සුදුවෑන් වලින් උස්සල මිනී මැරුවේ මහින්ද දැනුවත්ව ! ඩොනල්ඩ් පෙරේරා හෙළිකරයි Featured

Friday, 14 August 2015 15:28

රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය 'සත්හඬ 'පුවත් පතට හෙළි කර ඇත.

ඔහුගේ ප්‍රකාශය අනුව මෙම සුදුවෑන් මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අවබෝධය මත සිදුව ඇත.

නම?

අංගගේ ඩොනල්ඞ් රංජිත් පෙරේරා.

පදිංචිය?

තල්පිටිය, වාද්දුව

අධ්‍යාපනය?

මගේ පාසල වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයයි. 1984 දී අධ්‍යාපනය හමාර කළා.

කොහොමද ඔබ දේශපාලනයට සම්බන්ධ වෙන්නේ?

ඇත්තටම දේශපාලනයට සම්බන්ධ වුණේ 1984. ඒ අවුරුද්දෙම මම ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියටත් සම්බන්ධ වුණා.

ඊට පස්සෙ?

ඊට පස්සෙ මම මහවැලි ආරක්ෂක සංවිධානයේ පුහුණුව මාස තුනකින් විතර හමාර කළා. පස්සෙ එහිම ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කළා.

එතකොට ගාමිණී දිසානායක සහ ඔබ අතර තිබුණු සම්බන්ධය මොකක්ද?

ඒ දවස්වල අපේ මහවැලි ආරක්ෂක සංවිධානය භාරව හිටියේ කර්නල් නිමල් ප‍්‍රනාන්දු මහත්තයා. ඉතින් ඔහුගේ නිර්දේශය මත මාව ගාමිණී දිසානායක මහත්තයාගේ ආරක්ෂාව සඳහා යෙදෙව්වා.

ඒ කියන්නෙ ඔබ තමයි ගාමිණී දිසානායකගේ පෞද්ගලික ආරක්ෂකයා?

ඔව්. එතකොට ගාමිණී දිසානායක මහත්තයා ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන ඇමැති. ඔහු යටතේ තමයි අපිව පාලනය වුණේ.

ඔය කාලෙ දී ගාමිණී දිසානායක මහත්තයා UNP එක කඩාගෙන යනවා?

ඔව්. එතුමා UNP එක කඩාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට යනවා. මම ඒ රාජාලියා පක්ෂයට ගියේ නෑ.

එතකොට පේ‍්‍රමදාස මහත්තයා මහවැලි ඇමැතිවරයා විදියට ගාමිණී අතුකෝරළව පත් කරනවා?
ඔව්. මට සිද්ධ වෙනවා ගාමිණී අතුකෝරළ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා ඔහු සමඟ යන්න. අවුරුදු දෙකක් තුනක් වගේ තමයි හිටියෙ. ඊට පස්සෙ ගාමිණී අතුකෝරළ මහත්තයා මිය යනවා.

ඔබ ඒ වෙලාවේ ගාමිණී අතුකෝරළ ඇමැතිවරයා සමඟ හිටියා?

ඒ වෙලාවේ මම හිටියේ කොත්මලේ.

ගාමිණී අතුකෝරළ ඇමැතිවරයාගේ මිය යාම සම්බන්ධයෙන් ඔබට මොනවද හිතෙන්නෙ?

ඔහුට කිසිම බාහිර බලපෑමක් නම් තිබුණේ නෑ. මට හිතෙන විදියට ඔහු මිය ගියේ කිසියම් රෝගාබාධයක් නිසයි.

ගාමිණී අතුකෝරළ මහත්තයා මිය ගියාට පස්සෙ ඔබ මොකද කළේ?

මම නැවතත් මහවැලි අධිකාරියට යනවා. මහවැලි ආරක්ෂක සංවිධානයේ කොත්මලේ පුහුණු පාසලේ පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරනවා.

එතකොට ඔබට මර්වින් සිල්වා මහතාව මුණගැහෙන්නේ ඔය කාලෙ වෙන්න ඇති?

ඔව්. කොත්මලේ පුහුණු පාසලේ ඉන්නකොට තමයි ඔහුව හම්බ වුණේ.

වර්ෂය මතකද?
මට මතක විදියට 1990 ගණන්වල.

කොහෙදිද ඔහුව ඔබට මුණ ගැහෙන්නෙ?
නුවරඑළියෙ දී.

