රාජපක්ෂවාදීන් තමන්ගේ දේශපාලනය ලෙස මුස්ලිම් විරෝධය ප්‍රබල අවියක් ලෙස එහෙට මෙහෙට වනමින් බලය අත්පත් කරගැනීම සිදුවීම මත බදියුදීන් හෝ වේවා කවර හෝ මුස්ලිම් දේශපාලකයකු දඬුකදේ ගැසීමට හැකිවීම ඔවුන්ගේ ජයග්‍රහණයක් කොට සැලකීම මෙයට හේතුව වී ඇතිවා මිස බදියුදීව අත්අඩංගුවට ගැනීමට හේතුභූත වූ කරුණ කාරණා ඊට අදාල කරගෙනද නැත.
විල්පත්තු කැපීම, පාස්කු ඉරිදා ප්‍රහාරය, වඳ සැත්කම්, වඳ කොත්තු, වඳ පෙති, මුස්ලිම් ව්‍යාප්තවාදය ආදී නනා ප්‍රකාර චෝදනා මේ රාපක්ෂවාදීන්ගෙන් එල්ල වූවද බදියුදීන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වූවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිතාවීම සහ මැතිවරණ නීතිය උල්ලංඝණය කළාය කියන චෝදනාව අනුවය. ඒ අනුව පොදු දේපොළ නීතිය යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුල පළවී ඇති වාර්තා සියල්ලම පාහේ මුස්ලිම් විරෝධය මත පදනම්ව තිබෙන බවත් නිරීක්ෂණය කළ හැක. අදාල නඩු නිමිත්ත ගැන සාධනීය විග්‍රහයන් වෙනුවට කොහෙවත් නැති අභූත චෝදනා සහ තවත් කතන්දර ගොඩවල් වලින් මේ වාර්තා පිරී පැවැතීමෙන් පෙනි යන්නේ අත්අඩංගුවට ගැනීම සඳහා එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් තුලද ප්‍රසාදයක් නැති බවය.
මාධ්‍ය වාර්තා අනුව අධිකරණයේදී එල්ල වූ චෝදනාව ලෙස සඳහන් කෙරෙන රජයේ දේපොළ අවබාවිත කළාය කියන නඩු නිමිත්ත ගැන සඳහන් වෙන තවත් විශේෂණයක් තිබේ . ඒ 'කෙටි කලකට' රජයේ මුදල් අවභාවිතා කර ඇති බවය. ඒ අනුව නිතැතින්ම මතකයට එන්නේ වීරකැටියේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙහි මුදල්, එවකට නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාබය රාජපක්ෂගේ නියෝග මත වැය කිරීම ගැනය. එයද මුදලින් රු කෝටි 09ක චෝදනාවක් විය. මෙම කතුකාගාරය පිහිටුවීම අඩුම තරමින් පොදු මහජන වුවමනාවක් හෝ නොවේ. එය තනිකරම රාජපක්ෂ පවුලේ හීනමානය පියවා ගැනීම වෙනුවෙන් රාජ්‍ය මුදල් සෘජුව භාවිතා කිරීමකි. එය රාජ්‍ය මුදල් අවභාවිතාවක් බවට චෝදනාකර යහපාලන සමයේදි විමර්ශන සිදුවන විට ගෝඨභය රාජපක්ෂ සිදු කළේ එම මුදල් තමන්ගේ මුදලින් ගෙවා දැමීමය. තමන් මෙලෙස අවභාවිතා කළ මුදල යළි අදාළ ආයතනය වෙත භාර දුන් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාම පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන්කර තිබූ අතර එම හේතුව නිසාම ඔහු නිදොස් බවට තර්කයක්ද ගොඩනැගුණි.
එසේම පොදු දේපොළ පනත යටතේ තමාව අත් අඩංගුවට ගනු ඇතැයි බියෙන් ඒ වලක්වා ගැනීමට අධිකරණයෙහි පිහිට පැතීමද සිදුකළේය. කෙසේ හෝ යහපාලන සමයේදී ගෝඨාභයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වුයේ නැත. අත්අඩංගුවට ගත්තේ ද නැත. අද ඔහු සියලු චෝදනාවලින් නිදොස් වී නිදහස් වී පමණක් නොව අද තමන් වෙතින් විය හැකි අනෙක් සියලු වැරදි සඳහා දඬුවමකට යටත් නොවී සිටීමේ මුක්තියද අත්පත් කරගෙන සිටී..
