සාමාන්‍යයෙකු ලෙස පැවතිමට ගැහැනියට ඇති අයිතිය තහවුරු කරමු - නදීකා බණ්ඩාර

Tuesday, 31 March 2015 15:30

ලිපියේ නිමිත්ත -

26 වැනිදා පසන් කොඩිකාරට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල කනත්තට එකතු වු අපි කිහිප දෙනෙක් බොරැල්ල ඊ.ඒ.පී බාර් එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් පානයක් අතර තුර කෙටි කතාබහක නිරත වීමෙන් පසු නිවෙස් බලා යන්නටය. එම කණ්ඩායමේ මම ද ඇතුලූව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි ,ප්‍රභාත් හේමන්ත , සාලිය ඉඳුරුවිතාන යන අය සිටි අතර ටික වේලාවකින් අප සිටි මේසය අසලට වංගීස සුමනසේකර පැමිණි අතර ඔහු වෙනත් මේසයක සිටින සිය මිතුරන් සිටින තැනට අපට ද ආරාධනා කළ අතර අප මේසයේ හුන් කිසිවෙකු එම ආරාධනාව ආචාරශිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා මට මතකය.

ආපසු ගිය වංගීස නැවතත් පැමිනියේ ඉන්ද්‍රචාපා ලියනගේ සමඟය. ඉන්ද්‍රචාපා එතැනට පැමිණිමෙන් පසු අප අතර පැවති සුහද කතාබහ එතැනින් අවසන් වී එය මහා ගාලගෝට්ටියකට ක්‍රමයෙන් මාරුවන්නට විය. ඉන්ද්‍රචාපා අජිත්ට සිය ප්‍රථම ප්‍රහාරය එල්ල කරමින් පිච් අවුට් කියන්නට අවසර ඇත්තේ අජිත් කුමාරසිරිට පමණක් බව කියමින් අසංස්කෘතික ගැටුමක ආරම්භය සනිටුහන් කරන ලදී. එතැනින් නොනැවතුනු චාපා සමන්කුමාරගෙන් විමසා සිටියේ ඔයා මොනවද කරලා තියෙන්නෙ? තවත් ඉදිරියට ගිය චාපා විදර්ශන ඔයාට කිසිම දක්ෂකමක් නෑ යනුවෙන් පැවසුවේය.

මෙම ප්‍රකාශයන් සමඟ දැවැන්ත වාග් ප්‍රහාරයන් ආරම්භ වු අතර සමනලී පොන්සේකා ද එතැනට පැමිණ සිටියාය.ඇය ගැටුම සමථකට පත් කරන්නට උත්සාහයක නිරත වු අතර වංගීස මගේ අතින් අදිමින් පළමුව මිත්‍රශිලි ලෙස ඔහු සිටි මේසය මා කැඳවා ගෙන ගිය අතර එතැනින් පසු ඔහුගේ මිත්‍රශිලිත්වය සෘජු ලිංගික පෙළඹවීමකට මාරු වෙන්නට වූ විට මම එතැනින් පිටවී වහා නැවතත් මා සිටි මේසයට පැමිනියෙමි.

මා පිටුපසින් වංගීස පැමිනි අතර ඉන්පසු ඔහු චාපා අනුමත කරමින් වාග් ප්‍රහාරය සමඟ එක්විය. නැවතත් මොහොතකින් ඔහු මා අසල වාඩි වූ අතර මගේ බඳ වටා අත යවමින් මා තුරුලූ කරගන්නට උත්සාහ කළ අතර මම එතැනින් නැගිට ගොස් වෙනත් තැනක වාඩි වුයෙමි. අවසානයේ මා එළියට පැමිණ එතැනින් නික්ම යනතුරුම ඔහු මා පසුපස හඹා එමින් මා වැළඳ ගන්නට උත්සාහ කරමින් බලහත්කාරයෙන් මගේ අතින් අදිමින් මගේ ප්‍රතික්ෂේප කිරීම නොසලකා හරිමින් මා පිරිසක් ඉදිරියේ විශාල මානසික පීඩනයකට මා අතහැර දමුවේය.

