ප්‍රභාකරන්ට බය නැති මහින්දට බය කරුණා අම්මාන්(video) Featured

Sunday, 01 March 2015 11:11

මම මේ ලිපිය ලියන්නෙ දැන් සුදුවෑන්වලින් මිනිස්සු උස්සන්නෙ නැහැ කියන පූර්ණ විශ්වාසය මත. ඒ වගේ ම මගේ සෙල් ෆෝන් එක ටැප් කරන්නෙ නැහැ කියන විශ්වාසයත් තිබෙන නිසා. ගෙදරට ඇවිල්ල මගේ පරිගණකය පැහැරගෙන යාවි කියන සැකයත් නැති නිසා. මොකද මේ ලියමනෙන් කාට කාට රිදේවිද කියල කියන්න අපහසුයි.

සිද්ධිය මේකයි...

පසුගිය බ්‍රහස්පතින්දා රෑ ස්වාධීන රූපවාහිනියෙ විකාශනය වුණ ‘‘සත්‍යාගාරය’’ වැඩසටහන නැරඹුවට පස්සෙ මට හිතුණ යමක්, මම දැකපු යමක් තමයි මේ ලියමනට පාදක වෙන්නෙ. එතනදි මට හැගුණ දේ ලියන්න නිදහස තිබීම පිළිබඳව පළමුවෙන් ම වත්මන් ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනව.


විනයගරුක කරුණා අම්මාන්

කරුණා අම්මාන් ප්‍රසිද්ධ රුපවාහිනී මාධ්‍යය ආයතනයකට ගෙනත් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම ඉතාමත් හොඳයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි ඒ සාකච්ඡාව නරඹද්දි දැනෙනව: සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනව ද?, එසේ බලාපොරොත්තු වෙන දේ කරුණා අම්මාන් හෙඳට ම දන්න බව වගේ ම සාකච්ඡාව මෙහෙයවන පාර්ශවයේ අභිලාශයන් ඉටු නොකරන්නට කරුණා අම්මාන් වගබලාගත් බව. සන්නස්ගල කොච්චර දක්ෂ වංගුකාරයෙක් වුනත් ඒ හැම වංගුවක් ම පහසුවෙන් මගහැරල යන්න තරම් කරුණා අම්මාන් සූක්ෂම වුණා.

ඔහු සිය පළමු පන්දුවට ම හරවා හයේ පහරක් එල්ල කරන්නෙ 1983 ජාතිවාදි කලබලය ඇති නොවුණා නම් ඔහු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙක් නොවෙන බව පවසමින්. අපි දන්නව 1983 කලබලය ඇතිවුණේ මෙරට සිංහල බෞද්ධ ජාතිවාදීන්ගේ වුවමනාව මත සහ එවකට සිටි රාජ්‍ය පාලකයා ඒ සඳහා දක්වපු සහයෝගය නිසා කියල. ඒ එක්කම ඔහු කියනවා ඔහු එදත් අදත් විනයගරුකයි කියල. ඇත්තනෙ... එදා ඔහු එල්.ටී. ටී. ඊ. සංවිධානය යටතෙ විනයගරුක සටන් සගයෙක්. පසුව ඔහු මහින්ද රාජපක්ෂ යටතෙ යටහත් බලු කුක්කෙක් අනාගතයේ දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යටතේ වෙනත් විදියක පුද්ගලයෙක්. ඉතිං ඔහුගේ විනයගරුක බව පවතින තත්ත්වයට සාපේක්ෂයි.

ඒ වගේ ම ඔහු විමුක්තිකාමියා සහ ත්‍රස්තවාදියා කියන දේත් සාපේක්ෂයි කියල හරි අපූරුවට විග්‍රහ කළා. ඇත්තනෙ... 1505 ට පසුවත් ඊට පෙරත් මෙරට ආක්‍රමණය කරපු පරදේසක්කාරයන්ට ලක්වැසියො පෙනුනෙ කොහොම ද? කැරලි කාරයො එහෙමත් නැත්නම් ත්‍රස්තවාදියො විදියටනෙ. 1818 කැරැල්ල මෙහෙයවපු පුද්ගලයො ඉංග්‍රීසින්ට ත්‍රස්තවාදියො වෙකොට ශ්‍රි ලාංකික අපිට ඒ අය වීරයොනෙ. ඊට පස්සෙ 71 කැරැල්ල මෙහෙයවන අය රටේ එක් පිරිසකට විරයො වෙනකොට පාලකයන්ට ඔවුන් ත්‍රස්තවාදියොනෙ. 83 සහ ඊට පෙර කිහිපවතාවක්ම දෙමළ මිනිස්සු ඝාතනය කරල දේපළ විනාස කරපු සිංහල මිනිස්සු සිංහලයන්ට වීරයො වෙනකොට දෙමළ මිනිස්සුන්ට ඒ අය ත්‍රස්තවාදියොනෙ. මොකද.. වැල්වැටිතුරේදි දොරේ අප්පා වෙඩිතියල ඝාතනය කරන්නෙ එදාම ඇතිවෙච්ච කලබලයක ප්‍රතිඵලයක් විදියට නෙවෙයිනෙ.

