ආර්ථිකය යළි ගොඩනඟන රනිල්ගේ මාර්ග සිතියම   Featured

Published in පුවත්
Tuesday, 05 July 2022 11:52

අගමැති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුව හමුවේ සිදුකළ විශේෂ ප්‍රකාශය.

අද වැටී තියන ආර්ථිකය යළි නංවාලීම සඳහා අප අනුගමනය කරන මාර්ග සිතියම නැතිනම් ගමන් සැලැස්ම ගැන තොරතුරු අද මේ සභාවත්, රටේ ජනතාවත් ඉදිරියේ පැහැදිලි කරන්න මම සූදානම්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නට අපට හැකි වුණා.එකඟතා ගණනාවකට එළඹෙන්නට අපට පුළුවන් වුණා .මේ නිසා මාර්ග සිතියම වඩාත් සවිස්තරාත්මක ලෙස ඔබ ඉදිරියේ තබන්නට දැන් අපට පුළුවන්.

මීට කලින් අවස්ථා ගණනාවකදී අපේ රට අයි එම් එෆ් සමඟ සාකච්ඡා පවත්වා තියෙනවා. හැබැයි ඒ සියලු අවස්ථාවට වඩා මෙවර තත්ත්වය වෙනස්. බරපතලයි. වෙනදා අපි සාකච්ඡා පවත්වා තියෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට. එවැනි අවස්ථාවක දෙපාර්ශවයට ඇත්තේ ආධාර ලබා ගැනීම සහ ඊ එෆ් එෆ් හෙවත් විස්තීරණ ණය ආධාර ගැන එකඟත්වයකට ඒම පමණයි. එය සරල රේඛාවක් දිගේ ගමන් කරනවා වගේ වැඩක්.

නමුත් දැන් තත්වය වෙනස්. අපි දැන් සාකච්ඡා වලට සහභාගි වෙන්නේ බංකොලොත් රටක් විදිහට. ඒ නිසා සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා වලට වඩා දුෂ්කර සහ සංකීර්ණ තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වෙනදා මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණීමෙන් පසු, ඒ එකඟත්වය අයි එම් එෆ් අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්න පුළුවන්.

ඒත් අපේ රට පත්ව ඇති බංකොලොත් තත්ත්වය නිසා අපිට සිද්ධ වෙනවා අපේ ණය තිරසරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් වෙනමම ඔවුන්ට ඉදිරිපත් කරන්න. ඒ සැලසුම පිළිබඳව ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට අපට එළඹෙන්නට පුළුවන්. මේ ක්‍රියාවලිය කලින් වගේ සරල රේඛාවක ගමනක් නෙවෙයි. වංකගිරියක ගමනක්.

නමුත් ඒ දුෂ්කරතා මැද සාකච්ඡාව වටය ඵලදායි ලෙස අවසන් කිරීමට ලැබීම සතුටට කරුණක්. අයි.එම්.එෆ්. නිල නිවේදනයට අනුව "ආධාර කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාධනීය සහ ඵලදායි සාකච්ඡා පැවැත්වුණා. සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවුණා."

දැන් ඊළඟ පියවර වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කිරීම, මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්‍ලිෆඩ් චාන්ස් සමාගම් දැන් ඒ වාර්තාව සකස් කරමින් සිටිනවා. අගෝස්තු මාසය වෙද්දී වෙද්දි ඒ වාර්තාව අයි.එම්.එෆ්. වෙත ඉදිරිපත් කරන්නට අප බලාපොරොත්තුවෙනවා.

ඉන්පසුව මාණ්ඩලික එකඟතාවකට එළඹීමට අපට හැකි වේවි. ඊටත් පසුව ඒ එකඟතාව අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනවා. අනුමැතිය ලැබුණු පසු, වසර 4 ක කාලයක් සඳහා විස්තීරණ ණය ආධාර වැඩ පිළිවෙලක් සකස් කෙරෙනවා අප දැන් ගමන් කරමින් සිටින්නේ අන්න ඒ මාර්ගයේ.

ඒ වගේම අයි.එම්.එෆ්. මාණ්ඩලික එකගතාවය ලබාගත් පසු අප ඉන්දියාව, චීනය සහ ජපානය වැනි අපට ණය ආධාර වැඩි වශයෙන් ලබාදෙන මිත්‍ර රටවල් එක්කරගෙන ආධාර පූජා සමුළුවක් සංවිධානය කරන්න කටයුතු කරනවා. පොදු එකඟතාවක් ඔස්සේ ණය ආධාර ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමටයි අප බලාපොරොත්තු වෙන්නේ.