දෙන්න හොඳ මිතුරන් වුණා?
ඔව්.

එතකොට මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්ද?
ඔව්. මට මතක විදියට 91 විතර.

ඉතින් ඔබ මර්වින් සිල්වා මහතා එක්ක මොනවද කළේ?

මොකුත් කළේ නෑ. හිතවත්කමට ආශ‍්‍රය කළා විතරයි.

එතකොට ඔබ කොළඹ එන්නේ කොහොමද?

මගේ බිරිඳගේ ගම තලවතුගොඩ. මගේ ගම වාද්දුව, තල්පිටියේ. ඔය කාලේ මගේ බිරිඳගේ ඉඩමක් තිබුණා තලවතුගොඩ. මම ඒක උකස් තියලා මගේ යාළුවෙකුත් එක්ක මීගමුවේ රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා ‘ෆෝ බ‍්‍රදර්ස්’කියලා. ඒක අවුරුදු දෙකක් විතර කළා. ඇත්තටම ඒ වැඬේ ලොස්ට් වුණා. ඒ නිසා ඒක නතර කරලා දැම්මා.

ඔය කාලෙද මර්වින් සිල්වා මහතා මාලිගාවත්තේ ලාල්ලත් එක්ක ඔබව හම්බ වෙන්න එනවා කියන්නෙ?

ඔව්. ඔය කාලෙදි තමයි. මාව හම්බ වෙන්න නෙමෙයි රෙස්ටුරන්ට් එකට ආවේ කන්න බොන්න.

කවුද ඔය ලාල් කියන්නේ?

ලාල් පීරිස්. (කුඩු ලාල්)

රෙස්ටුරන්ට් එක ලොස්ට් වුණාට පස්සේ ඔබ දේශපාලනයට බහිනවා?


ඔව්.

ලාල්ව එහෙමත් හම්බ වෙනවා ඇති ඔය කාලේ?

ඔව්. අපි හම්බ වෙනවා. කතාබහ කරනවා.

 

බිස්නස්වලට සම්බන්ධ වුණේ නෑ?

කාගෙද?

ලාල්ගෙ?

නෑ.. නෑ.. කිසිම සම්බන්ධයක් නෑ.

මර්වින් සිල්වා මහතාට ඔය කාලේ ඇමැතිකමක් හම්බ වෙනවා?

ඔව්. එතකොටත් මං ඔහු ළඟින්ම ඇසුරු කළා.

ඊට පස්සෙ?

ඊට පස්සෙ මර්වින් සිල්වා මහතාට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කම්කරු නියෝජ්‍ය ඇමැතිකම හම්බ වෙනවා. එතකොටත් මං ඔහු ළඟ හිටියා. ඊට පස්සෙ හම්බ වුණා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැතිකම.

එතැනදිත් මම හිටියා.

එතකොට ඔබ මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වෙන්නෙ කොයි කාලෙදිද?

ඒ එතුමා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති වෙලා ඉන්න කාලෙ.

ඒත් යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් ඔබව අත්අඩංගුවට පත්වුණ අවස්ථාවක මර්වින් සිල්වා මහතා කියනවා ඔබ වගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් එතුමාට හිටියෙ නෑ කියලා?
ඇයි එතුමා එහෙම කිව්වෙ කියලා නම් මම දන්නෙ නෑ.

ඔබ එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කියලා පෙන්නන්න පුළුවන් සාක්ෂි තියෙනවද?
ඔව්. මගේ ළඟ තාම තියෙනවා සම්බන්ධීකරණ ලේකම් හැඳුනුම්පත. (සිනාසෙමින් අදාළ හැඳුනුම්පත පෙන්වයි)

ඔය කාලේ ඔබ බිස්නස් එකක් කළේම නැද්ද?

කළා. මං අපේ වාද්දුවෙ ගෙදර ගාමන්ට් ෆැක්ටි‍්‍ර එකක් පටන් ගත්තා. මගේ බිරිඳ තමයි ඒක කළේ. තාමත් ඒක තමයි කරන්නෙ.

බිස්නස් එකට මර්වින් සිල්වා උදව් කළේ නැද්ද?

එහෙම විශේෂයක් නැහැ.

එක වෙලාවක දී ඔබව ‘සුදු වෑන්’ එකකින් අරගෙන යනවා. ඇයි ඒ?

