මංගලට එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් කිසිම දිනයක අගමැති ධූරය ලබා ගත නොහැකිය. එසේම මංගලගේ මුල් දේශපාලන ආශාවන් මෙන්ම බලාපොරොත්තු රැඳී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔස්සේය. එපමණක් නොව මහින්ද නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලා ඉදිරියේ මැතිවරණ ජය ගත හැකි බව, මංගල වැනි චරිත යොදා ගැනීමෙන් මනාව පෙන්විය හැකිය. එවැනි දේශපාලන ප්‍රවණතාවයක් ඇතිවනු දැකීමට මහින්ද රාජපක්ෂ පමණක් නොව “අගමැති” රනිල් වික්‍රමසිංහද අකමැතිය.
මෙම කාරණය අනාගතයේ උදාවන යම් දවසක, විස්තර කිරීමට තබා රටේ මේ වන විට බලයට පත් වී සිටින සහ බලය බලෙන් ලබා ගෙන සිටින කණ්ඩායම කටයුතු කරන ආකාරය ගැන විමසා බැලීම අතිශය වැදගත් වේ. මතු වී ඇති තත්වය අනුව මීළඟ මහා මැතිවරණය කිසිඳු පෙර සූදානමක් නොමැතිව සිදුකිරීමට බලාපොරොත්තුව වන සහ කෙසේ හෝ පවතින ආණ්ඩුව තව දුරටත් බලයේ පවත්වාගෙන යෑම සඳහා වන මැතිවරණයක් විය හැකිය.
එමඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෑම විටම සඳහන් කරන “ කළගුණ” සැලකීමට සම්ප්‍රදායානූකූල පිළිගැනීමක් සහ වටිනාකමක් ලැබේ. දේශපාලනයේදී මෙය කෙතරම් දුරට වලංගු වන්නේද? එය රටට කෙතරම් දුරට වැදගත් වන්නේද? යන්න අතිශය තීරණාත්මක වේ. එසේම වර්තමානයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා සැබෑ ලෙස උර දී කටයුතු කළ දේශපාලඥයින් සේම, රාජ්‍ය පරිපාලනය තුළ සිටි සැබෑ නිලධාරීන් පසෙකට දමා, රැගෙන යමින් තිබෙන කෛරාටක වැඩපිළිවෙල තුළ අවංකකමට වඩා වංකබව, අව්‍යාජයට වඩා ව්‍යාජ බව, විද්‍යාවට වඩා අවිද්‍යාව, ප්‍රඥාවට වඩා මෝහය, මතු පිටට පැමිණෙමින් තිබේ. මෙම තත්වය අඛණ්ඩව පවත්වා ගැනීමෙන් අනාගතයේදී මුහුණ දීමට සිදුවන තත්වය අතිශය කනගාටුදායක විය හැකිය. මෙවැනි මට්ටමකින් යහපත් ලෙස ඉදිරියට යෑමට නොහැකිය.
යමක් වෙනස් කිරීමට බලය ඇති අවස්ථාවේදී එය වෙනස් කළ යුතු අතර, එය වෙනස් කිරීමට නොහැකි තැනට තල්ලු වූ විට, මහා පාරට බැස විරිදු කීමෙන්, කෑ මොර ගැසීමෙන් හෝ අනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත.
මේ වන විට යහපාලනයට සහයෝගය දැක් වූ පිරිසෙන් බොහෝ දෙනෙක් මීළඟ අඩව්ව මහපාරේ ඇල්ලීම සඳහා හෝරාව එන තෙක් බලා හිඳිති. මෙය සැබවින්ම විහිළුවක් පමණක් නොව රටේ දේශපාලන ඥානය සම්බන්ධයෙන් පවතින ඛේදනීය තත්වයකි.
තමන්ට පෙනෙන සත්‍ය තුළ ජීවත් වීම සහ ඒ මත පිහිටා තීරණ ගැනීම පාලකයෙකු විෂයෙහිලා අතිශය තීරණාත්මක වේ. මන්ද පාලකයෙකුට සැබෑ දේ පෙන්වීමට එකතුවන පිරිසට වඩා එකතු වන්නේ ඔහුව හෝ ඇයව මුලාවේ හෙළා තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට, නායකයාට ආලවන්ත කම්පාන පිරිසකි. ලංකාවේ දේශපාලාන ඉතිහාසය ඊට කදිම උදාහරණයකි. අර්ධ සත්‍ය ඉදිරිපත් කොට අනෙකාව මුලාවේ හෙළීම සංස්කෘතිකගත පුරුද්දක් වී ඇති රටක එම රටේ පොදු මනස ඉහළට ඔසවා තැබීමට නම් ස්වාධීන දේශපාලාන විඥානය අතිශය තීරණාත්මක වේ.
