යහපාලන බස් එක - සුදර්ශන ගුණවර්ධන

Tuesday, 31 March 2015 11:18

බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි.

බස් කොම්පැනිකාරයන්ගේ සහ උන්ගේ හෙංචයියන්ගේ ඕනෑ එපාකම් අනුව බස් ධාවනය කළ කාලය දැන් ඉතින් අවසානය. දැන් උදා වී ඇත්තේ මහජන යුගයකි. බස් කොම්පැනිය ඇතිවූයේ ද අහම්භයකින් මෙනි. කලින් ජනසතු සේවයක් ලෙස පැවති බස් සේවය අකාර්යක්ෂම වීම නිසා මගීන්ගේ විවේචනයට ලක්ව තිබිණි. එය වඩා යහපත් කරනු පිණිස පත් කරන ලද ඩිපෝ කළමණාකරුවා ක‍්‍රමානුකූලව ජනසතු බස් ව්‍යාපාරය විනාශ කොට එය තම පවුලේ සමාගමක් බවට පත් කරගන්නා ලද්දේ සූක්ෂම අයුරෙනි. කොම්පැනිකාරයා නියමිත වේලාවට බස් රථය ධාවනය කිරීමට වග බලා ගත්තත්, බස් මගීන්ට හෝ බස් රථ සේවකයන්ට කිසිදු අයිතිවාසිකමක් නැති යුගයක් උදා විය.

ඈතින් ඇසුණු නලා ශබ්දය නිසා දැන් නම් බස් රථය පැමිණෙන බව තේරුම් ගත් මගීහු පෝලිමෙහි සීරුවෙන් සිට ගත්හ. බසය බස් නැවතුමේ නතර කළ විට පිළිවෙළින් බසයට නැගී ආසනවල වාඩි ගත්හ. ඇත්ත වශයෙන්ම මේ වනාහි ඉස්සර ජනසතුව තිබී පසුව කොම්පැනියට අයත් කර ගනු ලැබූ තිබූ බස් රථයකි. ජනසතු කිරීමෙන් පසු කලින් තිබූ ‘රාජපක්ෂ බස් සමාගම’ යන නාම පුවරුව වැසෙන සේ තීන්ත පින්තාරු කොට ඒ මත ‘යහපාලනය’ යනුවෙන් සටහන් කොට තිබිණි. බස් රථයේ කොන්දොස්තර හැටියට කටයුතු කළේ ඉස්සර බස් කොම්පැනිය කාලයේදිත් වැඩකළ, පසුව කොම්පැනි පාලනය පෙරළා දමා බස් සේවය ජනසතු කිරීමට මූලිකත්වය ගත් කොන්දොස්තර කෙනෙකි. බස් රථයේ රියැදුරා වශයෙන් නම් කටයුතු කළේ බස් කොම්පැනිය හා කිසිදු සම්බන්ධයක් නැති අලූ‍ත් හාදයෙකි.

පිටත් විය යුතුව තිබූ වේලාව පහුවෙලාත් තවම බස් රථය ගමන් නොඇරඹීම ගැන මගීන් අතරින් ගුමු ගුමුවක් නැග ආවේය. එ් අතර සිටි ඇඞ්ඩිං අයියා කිව්වේ කොම්පැනි කාලයේ නම් බස් එක වෙලාවට පිටත්වූ බවයි. කාල සටහන අනුව බස් රථයේ ගමන් අරඹන්නට රියැදුරාට අවශ්‍ය බව පෙනෙන්නට තිබුණත් කොන්දොස්තර පැවසුවේ තවත් මගීන් එන්නට ඉඩ ඇති නිසා තව ටිකක් බලමු කියාය.