රිෂාර්ඩ් බදියුදීන් අත්අඩංගුවට පත්වන්නේ මෙවැනි කාලපරිච්ඡේදයක් අවසනය. එසේම මතක තබා ගතයුතු තවත් කරුණක් නම්, මේ අවතැන් වූවන්ට ප්‍රවාහණ පහසුකම් ලබාදීමට රජයේ දේපොළ සහ මුදල් යොදා ගත්තේ 2019 ජනාධිපතිවරණයේදී පමණක් නොවන බවය.ඊට පෙර පැවැති මැතිවරණ වලදී එනම් රාජපක්ෂ සමයේදී ඒ අඛන්ඩව සිදුකර ඇති බවයි. එහෙත් ඒවා ගැන කවුරුවත් චෝදනා කළේ නැත.
මේ රටේ සුදුසුකම් සපුරා තිබෙන සෑම පුරවැසියකු විසින්ම ඡන්දදායකයකු ලෙස ලියා පදිංචිවීම නීතිය අනුව අනිවාර්ය කර තිබෙන්නෙකි. එහෙම නොවුණා කියා නීතිය ක්‍රියාත්මක වීමක් පෙර සිදුව ඇති බවට තොරතුරක් නැතත් නීතිය එසේය. එලෙස ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වූවන්ට ඡන්ද දැමීමේ අයිතිය අනුල්ලංඝනීය වේ. එය ප්‍රකාශයට පත්කිරීම හෝ නොකිරීම ඡන්ද දායකයාගේ කැමැත්ත ද වේ. එහෙත් ඡන්දය දැමීම සඳහා වුවමනාව තිබුණද ඒ සඳහා අවස්ථාව සහ පහසුකම් සලසා නැති නම් ඊට රජය වගකිව යුතුය. එය රටේ පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කිරීමක්ද වේ.
දැන් මේ සිදුවීමට මූලික වන පුත්තලමේ අවතැන්ව සිටි ඡන්දදායකයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද රජය සාක්ෂාත් කළ යුතුව තිබුණකි. ඔවුන් පෙර සිටම ඡන්ද්දායකයන් ලෙස ලියාපදිංචිව සිටියේ මන්නාරම දිස්ත්‍රික්කයේ නම් ඒ සඳහා යෑමට ඒමට පහසුකම් සැලසීම හෝ මේ අය වෙනුවෙන් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන එම අවතැන් වූවන් තාවකාලිකව පදිංචිව සිටින ප්‍රදේශයන්හී ස්ථාපිත කිරීම හෝ විය යුතුව තිබිණි. අප විදේශගතව සිටින මෙරට පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ගැනද කතා කරමින් සිටින්නේ ඔවුන් වෙනුවෙන්ද එවැනි ක්‍රමවේදයක් අවශ්‍ය බව කියමිනි.
පුත්තලමේ අවතැන් වූවන්ට ප්‍රවාහන පහසුකම් සලසා දීම රජයේ වගකීමක් බව පෙන්වා දියයුතු වන්නේ මේ අවතැන් වූවන්ට පුත්ත්ලමේ කඳවුරුවල ගාල් වී සිටින්නට සිදුව තිබෙන්නෙ ඔවුන්ගේ කැමැත්ත නිසා නොවන බැවිණි. යුද්ධ අවසන් වී දශකයකට වැඩි කාලයක් ගෙවී ගියද ඒ අවතැන් වූවන්ට උරුමව තිබු ඉඩකඩම් දේපොළ යළි ලබා දී, යටිතල පහසුකම් සලසා සාමාන්‍ය ජන ජීවිතය ගොඩනගා ගැනීමට හැකි වාතාවරණයක් සැකසීමට පැවැති රාජපක්ෂ පාලනයත් යහපාලනත් අසමත් වී නම් මේ අවතැන් වී සිටින ඡන්දදායක පුරවැසියාගේ ඡන්ද ප්‍රකාශ කිරීම අයිතිය හෝ රැකදීම රජයේ සතු අනිවාර්ය වගකීමක් වේ. මේ වෙනුවෙන් රාජ්‍ය මුදල් වැය කළානම් එය රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් ලෙස හැදින්විය නොහැක.