එක්සත් ජාතික පක්ෂය මේ වින විට සිදු කරන විවිධ ප්‍රකාශවලටඅනුව, පසුගිය කාලය පුරා මහත් විවාදයට තුඩුදුන් බොහොමයක් ප්‍රධාන පෙළේ වංචා සහ දූෂණ චෝදනා හුදු ඕපාදුප මත ගොතන ලද අර්ධ සත්‍යන්ය, ලෙස පිළිගැනීමට ඒත්තු ගන්වමින් තිබේ. මින් ප්‍රධාන පෙළේ එකක් වන්නේ අවන් ගාඩ් සහ රක්නා ලංකා සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය සම්බන්ධයෙන් මතු වී ආ කාරණය වේ. සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතාට අනුව එම ආයතන දෙක නීත්‍යානූකූලව කටයුතු කොට ඇත. එසේම ඒවායෙන් අයවිය යුතු බදු මුදල් සියල්ලම කිසිඳු මඟහැරීමකින් තොරව ගෙවා ඇත. එසේනම් අතුරුදන් වූයේ යැයි සඳහන් වූ ආයුධවලට වූයේ කුමක්ද? එසේම රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අතිශය තීරණාත්මකව බලපාන ලද කාරණයක් ගැන මේ ආකාරයෙන් සැහැල්ලුවෙන් කතා කිරීම කෙතරම් දුරට යුක්තිසහගතද යන්න විවාදාත්මකය.
එම ආයතන සම්බන්ධයෙන් සලකා බැලිය යුත්තේ මතුපිට නෛතික රාමුව පමණක් නොවේ. එනම් එහි පසු බිම , එවැන්නක් පිහිටුවීම සඳහා පහළ වූ ආශාව, රටේ රාජ්‍ය ආරක්ෂක අංශ සාමාජිකයින් මාර්ගයෙන් කරගත හැකි වී තිබුණු දෙයක්, ඔවුහු විශ්‍රාම ගිය පසු එම ආයතන වලට බඳවා මිලියන ගණනින් වැටුම් ගෙවමින් සිදු කිරීම වාසී සහගත වන්නේ රටටද? එසේ නොවේනම් රට කාබාසිනියා වීමට ඉඩ දී තම මඩියතර කර ගැනීමට මාන බලන පුද්ගලයින්ටද? ආදී වූ වැදගත් කාරණා රාශියක් සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් පාලකයින් සිදු කළ යුතුව ඇත. එය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උදෙසා සිදුකරන තීරණාත්මක කටයුත්තක් වේ.
අපේ මාතෘ භූමිය වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මුහුණ දුන් කුරිරු යුද්ධය නිමා වූයේ 2009 දීය. ඒ සඳහා රටේ ආරක්ෂක අංශවල සියලුම සාමාජිකයින්ගේ මෙන්ම රටේ මහජනතාවගේ සහයෝගය තීරණාතමක්ව බලපෑවේය. යුද්ධය නිමා කිරීම මඟින් මෙරට ආරක්ෂක අංශ පෙන්වූයේ, ඒවායේ කුසලතාවය සහ යුධමය කෞශල්‍යයය.
එවැනි හමුදාවකට අදාළ “පෞද්ගලික ආයතන” මඟින් සිදුකරන කටයුතු සහ වගකීම් ඉටුකිරීමට නොහැකියාව තිබුණේද? එම නිසා ඊට විකල්පය ලෙස මෙම පෞද්ගලික ආයතන පිහිටවනු ලැබුවේද? සභානායක මෙන්ම මේ වනුවෙන් වගකීම කරටගෙන කටයුතු කරන පාර්ශවය මෙම කාරණා සම්බන්ධයෙන් විමසා බැලුවේද? එසේනම් එම විමසීම් වල වාර්තා වලට සිදු වූයේ කුමක්ද? කෙසේ වෙතත් මෙය එක් අතිශය සංවේදී කාරණයක් පමණි. තවත් නොවිසඳුණු බොහෝ දෑ රාජ්‍ය සංස්ථා තුළ සිරවී තිබේ.
යුක්තිය සහ විනිවිදභාවය නොමැති තැන යහපාලනය වාග්මාලවට එකතුවන සංකල්පීය මායාවක් පමණි. බොහෝ දෙනා කතා කරණ, බොහෝ දෙනා ඇලුම් කරණ, මෙන්ම සිහින දකින මෙම බලාපොරොත්තුව යටින් යළිත් සිදුවන කෛරාටක දේශපාලනය විසින් රට ඇදදමනු ලබන්නේ අඝාදයක් වෙත පමණි. මෙම කතා කරණ, ඇලුම් කරණ මෙන්ම සිහින දකින කාරණය ගැන ප්‍රයෝගික අත්දැකීම් ලැබීමට අපේ ජාතිය වාසනාවන්ත වන්නේ කවදාද යන්න බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.
