උතුරේ දෙමළාගේ ප්‍රජතන්ත්‍රවාදී අයිතිය මර්දනය කරන්න - දිවයින

Sunday, 01 March 2015 10:52

මේ අද (03)දිවයින පුවත් පතේ පලවූ ලිපියක උපුටා ගැනීමකි. එහි සිරස්තලය වූයේ 'යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?'යන්නය. එහෙත් ඒ ඊට වඩාත්ම ගැලපෙන සිරස්තලය අප විසින් යොදනු ලැබුවේ පාඨකයාගේ වටහා ගැනීමේ හැකියාව තව දුරටත් තීව්ර කළ යුතු බැවිනි.

මෙම දිවයින ලේඛකයා සිදුකරන්නේ උතුරේ දෙමළාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්දනය කරන මෙන් රජයෙන් ඉල්ලීමය. දිවයින පාඨකයා තුල ඒ ප‍ටු වුවමනාව පැලපදියම් කරවීමය. නුගේගොඩ පැවැති සිංහල ජාතිවාදී ‍රැළිය රජයට පාඩමක් ඉගැන්වූ බව උත්කර්ෂයට නඟන මේ ලේඛකයා ඒ හැකියාව හා අයිතිය දෙමළාට දියයුතු නැතැයි කියයි. ඒවා කොටි හිතවාදී උද්ඝෝෂණය. ( මෙම ලිපියෙහි 'ඊනීයා කොටි හිතවාදී' , යනුවෙන් සඳහන්ව ඇත්තේ වැරදීමකින් විය හැකිය)

කෙසේ නමුත් දිවයින පුවත්පත තවදුරටත් මේ පෙන්වන්නේ තමන්ගේ ඇති සිංහල ජාතිවාදී නරුම කමය.


'යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?'

යාපනයේ දේශපාලන ක්‍රියාකාරකම්වල විශේෂ උද්වේගයක්‌ උණුසුමක්‌ පසුගිය සතියක කාලය පුරාම දක්‌නට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටි කාලය නිමාවීම මේ දේශපාලන ක්‍රියාකාරකම් වර්ධනයවීමට බලපා ඇත්ද? නැතිනම් ආරක්‍ෂක අංශ යම් ලිහිල් භාවයකින් කටයුතු කරන්නේද? යාපනයේ වැසියන්ටද දේශපාලනය කිරීමේ උද්ඝෝෂණය කිරීමේ අයිතියක්‌ ඇත. සියල්ලම යකඩ හස්‌තයකින් පාලනය කළ නොහැකිය. එහෙත් දැන් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම එහි ආචාර්ය මණ්‌ඩලයද කෙළින්ම පාරට බැස උද්ඝෝෂණය කිරීම අරඹා ඇත. මීට පෙර මහවිරු දින සැමරුම් පවා යාපනය විශ්වවිද්‍යාල භූමියේ දී පැවැත්වීමට සූදානම් වූ විට එම ප්‍රදෙශයේ ආරක්‍ෂක ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල බලධාරීන් මැදිහත් වී විශ්වවිද්‍යාලය දින කිහිපයකට වසා දමා 'කොටි අවතාර' යළි නැගිටීම වලක්‌වනු ලැබිය.

2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව උතුරේ පැවැති දැවැන්තම උද්ඝෝෂණය පැවැත්වුණේ ඉකුත් අඟහරුවාදා දිනයේය. මේ උද්ඝෝෂණය පිළිබඳව දකුණේ මාධ්‍යවල වැඩි අවධානයක්‌ යොමු නොවූ බව පෙනේ. එහෙත් මේ උද්ඝෝෂණ හරහා කවර බලවේග යළි හිස එසවීමට උත්සාහ කරන්නේ දැයි හොඳින් විමර්ශනය කළ යුතුව ඇත. නුගේගොඩ රැලියෙන් පසු ජාතිවාදය පැතිරවන්නට එපා යෑයි යහපාලන රජයේ ප්‍රධානීහු කෑ ගසන බව පෙනී යයි. ඇත්තෙන්ම නුගේගොඩ රැලිය මගින් "සිංහල සමාජය" මේ නව රජයට යම් වැදගත් පණිවුඩයක්‌ දුන් බව පැහැදිලිය. එහෙත් ඒ නැගුණු ජනතා හඬ ජාතිවාදී යෑයි කියා කිසිවකුට යටකර හෝ තලා දැමිය නොහැකිය.

