ශ්‍රී ලංකාව දැන් දේශපාලන කුණාටුවක් අභියස බව පෙනේනට තිබේ. මේ කුණාටුව මතුව එන්නේ තීරණාත්මක ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දෙදෙනා අතර මතු වෙමින් එන ප්‍රබල ප්‍රතිවිරෝධයක් නිසා ය.
ජනාධිපති මෛත්‍රී සහ අගමැති රනිල් අතර දින සියයේ වැඩ සටහන සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප්‍රධාන ගැටුම නම් මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට දුන් පොරොන්දුව ඉටු කළ යුතු ද නැත් ද යන්නයි. පසුගිය මාර්තු 01 දින නුවරඑළියේ දී කතාකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉතා පැහැදිලිව කීවේ දින සියය අවසන් වූ වහාම තමා එළඹෙන අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුව විසුරවා හරින බවත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කැරෙන්නේ ඊළඟ ආණ්ඩුව යටතේ බවත් ය.
එහිදී තවදුරටත් කතා කරමින් අගමැති වික්‍රමසිංහ පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමට විපක්ෂ නායක නිමල් සිරිපාල උත්සාහ දරන්නේ දූෂිතයින් ආරක්ෂා කිරීමට යැයි චෝදනා කළේ ය.
ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ රුස්වීමක් ඊට පසුදා එනම් මාර්තු 02 දා යෙදී තිබුණි. එහිදී කතා කරමින් ජනාධිපති සිරිසේන, අගමැති වික්‍රමසිංහගේ කතාවට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීය. ඔහු කීවේ තමාගේ ජනාධිපතිවරණ පොරොන්දු අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශය බව ය. ඊළඟ මැතිවරණයට පෙර වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රිලනිප මංත්‍රීවරුන්ගේ අත්පොළසන් මැදය. වත්මන් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිනිස අගමැති, නීතිපති සහ මැතිවරණ කොමසාරිස්වරයා හමුවී අදහස් හුවමාරු කර ගන්නා බව ඔහු තව දුරටත් කිවේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වන සුසිල් ප්‍රේමජයන්ත මෙන්ම විපක්ෂ නායක නිමල් සිරිපාල යන දෙදෙනාද මැතිවරණ ක්‍රම සංශෝධනයකින් තොරව ආණ්ඩුව විසුරුවා හැරීමට විරුද්ධත්වය පළ කර තිබේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ වත්මන් පාර්ලිමේන්තුවෙහි තමන්ට ඇති ආසන 126 මත රඳා පවතිමින් අගමැති වික්‍රමසිංහ පාලනය කිරීම ය.
පොරොන්දු ඉටුවිය යුතුයි
පාර්ලිමේන්තු කණ්ඩායම හමුවෙහි ජනාධිපති සිරිසේන කළ වැදගත්ම ප්‍රකාශය වූයේ දින වකවානු ගැන එනම් දින සියයේ රාමුව ගැන කලබල වීමට අවශ්‍ය නැති බවත් වඩා වැදගත් වනුයේ පොරොන්දු ඉටු කිරීම බවත් ය.
මේ අතර රාජපක්ෂ විරෝධී පුලුල් එකතුවෙහි ආරම්භකයකු සහ ප්‍රධානියකු වන මාදුළුවාවේ සෝභිත හිමි ද එම ප්‍රකාශය අනුමත කරමින් කියා සිටියේ වැදගත් වන්නේ දින සියයෙන් පසු ආණ්ඩුව විසුරුවීම නොව දෙන ලද පොරොන්දු ඉටු කිරීමෙන් පසු මහා මැතිවරණයට ගමන් කිරීම බවය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන් වන්නේ 2016 අප්‍රෙල් මාසයේ දී බැවින් පාර්ලිමේන්තුව විසුරුවීමේ හදිසියක් නැතැයි එහිමියන් කියා සිටියේ ය.