”‍මේ බස් එකෙන් යන්න පුළුවන් ඩිපෝ එක ළඟට විතරයි. පෙනවනේ බස් එකේ තත්ත්වෙ. අපි ඩිපෝවට ගිහිල්ල, මේ පරණ බස් එක එතැන දාල, අලූ‍ත් බස් එකක් අරගෙන, ඞීසල් ටිකකුත් ගහගෙන යමු”‍ යැයි රියැදුරු තැන පැවසූ විට බස් රිය තුළ කසු කුසුවක් ඇති විය. ”දැන් ඉතින් නැගල වාඩි වෙච්ච එකේ ඔන්න ඔහෙ මේ බස් එකේම යමු”‍ කියා සමහරු කීමට පටන් ගත්හ. රියැදුරා මගීන් සමග ඒ හැටි පයුරු පාසානයකට නොගොස් තමන්ගේ හිතුමතේම කටයුතු කරන නහරකාරයෙකු බව පෙනුණත්, මගීන් අතර ගැවසෙන කොන්දොස්තර ද ඩිපෝවට ගොස් බස් රථය මාරු කිරීම සහ ගමනාන්තය දක්වාම මේ බසයෙන්ම යාම අතර දෝලනය වන බවක් පෙනෙන්නට තිබිණි. කොහොමින් කොහොමින් හරි අන්තිමේ බස් රථය පිටත් විය.

බස් රථයේ ගමනාන්තය දක්වන නාම පුවරුව ‘යහපාලනය’ යනුවෙන් දක්වා තිබුණත් රියැදුරු තැන දිගින් දිගටම කියා සිටියේ මේ බස් රථය ගමන් කළ හැක්කේ බස් ඩිපෝව දක්වා පමණක් බවයි. බස් රථයට නැග ඉතා උනන්දුවෙන් ගමන් කළ තරුණ පිරිසක් ද ඒ අදහස හිස වනා අනුමත කළහ.

බස් රථය අතරමග බස් නැවතුම්පොළවල නැවතූ විට මගීහු බොහෝ දෙනෙකු ඊට නැගීමට රැස් වුවත්, මේක ඩිපෝවට විතරයි යනුවෙන් දොරටුව අසල සිටි තරුණයන් කෑ ගැසීම නිසාදෝ බසයට ගොඩවීමට මැලිවූ ඔවුහු ‘අපි මොකටද ඩිපෝ එකට යන කැඩිච්ච බස් එකකට නගින්නේ?’ යැයි අසමින් පසෙකට වූහ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කොන්දොස්තර දොරටුව අසල සිට කෑ ගසන්නට වූයේ බස් රථය යහපාලනය කරාම ගමන් කරන බවයි. ”‍නගින්න, නගින්න, මේක ඩිපෝවට ගියත් මේ සෙනග වෙන බස් එකක දාගෙන හරි අපි අනිවාර්යයෙන්ම යහපාලනේට යනවා.”‍ රියැදුරා ද සෙනග නග්ගවා ගැනීමට කොන්දොස්තරට සහය විය. මේ නිසා මගීන් අතර කිසියම් විචිකිච්ඡාවක් ඇති වුව ද කෙසේ හෝ ක‍්‍රමක‍්‍රමයෙන් බස් රථය මගීන්ගෙන් පිරෙන්නට විය. ආසන සම්පූර්ණ වූ පසුව ඉතිරි මගීන්ට සිදු වූයේ සිට ගෙන යෑමටය.

ටිකට් කඩා ගමන් ගාස්තුව අයකර ගැනීමට අමතරව මගීන්ට ඉස්සරහට යන්න කියන්නට සහ පිටිපස්සට යන්න කියන්නට ද කොන්දොස්තරට සිදු විය. සමහර විට රියැදුරාට ද කොන්දොස්තරට සහය පිණිස සෙනග හසුරුවන්නට සිදු විය. මෙහිදී බසයේ සිටි තරුණ පිරිසගෙන් ඔවුන්ට ලැබුණේ විශාල සහයෝගයකි. තනි දොරේ බසයක් වූ මෙයට ගොඩවීමට මෙන්ම බැහැගැනීමට ද තිබුණේ එක් දොරටුවක් බැවින් සියලූම මගීන් උත්සාහ කළේ දොරට හැකිතරම් සමීපයෙන් සිටින්නටය. ඒ නිසා බසයේ මැද කොටසේ රැඳී සිටීමටය. මෙම තත්ත්වය කොන්දොස්තරගේ ඉවසීම සීමාව ඉක්මවා යන්නට සමත් විය. මේ අතර බස් රථයේ ඇති වූ තදබදය නිසා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පික් පොකට්කාරයන් සහ ජැක් කාරයන් පිරිසක් ද ක‍්‍රියාත්මක වන්නට වූ අතර ඔවුන්ගෙන් තම තමන්ගේ පස්ස බේරා ගන්නා ලෙස මගීන් දැනුවත් කිරීමට ද මේ අවස්ථාවේ රියැදුරුට සහ කොන්දොස්තරට සිදුවිය.

