සජිත්ලාගේ ගොබ්බ දේශපාලනය ද දැන් අවසන් කළ යුතුය Featured

Published in පුවත්
Thursday, 22 October 2020 23:10

2015 වසරේ රාජපක්ෂ රෙජීමය පරදවා ලැබු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ආපසු හැරවීමට කටයුතු කළ පිරිස වූයේ හිටපු ජනාපති සිරිසේන, සජිත් සහ එම පාර්ශ්වයේ කූටාලියන් පිරිසයි. කොටින්ම දේශපාලන වශයෙන් අමු ගොබ්බයකු වන සජිත් පවා තමන්ගේ පාර්ශ්වයේ කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්වීම සිදුවිය.

එජාපය විනාශ කරගෙන සමගි ජන බලවේගය නිර්මාණය කිරීම දක්වා දිගින් දිගටම සජිත් මේ තමන් වටා සිටි කූටාලියන්ගේ ලණුකමින් සිටියේය..අද දේශපාලනිකව අන්ත අසරණ තැනකට සජිත් ඇද වැටී ඇත්තේ තමන්ගේ ඇති දේශපාලනික ගොබ්බකම නිසාම බව ඉතා පැහැදිලිය.

පැවැති යහපාලන යුගයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විරසක නිර්මාණයකර, එම පාලනය අවුල් වියවුල් කරදැමුවේ මේ සජිත් ඇතුළු පිරිසයි. ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් බලාපොරොත්තුව සිටි පුරවැසියා අපේක්ෂා භංගත්වයට පත්කරන ලද්දෙ මෙම පිරිසයි. යළි නිවැරදි කිරීමට නොහැකි තරමට අවුල් වියවුල් වී ගිය යහපාලනය නියමිත වූ පරිද්දෙන් අවසන් වූයේ රාජපක්ෂලාගේ කෙරුම් කියුම්වල බලපෑමට වඩා මේ ඇතුලේ සිදුවූ බල අරගලය හේතුවෙනි.

අවසානයේදී 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න තරම් ශක්තිමත් අපේක්ෂකයෙකු හෝ මතු අපේක්ෂාවක් හෝ එජාපය සතු වූයේ නැත. 'යහපාලනය' යන්නම විහිළුවක් විය. එයට නියත පරාජයම උරුම කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිදුව තිබිණි.. දශකයකට වැඩි කාලයක් මුලුල්ලේ රනිල් විරෝධයක් නඩත්තු කරමින් පක්ෂය තුල අර්බූද ඇති කරමින් සජිත් පාර්ශ්වයේ අපේක්ෂාව වූයේ පක්ෂ නායකත්වය දිනා ගැනීමේ ප‍ටු වුවමනාවටත් වඩා රනිල්ගෙන් පළිගැනීමේ චේතනාවය. ඊටත් සාධාරණ හේතු ඕනෑ තරම් රනිල් විසින්ම ඇතිකර තිබිණි. එහෙත් රනිල්ට එරෙහිව මොළ කළඳක් ඇති නායකයකු ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව නිසාම සජිත් එකම තේරීම බවට එම පාර්ශ්වය පත්කරගෙන තිබිණි. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාසගේ පුතා වීම මත එජාපය කරකවලා නටවලා චූන් කරලා ගැනීම සජිත්ට පුලුවන්වනු ඇතැයි මේ පිරිස් තුල විශ්වාසයක්ද විය. සජිත් තමයි එජාපයේ ජනප්‍රිය නායකයා බවට ගොඩනඟපු මතයට මේ අයද අසුවී සිටියේ එය රටේම මතය බවට පත්කළ හැකිය කියන බලාපොරොත්තුවෙනි. සජිත්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් වන්නේ ඒ අනුවය.

එහෙත් තමන් කකුල් දෙක තබාගෙන සිටි වේදිකාව කුඩුපට්ටම් කරදැමීමෙන් පසුව තමන්ට නටන්න වේදිකාවක් නොමැති බව මේ අය දැනගෙන හිටියේ නැත. යහපාලනය විනාශ කර තව දුරටත් යහපාලනයක් ගැන කතා කරන්න වෙන්නෙ නැති බව මේ අය දැන සිටියේ නැත.