නුගේගොඩ රැලිය ගැන කතා කරන සමහරු රායප්පු ජෝශප් රදගුරුවරයා යාපන විශ්වවිද්‍යාල සිසුන් සමඟ එක්‌වී පවත්වන උද්ඝෝෂණ, විශේෂයෙන්ම මියගිය කළු කොටින්ගේ ඡායාරූප ඔසවාගෙන උතුරේ වීදි දිගේ ගිය පෙළපාලිය ගැන කතා නොකරයි. එසේ කථා නොකරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අසතුටට පත්වේ යෑයි සිතාද? අපට නම් මෙය උභතෝකෝටිකයකි.

ඉකුත් අඟහරුවාදා යාපනයේ පැවැති උද්ඝෝෂණයේ මූලික අරමුණු වූයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳව එළිදැක්‌වීමට නියමිතව තිබූ වාර්තාව මාස හයකින් කල් දැමීමට එරෙහිව විරෝධය පළ කිරීමයි. පන්දහසකට අධික පිරිසක්‌ මේ උද්ඝෝෂණ පෙළපාලිය සඳහා සහභාගි වී ඇති අතර ඔවුන් මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරූප ඔසවාගෙන යන අයුරු ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබූ වාර්තාවේ හොඳින් දක්‌නට ලැබිණි. යාපනය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වූ පෙළපාලිය අවසන් වූයේ නල්ලූර්හි පිහිටි තිලීපන් ස්‌මාරකය අසලිනි. අද තිලීපන් ස්‌මාරකයක්‌ නැතත් එහි පාදම තවම එතැන සුරක්‍ෂිතව පවතී. යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී හිටපු කොටි නායක තිලීපන්ගේ ස්‌මාරකය අභියසට මොවුන් පැමිණියේ කවර අරමුණකටද? නැවත දෙමළ ජාතිවාදී ප්‍රහර්ශය ඇතිකර ගැනීමටද?

ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව කිසිවෙකු නල්ලූර්හි පිහිටි තිලීපන්ගේ ස්‌මාරකය වෙත පෙළපාලියෙන් ගිය බවක්‌ අප දුටුවේ නැත. එසේ නම් නැවත තිලීපන් සිහිකිරීමට අවශ්‍ය වී ඇත්තේ කවර අරමුණු මුදුන්පත් කර ගැනීමටද?

රාසයියා පාතීපාන් නොහොත් ලුතිනන් කර්නල් තිලීපන් යනු යාපනය දිස්‌ත්‍රික්‌කයේ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායකයාය. යාපනය හින්දු විද්‍යාලයේ ජනප්‍රිය ශිෂ්‍යයකු වූ මොහු 1987 සැප්තැම්බර් 15 වැනිදා මාරාන්තික උපවාසයකට වාඩිවිය. මෙම මාරාන්තික උපවාසයට වාඩිවීමට පෙර ඉල්ලීම් පහක සංදේශයක්‌ කොටි නායක ප්‍රභාකරන් විසින් ඉන්දීය මහ කොමසාරිස්‌ ඡේ. එන්. ඩික්‌සිත් වෙත යවා තිබිණි. උතුරු නැගෙනහිර පළාත් වලින් ලංකා හමුදාවත් පොලිසියත් ඉවත් විය යුතු බව මෙහි ප්‍රධාන කොන්දේසිය විය. මේ කාලය වන විට ඉන්දියන් හමුදාවටද විටින් විට ප්‍රහාර එල්ලවෙමින් තිබූ අතර කොටි සංවිධානය සමඟ පැවැති මධුසමයද බිඳ වැටෙමින් පැවැතිණි. පුරා දින 11 ක්‌ උපවාසයේ යෙදී සිටි තිලීපන් සැප්තැම්බර් 26 වැනිදා මරණයට පත්විය. මේ මරණයත් සමඟ උතුරේ වැසියන්ද ඉන්දීය හමුදා විරෝධීන් බවට පත්විය. තිලීපන් අවසන් මොහොතේදී වතුර ඉල්ලා කෑගසන විට එය වළක්‌වා මොහුට මැරෙන්නට ඉඩ දුන් බවද කියවේ. ප්‍රභාකරන් තම අරමුණු වෙනුවෙන් කොපමණ ජීවිත බිලිදී ඇත්ද? දැන් අපට ඒ අතීත කථාව සිහිකරන්නට වූයේ 2015 දීත් මීට වසර 28 කට පෙර මියගිය කොටි සාමාජිකයාගේ සටන සිහිකරමින් යාපනයේ පැවැති උද්ඝෝෂණයක්‌ අවසන් කෙරුණු නිසාය.