අසමඡ්ජාති අසංස්කෘතික රාත්‍රියක් එසේ අවසන් වන විට නැවතත් වෙනත් ආකාරයක පීඩනයකට මම ගොදුරු වන්නට වුයෙමි. ඒ මම වංගීසට දැඩි ප්‍රතිචාර නොදැක්වීම යනු මම වංගීසට කැමැත්තක් ඇති බවටත් ඒ තුළින් මම යම් ප්‍රතිදානයක් වංගීසගෙන් ලබා ගැනීමේ අරමුණක් මම ක්‍රියා කළ බවට පැතිර ගිය රාවයයි . මම වංගීසට දැක් වු ප්‍රතිචාරය වුයේ ඔහුගේ හිරිහැරය මඟහැර යාමය. ඇති ව තිබු ගැටුම මැදට තවත් ගැටුමක් එකතු කරන්නට මට අවශ්‍ය නොවු අතරම මගේ ප්‍රතිචාර දැක්වීමත් සමඟ තත්වය වෙනත් අතකට පෙරලි තව තවත් එය අසංස්කෘතික කිරිමට මට වුවමනා නොවීමය .එයින් අදහස් වන්නේ මම ඔහුට අනුබල දීම හෝ මම ලිංගික හිරිහැරය ඉවසා සිටියා යන්න නොවේ. මම එම හිරිහැරය මඟහැරියෙමි. සිහියෙන් සිටි අය මා කළ දේ දුටුවෝය.

IMG 2043ලිංගික හිරිහැරය යන විෂය පථය විශාල එකක් වන අතර එය ගැහැනියක් අපහසුතාවයකට පත් වන ආකාරයේ ලිංගිකමය අරුත් දැනවෙන පරිදි වචන ප්‍රකාශ කිරිමේ සිට ගැහැනියකගේ අනුදැනිමකින් හා එකඟ වීමකින් තොරව සිදුවිය හැකි සියලූම ක්‍රියාවන් ලිංගිකමය හිංසාවක් ලෙස අප ශීෂ්ට සාමාජයක ජීවත් වන මිනිසුන් ලෙස පිළිගෙන ඇත්තෙමු. ගෘහය තුල දි සැමියාට පවා එම අවසරය නැති බවද අපි පිලිගෙන ඇත්තෙමු. මගේ අනුදැනුමකින් ,එකඟ වීමකින් ,පෙළඹවීමකින් තොරව සිදු වු මෙම ක්‍රියාව ලිංගිකමය හිරිහැරයකි .

එහෙත් එය ලිංගික අවයවයන් ලෙස පැහැදිලි ලෙස හඳුනා ගන්නා ඉන්ද්‍රියන් වලට හිරිහැරයක් ඔහු සිදු නොකළ අතරම ඔහු කරමින් සිටියේ මගේ අනුබලයකින් හෝ පෙළඹවීමකින් හා එකඟ වීමකින් තොරව ලිංගික ක්‍රියාවකට මා නතු කර ගැනීමට උත්සාහ කිරීමය . මම එය සාමකාමී ලෙස ප්‍රතිකේෂප කළ අතරම එය දිගින් දිගටම සිදුවන විට හිඳ හුන් අසුන් කිහිපයක් මාරු කළෙමි. අවසානයේ තත්වය වෙනස් නොවන විට අප මිතුරන් කණ්ඩායම එළියට ආවෙමු .

මෙම සිදුවීමට දිනකට පසුව එනම් 28 වැනිදා මරියාගේ රමණය දෙවැනි සහ තුන්වැනි දර්ශනවාරයන් වේදිකාගත වීමට නියමිතව තිබුනි. සාමාන්‍යයෙන් නාටකයක් කිට්ටුව මා පාරේ ගමන් කරන්නේ ද පාරේ කානුවලය . රියදුරන් සමග මාර්ග නීති ගැන කලහයක් ඇති කර ගන්නවාට වඩා කානුවල බැස යාම වැදගත් වන්නේ අපගේ සාමුහික ප්‍රයත්නයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වඩා වැදගත් වන නිසාය. එබැවින් ඒ වන විටත් මම වැරැද්දක් කොට තිබුනි .