එජාපයේ ජනප්‍රිය නායකයා සජිත්ය යන පදනමින් මංගල සමරවීර සජිත්ව ජනාධිපති අපේක්ෂකයා බවට තීන්දු කළ මොහොතෙත් අප පැහැදිලිව කීවේ මේ ජනප්‍රිය නායකයා දේශපාලන ගොබ්බයකු වූවත් එජාපයට වෙන විකල්ප නොමැති නම් කරන්න දෙයක් නැති බවය. රාජපක්ෂවරුන්ට එරෙහිව ඉදිරිපත් කරන්න වෙන්නේ පඹයෙක් නම් ඊට පක්ෂ වෙනවා හැර එජාප පාක්ෂිකයාටත් රාජපක්ෂ විරෝධී යම් අයෙකුට වූවත් අනිවාර්යෙන්ම වෙන තෝරන්න විකල්ප තිබුණේ නැත.

කෙසේ හො මේ සජිත් සාදකය විසින් යහපාලනය මෙන්ම එජාපයද සුනුවිසුණු කරදැමීය. මහමැතිවරණය මඟින් එජාපය අවසන්කර යම් මන්ත්‍රී ආසන ප්‍රමාණයක් සජිත් පාර්ශවය දිනා ගැනීම, එජාප පාක්ෂිකයාව මේ පිරිස විසින් කෙතරම් දුරකට නොමඟ යවා ඇති බවට සාක්ෂියකි. ඒ ලත් ජයග්‍රහණය අමු පුස්සක් බව මේ වන විට සජබයට ඡන්දය දුන් පිරිසට නොවැටහේ නම් ඒ උපන්ගෙයි කරුමයකි. කෙසේ හෝ සජිත් විපක්ෂ නායකයා වුව එහි ඇති කිසිදු දේශපාලන වැදගත්කමක් පෙන්වීමට අද මේ මොහොත වෙන තෙක්ම සජිත්ට හෝ එම පාර්ශ්වයට හැකිව නැත. තමන් විසින්ම විනාශ කළ හරයන් වෙනුවෙන් මේ අය කෙසේ පෙනී සිටින්නද? අද අතිශයින් දුර්වල අසමත් ඕලාරික විකාර සහගත දේශපාලනයක මේ කණ්ඩායම යෙදී සිටී.කොටින්ම අද සජිත්ට තමන් නියෝජනය කරමින් පැමිණි සමගි ජන බලවේගය කියන පක්ෂයට අයිතිවාසිකම් කියන්න බැරිතැනට වැඩ සිද්ධ වී තිබේ. එහි හිටපු ලේකම්වරිය (අයිතිකාරයාගේ බිරිඳ) පක්ෂයත් අරගෙන ආණ්ඩුවට ගොස් තිබේ. සජිත් පාර්ශ්වය සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වූ රිෂාර්ඩ් බදියුදීන්ගේ, රාවුෆ් හකීම්ගේ පක්ෂ සාමාජික මන්ත්‍රීවරුන් ඇතුලුව 8 දෙනෙකු සජිත්ට අහිමිව තිබේ. ආණ්ඩුවට නොතිබුණු තුනෙන් දෙකේ බලය එම පිරිස විසින් ලබා දී ඇත.

ඒ නවතාගැනිමට සජිත් පාර්ශ්වයෙන් කිසිදු උත්සාහයක් ගත්තේ නැති බව අතිශයින්ම පැහැදිලි තත්වයකි. 20 වන සංශෝධනයට එරෙහිව ජනමතයක් ගොඩනැඟීම වෙනුවෙන් හෝ වැඩකට ඇති කිසිදෙයක් සිදු කළේ ද නැත. තමන්ගේම පාක්ෂිකයා හෝ දැනුම්වත් කිරීමේ ප්‍රචාරක කටයුත්තක් හෝ තිබුණේම නැත. අඩුම තරමින් පාර්ලිමේන්තුව තුල මේ කණ්ඩායමට හරවත් සංවාදයක් ගොඩනැගීමට පවා නොහැකි වූ බව පෙනෙනට තිබිණි. අද දින පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය තුනෙන්දෙක ලබා ජය ගන්නා විට සජිත් තමන් දේශපාලනිකව අවලංගු කාසියක් බව සනාත කළේය. සජිත් සමඟ සිටිමින් අනාගත ජනාධිපතිවීමට සිහින දකින පාටලී චම්පික වැන්නවුන්ගේ දේශපාලනයද මෙතැනින් අවසන්ය. ඔවුන්ට තවත් කළ හැකි කිසිවක් නැත. ජාතිවාදය කරපින්නාගේ රට ගිණි තියමින් කරන මජර දේශපාලනයක් හැර චම්පිකලාට වෙන කිසිවක් සිදු කළ නොහැක. එහෙත් ඊට නම් කිසිසේත්ම ඉඩ නොතැබීමට රටේ සමස්ත ජනයා දැඩි තීන්දුවක සිටිය යුතුය.