මූලිකම ප්‍රශ්නය

අද අප මුහුණදෙන ප්‍රශ්න අතරින් මූලිකමප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදය. ඊට සමාන්තරව ආහාර සුලබතාව පිළිබඳ ගැටලුවටත් අපි මුහුණ දෙනවා. ඉන්ධන සහ ආහාර සම්බන්ධයෙන් අපේ රට කාලයක සිට අර්බුදයට යමින් සිටියේ. ඉන්ධන හිඟ වුණා. ආහාර මිල ඉහළ ගියා.

නමුත් මෑතකදී ඇතිවුණු ගෝලීය අර්බුද නිසා මේ තත්ත්වය වඩාත් උග්‍ර වුණා වුණා කබලේ සිටි අප ලිපට වැටුණා. යුක්රේන- රුසියා යුද්ධය නිසා අපේ ප්‍රශ්නය ඔඩු දිව්වා. දැන් සිදුවී තියෙන්නේ අපේ අර්බුදය උඩට ජාත්‍යන්තර අර්බුද කඩා පාත්වීම. මේ තත්ත්වය අපට පමණක් නොවෙයි. වෙනත් රටවලටත් බලපානවා. ඉන්දියාව හා ඉන්දුනීසියාව මේ බලපෑමෙන් පීඩාවට පත්වෙමින් යනවා. ඒ නිසා අපට ලබාදෙන ණය ආධාර සහන සීමා කිරීමට ඉන්දියාවට සිදුවී තිබෙනවා.

මුළු ලෝකයටම මේ තත්ත්වය එකසේ බලපානවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංවර්ධිත රටවල් සහ සංවර්ධනය නොවූ රටවල් අතර පරතරය ඉහළ නැංවෙන බවට එක්සත්ීම බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා අනතුරු අඟවා තියෙනවා. ඒ වගේම රටක අභ්‍යන්තරයේ ඉහළ පන්තිය සහ පහළ පන්තිය අතර පරතරයත් වැඩි විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා. මේ ලෝක අර්බුදයෙන් පරිබාහිරව හුදෙකලා වෙන්න ලෝකයේ කිසිම රටකට බැහැ. අපිත් මේ සියල්ලට මුහුණ දිය යුතු වෙනවා.

අපට මුහුණ පාන්නට ඇති දේශීය සහ ගෝලීය අභියෝග සියල්ල ම සලකා බලා තමයි මේ මාර්ග සිතියම, නැත්නම් ගමන් සැලසුම අපි සකස් කළේ. මේ මාර්ගයේ නොයා පරණ ක්‍රමයේම අපට ඉන්න පුළුවන්. හැබැයි එහෙම හිටියොත් එක තැන පල් වෙලා මුළු රටම කඩා වැටෙනවා.

ඒ නිසා අප වෙහෙසිය යුත්තේ මේ ගමන්මග ඉදිරියට යෑමයි. එය ලේසි පහසු ගමනක් නොවෙයි. මම ඒ බව වරින් වර ඔබට සිහිපත් කර දී තියෙනවා. අසීරු ගමනක්. දුෂ්කර ගමනක්. කටුක ගමනක්. ඒත් ඒ ගමන කෙළවර අපට සහනයක් ලබා ගන්න පුළුවන්. ප්‍රගතියක් දිනාගන්න පුළුවන්.

 

ආර්ථික වර්ධන වේගය -4 ත් -5 ත් අතර

අපේ ආර්ථිකය වර්තමානයේ හැකිලෙමින් පවතින්නේ. අපි එය ආපසු හැරවීමටයි මේ වෙහෙසෙන්නේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන අනුව අපේ වර්තමාන ආර්ථික වර්ධන වේගය ඍන හතරත්, ඍන පහත් අතර අගයක් ගන්නවා. අයි.එම්.එෆ්. සංඛ්‍යාලේඛන අනුව එය ඍන හයත් ඍන හතත් අතර වෙනවා. මෙය බරපතල තත්ත්වයක්. අපි මේ මාර්ග සිතියම ඔස්සේ අධිෂ්ඨානශීලී ගමනක් යෙදුනොත්, 2023 අවසන් වෙද්දී ඍන එකක ආර්ථික වර්ධන වේගයක් අපට ලබාගන්න පුළුවන්.