රණ විරුවා සහ ත්‍රස්තවාදියා අතර සාපේක්ෂතාවය

දැන් අපි නැවත එමු 87-89 භීෂණ යුගයට. එදා ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය පිරිසකට වීරයො වෙනකොට ආණ්ඩුවට ඔවුන් අමු ම අමු ත්‍රස්තවාදියොනෙ. ඒ නිසානෙ ඔළු කපල වැටවල්වල ගැහුවෙ. ටයර් ගොඩවල් උඩ තරුණ තරුණියො පිච්චුණේ. ගංගාවල්වල ඇළ දොළවල තරුණ තරුණියන්ගෙ මළ සිරුරු පාවුණේ. තරුණ තරුණියන්ගෙ මළ සිරුරු ගස්වල එල්ලුණේ. හිතන්නකො... එදා ජනතා විමුක්ති‍ පෙරමුණේ ප්‍රධාන සතුරා කවුද? ආරක්ෂක හමුදාව සහ පොලිසියනෙ. නමුත් 2005 පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ මේ ආරක්ෂක හමුදාවට සහ පොලිසියට මානෙල් මල් පලන්දල ඒ අය ජාතියේ මුර දේවතාවො බවට අභිෂේක කරානෙ. එතකොට කවුද ත්‍රස්තවාදියා? කවුද දේශප්‍රේමියා? ඒ නිසා තමයි කරුණා අම්මාන් බය නැතුව කියන්නෙ තමන් විමුක්තිකාමියෙක් කියල. නමුත් පවතින පාලන තන්ත්‍රයට සහ අනෙකුත් (එල්. ටී. ටී. ඊ. නොවන) හැමෝට ම කරුණා අම්මාන් ප්‍රමුඛ පිරිස ත්‍රස්තවාදියොනෙ. හැබැයි ඔහු කියනවනෙ ත්‍රස්තවාදයෙන් ඉවත් වුණත් අදත් විමුක්තිකාමියෙක් කියල. මේ මොකක් ද කියන්නෙ? ‘පෙරළුණ පිට හොඳයි’ කියල නෙවෙයි ද? මේක වලංගු වෙන්නෙ කරුණා අම්මාන්ට විතරද? නැහැනෙ. ‘අප්පචි මළා’ කියල කියන හැමෝට ම මේ සිද්ධාන්තය මේ විදියට ම වලංගුයිනෙ.

බලන්න ඔහු ප්‍රභාකරන් ගැන කියන දේ... ඔහු කියන්නෙ ආරම්භයේදි ප්‍රභාකරන් විමුක්තිකාමියෙක් ලු. පස්සෙ දළදා මාලිගාවට ගහල, අරන්තලාවෙ භික්ෂූන් ඝාතන කරල, ශ්‍රී මහා බෝධියට ගහල, පොලිසියේ 600ක් ඝාතනය කරල ත්‍රස්තවාදියෙක් වුණා ලු. හැබැයි ඉතිහාසය කියවපු අපි දන්නව මේ හැම ප්‍රහාරයකට ම වගකිව යුත්තා කරුණා අම්මාන් කියල. ඔහු ඒ සියල්ල ප්‍රභාකරන් මත පටවල තමන්ගෙ අත් පිරිසිදුයි කියල කියනවා. සන්නස්ගලත් ඒ ප්‍රශ්නයට කරුණා අම්මාන් දීපු පිළිතුර ඒ ආකාරයෙන් ම භාරගන්නවා මිසක් පෙරළා ප්‍රශ්න කරන්නෙ නැහැ. කරුණා අම්මාන් කියනවා ඔහු ඒ වන විට හිටියෙ උතුරෙ කියල. එහෙනම් ඒ ප්‍රහාරයන් මෙහෙයෙව්වෙ කවුද කියල අහන්න ප්‍රශ්න සන්නස්ගලට අමතක වෙනවා.