රාජපක්ෂ කඳවුර දැන් තමන් බලයට ගෙන ආ සිංහල බෞද්ධ ජාතිවාදී මතවාදයට කණ කිස්කන පහරක් දී තිබේ. මේ වන විට ඒ කඳවුරට සිදුවුයේ කුමක්ද කියා තේරුම් ගැනීමට පවා නොහැකි වන තරමට ඔවුන් ව්‍යාකූලව සිටී. රාජපක්ෂලා ඒ පටු මතවාද කුඩුපට්ටම් කරමින් තිබීමේ වාසිය මේ රටට අත්පත්කර දෙනවා විනා තවදුරටත් ඒ පෝෂණය කිරීමට ඉඩ නොතැබිය යුතුය. හෙට අනිද්දාට රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇමැතිධුර මුස්ලිම් දෙමළ ඇමැතිවරුන්ට ලැබීමට තිබෙන ඉඩ කඩ පාවිච්චිකර වීරවංශ, ගම්මන්පිල ආදී ජාතිවාදි නඩය ඉතිහාසයේ කුණු බක්කියටම ඇද දැමීමද සිදුකළ යුතුව තිබෙන්නෙකි. එහෙත් මොවුන්ව රාජපක්ෂලා ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ඒ ඒ අවස්ථාවලදී තවදුරටත් පාවිච්චි කිරීමෙහි ඉඩකඩ නැතුවා නොවේ. මන්ද මේවාට තවදුරටත් රැවැටෙන අතිවිශාල ජනතාවක් රටේ සිටින නිසාය. මේ රට හමුවේ තිබෙන විශාලම ගැටළුව බවට පත්ව ඇත්තේ මේ ගොබ්බ ජනතාවය. ඔවුන්ව ඒ වැටී සිටින නරා වළෙන් ගොඩට ගැනීම යුගයේ දේශපාලනය ලෙසද හැඳින්විය හැකිය. මෙය යහපාලනයෙන් බලාපොරොත්තු වූ නමුදු ඔවුන්ගේ කුලල් කා ගැනීම නිසා අත්හැර දැමුණු ඓතිහාසික කාර්යයකි.

දැන් ඊට අවස්ථාව තිබේ. නමුත් සජිත්- චම්පික ගොබ්බ ග්‍රාම්‍ය දේශපාලනයේ යළි නැගිටීමකට ඉඩක් නොතැබීම අනිවාර්යෙන්ම විය යුතුය. රටට තවත් විහිළු අවශ්‍ය නැත. ඒ කොහෙම වූවත් මේ මොහොතේත් අත්විඳින රාජපක්ෂ මජර පවුල් පාලන ක්‍රමයට එරෙහිව ගොඩනැගිය යුතු නිවැරදි බලවේගය මේ යැයි කියා අපට කිසිවක් මේ මොහොතේ කිව හැකි නොවේ. ඒ අනාගතයේ රාජපක්ෂලාගේ දේශපාලනය විසින් තෝරා දෙනු ඇත. එහෙත් එය ගෝත්‍රික අපේක්ෂාවන් විනාශකරන, ශිෂ්ඨසම්පන්න, දියුණු, නවපන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් පමණක් විය යුතු බව දැනට සදහන් කරමු.

Last modified on Friday, 23 October 2020 00:05

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us