මාර්තු 01 දින එහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්නා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් රටපුරා සිවිල් සමාජ ක්‍රියාධර පිරිස් රැස්කර සමුළුවක් පවත්වන ලදී, මෙම සමුළුවට ආරාධනා ලද එජාප ඇමැතිවරු දෙදෙනා එනම් විජේදාස රාජපක්ෂ සහ කබීර් හෂිම් සමුළුව වර්ජනය කළේ ය. ආරාධනය පිළිගෙන තිබූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පැමිණයේ නැත. ඊට සහභාගි වූ එකම ඇමැතිවරයා වූ රාජිත සේනාරත්න (ශ්‍රීලනිප) මහතා කියා සිටියේ දින සියයක් නොව එක්සිය පනහක් හෝ ගත කර මීළඟ මැතිවරණයට පෙර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවයි.
එජාපයට වාසියි, ජවිපෙට අවාසියි
ජනවාරි 08 වන දින රාජපක්ෂ පාලනය පළවා හැරීමට දායක වූ සිවිල් සමාජ කණ්ඩායම් බොහොමයක්ම දරන්නේ ද පොරොන්දු ඉටු නොකර මහා මැතිවරණයකට යෑම අනවශ්‍යය යන අදහස ය. මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් මහා ජනයාට දැනෙන පියවර ගැනීමට ද අප්‍රේල් මාසය වන විට නොහැකි වනු ඇති බව පෙනේනට තිබේ.
එක්සත් ජාතික පක්ෂය හදිසි මැතිවරණයක් අපේක්ෂා කරන්නේ දැනට පාර්ලිමේන්තුවෙහි තමන්ට ඇති ආසන 41 වැඩි කර ගැනීම පිණිස ය. රාජපක්ෂවාදී පිරිස් වෙනමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමත් තරඟ කළ හොත් අනුපාත ක්‍රමය යටතේ තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා ගත හැකි යැයි එය කල්පනා කරනවා විය හැකි ය.
අගමැති වික්‍රමසිංහ සමඟ එක්ව අප්‍රේල් මාසයේ මැතිවරණයක් අවශ්‍යම බව කියා සිටින අනෙක් පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. ඒ අන් කිසි හේතුවක් නිසා නොව අනුපාත ජන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ආදේශ වූ විට තමන්ට දැන් තිබෙන ආසන ගණනවත් ලබා ගැනීමට බැරි වෙතැයි යන බිය නිසා ය. අප්‍රේල් මාසයේ ආණ්ඩුව විසුරුවා නොහැරියහොත් තමන් පාරට බසින බවට එය දැනටමත් තර්ජනය කර තිබේ.
එසේ නමුත් දින සියය තුළ ක්‍රියාවට නංවන බවට පොරොන්දු වූ අනුපාත-මනාප ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් හෝ අන් මූලික පොරොන්දු වෙනුවෙන් හෝ පාරට බැසීමට ජවිපෙ සූදානමක් නැත.
ජවිපෙ සමඟ හදිසි මැතිවරණයක් ඉල්ලා පාරට බැසීමට එක්සත් ජාතික පක්ෂය ද සූදානම් බව මාර්තු 04 දා එජාප මහ ලේකම් කබීර් හෂීම් ප්‍රකාශ කළේ ය. එවිට එක්සත් ජාතික පක්ෂය පාරට බසිනු ඇත්තේ ජනාධිපති සිරිසේනට එරෙහිව ය.
කබීර් හෂිම් එම ප්‍රකාශය කළ දිනයේ ම ජනාධිපති සිරිසේන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සාකච්ජා කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා හමු විය. ඔහු වැඩට බැස තිබේ.
මනාප මැතිවරණ ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය දූෂ්‍ය කිරීමට බලපෑ එක් ප්‍රධාන හේතුවකි. ධනය සහ බලය ඇති ජාවාරම්කරුවන්ට ඇති තරම් මුදල් වැය කොට බලයට පත් වීමට අවස්ථාව මනාප ක්‍රමය විසින් ලබා දුන්නේ ය. මංත්‍රී ආසනයක් වෙනුවට විශාල දිස්ත්‍රික්කයක් පුරා මැතිවරණ ප්‍රචාරණයේ යෙදීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට දූෂණය සහ වංචාව අවශ්‍ය විය. මෙම ක්‍රමය අහෝසි කිරීම පිනිස දිර්ඝ කාලයක් පුරා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අරගල කොට තිබේ.