ඒ ඇති විය හැකි අනපේක්ෂිත සිද්දින් ගැන මට අමතකව යාමය. අපගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද එක් අතකින් මගේ දිර්ඝ කාලීන වැඩවල ගමන් සගයාද ඒ මොහොතේ සිටින ලදී. එබැවින් මම කිසිවෙකුට හිංසාවක් ,පැටලිල්ලක් ඇති නොවන මඟහැර යාමකින් තත්වය පාලනය කර ගැනීමට උත්සාහ කළෙමි. ඒ සෘජු ප්‍රතිචාර දැක්වීම් වල දිශානතිය ගැන කලින් සැලසුම් කළ නොහැකි නිසාය. ආදාල පුද්ගලයා මාව දිගින් දිගටම ලිංගික වස්තුවක් ලෙස සලකා කටයුතු කරන්නට උත්සාහ කළ මුත් මම එය ඉතා සාමකාමී අයුරින් ප්‍රතික්ෂේප කළෙමි. සමහරුන් එය අර්ථ දක්වාගෙන ඇත්තේ මම එම හිරහැරය අනුමත කළ බවකි. මගේ සෘජු ප්‍රතිචාර දැක්වීම් හමුවේ විශාල ගැටුමක් හට ගත්තේ නම් 28 වැනිදා මගේ නාට්‍ය දර්ශනය පැවැත්වීමද අවලංගු කර දැමීමට සිදුවිය හැකිව තිබුණි.

මෙය සිදුවුයේ චණ්ඩින්ගේ කලාපයේ නොවේ.මෙය සිදුවුයේ විකල්ප දැනුම නිෂ්පාදන කලාපයේ සිටින පිරිසක් අතරේය. මෙම සිදුවීම ලාංකීය සමාජ අවකාශය තුළ ගැහැනිය කොතරම් අනාරක්ෂිත ද යන්න පිළිඹුල් කරන කැඩපතිකි. මම මෙම කාරණාව පැහැදිලි කිරීමට මේ සමඟ සමගාමී වෙනත් කාරණා කිහිපයක් පිළිබඳ මගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙතියැයි මම සිතමි.

සමහරුන්ගේ අදහස වුයේ මා හිරිහැරයට පත්වුයේ මා එවැනි තැනකට ගිය නිසා බවය. ලංකාවේ මුහුදු වෙරළේ සිට සිනමා ශලාවේ සිට බාර් එක දක්වාම ඇත්තේ පුරුෂ අධිපතිත්වයකි. බාර් ඇත්තේ තනි පුරුෂ අයිතියකය. සිනමා ශාලාවකට හෝ මුහුදු වෙරළට අප යා යුතුතේ කාගේ හෝ හිතවත් පිරිමියෙකුගේ අතේ එල්ලිගෙනය. හැමනියන් !

මේ මොන වගේ සංස්කෘතියක් ද ?

සමහරු මගෙන් අසන්නේ, ඔයා මොකටද ගියේ ,ලංකාවේ පිරිමි ගැන දන්නේ නැද්ද? ඔයාට බොන්ඩ ඕන නම් ගෙදරට වෙලා බියර් එකක් බොන්ඩ තිබුනානේ ? මෙම ප්‍රශ්න පවා කොතරම් අසංස්කෘතික ද ? කොතරම් හිංසාකාරීද ?

මට කියන්ඩ ඇත්තේ බාර් එකට ගැහැනියකට යා නොහැකි නම් සියලූ ගැහැනුන් පන්සලට ගොස් මල් පුජා කිරීමද නොකළ යුත්තකි .ඔවුන් මල් පුජා කල යුත්තේ ගෙදර බුදු කුටියේ පමණකි. මල් පුජා කිරීම සහ පන්සල් යාම සේම බාර් එකට යාමද සමාජිය සම්බන්ධතාවයකි. අනෙක් අතට සෑම දේකම හුදෙකලා භාවිතාවයක් මෙන්ම සාමුහික භාවිතාවයක් ඇත.