2025 වෙද්දි ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් ඇති කරගැනීම අපේ ප්‍රයත්නයයි. ආර්ථික වර්ධන වේගය ස්ථාවර තත්ත්වයකට ඉහළ නංවා ගැනීම අපේ උත්සාහයයි. 2026 වෙද්දි ස්ථාවර ආර්ථික පදනමක් ඇති කරගැනීම අපේ අපේක්ෂාවයි .

අපි මේ වන විට ගෙවන්නට ඇති ණය පිළිබඳව අදහසක් ඔබට ලබා දෙන්නට මා කැමතියි. මේ වසරේ ජූනි දෙසැම්බර් අතර ඩොලර් මිලියන 3489 ක්. 2023 දී මිලියන 5860 ක්. 2024 දී මිලියන 4916 ක්. 2025 දී මිලියන 6287 ක්. 2026 දී මිලියන 4030 ක්. 2027 දී මිලියන 4381 ක්.

2021 අවසානයේ රජයේ මුළු ණය බර රුපි 17,589.4 ක්. 2022 මාර්තු වෙද්දී රුපියල් බිලියන 21,696.6 ක්.

මේ තමයි සැබෑ තත්ත්වය. මීට අමතරව ගෙවුණු වසර දෙක තුන තුල උග්‍ර වුණු ප්‍රශ්න ගණනාවක බලපෑම් අප හමුවේ තියෙනවා. ඒවා දවසින් දෙකෙන් විසඳිය හැකි ප්‍රශ්න නෙවෙයි. ඒ වගේම වසර ගණනාවක් පුරා අපේ රටේ ක්‍රියාත්මක වූ යම් යම් සාම්ප්‍රදායික අදහස් නිසා ඇති වුණු බලපෑම් වලින් අපි පීඩා විඳිනවා. ඒ නිසා මම කලිනුත් සඳහන් කළා වගේ 2023 වසරේ දී ත් අපට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

මේකයි ඇත්ත. මේකයි යථාර්ථය. ජනතාවට සිහින ලෝක මවා පෙන්වා මේ යථාර්ථය අවසන් කරන්න සමහරු උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඒවා සුන්දර වචන පමණක් බව කාලයත් සමඟ සනාථ වේවි.

 

උද්ධමනය පාලනය කිරීම

අපේ සැලසුම උද්ධමනය පාලනය කරලීම උදෙසා වෙහෙසීමයි. මේ අවුරුද්ද අවසාන වෙද්දී උද්ධමනය 60% දක්වා ඉහළ නැංවෙනවා. ලෝකයේ භාණ්ඩ මිල ඉහළ නැගීමත්, රුපියලේ අගය පහත වැටීමත් මීට ප්‍රධාන වශයෙන් බලපානවා.
වර්තමාන උද්ධමනය නිසා, රුපියලේ වටිනාකම අඩුවීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ දැන් ඇති මුදල් වල වටිනාකම 50% කින් පහළ බැහැලා තියෙනවා විශ්‍රාම වැටුප් වල සැබෑ වටිනාකමත් සියයට 50% කින් පහළ බැහැලා.

අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ තත්ත්වය බලපාන හැටි කල්පනා කරලා බලන්න. ඔවුන් සියලු දෙනා අතර දිළිඳුකම පැතිරෙමින් පවතිනවා. ඔවුන් අතට ලැබෙන මුදලේ වටිනාකම සියයට 50% කින් පමණ අඩු වෙලා. ඔවුන් ගේ මිලදී ගැනීමේ ශක්තිය 50% කින් පමණ අඩු වෙලා. සිහින ලෝක මවන එක ලේසියි. හැබැයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම අසීරුයි.

මොකක්ද මේකට විසඳුම. හැකි ඉක්මනින් රුපියල ස්ථාවර කිරීම, රුපියල වැටෙන්න නොදී ශක්තිමත් කිරීම. ඒ අරමුණින් ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීම සීමා කිරීමේ සැලසුමක් අප ක්‍රියාවට නංවා තියනවා.

2023 වසරේ අවස්ථා කිහිපයකදී සීමා සහිතව මුදල් මුද්‍රණය කරන්නට අපට සිදු වේවි. නමුත් 2024 අවසන් වෙද්දී මුදල් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නවතා දැමීම අපේ අභිප්‍රායයි .

