''මිහිඳු නිවහන'' නිවාස ව්‍යාපෘතිය භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පිය හිසට පමණක් නොව ශාසනයටත් සෙවණදෙන වැඩපිළිවෙළක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.
සියඹලාණ්ඩුව බුද්ධම පුරාණ රජමහා විහාරස්ථානයේ දී මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබේ.
සසුන්ගතව මහණ දම් පුරමින් සම්බුදු සසුන රැක ගැනීම උදෙසා තම කුල දරුවන් ශාසනයට පූජා කළ මව්පියන්ට උපහාර පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව මිහිඳු නිවහන නිවාස ව්‍යාපෘතිය ආරම්භ විය.
ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව මෙහයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාමක කෙරේ.
හැවන්වැරෑව ග්‍රාමයේ බුද්ධම කෝසල හා බුද්ධම නන්දරතන හිමිවරුන්ගේ දෙමාපියන්වන ඩී.එම්. සීලවතී සහ ඩී.එම්. කිරිබණ්ඩා වෙනුවෙන් ඉදිකෙරෙන මිහිඳු නිවහන සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ඉන්දික අනුරුද්ධ මහත්වරු මුල්ගල් තැබූහ.
මෙහි දී මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සන්නස් පත්‍රය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහ පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නායක අති පූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමියන්ට පිළිගන්වන ලදි.
ප්‍රතිලාභීන් උදෙසා පළමු දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් එන්.එම්. විජේකෝන් බණ්ඩා, බී.ආර්.එම්. ගුණසේකර, ඒ.එම්. සෝමසිරි මහත්වරුන් වෙත චෙක්පත් අගමැතිතුමා විසින් ප්‍රදානය කළේය.
මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා විසින් කළ සම්පූර්ණ කතාව මෙසේය,
"මම ඉතාමත් සතුටු වෙනවා බුද්ධම රජමහා විහාරස්ථානයට ඇවිත් මේ වගේ මහා පිංකමකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. මම හිතනවා ශාසනය වෙනුවෙන් අපේ ලංකා ඉතිහාසයේ කවදාවත් මේ ආකාරයේ පිංකමක් ක්‍රියාත්මක කරන්න නැතුව ඇති කියලා. මේ මහා නිවාස ව්‍යාපෘතිය අපි වෙන් කරන්නේ අපේ භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන්.
මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ “මිහිඳු නිවහන” ව්‍යාපෘතිය නමින්. අපි මේ නිවාස ව්‍යාපෘතිය ඒ නමින් නම් කරන්නේ මේ රටට බුදුදහම ගෙනාපු ඒ ශ්‍රේෂ්ඨ මිහිඳු මාහිමියන්ව සිහිපත් කරන්න. මිහිඳු මාහිමියන් වහන්සේ එදා ධර්මය විතරක් නෙමෙයි මහා ශිෂ්ටාචාරයකුත් මේ රටේ ආරම්භ කරන්න පදනම දැම්මා. මිහිඳු හිමියන් වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමා එක දවසකින් නිවසක් ඉදිකරලා, ඒ ගෙදර මැටි බිත්ති වේලන්න හුළු එළි ඇල්ලුවා කියලා තමයි ඉතිහාස කථාවල තියෙන්නේ.
ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන් වෙනුවෙන් ආරම්භ කරන නිවාස ව්‍යාපෘතිය “මිහිඳු නිවහන” කියලා නම් කිරීම ඉතාම යෝග්‍යයි කියලා මම හිතනවා. මම මේ නම දාන්න හේතුව විස්තර කළේ ඉතාම වැදගත් කාරණයක් නිසා. ඇතැම් විට මිහිඳු කිව්වාම මහින්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මගේ නමත් ඒ නම නිසා. මට මතකයි 2015 පරාද වෙලා ගෙදර ගියාම අපේ නම තියෙන හැම දේකින්ම යහපාලන ආණ්ඩුව පළිගත්තා.