ප්‍රතිසංස්කරණයෙන් පසුව මැතිවරණයට
දැන් එක්සත් ජාතික පක්ෂය එම පොරොන්දුව ඉටු කරනු වෙනුවට දින සියයෙන් ආණ්ඩුව විසුරුවා හැරීමේ පොරොන්දුව ප්‍රධාන කොට ගෙන තිබේ. කවර මැතිවරණ ක්‍රමයක් යටතේ වුවද එජාපයට දැනට වඩා ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාවක් ඇතත් එයට පාර්ලිමේන්තුවෙහි තනි බහුතර බලයක් ලැබෙනු ඇත්දැයි කිව නොහැකි ය. රාජපක්ෂවාදී පිරිස් වෙනම තරඟ කළ හොත් ආසන මට්ටමේ තරඟයක දී වැඩි වාසිය හිමිවන්නේ ද එජාපයට ය. එසේ තිබියදීත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවට මහා මැතිවරණ පොරොන්දුවෙහි එජාපය එල්ලී සිටින්නේ ඇයි දැයි තේරුම් ගැනීම දුෂ්කරය.
කෙසේ වෙතත් දැනට පෙනෙන්නට ඇත්තේ අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවීමේ තරඟයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පරාජය වන්නට ඉඩ ඇති බවයි. මන්ද යත් දෙන ලද පොරොන්දු ඉටු නොකර හදිසි මැතිවරණයකට යාම අවශ්‍ය නැතැයි යන මතය වඩ වඩා පිළිගැනීමකට ලක් වෙමින් තිබෙන නිසා ය.
කුමන පොරොන්දුව වඩා වැදගත් ද යන කාරණයේ දී වැඩි බර ඇත්තේ දින සියයකට පසු ආණ්ඩුව විසුරුවන බවට දුන් පොරොන්දුව මත නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට 17වන සංශෝධනය බල ගන්වා නව අනුපාත-මනාප මැතිවරණ ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීමේ පොරොන්දුව මත ය. දෙන ලද පොරොන්දු ඉටු කිරීමෙන් පසු එළඹෙන මහා මැතිවරණයක දී පොදු විපක්ෂ අපේක්ෂකයා බලයට පත් කළ විවිධ බලවේගයන්ට වඩා යෝග්‍ය සහ කැමැති පක්ෂයට හෝ අපේක්ෂකයින්ට සහාය දිය හැකි ය.
නව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක අතර ඇදී එන මෙම ගැටුම ඉක්මනින් විසඳා ගත හැකි ක්‍රමය වන්නේ දෙන ලද පොරොන්දු ඉටු කිරීම සඳහා නව කාල රාමුවක් තීරණය කර ගැනීමයි. පවත්නා මැතිවරණ ක්‍රමය යටතේ හදිසි මැතිවරණයකට යෑමට අවශ්‍යතාවයක් නැත. එමෙන්ම මැතිවරණය 2016 අප්‍රේල් දක්වා කල් දැමීමට ද අවශ්‍යතාවයක් නැත.
අප කියා සිටිය යුත්තේ ප්‍රතිසංස්කරණ පොරොන්දු ඉටු කර මැතිවරණයට යන ලෙස ය. හදිසි මැතිවරණයක් යනු ප්‍රතිසංස්කරණ පොරොන්දුවක් නොවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලද ජනවරම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කීරිමට මිස දේශපාලන පක්ෂයන්හි බල ව්‍යාපෘති අනුව හදිසි මැතිවරණයන්ට යෑමට නොවේ.
පාරට බැස උද්ඝෝෂන කරන බවට තර්ජනය කිරීම හෝ ඒක පාර්ශවීය තීරණ ගැනීමට වඩා සාකච්ජාව සහ එකඟතාවය මගින් මෙම ප්‍රශ්නය විසදා ගැනීම කුණාටුව මැදින් ඉළක්කය කරා නෞකාව යහතින් රැගෙන යාමට ප්‍රයෝජනවත් වනු ඇත.