ඔය සිද්ධිය වුණේ 2012 ජනවාරි 07 වනදා. මගේ පුතා ඞී.එස්. සේනානායක විද්‍යාලයේ කි‍්‍රකට් කණ්ඩායමේ ඉන්නවා. එදා මැච් එකක් තිබුණා පි‍්‍රන්ස් ඔෆ් වේල්ස් එකයි ඞී.එස්. එකයි අතර. මගේ පුතා තමයි එදා ඞී.එස්. කණ්ඩායමේ උප නායකයා. ඉතින් එදා උදේ මම මගේ බිරිඳ එක්කම පුතාවත් ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් එකෙන්

බස්සගෙන ගෙදර ගියා. ගිහින් ආයෙත් දවල් එකට විතර ගෙදරින් ආවා මැච් එක බලන්න හිතාගෙන. මගේ බිරිඳ ඒ වෙලාවේ ගෙදර හිටියා. ඉතින් මම තනියම ආවා. මොරටුවේ කලර් ලයිට් එක හරියේ දී වෑන් එකක් ඉස්සර

කරලා නවත්තලා එක පාරටම පිස්තෝලත් අරන් කණ්ඩායමක් බැහැලා මට ඔළුව පැළෙන්න ගහලා මාව කාර් එකෙන් එළියට අරන් වෑන් එකේ දාගෙන යන්න ගියා.

ඊට පස්සෙ මොකද වුණේ?

මට මොකුත් අහන්නවත් වෙලාවක් නෑ. දිගටම ගැහුවා. ඊට පස්සෙ මගේ ටී ෂර්ට් එක ගලවලා අරන් මගේ ඇස් දෙක බැඳලා වෑන් එකේ ෂීට් අස්සට මාව දාලා යට කරලා පාගගෙන අරන් ගියා. යනකොට (රාවතාවත්ත හරියෙදි වගේ මං හිතන්නෙ) මට ඇහුණා කණ්ඩායමේ කෙනෙක් කාගෙන් හරි අහනවා පිළියන්දලට කොහොමද යන්නෙ කියලා.

ඉතින් පිළියන්දලට ගියා?

මං හිතන්නෙ. මම දන්නෙ නෑ මොකද ඒ වෙලාවෙ මගේ ඇස් බැඳලා තිබුණේ. මගේ දුරකථන දෙකක් තිබුණා. එකක් කාර් එකේ දාල ආවා. අනෙත් එක ඒගොල්ලො ගත්තා. ඔහොම යනකොට මට ඉන්න බෑ. මගේ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, මගේ ඇස් බැඳලා. මට ඒ වෙලාවේ වතුර තිබහක් ආවා. මං වතුරඉල්ලූවා. ඒත් ඔවුන් මට වතුර දුන්නෙ නෑ. ටිකක් වෙලා යනකොට ඉස්සරහ ෂීට් එකේ යන කෙනෙක්ට කෝල් එකක් ආවා. එයා ‘හා... හා... හරි.... හරි.... සර්’ කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සෙ එයා අනෙක් අයට කිව්වා මාව ෂීට් එක

අස්සෙන් එළියට ගන්න කියලා. පස්සෙ මගෙ අත්දෙක ඉස්සරහට කරලා මාංචු දැම්මා. ඇස් දෙක බැඳලා තිබුණු රෙද්දත් බුරුල් කළා. ඊට පස්සෙ මාව වෑන් එකේ පිටිපස්සෙ ෂීට් එකේ ඉන්ඳලා ඉස්සරහ ෂීට් එකට ඔළුව හේත්තු කළා.

ඊට පස්සෙ මොකද වුණේ?

මට කිව්වා ඇස් ඇරලා ඒගොල්ලො දිහා බලන්න එපා කියලා. එහෙම බැලූවොත් අනිවාර්යයෙන්ම මරනවා කිව්වා. ඇත්තටම මේ දේවල් වුණේ අර කෝල් එකෙන් පස්සෙ.

කොහෙද ඒ ප‍්‍රදේශය කියලා ඔබට දැනගන්න බැරි වුණාද?

මට හිතාගන්න බැරි වුණා. ඒත් ඒ කොහේ හරි කන්දක් වගේ තැනක් කියලා නම් දැනුණා. පාන් පෝරණුවකුත් ඒ හරියෙ තියෙන්න ඇති. මට එහෙම ශබ්ද වගේකුත් ඇහුණා. ඒත් මං දන්නෙ නෑ ඒ කොහෙද කියලා.