හාමුදුරුවනේ,
අපි පටන් ගත්ත සංවර්ධනය ඔවුන් නතර කළා. බුද්ධම වගේ දුෂ්කර ප්‍රදේශවලට පටන් ගත්ත මාර්ග සංවර්ධනය නතර කළා. ඒ විධියට පසුගිය යහ පාලන ආණ්ඩුව අපෙන් පමණක් නෙමෙයි මේ අහිංසක භික්ෂූන්වහන්සේලාටත් ඒ දේම කළා.
ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශවලට සැලසුම් කළ සංවර්ධනය යහපාලන ආණ්ඩුවෙන් නතර කළා. අපි බලයට ආවම ඒ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කළා. තමුන්නාන්සෙලාගේ ගමට එන පාරවල් අපි ආයෙත් හදන්න පටන් ගත්තා. ඒ වගේම තමුන්නාන්සෙලාගේ ජල ප්‍රශ්නයත් අපි විසදනවා.
මහින්දෝදය විද්‍යාගාරවල බෝඩ් ගලවලා විසි කළා විතරක් නොවෙයි දරුවන් වෙනුවෙන් තිබුණ ඒ ව්‍යාපෘතිය නතර කළා. ඒ නිසා මෙතන “මිහිඳු” කියන්නේ යෝධ ශිෂ්ටාචාරයකට පදනම දාපු මිහිඳු මාහිමියන් සිහිපත් කිරීමේ අරමුණින් දාපු නමක් කියලා අපි සිහිපත් කරන්න ඕන.
ඒ විතරක් නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ශාසනයෙන් පළිගත්තා කියන එක නායක හාමුදුරුවනේ, මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. මට මතකයි දළදා පෙරහැරට අලි ඇත්තු දෙන එකත් සීමා කළා. දැන් බොහෝ අයට මේවා අමතකයි.
ඒ විතරක් නෙවෙයි පෙරහැරට වැඩම කළ අලියෙක් එෆ්.සී.අයි.ඩී. එකටත් ගෙනිච්චා. අලි අරගෙන එෆ්.සී.අයි.ඩී. ගියා. දඹුල්ල රජමහා විහාරයේ පිං පෙට්ටියට සීල් තැබුවා. බුද්ධාගම ප්‍රමුඛ ආගමයි කියන ව්‍යවස්ථාවේ වගන්තිය වෙනස් කරන්න උත්සාහ කළා. අලුතින් වෙනස් කළ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛතාවට තියෙන වගන්තිය ඉවත් කළා.
ඒ විතරක් නොවෙයි භික්ෂූන් වහන්සේලාව හැඳින්වූවේ චීවරදාරියෝ කියලා. එහෙම කරපු යහපාලන ආණ්ඩුව සර්ව ආගමික, අනාගමික සංකල්ප මේ රටේ පැළපදියන් කරන්න උත්සහ කළා. ඔවුන් එහෙම කළේ භික්ෂූන් වහන්සේලාව සිරගෙවල්වලට යවලයි.
එහෙම තිබුණ යුගයක් පහුකරලා අපි දැන් එය වෙනස් කරමින් තිබෙනවා. වෙනස් කරලාත් තියෙනවා. එදා භික්ෂූන් වහන්සේලාට සිරගෙවල් වෙන් කරපු ආණ්ඩුව වෙනස් කරලා අද අපි භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන්ට හිසට සෙවනක් දෙන යෝධ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
අපේ හාමුදුරුවනේ,
භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන්ට නිවාස ඉදිකරලා දෙන්න දැනටමත් මේ වසරේ අපි රුපියල් ලක්ෂ දොළොස් දහසක් (12,000) වෙන් කරලා අවසානයි. මේ රුපියල් ලක්ෂ 12,000න් නිවාස 2000ක් ඉදිකර අවසන් කරන්න අපි සූදානම්.
භික්ෂූන් වහන්සේලාට දෙන දේ රටට දෙන දෙයක් හැටියටයි අපි සලකන්නේ. භික්ෂූන් වහන්සේලාට දෙන දේ වැය බරක් හැටියට සලකන්න අපි සූදානම් නැහැ. ඒක මේ රටේ අනාගතයට, ජාතියේ පැවැත්මට කරන ආයෝජනයක් හැටියටයි අපි සලකන්නේ.
