පාර්ලිමේන්තුවේ බහුතර ආසන බලය හිමි කරගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට පෙර සිටම කීවේ ජාතික අණ්ඩුවක් බිහි කරන බවය. එය රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන තීන්දුවකි. එමෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දිගින් දිගටම මෙම දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන කතා කළ අතර ඔහුට ද අවශ්‍ය වූයේ ජාතික අභිලාෂයක් ලෙස ගෙන මේ ප‍්‍රශ්න ටික විසඳා දේශපාලනයෙන් සමුගැනීමටය.
ඊට හේතු සාධක වූ දේශපාලන කාරණා බොහෝය. විශේෂයෙන් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍ය පාලනය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් ඉටුකර ගැනීම එහි අරමුණය. මූලිකව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙහි ප‍්‍රමුඛ කරුණකි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය අවශ්‍යය. මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ප‍්‍රධාන පක්ෂ දෙකෙහි එකමුතුවක් අවශ්‍ය විය.
ජාතික ආණ්ඩුව අවශ්‍ය වූයේ ඒ වෙනුවෙනි. කෙසේ නමුත් මේ ‘ජාතික ආණ්ඩුව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ හා ඔහු වටා සිටි සියලූ දෙනාගේ විරෝධය මැතිවරණයට පෙර සිටම පැවැති අතර ඉන් පසුවත් එය ප‍්‍රකාශයට පත් විය. එහෙත් අද මේ ලිපිය ලියන මොහොතේ ජාතික ආණ්ඩුව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ද කැමැත්ත හිමිව ඇත. සන්ධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නම් තවමත් පසුවන්නේ මේ ජාතික ආණ්ඩු විරෝධයේය.
කෙසේ නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා මේ හවුල් ආණ්ඩුව සඳහා එකඟ වූයේ වෙන කළ හැකි දෙයක් නොමැතිකම මත බවය. තමන් දිගින් දිගටම විරුද්ධ වූ දෙයකට දැන් ‘හා’ යැයි කීම ඔහුගේ දේශපාලන ජීවිතයේ අරුම පුදුම සිදුවීමක් නොවුණත් සිදුවන විළි ලැජ්ජාව වසා ගැනීම වෙනුවෙන් අලූත් යෝජනාවක් ගෙනවිත් තිබේ. ඒ මෙහි ‘ජාතික’ යන්න වෙනුවට අලූත් නමක් යෝජනා කිරීමය. මේ වෙනුවෙන් නම් ගණනාවක් යෝජනා වී තිබුණු නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වචනයක් වූ ‘සම්මුතිවාදී ආණ්ඩුව’ යන නාමය හොඳ යැයි රාජපක්ෂ පාර්ශ්වයේ කැමැත්ත ද හිමි වී ඇතැයි පැවසේ.
ඒ කෙසේ නමුත් ජාතික හෝ වේවා සම්මුතිවාදී හෝ වේවා කවර අහවල් ආණ්ඩුවකට හෝ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන නඩය කැමැති වන්නේ කවර වුවමනාවක් මුදුන් පමුණුවා ගන්නදැයි ප‍්‍රශ්නය අපට නැගේ.
ඒ තවත් ගැටලූකාරී වන්නේ මේ හවුල් ආණ්ඩුව බිහි කිරීම සඳහා පසුගිය දින කිහිපයේ දී වඩා වෙහෙසී ඇත්තේ රාජපක්ෂ පවුලේ බාලයා වූ ගෝඨාභය රාජපක්ෂ වීම තුළය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය සඳහා තෙවන වරටත් තරග කර පරාජයට පත් වූවත් ඔහුට ගෞරවනීය ලෙස දේශපාලනයෙන් විශ‍්‍රාම ගෙන සිටිය හැකි වූ වද ඔහු නැවත ආණ්ඩු බලය අත්පත් කර ගැනීම සඳහා තරගයට පිවිසියේය. රාජපක්ෂවරුන්ට දේශපාලන බලය අවශ්‍ය වූයේ ඇයිද යන ප‍්‍රශ්නයට ලැබෙන පිළිතුර මහින්ද රාජපක්ෂ ජාතික ආණ්ඩුවට කැමැත්ත පළ කිරීම හා සමපාත වෙයි.
රාජපක්ෂලා පසුගිය අවුරුදු නවය මුළුල්ලේ රාජ විරාජමානව වැජඹුණේ රටේ නීතිය, සදාචාරය සියල්ල රාජපක්ෂ පවුලේ කැමැත්තට යටපත් කරමිනි. පාරට අතුරන පස් ට‍්‍රැක්ටරයේ සිට මිග් යානය දක්වා කොමිස් ගැසුවේය. පන්සලේ ධාතු කරඬුවේ සිට මහ බැංකුවේ රං සංචිතය දක්වා හොරකම් කළේය. කොළඹ පැල්පතේ සිට රක්ෂිත වනාන්තර දක්වා ඉඩම් කොල්ල කෑවේය.