ක්ලයිමේට් එක මොන වගේද දැනුණේ?

සීතල ක්ලයිමේට් එකක්.

ඔබ අනුමාන කරන විදියට මොන වගේ ප‍්‍රදේශයක් වෙන්න ඇද්ද?

මට දැනුණ විදියට නම් ඒ අවිස්සාවේල්ල පැත්තෙ කොහේ හරි වෙන්න ඇති.

ඔබ කියන කණ්ඩායමේ කීදෙනෙක් විතර හිටියද?

මං හිතන්නෙ අට දෙනෙක් විතර හිටියා.

ඊට පස්සෙ මොකද වෙන්නෙ?

ඇත්තටම මම ඒ සිද්ධියට පස්සෙ තමයි කතාව හරියටම දැන ගත්තෙ.

මොකක්ද ඒ?

2012.01.07 ඒගොල්ලො මාව අරගන්නවා. 12 වනදා පාන්දරම මාව රිලීස් කරනවා.

ඔය දවස් ගණන ඇතුළත ඔවුන් ඔබෙන් යම්දෙයක් ගැන ප‍්‍රශ්න කළාද?


ඔව්.

මොනවද ඇහුවෙ?

මර්වින් සිල්වා ගත්තු කප්පම් ගැන තමයි ඇහුවෙ. මර්වින් සිල්වා කාගෙන්ද කප්පම් ගන්නෙ කියලා ඇහුවා. එයා කුඩු විකුණනවද කියලත් ඇහුවා. එයාගේ පුතා මාලක කුඩු ගේනවද කියලත් ඇහුවා.

ඉතින් ඔබ මොකද කිව්වෙ?


මං දන්න දේවල්වලට උත්තර දුන්නා.

ඇත්තටම මර්වින් සිල්වා කුඩු බිස්නස් කරවනද?

නෑ... මම දන්නෙ නෑ ඒවා.

මම අහන්නෙ ඔබ එතැනදි දීපු උත්තර ගැන?

මම කිව්වා මම එතුමාව ළඟින් ආශ‍්‍රය කළාට ඒවා දන්නෙ නෑ කියලා. මිනිස්සුනම් එක එක කතා කියනවා.

මොනවද ඒ මිනිස්සු කියන එක එක කතා?

මර්වින් සිල්වගෙ පුතා මොකක්ද ටැබ්ලට් එකක් ගෙන්වනවා කියනවා. ඉතින් ඒවා මං හරියටම දන්නෙ නෑ. ඒවා මිනිස්සු කියන කතා.

ඊට පස්සෙ?

ඒගොල්ලෝ මට ෆොටෝස් වගයක් පෙන්නලා ඇහුවා අඳුරනවද කියලා.

කවුද ඒ ෆොටෝස්වල හිටියේ?

මාලක හිටියා. තව යාළුවෝ කට්ටියක් හිටියා.

තින් ඔබ මොකද කිව්වේ ?


මං කිව්වා මං අඳුරන්නෙ මාලකව විතරයි කියලා. ඇත්තටම මම අනිත් අයව දන්නෙ නෑ. ඊට පස්සෙ මගෙන් ඇහුවා මොකක්ද උඹේ අවසාන තීරණය කියලා. මං කිව්වා මම නෙමෙයිනෙ තීරණය කරන්නෙ ඔයගොල්ලොනේ කියලා. ඔය අස්සෙ ඒගොල්ලො මගෙන් තව තව දේවල් ඇහුවා.

ඒ මොනවද?

මං ආගමේද? බුද්ධාගමේද? කියලා ඇහුවා.

ඉතින් මං කිව්වා මං ආගමේ කියලා. එතකොට ඒගොල්ලො ජේසුස් වහන්සේ ගැන, ආදම් ගැන, තහනම් ගහේ ගෙඩිකාපු එක ගැන, එක එක ඒවා කියෙව්වා.

ඔය දවස් වෙනකොට ඔවුන් ඔබට පහර දෙන එක නවත්වලා?

නෑ.. නෑ. සැරින් සැරේ මට ගැහුවා. සමහර වෙලාවට කකුල් දෙකෙන් එල්ලූවා. මං හිටියෙ ඇඳන් ගිය බොටම් එක පිටින්මයි.

කෑම බීම දුන්නද?

කන්න දුන්නා. තේ බොන වෙලාවට තේත් දුන්නා.