70 දශකයේ අග භාගයෙන් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩු වලට තම නොහැකියාව වසා ගැනීම සඳහා යුද්ධය ප්‍රධාන හේතුවක් ලෙස තිබුණි. එම හේතුව විවිධාකාරයෙන් පවත්වා ගෙන යෑමට එකල බලයට පත් වූ ආණ්ඩු සමත් වූහ. නමුත් එය නිමා වී ආණ්ඩුවක් බලයට පත් වී, එම ආණ්ඩුවද ගෙදර යවා නව නායකයෙකු ජනතාව විසින් පත් කරගෙන සිටිති. එසේම සම්ප්‍රදාය සහ නීතියනූකූලභාවය ගැන සිර වූ සංකීර්ණ ගැටලුවක ප්‍රතිඵලය වශයෙන්, ජනතාවගේ කැමැත්තෙන් බලයට පත් වූ නායකයා විසින්, ඔහුට සහය වූ කණ්ඩායම තෝරාගෙන ආණ්ඩුවක්ද පත් කරගෙන තිබේ. එම ආණ්ඩුව තම දින සීය සම්පූර්ණ කිරීමටද නියමිතය.
මෙම ආණ්ඩුවට වඩා, වත්මන් නායකයාගෙන් ජනතාව බලාපොරොත්තු වන දෙයක් තිබේ. වර්තමාන පාලන ක්‍රමය අවිධිමත් සහ අසාර්ථක එකක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ නායකයා මතය. එනම්, ඔහු විසින් පත්කරනු ලැබූ ආණ්ඩුවට පැවරෙන වගකීම සීමා සහිත එකකි.
එනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විෂයෙහිලා මතුවන සම්ප්‍රදායානූකූල වගකීම සීමා සහිත එකකි. විධායක ජනාධිපතිධූරය වෙනුවෙන් වසර ගණනවාක් තිස්සේ සිහින දකිමින් සිටි ඔහු අවසානයේදී අගමැතිධූරයට පත්කිරීම හෝ සැලකිය යුතු දේශපාලන ප්‍රවණතාවයක් ලෙස ගැනිය හැකිය. නමුත් මෙහිදී සිදු වී ඇත්තේ, එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ උපාය දේශපාලනයේ යොදා ගැනීමය. මෙය නිරවුල්ව අවබෝධ කර නොගත හොත්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැවූ බොහොමයක් සුභ සිහින, සුනු විසිනු වනු ඇත. එනම් සිරිසේන, සොරිසේන වී මෙම දේශපාලන නාට්‍ය රඟදක්වන වේදිකාව නුදුරේදී කඩා වැටෙනු ඇත.
ලිබියාවේ හිටපු නායක ගඩාෆි සහ ඉරානයේ ජනාධිපති ලෙස 2005 දී පත් වූ අහමදිනේජාඩ් යන නායකයින්ගේ අර්ධ සම්මිශ්‍රණයක් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට බලය අහිමි වූ ආකාරය විමසීම මෙහිදී වැදගත් වේ. වත්පිළිවෙත් සහ මාධ්‍ය ආකර්ෂණය අතින් ඉරානයේ හිටපු ජනාධිපති අහමදිනේජාඩ්ගේ භූමිකාව, ඉතාමත් සෙමින් සහ සරළව ඒ ආකාරයෙන්ම පෙන්වමින් සිටින වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සලකා බැලිය යුතු ප්‍රධාන කාරණා රාශියක් තිබේ. එනම්, ඔහුට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ ජනාධිපතිධූරයේ මීළඟ වසර කිහිපය ගත කොට ඔහුගේ අරමුණු සහ පොරොන්දු ඉටු කළ හැකිද? රාජපක්ෂ පරිපාලනය යටතේ සිටි නමුත් මේ වනවිට වෙස්මාරු කරගෙන සිටින රාජ්‍ය සංස්ථාව තුළ සිටින කණ්ඩායම් තමන්වටා ඒක රාශි කරගෙන ඔවුන්ගෙන් ප්‍රවේශම්වීමේ හැකියාවක් තමන්ට තිබේද? එය ගැටලුකාරී බව සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය සැලකීමෙන් පමණක් නීරීක්ෂණය කළ හැකිය.
මෙම තත්වය වෙනස් නොවුන හොත් සහ වෙනස් නොකළහොත්, ජනාධිපති මෛත්‍රීගේ යහාපලනය, රාජ්‍ය සංස්ථා බංකොලොත් කොට තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා පෞද්ගලික සමාගම් පටන් ගත් පැරණි “දේශප්‍රේමීන්ගේ”සපත්තුවලට යට වීමට වැඩි කලක් ගත වන්නේ නැත.