යාග කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. ඔවුන්ගේ සිතුවිලි සුබවාදී වූ නිසාදෝ මව්වරු 660 දෙනෙකු මව්කිරි පරිත්‍යාග කරන්නට එකගව සිටිති. සතියකට වරක් හෝ දෙවරක් මව්කිරි බැංකුවට පැමිණෙන මේ මව්වරු ඔවුන්ගේ රන් හා සමාන මව්කිරි පරිත්‍යාග කරන්නෝය. උදයිපූර් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සිටින බිලිදුන් 450 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවත් වන්නේ මේ මව්කිරිවලිනි. මීනාගේ පුතුද ඒ අතරින් කෙනෙකි.
‘ඔහු ඉතා ඉක්මනින් සුව අතට හැරුණා. ඒ මීනාගේ සැමියා දේවිලාල්ගේ හඩය. මව්කිරි ලබාදීම ආරම්භ කර දින හයක් ගතවන විට ඔවුන්ගේ දරුවා සාමාන්‍ය අතට හැරී තිබුණේය. හරියටම මාසයකට පසු ඔවුන්ට දරුවා ගෙදර ගෙන යාමට හැකි විය.
2001 වසරේ ඉන්දියාවේ වයස අවුරුදු 5ට අඩු ළදරු මරණ මිලියන 2.3ක් වාර්තා වී තිබූ අතර 2012 වසර වන විට එය මිලියන 1.4 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. එහෙත් තවමත් ගෝලීය ළදරු මරණවලින් සියයට විස්සක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙනි.මේ මියයන දරුවන්ගෙන් හරි අඩක් පමණ දින 28ට අඩු අය බව පසුගිය මැයි මාසයේ පළවූ ලැන්සට් වාර්තාව පෙන්වා දෙයි.
එරට වෛද්‍යවරු සදහන් කරන ආකාරයට මේ ළදරු මරණවලට හේතුව අඩු බර උපත් සහ බිලිදුන් විවිධ ආසාදනයන්ට ගොදුරු වීමය. මීට අමතරව කොලරාව සහ නිව්මෝනියාවද මෙයට අඩු වැඩි වශයෙන් දායක වේ.
මේ බිලිදු මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමේ හොදම මග ලෙස ‘සේව් ද චිර්ලන් ’ සංවිධානය පෙන්වා දෙන්නේ මව්කිරි ලබාදීමය. අලූත උපන් දරුවන්ට හොදම ආහාරය වන මව්කිරි දරුවා උපන් වහාම ලබාදිය යුතු අතර අවම වශයෙන් මාස හයක් ගතවනතුරු නොකඩවා ලබාදීම අවශ්‍යමය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම යුනිසෙෆ් සංවිධානයද මේ මතයට එක`ගය.
ඉන්දියාව පුරා මව්කිරි බැංකු ආරම්භ වන්නේ ඒ අනුවය. 2005 වසරේදී රාජස්ථාන් ප‍්‍රාන්තයේ ‘දිව්‍යා මදර් මිල්ක් ’ බැංකුව ආරම්භ වීම සමග මේ සම්ප‍්‍රදාය එරට ප‍්‍රචලිත විය. උදයපූර් හි රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීම මත මෙම බැංකුව ස්ථාපනය කෙරුණේ නගරයේ අත්හැර දමන ලද දරුවන් සදහා වූ ‘මහේෂ් ආශ‍්‍රම්’ අනාථ නිවාසය තුළය. එම රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානී යෝගා ගුරු දේවේන්ද්‍ර අග‍්‍රාවාල් සදහන් කරන ආකාරයට ඉන්දියාවේ බොහෝ දරුවන් අඩු ප‍්‍රතිශක්තිකරණයකින් යුතුය. එයට හේතුව ඔවුන්ට මව්කිරි නොලැබීමය.
මේ බැංකුවෙන් මව්කිරි සැපයෙන්නේ රජයේ රෝහල්වල ප‍්‍රතිකාර ලබන නොමේරු ළදරුවන්ටය. මව්කිරි සපයා ගැනීමේ සීමා පවතින බැවින් මේ සේවාව ඉන් එපිටට ව්‍යාප්ත කිරීම පහසු නොවේ.
මෙම මව්කිරි බැංකුව පිහිටුවීමෙන් පසුව කොල්කටාහි ද ප‍්‍රාන්ත රජයේ සහාය ඇතිව මව්කිරි බැංකුවක් පිහිටුවීය. මේ වසර අවසන් වන විට ජායිපූර් නගරයේ මව්කිරි බැංකුවක් ආරම්භ කිරීමේ සැලසුමක් පවතී.
මව්කිරි බැංකු පිහිටුවීමේ සංස්කෘතියට මේ වනවිට බැංකු විශේෂඥයන්ගේ අනුමැතියද හිමිව තිබේ. එහෙත් රජයේ සහාය ඒ සදහා හිමිවිය යුතු බව ඔවුන්ගේ අදහසයි.
‘ඒක හරිම අමාරු වැඩක්. මව්කිරි බැංකුවකින් වටිනා සේවකයෙක් වෙනවා කියන එක රජයක් විශ්වාස කරන්නේ නැහැ… සත්තුන්ගේ කිරි, පිටි කරලා විකුණන්න පුළුවන්නම් මිනිස්සුන්ගේ කිරි, පිටි කළාම මොකද?’
වෛද්‍ය අර්මිඩා ෆර්ඩිනැන්ඩස් සදහන් කරන්නේය.
1989 වසරේ මුම්බායි නගරයේදී ඉන්දියාවේ පළමු මව්කිරි බැංකුව ආරම්භ කළේ ඔහුය.
දැන් දැන් මව්කිරි බැංකු ඉන්දියාවේ ජනප‍්‍රිය වෙමින් පැවැතියද වෛද්‍ය අග‍්‍රාවාල්ට ඉන් එහා ගිය සිහිනයක් තිබේ.ඒ පිටිකළ මව්කිරි පැකට් ග්‍රොසරියකින් මිලදී ගන්නට හැකි වාතාවරණයක් සැකසීමය.
(lanka C news)