ඒ කියන්නෙ එහෙනම් හොඳට සලකලා?

නෑ. සමහර වෙලාවට හිටි ගමන් ඇවිත් ලොකු ලොකු දෙකේ දෙකේ පොලූවලින් මට අමානුෂික විදියට පහර දුන්නා. අතින් පයිනුත් ගැහුවා. ඒ පොලූවලට ඇණ ගහලා තිබුණේ. මට මතකයි ඔවුන් කියනවා ‘මේ වගේ තමයි

අනිත් එවුනුත් කෑවේ, උඹටත් ඔළුව පළාගන්න ඕනෙද?’කියලා. මං කිව්වා ‘දැන් මං ඉන්නෙ ඔයගොල්ලන්ගෙ භාරයේ, කවුරුත් දන්නෙ නෑ මං ඉන්නෙ කොහෙද කියලා ඔයගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා’

දිගටම ඔබේ ඇස් බැඳලද තිබුණෙ?

ඔව්. නාන වෙලාවට විතරයි ඇස්වලට ගැටගහල තිබුණ රෙද්ද ගැලෙව්වෙ.

මොකේද නාන්නෙ?

බාත් රූම් එකේ. ඒක තිබුණේ මට පහර දීපු තැනමයි. ඒ වෙලාවටත් වටේම කට්ටිය ඉන්නවා. බාත් රූම් එකේ ඇතුළට ගිහින් දොර වහන්න පුළුවන්. ඒත් එළිය පේන්නෙ නෑ. නෑවත් ඉතින් එකම ඇඳුම තමයි ඇන්දෙ. මට ඇස්දෙක ඇරගෙන ටික වෙලාවක් හරි ඉන්න පුළුවන් වුණේ බාත් රූම් එකේදි විතරයි. ඔහොම ඉන්නකොට දවස් තුනකට විතර පස්සෙ ඔවුන් මගෙන් ඇහුවා ‘ උඹව අපි අද රෑට මරනවා. උඹ අපි එක්ක වෛරයෙන්ද ඉන්නෙ’

කියලා. මං කිව්වා ‘ජේසුස් වහන්සේ කුරුසෙ තියලා ඇණ ගහපු වෙලාවෙ ජේසුස් වහන්සෙ කිව්වේ ස්වාමීනි මොවුන් නොදැන කරන වරදට මොවුන්ට සමාව දෙන්න කියලා. මට කියන්න තියෙන්නෙත් ඒටිකම තමයි’කියලා. ඊට පස්සෙ ඒගොල්ලො විනාඩි පහක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා. පස්සෙ කිව්වා ‘ හරි හරි අද රෑටත් උඹහිටපන්කො’ කියලා.

ඉතින් පස්සෙ දවසෙ මොකද වුණේ?

පහුවදා රෑ එකොළහට විතර මට කිව්වා ‘ලෑස්ති වෙයන්’ කියලා. ටී ෂර්ට් එකකුත් ගෙනත් දුන්නා. මං ඒකත් ඇඳ ගත්තා.

ඔය වෙලාවෙදි ඔබේ ළඟ කීදෙනෙක් හිටියද?

දෙන්නා දෙන්නා මාරුවෙන් මාරුවට මා ළඟ හිටියා.

ඒ හිටපු අය සිංහලද?

ඔව්. ඔව්. සිංහලෙන් තමයි කතා කළේ.

ඔවුන් එකිනෙකාට ආමන්ත‍්‍රණය කර ගත්තෙ කොහොමද?

‘කැප්ටන්’, ‘කෝප‍්‍රල්’ වගේ හමුදාවෙ විදියට තමයි කතා කළේ.

ඔය අවස්ථාවේ ඔබ වගේ අය තවත් ඔය ස්ථානයේ හිටියද?
නෑ.. නෑ.. එහෙම හිටියේ නෑ. හැබැයි ඒ වෙලාවෙ මට ඇහුණා කාට හරි කතා කරලා කියනවා ‘මරන්න තව හරකෙක් ගේනවා අතන පොඞ්ඩක් ලෑස්ති කරන්න ඕන’ කියලා.

පස්සෙ මොකද වෙන්නෙ?

ඊට පස්සෙ මාව ඒ හිටපු ඔෆිසර් කෙනෙක්ගෙ ඩිපෙන්ඩර් එකේ දාගත්තා. දාගෙන කිව්වා ‘අපි උඹව ගිහින් දැම්මට පස්සෙ ලංකාවෙ ඉන්න බෑ. උඹ ලංකාවෙන් යන්න ඕන’ කියලා.