ඔබ වහන්සේලා දන්නවා භික්ෂූන් වහන්සේලාට ශාසනයේ නොයෙක් නොයෙක් ගැටලු තිබෙනවා. ඒ නිසා තරුණ භික්ෂූන් වහන්සේලා සිවුරු හැරයාම අද මේ රටේ ශාසනය පවත්වා ගෙන යාමේ ලොකුම ගැටලුවක් වෙලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
හාමුදුරුවනේ මගේ ගාවට ආවා තරුණ භික්ෂූන්වහන්සේලාත්, ඇවිල්ලා ඇතැම් හිමිවරු මට කිව්වා මම සිවුරු හැරලා යනවා කියලා. ඇයි කියලා ඇහුවම මට රස්සාවක් දෙන්න මගේ දෙමාපියො බලාගන්න. ගෙයක් හදාගන්න ඕන අපට ඉන්නවත් ගෙයක් නෑ කියලා කිව්වා. ඒ බව මහානායක හිමිවරු මෙන්ම සියලු වගකිව යුතු භික්ෂූන් වහන්සේලා මට නොයෙක් වතාවල්වල ප්‍රකාශ කරලාත් තිබෙනවා.
එක වතාවක් දිඹුලාගල හාමුදුරුවෝ කිව්වා අපි කෙස් ගානට මහණ කරනවා නමුත් කන් ගානටයි ශාසනයේ ඉතුරු වෙන්නේ කියලා. දැන් පවුලක එක දරුව හෝ දෙන්නෙකුට සීමා වෙලා. ගම්වල වගේම නගරයෙත් එහෙමයි. වැඩිම වුණොත් දෙන්නයි තුන්දෙනයි.
නමුත් ශාසනය බබලවපු ජාතිය දියුණු වුණ යුගවල දරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දරුවෝ බොහෝ සංඛ්‍යාවක් හිටපු පවුල් මේ රටේ තිබුණා. හාමුදුරුවනේ අපේ පවුලෙ නව දෙනයි. ඒ කාලයේ ශාසනයට දරුවෙක් පූජා කරන එක පවුලකට බරක් වුණේ නැහැ.
ඒ වගේ ම තමයි යුද්දෙකට යවන්න දරුවෙක් දෙන එක පවුලකට බරක් වුණෙත් නැහැ. අතීතයේ වැව් බඳින්න, කෘෂිකර්මාන්ත කටයුතුවලට, වෙහෙර විහාර හදන්න ඕන තරම් ශ්‍රමය තිබුණේ පවුල්වල දරුවෝ වැඩිපුර හිටපු හින්දා. අද පවුලක දරුවෝ ගණන අඩු වුණාම ශාසනයට දරුවෙක් දෙන්න ඉතාම අපහසු වෙනවා.
ඒ වගේ තත්ත්වයක් යටතෙත් ශාසනයට දරුවෝ දෙන දෙමව්පියන්ට අපේ නමස්කාරය පුද කරන්න ඕන කියලයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. මේ ශාසනයට පූජාවෙන දරුවන්ටත් භික්ෂූන් වහන්සේ කෙනෙක් ලෙස වැඩිවියට පත්වෙනකොට විවිධ ප්‍රශ්න එනවා. උන්වහන්සේලාගේ අධ්‍යාපන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදී දේවල්. දරුවෝ පවුලක අඩු වුණාම ශාසනයට යොමු වන දරුවටත් සිදු වෙනවා ගෙදර දොර ජීවිතය බලාගන්න, අම්මා තාත්තාට සලකන්න.
ඒ බරින් ශාසනයේ බුදුපුතුන් නිදහස් කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.ඒ සඳහා තමයි අපි මේ පියවර තියන්නේ. “මිහිඳු නිවහන” ව්‍යාපෘතිය භික්ෂූන් වහන්සේලාගේ දෙමව්පියන්ගේ හිසට සෙවණක් පමණක් නෙමෙයි ශාසනයටත් සෙවණක් දෙන වැඩපිළිවෙළක් කියලා මම විශ්වාස කරනවා.