මිනිස්සු තනිව බියර් බොති. එකතු වී සාමුහිකව බියර් බොති. මිනිස්සු ස්වයං මෛථුන්‍යයේ යෙදෙයි .සංසර්ගය දෙදෙනෙක් අතරේ සිදුවන සාමුහික බෙදා ගැනීමකි . මේ ආකාරයෙන් මිනිස්සුන්ගේ ජීවිතය හුදෙකලාවත් සාමුහිකවත් පවතින පැවැත්මකි. මා ගැහැනියක වු නිසා සාමුහික පැවැත්මේ අවකාශය මට අහිමිවියයුතු ද ? රාත්‍රිය අහිමිවිය යුතු ද? ගැහැනිය සමානයෙක් ලෙස සැලකනවාය යන මුග්ධ බොරුව ගැන අප කොතරම් දුරට සවිඥානිකද? බාර් එකට යාම කෙසේ වෙතත් දහවලක තනිව ගොස් බියර් බෝතලයක් ඒවා විකුණන ස්ථානයකින් මිල දී ගන්නා විට මා වෙත හෙලන නරුම බැල්මට මා කොතරම් බියපත් වී ඇති ද ?රාත්‍රි අටෙන් පමණ පසු පාරක ගමන් කරන විට සිතට දැනෙන භීතිය කුමක් ද? රාත්‍රි අට පසුවන විට හුදෙකලා පාරක ගමන් කරන ගැහැනියක් ඇද ගෙන යාම රහසින් අනුමත කරන මේ සංස්කෘතිය මොන වගේ සංස්කෘතියක් ද ?

අරක්කු වල සිට සියලූම මත් දුව්‍ය ගැන සාමජයේ එක් කණ්ඩායමක් දැඩිව විරෝධය පල කරන අතරම ඒවා සමාජයේ පිලිගත් නීතියක් තුල පවතී.අනුමත කරන ලද මත් ද්‍රව්‍ය සිගරට්, අරක්කු වර්ග වයින් බියර් වයින් ස්ටෝර්ස් තුලත් අවන්හල් තුලත් මිලදි ගත හැක. මම බියර් සහ වයින් ප්‍රියකරන්නියක්මි. බොහෝ තවත් ගැහැනුන් ද එසේ විය හැකිය. නොවිය හැකිය. පිරිමින්ද එසේ විය හැකිය. නොවිය හැකිය. මෙම විය හැකි නොහැකි තත්වය පිලිබඳ සමාජිය ප්‍රතිචාර වෙනස්ය.

බොහෝ විට නොබන පිරිමියෙකු සමහරු පොන්නයන් ලෙස අර්ථ දක්වති. බොන ගැහැනුන් වේසියන් ලෙස අර්ථ දක්වති. සාමාන්‍ය මිනිස් ගනුදෙනු ඇතුලේ මත්දුව්‍ය භාවිතය සහ ලිංගිකත්වය සමග ඇති සම්බන්ධය පවතින්නේ එසේය . ඔයා මත් දුව්‍ය අනුමත කරන්නේ ඇයි? ඒක සමාජය ව්‍යසනය කරන දෙයක් ! සමහරු මට පැවසුහ. ඕනෑම ගුණදායක අහාරයක් පවා ඕනැවට වඩා ගැනීමෙන් නොයෙකුත් ලෙඩ රෝග වැළදෙයි. සියලූ ඇබ්බැහිකම් සම්බන්ධයෙන් තත්වය එසේය.

මේ සමාජ ක්‍රමය ඇතුලේ , ලිංගික සිරකුටි ඇතලේ ජිවත් වීමට ආශා කරන අයට මට කීමට ඇත්තේ ජීවිතය අකාලයේ බිලි ගත හැක්කේ මත්දුව්‍ය වලට පමණක් නොවේ.එ් නිසා ඇබ්බැහි වීම් වලට මම කිසි දිනක කිසිවෙකුට අනුබල නොදෙමි. ජීවත් වීමට ආශා කරන්නන්ගේ ගේ ජීවිත ආශවට ගරු කරන මම කිසිදු ඇබ්බැහි වීමකට අනුබල නොදෙමි.

මා මිතුරන් කණ්ඩායමක් සමග බාර් එකට යන්නේ කිසිවෙකුගේ ලිංගික කුලප්පුවක පංගුකාරියක් වීමට නොවන්නේය.