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවත් දේශීය යුද අපරාධ පරීක්‍ෂණයකින් දෙමළ ජනතාවට සාධාරණය ඉටු නොවන බවත් අඟහරුවාදා නල්ලූර් වෙත පැමිණි උද්ඝෝෂකයෝ මොර දුන්හ. මෙම උද්ඝෝෂණය සංවිධානය කිරීමේ මූලික වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආර්. රාසකුමාරන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවැනි උද්ඝෝෂණ සඳහා ඉදිරියේ දී දහස්‌ ගණනින් එකතු විය යුතු බවයි.

"ඊළාම් දෙමළ වැසියන්ට විශාල අසාධාරණයක්‌ වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ ඒ අසාධාරණය නිවැරදි කරන්න කියලයි. විවිධ ප්‍රශ්න වෙනස්‌කම් තිබ්බත් අපි ඔක්‌කොම එකතුවෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඉදිරියට ගෙනියන්න ඕනෑ. අපි ලෝකයට පෙන්වන්න ඕනෑ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කිසිවකුට යටපත් කරන්න බැහැ කියලා" යනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපතිවරයා අදහස්‌ දක්‌වා තිබිණි.

තිලීපන් සිහිකරමින් මොවුන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අරඹන බව පෙනේ. මේ අරගලය මගින් ඔවුන්ට අවශ්‍ය යහපාලන ආණ්‌ඩුවට බලපෑම් කරනවාට වඩා ජාත්‍යන්තර ප්‍රජාවට පණිවුඩයක්‌ දීමටය. දෙමළ නිදහස වෙනුවෙන් අපි ගාන්ධි ව්‍යාපාරයක්‌ අරඹා ඇති බව ලෝකයට ප්‍රකාශ කරන්නට මොවුන් සූදානම් වේ. මෙය බරපතළ අනතුරකි. එදා වෘක වේෂයෙන් පැමිණි අය දැන් බැටළුවන් ලෙස පැමිණෙන්නේද? දෙමළ ස්‌වයංනිර්ණ අයිතිය දිනාගැනීමට මොවුන් නිරායුධ අරගලයක්‌ අරඹයිද? මේ අරගලය සඳහා උතුරු පළාත් සභාවද ඒකාත්මික වී ඇත. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක්‌ද මේ උද්ඝෝෂණ සඳහා එක්‌ව සිටියහ. කූට අරමුණු වලින් යුත් මේ උද්ඝෝෂණ දෙස බුද්ධි අංශ වඩාත් අවධානය යොමු කළ යුතුව තිබේ. අපි කොරහේ කිඹුලන් නොදකිමු. නමුත් මේ උද්ඝෝෂණ තවත් උද්ඝෝෂණ රැල්ලක ආරම්භයක්‌ වන බව නම් සහතිකය. ඉදිරියේ දී මොවුන් පොලිසිය හා හමුදාව සමඟ ගැටුම් ඇතිකර ගැනීමටද පෙළඹෙනු ඇත. එවිට ජාත්‍යන්තරයට යන පණිවුඩය කුමක්‌ද? ලංකා ආණ්‌ඩුව දෙමළ මතයට ඉඩ නොදී එය තලා දැමීමට උත්සාහ කරන බවය. මේ හරහා සිදුවන්නේ උතුරු නැගෙනහිර පමණක්‌ නොව සමස්‌ත රටම යළිත් අර්බුදයට ඇද වැටීමයි. එම නිසා මේ ඊනියා කොටි හිතවාදී උද්ඝෝෂණවලට ඉඩදී ඇස්‌ පියාගෙන සිටියහොත් එයින් පාර කැපෙන්නේ අරාජිකත්වයට මිස යහපාලනයට නම් නොවේ.

චතුර පමුණුව

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us