ඉතින් ඔබ මොකද කිව්වෙ?

මං කිව්වා මට රට යන්න සල්ලි නෑ කියලා. මං කිව්වා මට බිරිඳක් ඉන්නවා, ළමයි ඉන්නවා කියලා. එතකොට ඒගොල්ලො කිව්වෙ ‘ඒවා අපිට අදාළ නෑ. මීට පස්සෙ උඹට සමාජගත වෙන්න බෑ. උඹ ගිහිල්ලා හිටියොත් උඹව ආයෙ ගන්නෙ නෑ, ඔළුව කුඩු වෙන්න තියනවා මිසක්’කියලා.

ඔය කතාව වෙන වෙලාවෙදිත් ඇස් බැඳලද තිබුණේ?

ඔව්. පස්සෙ මගේ බැඳගෙන ආපු ඔරලෝසුව, රත්තරන් බඩු, පර්ස් එක වගේ දේවල් දුන්නා.

එතකොට ඔබේ ජංගම දුරකථනය?

නෑ. ඒක දෙන්න බෑ කිව්වා.

ඊට පස්සෙ ඔබව ගෙනිහින් බැස්සුවද?

නෑ... ඒගොල්ලො කිව්වා අපි උඹව අද ගෙනිහින් බස්සනවා. ඊට විනාඩි පහකට පස්සෙ ඇස් දෙක ලිහාගනින් කියලා. එහෙම ඇස් දෙක ලිහාගෙන ගිහින් වමට හැරෙන්න කිව්වා. වමට හැරිලා ආයෙත් දකුණට හැරුණාම උඹ ඉන්නෙ කොහෙද කියලා උඹට තේරෙයි කිව්වා. ඊට පස්සෙ මම ටිකක් වෙලා හිටියා. මගේ ඇස් දෙක නිලංකාර වෙලා කොහේවත් යන්න බෑ. ඉතින් මං ආපහු ඉන්න තැනම ඉඳගත්තා.

ඔය දේවල් වෙන්නෙ රෑ නේද?

ඔව්. මොකුත් පේන්නෙ නෑ. ටික වෙලාවකට පස්සෙ මම ත‍්‍රීවීල් එකක් අරගෙන ගෙදර ගියා. පහුවදා උදේම මං පොලීසියට කෝල් කරලා කිව්වා ගෙදර ආවා කියලා. ඊට පස්සෙ මොරටුව පොලීසියේ සාජන් කෙනෙක් ඇවිත් මගෙන් කට උත්තරයක් ලියා ගත්තා.

මොනවද කට උත්තරයට කිව්වෙ?

මං කිව්වා මට මෙහෙම දෙයක් වුණා, ඒත් ඒ කවුද කියලා මම දන්නෙ නෑ, මට වද දුන්නාකියලා කිව්වා.

ඔබ ඊට පස්සෙ රට යනවා?

ඔව්.. ඊට දවස් දෙකකට පස්සෙ සිංගප්පූරුවට ගියා.

කොච්චර කල් සිංගප්පූරුවේ හිටියද?

දවස් 14ක් විතර.

පස්සෙ ඔබ ඔබට වුණු සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ඔබ විසින්ම හොයා ගන්නවා?