මම ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන්නියක්මි. නාට්‍ය කණ්ඩායමක් ලෙස නාට්‍ය නිශ්පාදන කටයුතු සහ සංවිධාන කටයුතු වල සෘජු ක්‍රියාකාරිත්වයක සිටින නිසා ඇතැම් විට මම ගෙදර එන්නේ ? දෙළහ එකටය. ඒ එන විට දුර බස් වල ගැහැනුන් පුලූටක් නැත. පිරිමින් තද වී ඇඟට හේත්තු වීම් ඒවා ප්‍රශ්න කරන්නට යාමෙන් සිදුවන ගැටුම් සහ විඳදරා ගැනීම් එදිනෙදා ජීවිතයේ කොටස්ය.

රාත්‍රි දොළහට පමණ මගේ සාමාජිකයෙකු සමග මම නිවෙස බලා එන විට මොටර් බයිසිකලකයකින් පැමිණි පුද්ගලයෙකු අනපේක්ෂිත ලෙස බයිසිකලය මා දෙසට හරවා මගේ කලවා වලට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය . වේදනාවෙන් මිරිකුනු මම ආපසු හැරනු විට මොටර් සයිකල නොපෙනී ගියේය. මේ ආකාරයෙන් නොයෙකුත් සිදුවිම් වලට මා මුහුණ දී ඇති අතරම ඒවාවලින් පිටු ගනන් පිරවිය හැකි අතර බොහෝ ගැහැනුන්ගේ තත්වය එසේය . එබැවින් ගැහැනුන් රාත්‍රි හය හත අට වන විට තමාගේ නිවෙස් වලට නික්ම එති . එයට ගැලපෙන වෘත්තින් සොයා ගනිති. මේවායෙන් බේරෙන්නට නම් කල යුත්තේ එවැනි එකඟවීම්ය. එහෙත් එම අසංස්කෘතික පැවැත්මට එරෙහි වනවා වෙනුවට සිදු කර ඇත්තේ සමාජමය අවකාශය හකුලූවා ගැනීමය. හැකිලූනු අවකාශයක පැවැතීමට සදාචාරමය වටිනාකම් එකතු කිරීමය.

ලිංගික අඩන්තේටම් වනාහි ගැහැනියගේ ජිවිතයේ එක් අර්ධයකි. ඒවාට පොලිසි යාමට ගියහොත් හැම දිනකම ලංකාවේ බොහෝ ගැහැනුන් පොලිසි වල දැකීමට හැකි වෙනු ඇත. එතරමට ගැහැනුන් ලිංගිකමය හිරිහැරයන් වලට දෛනික ජීවිතය තුල භාජනය වෙයි . එයට හේතුව වන්නේ ගැහැනියකට මුලික සාමාජ අනන්‍යතාවය පිරිනමා ඇත්තේ ලිංගික වස්තුවක් ලෙසටය. ඇය රැකියාවක් කළ නොකළද කුමන පිලිගත් සමාජිය කාර්්‍යභාරයක නිරත වුවද එය දෙවැනි අනන්‍යතාවයයි. ඇයව සමාජය තුළ පවත්වා ගන්නේ ලිංගික අනන්‍යතාවය තුළය. ලිංගික හිරිහැරයන් වල මුලික ප්‍රභවය ඇත්තේ එහිය. ලිංගික හිරිහැරයන් සිදුකරන පුද්ගලයන්ට විරුද්ධ වීම අවශ්‍ය වන අතරම එහි සමස්ත චිත්‍රය හදුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

මගේ ප්‍රථම නවකතාව සහ මගේ මරියාගේ රමණය නාට්‍ය තුළ මා උත්සාහ ගත්තේ ලිංගික වස්තුවක් ලෙස පැවතීමේ අප්පිරියාව ,වේදනාව ,විරෝධය පළ කිරිමේ සහ ඒවායේ සංකීර්ණතාවයන් හඳුනා ගැනීම සදහා දැනුවත් මැදිහත් වීමක් සිදුකිරීමය . අතුළත සහ පිටත ලෙස බෙදා වෙන් කළහොත් නැතහොත් කුටුම්භය සහ කුටුම්භයෙන් පිටත ලෝකය විසින් ගැහැනියට හිමිකරන අනන්‍යතාවය ලිංගික අනන්‍යතාවයකි . ගැටලූව ඇත්තේ එහිය . සියලූ ලිංගික හිරිහැරයන් පැමිණෙන මුලය එයය. ගෙදර බුදුන් අම්මාට ද වෙසඟනකට ද ඇත්තේ එකම මුලයකි.