මේ අතර කොන්දොස්තර ළඟට කිට්ටු වූ මගියෙක් ගමන් ගාස්තුව ඔහු අත තබා ”ටිකට් ඕනැ නැහැ, මේක තියා ගන්න”‍ යැයි කී අතර, ඒ අසල සිටි මගීන් කිහිප දෙනෙක් මූණට මූණ බලා ගත්තේ ”මේකද යහපාලනය?”‍ කියා අසමිනි. ලැජ්ජාවට පත්වූ කොන්දොස්තර මගියාට රවා බලා කීවේ ඉස්සරහ මාර්ගයේ ටිකට් පරීක්ෂකයන් සිටිය හැකි බැවින් තමන්ගේ රස්සාව ද නැති කරන්නේ නැතිව ටිකට් පතක් මිලට ගන්නා ලෙසය.

”‍ඉස්සරහ ෆ්ලයිං ස්කොඞ් එක ඉන්නවා. තමුසෙට දඩ ගෙවන්න වේවි, මගේ රස්සාවට කෙළ වේවි”‍ ඔහු කීවේය. මේ අතර රියැදුරු ළඟට කිට්ටු වූ මගියෙකු තමන්ගේ නිවස අසලින් බස්සවා යන ලෙස ඉල්ලා සිටියේ බස් කොම්පැනි යුගය සිහි කරමිනි. ”තමුසෙලාට ඕන තැන්වලින් බස්සව ගත්ත කාලේ ගියා. දැන් මේ බස් එක නවත්වන්නේ බස් හෝල්ට්වල විතරයි. හෝල්ට් එකෙන් පිට නැවැත්තුවොත් මගේ රස්සාවත් ගහලා යනවා”‍ යැයි රියැදුරා ශබ්ද නගා කී හෙයින් අයුතු යෝජනාව කළ මගියා ලජ්ජාවෙන් මෙන් සීනුව නාද කොට අදාළ බස් නැවතුමෙන්ම බැස ගියේය.

දැන් නම් බස් රථය පොල් පැටවූවාක් මෙන් පිරී ඉතිරී ඇත. ”දැන් නම් තවත් ලෝඞ් කරන්න බැහැ. නවත්තන්නෙ නැතිව යමු”‍ යැයි මගී ජනයා කොන්දොස්තරගෙන් ඉල්ලීමක් කළ අතර එයට සවන් දුන් කොන්දොස්තර ‘ටිං, ටිං, ටිං’ අනුසාරයෙන් ‘බෙල් තුන’ නාද කරවා නොනවත්වාම ඉදිරියට යන ලෙස රියැදුරුට සංඥා කළේය. එහෙත් මෙම තත්ත්වයට බාධා පැමිණියේ සීනුව නාද කළ මගී කාන්තාවක් ඉස්සරහ නැවතුමේ බහින බව ප‍්‍රකාශ කිරීමෙනි. බහින අය ඉස්සරහට එන්නැයි කොන්දොස්තර යෝජනා කළ නමුත් කාන්තාව පැවසුවේ දොර ළඟ මීමැසි පොදියක් සේ සෙනග පිරී සිටින හෙයින් බසය නවත්වා පා පුවරුවේ ගමන් කරන මගීන් බිමට බැස ඉඩ පාදා දෙනතුරු තමන්ට ඉදිරියට පැමිණීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

මේ නිසා බස් රථය නවත්වා පා පුවරුවේ සිටින මගීන්ට බිමට බසින ලෙස කියන්නට කොන්දොස්තරට සිදුවූ අතර මගී කාන්තාව වදෙන් පොරෙන් බිමට බැස්සාය. මේ සඳහා අමතර විනාඩි කිහිපයක් ගතවිය. එය සෙසු මගීන් නොසන්සුන් කරන්නට සමත්වූ අතර, මේ ඉඩ ප‍්‍රයෝජනයට ගත් අතරමග බස් නැවතුමේ බස් රථයක් බලපොරොත්තුවෙන් සිටි මගීහු ද බස් රථයට ගොඩවීමෙන් තදබදය ද මගීන්ගේ අසහනයද තවත් වැඩි විය.