අප ඉලක්ක කරන්නේ 2025 වෙද්දි උද්ධමනය වේගය සියයට 4 ත් 6 ත් අතර මට්ටමකට පහත දමන්නයි.

අප සිදුකළ යුතු තවත් ප්‍රමුඛතම කාර්යයක් වන්නේ බැංකු සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීම. ආර්ථික අර්බුදයක අර්බුදයකදී මේ පද්ධතීන් වෙත එල්ලවෙන පීඩනය මේ සභාවට අලුතෙන් විස්තර කළ යුතු නැහැ. නමුත් මේ පීඩනය නිසා බැංකු පද්ධතියට අබ මල් රේණුව කින් හෝ අගතියක් සිදු වන්නට අප ඉඩ දෙන්නේ නැහැ. බැංකු සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරලීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබාදී තියෙනවා .

 

පාඩු ලබන ආයතන

මේ අතර රාජ්‍ය බැංකු පිළිබඳ ව අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන් දෙපැත්තකින් බැට කනවා. එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් රාජ්‍ය ව්‍යවසාය සඳහා ඔවුන් ලබා දී ඇති දැවැන්ත ණය ප්‍රමාණය.

2021 මාර්තු 31 වෙනිදා වෙද්දි ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 541 ක් ණයයි. 2022 මැයි 31 වෙනිදා වන විට විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 418 ක් ණයයි. ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1460 ණයයි.

රාජ්‍ය ව්‍යවසාය දිගින් දිගටම පාඩු ලබද්දී එයින් බැට කන්නේ සමස්ත පුරවැසියන්. ජීවිත කාලය පුරා ගුවන් යානාවක ගමන් නොගත් ජනතාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව වෙනුවෙන් දුක් විඳිනවා. ජීවිත කාලය පුරා මුදල් ලබාදී ඉන්ධන ලබා ගත් ජනතාව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් පීඩා විඳිනවා.


පෝලිම් වල වරු ගණන්, දින ගණන්, රස්තියාදු වෙමින් ඉන්ධන ලබා ගන්නා වාරයක් වාරයක් පාසා ඔවුන් තෙල් සංස්ථාවේ සංස්ථාවේ පාඩුව පියවන්න වන්දි ගෙවනවා. ජීවිත කාලය පුරා මුදල් ගෙවා විදුලි බලය ලබා ගන්නා ජනතාව දවසකට පැය කිහිපයක් කලුවරේ ද හිඳිමින් විදුලිබල මණ්ඩලයේ පාඩුව වෙනුවෙන් කරදර විඳිනවා. වන්දි ගෙවනවා.

ජනතාව විඳින මේ දුක්, පීඩා, කරදරත්, ආයතන වල පාඩුව වෙනුවෙන් ගෙවන වන්දි වසා දැමීම සඳහා කාලයක් තිස්සේ පාවිච්චි කරන පිරුවටයක් තියෙනවා. ජනතා සම්පත්, ජනතා දේපල මෙන්ම මේ පිරුවටයෙන් ඒ ඒ ආයතන වල අසාර්ථකත්වය වසා ගන්නවා. මේවා සැබෑ ජනතා දේපළ සහ ජනතා සම්පත් නම්, ඒවායින් ජනතාවට සහනයක්, පහසුවක්, ලේසියක්, ලාභයක් සැලසිය යුතුයි. ඒත් මේවායින් ජනතාවට උරුම වී තියෙන්නේ දුක්, පීඩා, කරදර සහ පාඩු .

ඒ නිසා රටටත් ජනතාවටත් බරක් වී ඇති මෙවැනි ආයතන පිළිබඳව අලුතින් සිතන්නට අපට සිදුවෙනවා. වසර තිහ හතළිහක් තිස්සේ ජනතාවට මේ අයුරින් බර පැටවීම සාධාරණ ද ? තවදුරටත් ජනතාවට බර පටවමින් මේ ආයතන පවත්වාගෙන යා යුතු ද? මේ ආයතන මගින් ලබාදෙන සේවාවන් ජනතාවට බරක් නොවන ලෙස ලබා දෙන්න බැරි ඇයි? මේ සේවාවන් ලබා දීමේ වෙනත් විකල්ප නැද්ද?

මෙන්න මේ කරුණු සියල්ල සලකා බලා මෙම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අප කඩිනමින් පියවර ගන්නවා. ඒවා රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සහතික කරනවා.

වත්මන් අභියෝග ජයගැනීම සඳහා අප යන ඉදිරි ගමනේ දී අවධානය යොමු කළ යුතු තවත් කරුණු ගණනාවක් තියෙනවා.