යුද අපරාධ යථාර්ථය

මම කලින් කිව්ව නේද දැන් සුදු වෑන් එන එකක් නෑ කියල විශ්වාස කරන නිසා මේ ලිපිය ලියන්නෙ කියල. මේ ඒකට සාධකයක්. සන්නස්ගල අහනවනෙ ‘යුද අපරාධ කියන්නෙ මොනවද’ කියල. කරුණා අම්මාන් කියන්නෙ එදා යුද අපරාධ වුණේ නැහැ කියල. මේ මොකක් ද කරන්නෙ? ආණ්ඩුවට අනුව හිටපු ත්‍රස්තවාදියෙක් ලව්වා ම කියවනවා 2009 යුද අපරාධ වුණේ නැහැ කියල; ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යය නැහැ කියල. හැබැයි ඒ කරුණා අම්මාන් ම කියනවා පොලිසියේ 600 ක් ඝාතනය කිරීම යුද අපරාධයක් කියල. එතකෙකාට 2009 යුද්ධයේ බිහිසුණු ම අවස්ථාවේ ඝාතනයට ලක්වුණ හතලිස් දහසක ජනතාව...? මේක බරපතල ප්‍රකාශයක් නෙවෙයිද?

අද ආණ්ඩු කරන අය එදත් මේ සම්බන්ධයෙන් දැක්වුයේ ඇල්මැරුණ ස්වභාවයක්නෙ. ඒ කියන්නෙ යුද අපරාධ පිළිබඳ නිසියාකාර පරීක්ෂණයක් කරන්න මේ කිසි කෙනෙක් එකඟ නැහැ. මේකට හොඳම උදාහරණයක් 2014 දෙසැම්බර් 19 වන දින එදා ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහත්මය ම ප්‍රකාශ කලා. එතුමා කිව්ව යුද්ධයේ අවසන් අදියරේ මහින්ද රාජපක්ෂ රටෙත් හිටියෙ නැහැ. වැඩ බලන සේනාධි නායකය විදියට කටයුතු කළේ එතුමා කියල. දැන් කාරණය පැහැදිලියිනෙ. වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව එතුමත් යුද අපරාධවලට වගකිව යුතු නැද්ද? එහෙම නම් එදා යුද අපරාධ වුණේ නැහැ කියල කරුණා අම්මාන්ගෙ කටින් ම කියවන එක කාටද වාසි වෙන්නෙ? ජාත්‍යන්තර පරීක්ෂන අවශ්‍යය නැහැ කියල කරුණා අම්මාන් ම කියන කොට කාටද ඒ වාසිය අත්වෙන්නෙ? මේ දේවල් මේ විදියට සිද්ධ වෙනකොට අපිට උතුරේ මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්නපුළුවන් ද?

ප්‍රභාකරන්ට බය නැති මහින්දට බය කරුණා අම්මාන්

කරුණා අම්මාන් කියන සන්නද්ධ නායකය එදා ප්‍රභාකරන් ජීවත්ව සිටියදීත් ඔහුට බිය වුණේ නැහැනෙ. නමුත් ඔහු තවමත් මහින්ද රාජපක්ෂට බය යි. ඇයි මම එහෙම කියන්නෙ? ජාතිවාදය වපුරණ එක ගැන ඔහුගෙන් ප්‍රශ්න කරද්දි ඔහු කිසිම මොහොතක කියන්නෙ නැහැ මහින්ද රාජපක්ෂ ජාතිවාදය වපුරනව කියල. සන්නස්ගලටත් අමතක වෙනව මහින්ද රාජපක්ෂ කුජිත වෙන්න පරාද වෙලා ගෙදර ගිහින් ජනේලයෙන් එළියට ඇවිත් කිව්ව දේවල් පිළිබඳ කරුණා අම්මාන්ගෙන් අහන්න. ඒ එක්ක ම කරුණා අම්මාන් කියනවා පසුගිය රජය දෙමළ මිනිස්සුන්ගෙ හිත් දිනාගන්න උත්සාහ කළේ නැහැ කියල. තමන් අතින් වුණ වැරදි නිවැරදි කළේ නැහැ කියල. නමුත් ඒවට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ කියල කිසිම වෙලාවක කියන්නෙ නැහැ. මේක හරියට ‘මොකක් ද හංගගෙන මොකෙන්ද අහවල් වැඩේ කරනව’ වගේ නෙවෙයි ද?