ඔව්. මට උවමාන වුණා මේ අය මාව මරන්නෙ නැතුව එව්වෙ ඇයි කියලා හොයන්න. මං මේ විස්තරේ අපේ ගෙදර දී කිව්වාම මගේ සහෝදරයෙක් වෙන කෙනෙක් තමයි විස්තරේ කියන්නෙ. එතකොට එයයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි, පොලිස්පතිතුමයි මහියංගණේ ඉඳලා තියෙන්නෙ, පෙරහැරක උත්සවයකට ගිහිල්ලා. එතකොට පොලිස්පතිතුමාට මැසේජ් එක ගිහිල්ල තියෙනවා මාව ගත්තා කියලා. ඊට පස්සෙ පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කියලා තියෙනවා ‘සර්.. ඩොනල්ඞ් කියන කෙනාව ගත්තා’ කියලා. එතැන හිටපු අනුර (මගේ සහෝදරයා) දන්නවනෙ මගේ නම ඩොනල්ඞ් කියලා ඒ වෙලාවෙ සද්ද නොකර ඉඳලා ගෙදර කෑම කන වෙලාවෙ ජනාධිපතිතුමාගෙන් අහලා තියෙනවා ‘කාවද සර් අරන් තියෙන්නෙ’ කියලා ඇහුවාම කිව්වලූ ‘අර අම්බලන්ගොඩද කොහෙද ඩොනල්ඞ් කියලා එකෙක් ඉන්නවා අන්න ඌව ගත්තා’ කියලා. ඊට පස්සෙ අනුර ‘ආ... ඇත්තද සර්’ කියලා මගේ ගෙදර ෆෝන් එකට කෝල් එකක් අරන්. ඒ කෝල් එකට කතා කරලා තියෙන්නෙ මගේ බිරිඳ. ඒ වෙලාවෙ මගේ බිරිඳ අනුරට විස්තරේ කියලා. ඊට පස්සෙ අනුර කිව්වලූ ‘අක්ක බය නැතුව ඉන්න. මම මොනවා හරි කරන්නම්, අයියා ගෙදර එයි’ කියලා. ඒ වෙලාවෙ අනුර ජනාධිපතිතුමාට කතා කරලා කිව්වලූ‘සර් මෙහෙමයි ඩොනල්ඞ් මගේ සහෝදරයෙක්, මට උදව් කරපු කෙනෙක්. සර්ටත් උදව් කරපු කෙනෙක්, සර්ගෙ මැතිවරණවලදීත් ගොඩක් උදව් කරපු කෙනෙක්’ කියලා.

ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද කියල තියෙන්නෙ?

එතුමා කිව්වලූ ‘නෑ... නෑ එයා මර්වින් එක්ක එකතු වෙලා කප්පම් ගන්නවා ’කියලා. ඊට පස්සෙ අනුර ආයෙත් කිව්වලූ ‘ඒව එක එක්කෙනාගෙ නිකම් කතා විතරයි එහෙම කරනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව මිනිස්සු පැමිණිලි දාල තියෙන්න ඕනනේ. ඒත් එහෙම දෙයක් නෑනේ, මම සර්ගෙ කකුල් දෙක අල්ලලා වැඳල කියන්නම් මිනිහගෙන් ප‍්‍රශ්න කරන්න, ගහන්න ඒත් මිනිහගේ ජීවිතේ නැති කරන්න එපා’ කියලා. ඊට පස්සෙ ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට කතා කරලා කිව්වලූ මිනිහව මරන්න එපා අවශ්‍ය දෙයක් තියෙනවා නම් දැනගෙන යවන්න කියලා.

ඒ කෝල් එකටද ඔබව අර ෂීට් එක යට ඉඳන් උඩට ගත්තෙ?

ඔව්. ඒකට තමයි.

ඒ කියන්නෙ පොලිස්පතිතුමාද ඒ කෝල් කළේ?

ඒක නම් දන්නෙ නෑ. හැබැයි අර වෑන් එක ඉස්සරහා හිටපු නිලධාරියට තමයි ඒ කෝල් එක ආවේ.

ඔබ ඔය කියන විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුවත්වද ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ?


ඔව්.. ඔව්.. අනිවාර්යයෙන්ම. පොලිස්පතිතුමාත් සියලූ දේ දන්නවා. මේක රාජ්‍ය ත‍්‍රස්තවාදයමයි. වෙන එකක් නෙමෙයි.

පස්සෙ කාලෙ ඔබට දැන ගන්නට ලැබුණද ඔබව පැහැරගෙන ගිය නිලධාරීන් කවුද කියලා?

මට එහෙම හොයාගන්න වුවමනාවක් තිබුණා. ඉතින් මම මේක හොයාගෙන යනකොට මට එක්තරා පුද්ගලයෙක් කිව්වා මෙන්න මේ අහවලා තමයි ඔත්තුව දුන්නෙ කියලා.

කවුද ඒ පුද්ගලයා?

නිරාල් කියලා කෙනෙක්.

ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධ කෙනෙක්ද?

නෑ. පිට එක්කෙනෙක්.

එහෙනම් පාතාලයෙක්?

නෑ. පාතාලෙ එක්කෙනෙකුත් නෙමෙයි. මර්වින් සිල්වා ළඟ ඉන්නකොට ඔය එක එක්කෙනාගෙන් සල්ලි ගත්ත කෙනෙක්. එයා ලක්ෂ තිහ, හතළිහක් හැමෝටම පොලූ තියපු කෙනෙක්.