ඔවුන් දෙදෙනාම සමාජය පවත්වාගෙන යන්නේ ලිංගික අනන්‍යතාවයකිනි. වෙනස ඇත්තේ ඔවුන් එකම අනන්‍යතාවය තුළ වෙනස් චරිතයන් වලින් පැවතීමය.ගෙදර බුදුන් අම්මාවරුන් ගොඩක් ගෘහස්ත ලිංගික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බව කිසිවෙකු එළිපිට කියන්නේ නැත.

මා ලිංගික හිරිහැරයකට භාජනය වු එම අවස්ථාවේ සාමකාමී ලෙස එය මඟහැර යාමෙහි අදහස ඕනෑම පුද්ගයෙකුට මා භාවිතා කිරිමට මා විසින් අවසර දීම යැයි කිසිවෙකු සිතන්නේ නම් එය ඔවුන් කර ගන්නා විශාල වැරදීමකි . එසේම ආදල පුද්ගලයා එසේ සිතන්නේ නම් එයද ඔහුගේ තවත් ගැටලූවකි. එසේ සිතමින් ඔවුන් ලබා ගන්නා සාහසික විනෝදය ගැන මට කණගාටුවක් නැත. මා කියන්නේ එබදු විනෝදයක් ඇති අය දිගටම විනෝද වන්න ! එම විනෝදය ද ලිංගික හිරිහැරයේම කොටසක් බව පමණක් මතක තබා ගන්න. එම විනෝදය ලාංකීය ගැහැනියට පිරිනමා ඇති ලිංගික අනන්‍යතාවය විසින්ම උත්පාදනය කරන්නකි. එය ද අවන්හලේ සිදුවු සිදුවීමට කිසිසේත්ම දෙවැනි නැත.

මෙම සිදුවීමෙන් සිදුවන නරකම දේ වන්නේ මේ සිදුවීම ගැන අසන ගැහැනුන් බාර් එකක් ඇති විට ඒ අසලින් .ඇවිද ගියේ නම් දැන් ඔවුන් ඒ අසලින් දිව යනු ඇත. ඔවුන් තව තවත් කුහක සදාචාරයේ පිහිට පතා යනු ඇත . තව තවත් සමාජීය අවකාශය පිරිමින්ගේ ආධිපත්‍යට යටවනු ඇත. ගැහැනුන් තව තවත් ලිංගික අනන්‍යතාව තුළම පවතින්නට උත්සාහ කරනු ඇත. මට ඇති කණගාටුව එයයි.

සාමාන්‍ය සමාජය තුල ගැහැනියක බාර් එකට ඒම දකින්නේ බඩුවක් වෙසඟනක් ලෙසය .බොහෝ පිරිමින් රාත්‍රි ජීවිතය තුල ගැහැනුන් පවත්වා ගන්නේ ලිංගික ශ්‍රමය අලෙවිකරන්නියන් ලෙසය. ලිංගික ශ්‍රමය අලෙවිකරන්නියන් මිසක වෙනත් ගැහැනුන් එවැනි තැන් වලට නොපැමිණෙන බව ඔවුන්ගේ අදහසයි.

ලිංගික ශ්‍රමය අලෙවිකරන්නියකට ද තෝරා ගැනීමක් ඇත. ඇයට ද ඇගේ අවසරයකින් තොරව ඇය හා ගනුදෙනු කළ නොහැක. ඇයව හිරිහැරයට පත් කරන වචන භාවිතා කළ නොහැක.වංගීස වටහාගත යුතු බරපතල තැන එතැනය. ඔහු සිදුකල හානිය මට පුද්ගලික සිදුකල වැරැද්දක් පමණක් නොව ගැහැනියගේ සමාජ අවකාශයමය සමස්ත චිත්‍රයට ඔහු ඇති කළ බලපෑමය. මෙය සමාජ කතිකාවක් බවට පත්වීම ඔහු වටහා ගත යුත්තේ හුදෙක්ම පුද්ගලිකව ඔහුට හානි කිරිමේ අදහසින් නොවන බව ද වටහා ගත යුතු අතර ස්ත්‍රියකට සමානයෙකු ලෙස පැවතීමේ අයිතිය සුරක්ෂිත කිරීමක් ලෙස ද වටහා ගත යුතුය. ඒ සඳහා සදාචාර සම්පන්න ලෙස ඔහු ද එයට සහභාගි වියයුතුය.