මුලින් සඳහන් කළ පරිදි මේ චෝද්නාව එල්ල වන්නේ ' කෙටි කලක්' රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ගැන චෝදනාවක් ලෙසය. ලංගම බස් රථ වෙනුවෙන් වූ පිරිවැය රජය විසින් පවත්වාගෙන යන අවතැන්වූවන් සඳහා වන අරමුදලක් මඟින් 2019 නොවැම්බර් 15 වන දින ගෙවීමට එවකට ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය යටතේ සිදුව තිබුණද, ඒ සිදු කිරීමට ගිය ක්‍රමවේදයේ දෝශ සහගත බවට අවතැන් කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරියගේ දැනුම්දීම මත එම ගනුදෙනුව වැලකිනි. පසුව උතුරු පළාත් අවතැන්වූ ජන සාමුහිකය නම් සංවිධානයක් මඟින් එම මුදල ගෙවා තිබිණි. ඒ නොවැම්බර් 21 වන දිනය. මේ දින 6 ක කාලය අදාල චෝදනාවේ ' කෙටි කාලය' වෙයි. කෙසේ නමුත් මේ බස් රථ වෙනුවෙන් රජයේ මුදල් වැය කිරීමක් සිදුව නැත. එම ඡන්දදායක පිරිසගේ ප්‍රවාහන ගාස්තු වෙනත් අරමුදලක් හෝ සංවිධානයක් විසින් ගෙවා තිබේ.
අවතැන් වූවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් අවතැන්වූවන් පිළිබඳ විෂයභාර ඇමැති වූ රිෂාඩ් බදියුදීන් එවකට මැතිවරණ කොමිසමේ අනුමැතිය ඉල්ලා සිටි අතර ඊට අනුමැතිය ලැබී තිබුණේ එම ඡන්දදායකයන් විසින් මුදල් ගෙවා එම ප්‍රවාහන පහසුකම් ලබාගත යුතු බවටය. ඒ අනුව එම ඡන්දයකයන් වෙනුවෙන් වන අරමුදලකින් හෝ සංවිධානයක් විසින් මුදල් ගෙවා තිබේ. යම් හෙයකින් මේ වෙනුවෙන් යොදා ගත් ලංගම බස් රථ වෙනුවෙන් මුදල් කිසිවකු හෝ නොගෙවා සිටියා නම් මේ රාජ්‍ය දේපොල අවභාවිතා කිරීමක් ලෙස සෘජුවම තර්ක කළ හැකිය. එහෙත් එසේ සිදුව නැත.
මැතිවරණයේදී ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම වරදකි. එහෙත් මෙතැන ඇත්තේ විශේෂ තත්වයකි. එයට මැතිවරණ කොමිසමේද අනුමැතිය හිමිව තිබේ. එසේම අදාල මුදල් ගෙවීමද සිදුව තිබේ. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය වී ඇති බවට වන චෝදනාව පැහැදිලි නැත. දැන් මෙතැන සිදුව ඇති වරද සහ ඊට දෙන දඬුවම ගැන අධිකරණය ලබා දෙන තීන්දුව දෙස අප බලා සිටිය යුතුය.
මේ අතර කාලයේදී සිදූ වූ අනෙක් වැදගත්ම දේ නම් රිෂාර්ඩ් බදියුදීන් නියෝජනය කරන පක්ෂයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිගේ අගමැතිගේ මුල්‍ය කටයුතු විගණනය නොකිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධි වුවමණාවන් වෙනුවෙන් ඉදිරිපත් වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමය. නමුත් බදියුදීන් ඡන්දය දුන්නෙ නැත. එය දේශපාලනික උපක්‍රමයක් විය හැකිය.
ඒ අනුව නුදුරු දිනක බදියුදීන් අධිකරණමය නොවන වෙනත් තාක්ෂණික හෝ දේශපාලන තීන්දුවකින් මේ චෝදනාවෙන් නිදහස් වේ නම් ඒ වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුරයකට හිමිකම් කිරීම වෙනුවෙන් පමණක්ද විය හැකිය. බදියුදීන් හිරේ යෑම ගැන සතුටින් පසුවන රාජපක්ෂවදීන්ට අඬන්න වෙන්නේ එතකොටය. බදියුදීන් නාඩගම ශෝඛාන්තයකින් කෙළවර වීමට නියමිත වන්නේ එලෙසය.