එකක් තමයි හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ පසුබිම සකස් කිරීම සහ ආහාර මිල ගණන් ඉහළ යෑම කිසියම් කිසි යම් පාලනයකට නතු කර ලීම.
අනෙක් අතින් ආහාර සුලභත්වය වැඩි කිරීම සඳහා පියවර ගැනීම. ලබන මහ කන්නයේ අස්වනු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම අප දැන් සකස් කර අවසන්. රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න සියලු පියවර දැනටමත් ගෙන තියෙනවා. බීජ සහ රෝපණ ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්කාලීන අයවැය මගින් වෙන් කරනවා.

 

ලෝක ආහාර වැඩසටහන

ඒ වාගේම ගේම ලෝක ආහාර වැඩසටහන සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සමග එක්වී ආහාර සුලභත්වය වැඩි කිරීමේ වැඩසටහනක් දැනටමත් අප ආරම්භ කර තියෙනවා. මේ වන විට ඔවුන්ගේ නියෝජිත පිරිසක් ලංකාවේ ආහාර අර්බුදය පිළිබඳ විමර්ශනයක නිරත වෙනවා. මගේ ආරාධනයෙන් ලබන සතියේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා ලංකාවට පැමිණෙනවා.

කොයි තරම් දැවැන්ත ආර්ථික අර්බුදයකට මැදි වී සිටියත් සමාජයේ දිළිඳු ම කොටස් ආහාර සම්බන්ධයෙන් මුහුණ දෙන ගැටළු අපිට අමතක කරන්න බැහැ. ඉදිරියේ දී ගෙන එන අන්තර්කාලීන අයවැය මගින් සමාජයේ ඉහළම කොටස් සඳහා කෙටිකාලීන සහන ලබා දීමට මුදල් වෙන් කරනවා. සමාජ සුභසාධන ප්‍රතිලාභ නීතිය යටතේ මේ සහන ජනතාවට ලබා දෙනවා.

ඒ වගේම ආහාර හිඟතාව නිසා ඇතිවෙමින් යන මන්දපෝෂණ තත්ත්වයන් වළක්වාලීමේ කටයුතු අප දියත් කරනවා.

මේ කටයුතු වලට සමාන්තරව වගාවන් සදහා සඳහා අවශ්‍ය දිරි ගැන්වීම් කරනවා. පහසුකම් ලබා දෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙනත් අදාළ අමාත්‍යාංශ එක්කරගෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද මැදිහත් වීමෙන් දීප ව්‍යාප්ත වගා වැඩසටහනක් දියත් කරනවා. මේ වැඩපිළිවෙළේ අරමුණ විමධ්‍යගත මට්ටමෙන් ආහාර සුලභතාව වැඩි කිරීමයි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සතිපතා රැස් වෙමින් අවශ්‍ය ක්‍රීයාමාර්ග ගන්නවා. ඉදිරි මාස හයක හතක කාලය තුළ සමස්ත ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වෙනවා

අපනයන ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්ති තීරණ ගණනාවක් ගැනීමට අප පියවර ගන්නවා. ඉදිරි අන්තර්කාලීන අයවැයට ඒ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වෙනවා.

අප මේ සැලසුම්කර ඇති මාර්ගයේ ඉදිරියට ගියොත් අනාගතය ගැන යහපත් බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. අප සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ඒ කාර්යය භාරයට උර දිය යුතුයි. අප පැටලී ඇති දැල ඔසවාගෙන පියාඹන්නට අපි හැමෝම එකතු විය යුතුයි.

එහෙම කටයුතු කළොත් අපට 2025 වෙද්දි යළිත් 2019 අවුරුද්දේ අප සිටි තත්ත්වය කරා පැමිණීමේ අපේක්ෂාව ඉටු කරගන්න පුලුවන් වේවි. එතනින් මේ ගමන නවත්තන්නට බැහැ. නව ආර්ථිකයක් නිර්මාණය කරගැනීම දක්වා අප මේ ගමන ඉදිරියටම යා යුතු වෙනවා.

අන්තර්කාලීන අයවැය මගින් මේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

 

එකමුතු වීමේ වැදගත්කම

මම අගමැති වගකීම් භාරගත් අවස්ථාවේ විපක්ෂයේ පක්ෂ වෙතින් ලිඛිතව ඉල්ලීමක් කළා, මේ අසීරු හා අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් එක්ක කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්න කියා. ඒ අවස්ථාවේ ඊට ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ හැමදෙනාම දන්න.