නිරාල්ගෙ ඔත්තුවට කවුද ඔබව අරන් ගියේ?

උපුල් ජයවර්ධන කියන සහකාර පොලිස් නිලධාරීවරයා තමයි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය භාරව හිටියේ. අන්න එයා තමයි මාව අරන් ගියේ. මාව අරන් ගිය වෑන් එකේ ඒ වෙලාවේ ඉන්චාර්ජ් වෙලා හිටියෙත් එයා. මං ගාව එයාගෙ රෙකෝඩින් ඔක්කොම තියෙනවා.

ඒ කොහොමද ඒ?

ඔය කියන ASP යි මායි දැන් ගොඩක් හිතවත්. ඉතින් එයා මට කියනවා අපිට ඔයත් එක්ක තරහක් නෑ, අපිට ඔයාව ගන්න වුණේ ඉහළින් ආපු නියෝගයක් නිසා කියලා. ඇත්තටම එයාට මං එක්ක ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ.

ඉහළින් ආපු නියෝගය කවුද දෙන්න ඇත්තෙ?

ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න වෙන්නෙ.

ඔය ටීම් එක කරපු තවත් ඔය වගේම දේවල් ඔබට ආරංචි වුණේ නැද්ද?

තියෙනවා. ඔය තලවතුගොඩ චමින්ද (මට මතක විදියට) ගෙනිහිල්ල මරල දාලා තිබුණෙත් ඒගොල්ලො බව කියනවා.

ඔබට අමතරව සුදු වෑන්වලින් අරන් ගිය පසුව නිදහස් වුණ තව අය ඉන්නවද?

ඉන්නවා. එක්කෙනෙක්.

කවුද ඒ?

අමල් රුද්‍රිගු. ඒ මාව ගන්න කලින්.

අමල්ව අරන් තියෙන්නෙ ඇයි?

ඒක නම් හරියට දන්නෙ නෑ. කොහොම හරි අමල්ගෙනුත් මං ගැන අහලා තිබුණා.

අමල් ඔබට වෙන්න යන දේ කලින්ම කිව්වා?

ඔව්. එයා මට සිංගප්පූරුවේ ඉඳලා කෝල් කරලා කිව්වා ලංකාවෙ නම් ඉන්න එපා කියලා. ඒත් මං වරදක් කරලා නැති නිසා ඒ ගැන එච්චර හිතුවෙ නෑ.

ඔබ නිදහස් වෙලා ආවට පස්සෙ ඒ වෙනුවෙන් ගත්ත නීතිමය ක‍්‍රියාමාර්ග මොනවද?


මගේ බිරිඳ ඒ දවස්වලම මොරටුව පොලීසියට පැමිණිලි කරලා තිබුණා. දුව මානව හිමිකම් එකට ලියල කිව්වා ඒත් ඊට එහා කිසිම කි‍්‍රයාමාර්ගයක් ගන්න පුළුවන් වුණේ නෑ.

ඇයි ඒ?

බයට තමයි.

දැන් ඔබ මොකද කරන්නෙ?

දැන් ඉතින් මං බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා. අපේ සියලූ ව්‍යාපාර වැටුණා. ඉඩකඩම් බැංකුවලට සින්න වුණා. අපිට පාරෙ බැහැල යන්න බෑ. ඒ වගේ තත්ත්වයක් උදා කළේ ඇයි? අපි කරපු වරද මොකක්ද? මේ වැඩෙන් විශාල හානියක් වුණා. ඉතින් මේවට කවුද උත්තර හොයන්නෙ? මහින්ද රාජපක්ෂද? වරදක් කළත් සුදු වෑන් එකකින් උස්සලා මරන්න කිසිකෙනෙකුට අයිතියක් නෑනෙ. ඉතින් මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති වෙච්ච පලියට එයාට බෑනෙ මිනිහෙක්ව එල්ලලා මරන්න හරි, සුදු වෑන්වලින් උස්සන් ගිහින් මරන්න හරි. වැරැදිකරුවෙක්ට දඬුවම් දෙන්න රටේ පිළිගත්ත නීතියක් තියෙනවා.

කතා කළේ : ශාන්ත බණ්ඩාර
ලිව්වේ : සකූ විතානගේ
ජායාරූප : අජිත් සෙනවිරත්න

Last modified on Friday, 14 August 2015 15:42

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us