ගැහැනිය මනුෂ්‍ය පැවැත්මක්ය යන්න පිලිගැනිමට අප වැනි සංස්කෘතින්ට තව කොපමණ කාලයක් ගත වී යනු ඇති ද?ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිරිහැරයන් විසින් ගැහැනියගේ සමාජ අවකාශය වඩා වඩා හකුලූවා තබනු ලබයි. ගොදුරු වීමට වඩා, හිරිහැරයට අපහසුතාවයට නින්දාවට පාත්‍ර වීමට වඩා ගෘහය ලෝකයේ ඇති විශ්ෂ්ටතම ස්ථානය ලෙස ඔවුන් පවත්වාගෙන යාමට උත්සාහ කරනු ඇත. ගෘහය තුළ ඇති ලිංගික පීඩනය යථාර්ථයක් ලෙස භාරගනු ඇත.එය ගෘහය සහ පිටත යනුවෙන් බෙදා වෙන් කර ගෙන පවතින මෙම අවලස්සණ මිනිස් ගනුදෙනු පවත්වාගෙන යාමට රුකලක් වෙනු ඇත. තව තවත් ඇය ඇයව සිර කොට ඇති ලිංගික අනන්‍යතා මර උගුලේම පැටලෙනු ඇත.

මම මේ ලිපිය අවසන් කිරීමට මරියාගේ රමණයෙන් කොටසක් උපුටා දක්වමි.

මට එක දෙයක් ඒ දවස්වලම තේරුනා .. මට ජීවිතේ මඟහැරෙනවා. මඟහැරුනු ජීවිතේ හොයන්ඩ මම එළියට බහින කොට හරහට වැටෙන්නේ මගේ ශරීරය.. මම මගේ ශරිරයට ආදරෙයි.. හැම රෝම කුපයකටම.. ඒ හින්දා මට ඒක මාරු කරන්ඩ බෑ, තාක්ෂණය මොන තරම් දියුනු උනත් ,බුද්ධාගමට අනුව කුණු ශරීරය .බම්බුව තමයි. මම මොකටද මාව දරාගෙන ඉන්න කැඩෙන බිදෙන මගේම ප්‍රතිබිම්බයට කුණු ශරිරය කියන්නේ ,සමහරු කියනවා ගෑනුන්ට ප්‍රශ්න නෑ .ලෝකේ පළමු වැනියට ගෑනියෙක් අගමැති වුනේ ලංකාවේ.

මට ඕනේ මනුස්සයෙක් වෙන්ඩ. ඒකට මම මගේ ශරිරය මරලා දාන්ඩ ඕන .නැත්නම් පිරිමියෙක් බවට පරිවර්තනය වෙන්ඩ ඕන.නමුත් මට ඒක කරන්ඩ බෑ. ඔය ප්‍රශ්නේ ගැලිලා ඉන්න කාලේ තමයි මට විශ්ව මුණ ගැහෙන්නේ. මම විශ්වට කීවා මට ඕන ඔයගොල්ලෝ වගේ ඉන්ඩ.. ඔයගොල්ලෝ වගේ ඉන්ඩ .. ඔයගොල්ලෝ වගේ බාර් එකට ගිහිල්ලා පොඞ්ඩක් වෙරි වෙන කොට දේශපාලනේ ගැන කතා කරන්ඩ ,නාට්‍ය ගැන කතා කරන්ඩ, කවි ගැන කතා කරන්ඩ, ජීවිතේ ගැන කතා කරන එකත් ජීවත්වෙන එකේම කොටසක්!

- නදීකා බණ්ඩාර
සබැදි පුවත්
ජයසිරි අලවත්ත තක්කඩියා වීම සහ සතුරා, මිතුරා මාරු වීම

 

 

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us