කරුණා අම්මාන් මොනතරම් සටකපටද යන්න සහ ඔහු කෙතරම් මහින්ද රාජපක්ෂට බයද යන්න පැහැදිලි වෙන තවත් තැනක් තමයි 2005 දි මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන්ට මුදල් දුන්න කාරණය පිළිබඳව අහපු ප්‍රශ්නයේ දි කරුණා අම්මාන් දෙන පිළිතුර. ඔහු කියන්නෙ ඔහු ඒ කිසිවක් දන්නෙ නැහැ. ඒ වගේ ම ඒ වන විටත් උතුරේ ජනතාව හිටියෙ රනිල් වික්‍රමසිංහ සමග තරහෙන් කියල. දෙයියනේ තරහෙන් හිටියනම් කරන්න ඕන ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය කරන එකනෙ. ඡන්දය නොදී ඉන්න එක නෙවෙයිනෙ. ප්‍රභාකරන් එදා හොඳින්ම දැනගෙන හිටිය රනිල් වික්‍රමසිංහ දිනන බව. ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් පස්සෙ තමන්ගෙ තමන්ගෙ සංවිධානයට යන එන මං නැතිවෙනව කියල. මෙතනදි සන්නස්ගලට බරපතල අතපසුවීමක් වෙනවා. ඒ තමයි ‘2002 වසරෙ සාම ගිවිසුමක් අත්සන් කරපු රනිල් වික්‍රමසිංහ එක්ක ඇයි දෙමළ මිනිස්සු තරහ?’ කියල අහන්න.

එදා රනිල් වික්‍රමසිංහ එක්ක දෙමළ මිනිස්සු තරහෙන් හිටිය නම් ඔහු කොහොමද ත්‍රස්තවාදීන්ගෙ මිතුරෙක් වෙන්නෙ? රට බෙදන නායකයෙක් වෙන්නෙ?, රට පාවා දෙන නායකයෙක් වෙන්නෙ? හැබැයි එදා විමල් වීරවංශ ප්‍රමුඛ ජාතිවාදී රැල කරේ මොකක් ද? ‘රනිල් රට බෙදනවා, රනිල් රට පාවා දෙනවා’ කියල මිත්‍යා මතයක් පතුරවපු එකනෙ. ඒ අවලාදවලින් රනිල්වික්‍රමසිංහ අගමැතිතුමා බේරාගන්න තිබුණ හොඳම අවස්ථාවක් සන්නස්ගල මගහැරියා. කරුණා අම්මාන්ගෙ කටින් කියවුණ ප්‍රකාශය යම් පුද්ගලයෙක්/කණ්ඩායමක් නිවැරදිව වටහා ගත්ත නම් හැරෙන්න ඔහුගේ නිවැරදි භාවය ඔප්පු කරන්න තිබුණ අවස්ථාව තමයි මගහැරුණෙ.

සන්නස්ගල නිරන්තරයෙන් උත්සාහ කළා මහින්ද රාජපක්ෂ ජාතිවාදි කියන දේ කරුණා අම්මාන් හරහා ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් ඔහු කිසිම අවස්ථාවක මහින්ද ජාතිවාදියි හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජාතිවාදි නොවෙයි කියල ප්‍රකාශ කළේ නැහැ. එදා අත්සන් කරපු සාම ගිවිසුම නිවැරදි යැයි රටේ ජනතාවට ඒත්තු ගන්වන්න මෙවැනි අවස්ථාවක් ආයෙ අපිට කවදාවත් ලැබෙන්නෙ නැහැ. මට නම් හිතෙන්නෙ ඒ අවස්ථාව මගහැරුණෙ සන්නස්ගලගෙ තිබුණ දුර්වලකමකින් කියල.

මගහැරුණ ඉතිහාසය නිවැරදි කිරීම

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ සාකච්ඡාව හරහා සිද්ධ වුණේ: යුද අපරාධ පිළිබඳ පරික්ෂණ මගහැරීම, මහින්ද ජාතිවාදියෙක් බව ඔප්පු කිරීමට නොහැකි වීම සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගේ දූරදර්ශි වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි අවබෝධයක් ජනතාව අතරට රැගෙන යාමට තිබූ අවස්ථාවක් මගහැරුණ බව යි. රජයේ මාධ්‍යය ආයතනයක් හරහා විකාශනය කෙරෙන මෙවැනි වැඩසටහනක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා වගේ ම රටේ ජනතාවගෙ හිත් තුළට කාවද්දල තියෙන වැරදි වැටහීම් දූරින්භූත කරල දාන්නත් අවස්ථාවක් කතරගන්නවා නම් වඩාත් යහපත්. එහෙම නොවුනොත් යළි යළිත් ජාතිවාදින් තමන්ගේ අවස්ථාවාදය වපුරලා ජනතාව මුළා කරන්න තියෙන අවස්ථාව තව තවත් වර්ධනය වෙන එක සිකුරුයි.

ගයාන් නානායක්කාර - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


video



Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us