හාමුදුරුවනේ,
අපි භික්ෂූන් වහන්සේලාගේ සහ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම මඟින් බලාපොරොත්තු වෙන්නේ රටේ පැවැත්මයි. ඔබවහන්සේලා දන්නවා අපි භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරවම පිළිගන්න ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුව වගේ නෙමෙයි. අපි හදපු හැම ආණ්ඩුවක්ම ඒ අනුශාසනා පිළිගත්තා.
ඉතාම අසීරු තත්ත්වයන් යටතේත් අපි භික්ෂූන් වහන්සේලා දෙන අනුශාසනා පිළිගත්තේ අපේ රට වෙනුවෙන්.
අපි කිසිම දවසක රටේ ස්වාධීනත්වයට බාධා වෙන අකුරක් කොමාවක් මේ රටේ නිර්මාණය කරන්නෙ නැහැ. එහෙම කරලාත් නැහැ.
වසර 30ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, සංවර්ධනය, වගේම සහජීවනය විනාශ කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් අපි රට මුදා ගත්තා. සාමය ඇති කළා. සංවර්ධනය ඇරඹුණා.
ඊට පසුව යහපාලන ආණ්ඩු සමයේ ඔබ වහන්සේලාට මතක ඇති සාමය ඇති කරන්න මූලික වුණු රණවිරුවන් දංගෙඩියට දක්කන ජිනීවා යෝජනාවලට සමඅනුග්‍රහය දක්වන්න ආණ්ඩුව කටයුතු කළා.
මොනතරම් දුෂ්කර තත්ත්වයකට පත්වුණත්, ඊට මුහුණපාන්න සිදුවුණත් අපි ඒ යෝජනාවෙනුත් ඉවත් වුණා. අපිට විශාල බලපෑමක් ඇති වුණා. අපි ඒ බව හොඳටම දන්නවා.
එම්.සී.සී. ගිවිසුම මේ රටේ අත්සන් කරන්න සියලු පිඹුරුපත් සූදානම් කරලා තිබුණේ. ඒකෙන් මේ රටේ ඉඩම්වල අයිතිය, මේ රටේ ජීවත් වීමේ අයිතිය ජනතාවට නැති වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ රටේ ජනතාව බෝඩිංකාරයෝ වෙනවා. ඒ නිසා මොන දුෂ්කර තත්ත්වය යටතේ වුණත් අපි එම්.සී.සී. ගිවිසුමෙන් ඉවත් වුණා.
හාමුදුරුවනේ,
අපි අපේ රටේ අයිතිය රටේ ජනතාවට දෙන ආණ්ඩුවක්. මේ බව භික්ෂූන් වහන්සේලා වගේම රටට ආදරය කරන ජනතාව මතක තබාගත යුතු යැයි මම විශ්වාස කරනවා.
මොනතරම් දුෂ්කරතාවලට ආණ්ඩුව පත්වුණත් රටේ ස්වාධීනතාව වෙනුවෙන් අපි නිර්භය තීන්දු අරගෙන තියෙනවා. ඒ නිසා මම භික්ෂූන් වහන්සේලාගෙන්, රටට ආදරය කරන ආගමික නායකයින්ගෙන් වගේ ම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවත් එක්ක අපිත් එක්ක හිටගන්න. අපි රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න දැවැන්ත තීන්දු අරගෙන තිබෙන කණ්ඩායමක්.
ඔබගේ සහයෝගය, ඔබගේ අවබෝධය තිබුණොත් විතරයි ඒවා අපිට ඉදිරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ජනතාව අපිව විශ්වාස කරලයි බලය දුන්නේ. අපි හදපු හැම රජයක් ම ඒ ජනතා විශ්වාසය රැක්කා. ඉදිරියටත් ඔබගේ විශ්වාසය අපි රකිනවා කියලා මම මතක් කරනවා.
එදා ඉතා ම දුෂ්කරම ගම්මානයක් ලෙස සැලකූ මේ ගම අද වන විට ඒ දුෂ්කරතාවෙන් යම් ප්‍රමාණයක් අඩුවෙලා තිබෙනවා. පාරක් තිබෙනවා. විදුලිය තිබෙනවා. දුෂ්කර ගම්මාන අපේ කාලය තුළ සංවර්ධනය කරනවා''
-පංචාලි අබේසේකර