මේ එකමුතු වීමේ වැදගත්කම, එකට එක්ව මේ දුෂ්කර අවදියෙන් ගොඩ ඒමේ වැදගත්කම, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් විටින් විට පෙන්වා දී තියෙනවා.

ඒ බවත් සිහිපත් කරමින් මම යළිත් මේ සභාවේ සිටින සියළුම පක්ෂ නියෝජිතයන් ගෙන් යළිත් ඉල්ලා සිටින්නේ මේ අභියෝගය ජයගැනීමට එකට එක්වෙන ලෙසටයි.

අපේ අවසාන ඉලක්කය ඉහළ තරගකාරීත්වය කින් යුතු සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කරගැනීමයි. මෙතැනදී අපට වින චීනය සහ වියට්නාමය වැනි රටවලින් ගතයුතු ආදර්ශයන් ද තියෙනවා. ඔවුන් තරඟකාරී සමාජවාදී වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයන් සාර්ථකව පවත්වාගෙන යන රටවල්.

අනුර කුමාරට උත්තරයක්

මා දන්නා තරමට අපේ ඉලක්ක ජය ගැනීම සදහා කෙටි පාරවල් නැහැ. මැජික් හෝ විශ්ව විශ්වකර්ම ක්‍රම නැහැ. ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රී තුමියත් පසුගිය දිනෙක ඒ බව අවධාරණය කළා.

එතුමිය මෙසේ ප්‍රකාශ කළා. "අපිට හිස් බඳුනක් ලැබෙන්නේ .ලේසි නෑ මේක. අපි හිතන්නේ නෑ අපි බලයට ආපු ගමන් සියල්ල විසඳෙනවා කියලා. බලයට ආ පමණින් සියල්ල විසඳෙන්නේ නැහැ. කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා. කාලයක් යනවා මේක හරි තත්ත්වයට ගන්න. ඒ කාලය දුෂ්කර කාලයක් වෙයි. අපි සියලු දෙනාටම කැපවීම් කරන්න වෙනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා."

හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය පැවසුවා වගේ මේ අර්බුදය දවසින් දෙකෙන් මාස කිහිපයකින් විසඳන්න පුළුවන් මට්ටමේ එකක් නොවෙයි. ඊට වඩා බරපතල එකක්.

හැබැයි අප ඉදිරිපත් කළ මේ ගමන් සැලසුමට වඩා ඵලදායි සැලසුමක් තියෙනවා නම්, කඩිනම් සැලසුමක් තියෙනවා නම්, එය ඉදිරිපත් කරන්න. අපට පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. වඩාත් ප්‍රතිඵලදායක දායක නම් එය ක්‍රියාත්මක කරන්න.

තමන්ට බාර දුන්නොත් මාස හයකින් රට යථා තත්ත්වයට පත්කරන බව අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ප්‍රකාශ කර තියෙනවා. ඇත්තෙන්ම එසේ කළ හැකි නම් එය ඉතා යහපත් වැඩක්. ඍන හයක් හතක් දක්වා ආර්ථික වර්ධනය වේගය ඇද වැටුණු රටක් මාස හයක් තුළ ධන ආර්ථික වර්ධන වේගයක් දක්වා ගෙන යාම මෙතෙක් ලෝකයේ කිසිම රටක සිදුවී නැති ක්‍රියාවක්. හැබැයි මෙතෙක් එහෙම වෙලා නෑ කියා අපිට අනුර කුමාර දිසානායක මහතාගේ අදහස බැහැර කරන්න බැහැ. මාස හයක් තුළ රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ සැලැස්මක් එතුමා ළඟ ළඟ තියෙනවා නම් ඉතා හොඳයි.

එවැනි සැලැස්මකින් කෙටි කාලයක් තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අපට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකයටත් කදිම පූර්වාදර්ශයක් වෙනවා.

ඒ නිසා මම අනුර කුමාර දිසානායක මන්ත්‍රිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ මේ සැලැස්ම ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලෙසයි. ජනාධිපතිතුමා ළඟට යන්නට කැමති නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි එය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු. ඒ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කරන සැලැස්මට වඩා යහපත් සහ ප්‍රතිඵලදායි වැඩපිළිවෙළක් නම් අපි එය ක්‍රියාත්මක කරමු. එවැනි සැලැස්මක් ආර්ථිකය පිළිබඳ නොබෙල් ත්‍යාග ලැබීමට තරම් විශිෂ්ට එකක් වෙනවා.