අටපිරිකර වෙළෙන්දාගේ සිට මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාරිකයා දක්වා වූ සෑම ව්‍යාපාරිකයකුගෙන්ම කප්පම් ගත්තේය. තම අයිතිය වෙනුවෙන් සටන් වැදුණු කම්කරුවාගේ සිට සිරකරුවා දක්වා මිනිස්සු මරා දැම්මේය. මාධ්‍යවේදීන්, අරගලකරුවන්, දේශපාලනඥයින් රාජපක්ෂලාගේ ගොදුරු බවට පත් විය. මේ ලැයිස්තුවේ කෙළවරක් නැත. තව බොහෝ දිගුය.
රාජපක්ෂලා හොරකම් කළේ මිනීමැරුවේ ආණ්ඩු බලයේ පිහිටෙනි. රාජපක්ෂලාගේ පැවැත්ම සඳහා මේ බලය අවශ්‍යය. නමුත් විධායක බලයම ඔවුන්ට අවශ්‍ය වූයේ නැත. හෙල්පින් හම්බන්තොට වංචාව සිදු වූයේ විධායක බලය අතට ගන්නට පෙරය. හම්බන්තොට මිනී මැරුම් සිදු වූයේ විධායක බලය ගැන හිතන්නවත් පුළුවන් කාලයක දී නොවේ. එල්ටීටීඊයට සල්ලි දී ඡුන්ද දිනුවේ විධායක බලය ගෙන නොවේ.
හොරකම වංචාව කියන්නේ රාජපක්ෂලාගේ උපන්ගෙයි දෝෂයකි. මැදමුලනේ වලව්වේ ඇත්ත කතාව ඊට සාක්ෂිය. යන්තමින් හෝ පොටක් පෑදුණ ගමන් හොරකම් කළේය. වංචා කළේය.
ඒ කොහොම වුවත් පසුගිය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂලා පරාජය විය. දැන් ආණ්ඩු බලයක් නැත. ඔවුන්ට එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා, අපරාධ චෝදනා හමුවේ මුළු පවුලම අනාරක්ෂිතය. රාජපක්ෂලාගේ මිතුරන්ට හෝ ඔවුන්ව බේරා ගැනීමේ හැකියාවක් නැත. මන්ද ඔවුන් ද හොරු බැවිනි. ඒ වගේම ලබන සැප්තැම්බරය වන විට යුද අපරාධ චෝදනා ගොන්නක් රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වනු ඇත. රාජපක්ෂලාගේ කුණු කොන්ත‍්‍රාත් කළ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් රොත්තක් ද මේ චෝදනාවලට වරදකරුවන් වීමේ ඉඩකඩක් තිබේ. යුද අධිකරණය රාජපක්ෂලාගේ බෙල්ලෙන් අල්ලාගෙන කුදලාගෙන යන විට රාජපක්ෂලා බේරා ගන්නට කිසිවකු ඉතිරිව ඇත්තේ නැත.
රාජපක්ෂලා මුහුණ පා සිටින ඇත්තම ප‍්‍රශ්න මේවාය. රගර් ක‍්‍රීඩක තාජුඞීන්ගේ ප‍්‍රශ්නය බෙල්ලටම වැටී තිබෙන තොණ්ඩුවකි.
එක්නැළිගොඩගේ අතුරුදන් වීම තවත් තොණ්ඩුවකි. එල්ටීටීයෙන් ලබා ගත් රත‍්‍රන් තොගය හොරෙන් විකුණූ බව හෙළි වී තිබේ. තවත් කප්පරක් දූෂණ වංචා තොගයකි. ලසන්ත ඝාතනය වහා විසඳිය යුතු අබිරහසක්ව තිබේ. මේවා රාජපක්ෂලාගේ භෞතික ජීවිතයේ පැවැත්මට ද බලපාන ප‍්‍රශ්නය.
මේ නිසා රාජපක්ෂලා සතුව තිබෙන එකම විකල්පය හැදෙන මොකක් හෝ ආණ්ඩුවක පාර්ශ්වකරුවන් වී හෝ අරියාදුවක් නොකර සිටීමෙන් හෝ තමාගේ ජාම බේරාගත හැකි ලෙස පැත්තකට වී සිටීමට උත්සාහ කිරීම පමණි. ඒ බව තේරුම් ගත් නිසා බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයෙන් මුළුමනින්ම ඉවත් වී දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන පැත්තකට වී සිටීමට තීරණය කර ඇත.