බස් රථය කෙමෙන් කෙමෙන් ඩිපෝව අසළට ළඟා වන්නට විය. මේ වන විට බස් රථයේ තදබදය සහ උණුසුම ද එන්න එන්නම ඉහළ නගියි. බස් රථයේ මගීන් අතර විවාදයක් ඇතිවූයේ මේ අතරය.

”‍දැන් නම් මේ කබල් බස් එකට මීට වඩා දුර යන්න බැහැ. දැනටම ප‍්‍රමාද වෙලා. ඉඩත් නැහැ. දැන් අපට තියෙන්නේ අර ඩ‍්‍රයිවර් කිව්වා වගේ මේ බස් එක ඩිපෝ එකේ දාලා, අලූත් බස් එකක් ඩිපෝ එකෙන් අරගෙන ඞීසලූ‍ත් ගහගෙන යහපාලනේට යන්නයි”‍ මේ අදහස වැඩි වශයෙන්ම පළවූයේ බස් රථයේ තදබද වී සිටගෙන සිටි මගීන් අතරිනි. ”ඔව්, ඔව්, එ්ක ඇත්ත.”‍ යැයි තවත් සමහරු අදහස් පළ කළහ. නමුත් බස් රථයට කලින්ම නැග ආසනවල වාඩි වී සිටි මගීන් කල්පනා කළේ ඩිපෝවේදී බස් රථය මාරු කළහොත් තමන්ට දැන් ලැබී ඇති ආසන අහිමි වී වෙන අයට ආසන හිමිවිය හැකි බැවින් කොහොමින් හරි මේ බසයෙන්ම යහපාලනය කරා ගමන් කිරීම ප‍්‍රඥාගෝචර බවයි.

මේ අදහසට බස් රථයේ පූජ්‍ය පක්ෂයට වෙන් කළ ආසනයේ වාඩි වී සිටි භික්ෂූන් වහන්සේලා දෙනමකුත් සහය දක්වන්නට වූ හෙයින් තත්ත්වය තවත් සංකීර්ණ විය. පුළුවන් නම් කෙසේ හෝ බස් රථය යහපාලනය දක්වාම ගෙන යෑම තමන්ගේ යුතුකම බවත්, නැත්නම් ඩිපෝ එක අසලදී බස් රථය මාරු කරන අවස්ථාවේදී බස් කොම්පැනියේ අයිතිකාරයාගේ මැර පිරිස් බස් රථය පැහැර ගන්නට පවා පුළුවන් බව පවසමින් කොන්දොස්තර ද මේ මතයට පොහොර දැම්මේය. මේ අවස්ථාවේ රියැදුරු තැන තදින් ප‍්‍රකාශ කළේ ඩිපෝව ළඟින් එහාට අඩියක්වත් බස් රථය ඉදිරියට ගෙන ගොස් මගී ජීවිත අනතුරේ හෙළීමට තමා සූදානම් නැති බවත්, අවශ්‍ය නම් වෙනත් රියැදුරෙක් යොදා ගෙන බස් රථය ධාවනය කරනා ලෙසත්ය.

බස් රථයේ මගීන් පාලනය කරගැනීමට විශාල සහයක් දුන් තරුණ පිරිසක් ද රියැදුරුගේ මතයට සහය දෙමින් ඩිපෝව අසලින් එහාට අඟලක්වත් බසය ගෙන ගියහොත් තමන් බසයෙන් බැස උද්ඝෝෂණය කරන බව පවසන්නට වීම නිසා යහපාලන බස් රථය දෙකට බෙදුණු බවක් දක්නට ලැබිණි.

Last modified on Tuesday, 31 March 2015 11:19

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us