ඉතින් එවැනි සැලැස්මක් තියෙනවා නම් මම එතුමාට ඉඩදී තනතුරු අත්හරින්න සූදානම්. තනතුරු අත්හැර ඒ වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමට සූදානම්. මොකද මම මේ දරන තනතුරු මට අලුත් දේවල් නෙමෙයි. රට අරාජික වෙලා තියෙන වෙලාවක කිසි කෙනෙක් වගකීම භාරගත්තේ නැති වෙලාවක මම මේ තනතුර භාර ගත්තේ පුටුවට ආසාවෙන් නෙවෙයි.

ක්‍රමය වෙනස් කිරීම

ඒ අවස්ථාවේ රට පත්වී තිබුණේ අරාජික සහ අනතුරුදායක තත්වයකට. ඒ තත්ත්වය තවත් වර්ධනය වුනා නම් රට ලේ විලක් බවට පත් වෙන්නට තිබුණා. ලෝකයේ කිසිදු රටක් අප දිහා මිත්‍රත්වයෙන් නොබලන වටපිටාවක් උදා වෙන්න තිබුණා .

මේ තනතුර භාර ගත්තේ ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අරමුණ ඇතිව. මම වගකීම් භාරගත්තේ රට වෙනුවෙන් .මගේ අත්දැකීම් හා සම්බන්ධතා භාවිතා කරමින් රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීමේ අරමුණින්. අන්න ඒ නිසයි කිසිදු කොන්දේසියකින් තොරව මම මේ අරාජික රට භාර ගත්තේ රට ප්‍රපාතයට ඇද වැටීම වලක්වා ගන්න දැන් අපට පුළුවන් වුණා. දැන් තියෙන්නෙ සෙමෙන් සෙමෙන් යළි රට ඉහලට ඔසවා තබන්න.

මට මූලික වුණේ බලය නොවෙයි, රටයි. ඒ නිසා මට බලය පිළිබඳ ආසාවක් හෝ අවශ්‍යතාවයක් නෑ. මට තියෙන්නේ රට ගොඩ ගැනීම සඳහා වන අවශ්‍යතාවයක් විතරයි. ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමේ මාර්ගයේ අප සැලසුම් සහගතව සහ ස්ථාවරව දැනට ඉදිරියට යමින් සිටින බව මම මේ සභාවට දන්නා සිටින්නට කැමතියි.

අප මේ යන ගමන මෙතෙක් අපේ රටේ අනුගමනය කෙරුණු ක්‍රමය වෙනස් කිරීම සඳහා යහපත් පදනමක්. පුද්ගලයන් හෝ චරිත මාරු කිරීමෙන් ජයක් හෝ ප්‍රගතියක් ලබා ගත නොහැකි බව අතීත අත්දැකීම් අපට පෙන්වා දී තියෙනවා. පොදු ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරලීමේ කරවීමේ වැදගත්කම අතීත අත්දැකීම් ඔස්සේ තහවුරු වී තියෙනවා.

ඉතින් දැන් අප අනුගමනය කරන ක්‍රමවේදයටත් වඩා යහපත් මාර්ග ඇත්නම් කරුණාකර පෙන්වා දෙන්න. ඉදිරිපත් කරන්න. රට ඉහළට ඔසවා තැබීමේ වෑයමට අපි සියල්ලම එකතු වෙමු. වැටුණු තැනින් යළි නැගී සිටීමේ ගමනට එක් සත්ත්ව එක්සත්ව එක්සිත්ව එකතු වෙමු. සාමූහික අදහස් හා යෝජනා ඔස්සේ මේ ගමන් මඟ වඩාත් නිවැරදි කර ගනිමු.

Leave a comment

Gossip

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්   

ජාතික සභාව කඩිනමින් සක්‍රීය කරන්නැයි ජනපතිට ඉල්ලීම් රැසක්  

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන්...

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

ගෝඨා නැවත දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලෙන්ම විරොධයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දී අගමැති තනතුරට පත් කරගැනීමේ උ...

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

අද ඩෙඟා නටන්න හිටපු විපස්සෙට වෙච්ච දේ

ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අය වැය ඉදිරිපත් කිරීමන් පසුව අද දිනය වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ ගනන...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us