ඒත් අයියාගෙන් කාලා හැදුණු නිසා අවසන් කාලයේ දී ඔහුව බලා කියා ගැනීමේ වගකීම ද ඔවුන් සතුව තිබෙන නිසා ජාතික ආණ්ඩුවක් හදා දී, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ ඔහුට දුකක් කරදරයක් නොවෙන්නට බලා ගැනීම ඔවුන් කළ යුතුය.
ඒ කෙසේ වුවත් රාජපක්ෂලා දැන් සූදානම් වන්නේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමටය. ඔවුන්ගේ අලූත් කපටි න්‍යාය වී ඇත්තේ ‘ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා සඳහා සාමූහිකව මුහුණ දී ඒ පරාජය කළ යුතු බවය.’ රාජපක්ෂලාට ජාතික ආණ්ඩුව ඕනෑ වෙන්නේ ඒ වෙනුවෙන්ය.
ඉතිහාසයේ කුණු වළවල් හෑරුවොත් රාජපක්ෂලාට වෙන්නේ කුමක්ද යන්න ඔවුන් තේරුම් ගෙන ඇත. ඒ නිසා අනාගතය සුරක්ෂිත කර ගැනීමේ ව්‍යාපෘතිය පෙරට ගැනීමට ජිනීවා යුද අපරාධ චෝදනා ද අද ඔවුන්ට ආශිර්වාදයක් වී තිබේ.
මේ හේතුවෙන් රාජපක්ෂලාගේ උනන්දුව සහිතව දැන් දෙතුන් ගොල්ලම එකතු වී හදන ජාතික ආණ්ඩුව යනු කාගේ කාගෙත් කිල්ලෝටවල තිබෙන හුනු සඟවා ගැනීමේ ව්‍යාපෘතියකි. එවැනි බරපතළ ඉඩකඩක් නිර්මාණය වෙමින් තිබෙන බවට සාධාරණ සැකයක් දැන් අප හමුවේ ඇත.
කවරාකාර ආණ්ඩුවක් තැනුණද මේ සහගහන ජාතික අපරාධ කළ රාජපක්ෂ පවුලේ හා එම හිතවතුන්ට එරෙහිව තිබෙන සියලූ චෝදනා විභාග කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය.
කලක දී මේ වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ද පළව තිබුණ ද දැන් එවැන්නක් පෙනෙන්නට ද නැත. වර්තමාන ආණ්ඩු පෙරළිය වෙනුවෙන් විදේශ රාජ්‍යයන් කිහිපයක්ම අත දැමූ බව සැඟවිය යුතු කරුණක් නොවේ. එමෙන්ම රාජපක්ෂලාව බේරාගැනීම වෙනුවෙන් ද විදේශ රාජ්‍යයන් මැදිහත් විය. ඒ කුමක් වුවත් රාජපක්ෂවරු පන්නා දැමීමේ වුවමනාවක් සහිතව සිටි රාජ්‍යයන් රාජපක්ෂලාට එරෙහිව කළ මෙහෙයුම තුළ මානව හිමිකම් චෝදනා, දූෂණ චෝදනා එල්ල වීම් ආදිය ද තිබිණි.
එහෙත් දැන් එම රාජ්‍යවලට අවශ්‍ය පුද්ගලයා බලයට පැමිණ ඇති නිසා රාජපක්ෂලාට එරෙහිව වන කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දැඩි උනන්දුවක් එම රාජ්‍යයන්ගෙන් ඉටු නොවනු ඇත. එසේ වුවද මේ චෝදනා වළලා දැමීම හෝ අමතක කිරීමට ඉඩ දිය යුතු නැත. අප සටන් කළේ මේ විදේශීය රාජ්‍යයන් හි වුවමනාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් නොවේ. මේ රටේ යහපාලනය රජ වුණ, නීතියේ ආධිපත්‍යය රජ වුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යුගයක් වෙනුවෙනි. එය ඉටු විය යුතුය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ලක්ෂ 62ක මෙන්ම මහ මැතිවරණයේ දී එම පාර්ශ්ව වෙන් වෙන්ව තරග කර ද ලබා ගත් ලක්ෂ 62 ද බලාපොරොත්තු වන්නේ එයය.
අපි කියන්නේ මොන ආණ්ඩු හැදුවත් ජනතාව ගොනාට අන්දවා හවුලේ කන්නට නම් සූදානම් වන්නේ ඒ ලොකු වැරැදීමක් විය හැකි බවය.
සුභාෂ් ජයවර්ධන
'සත්හඬ'
sathhanda.lk