කල් තියා දැන සිටි දෙයක්: සම්පන්දන් සහ අමිර්තලිංගම්

Sunday, 01 March 2015 19:11

එස්. රත්නජීවන් හූල් -

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ද ඇතුළු පිරිසක් පසුගිය දා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ පඹයෙකු යාපනේදී ගිනි තැබීමේ සිද්ධිය තුළින්, කල් තියා දැන සිටි යමක් පිළිබඳ හැඟීමක් මා තුළ ඇති විය. එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් සහ එම්. ඒ. සුමන්දිරන් මෑතකදී පැවති නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම ඔවුන් ගත් නිර්භය පියවරකි. එය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය රජයේ නිදහස් උළෙලකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාවයි. එතෙක් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය යටතේ මේ රටේ සුළු ජාතීන් සඳහා තිබූ ආරක්ෂණය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම හේතුවෙන් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට තමන් ඡන්දය පාවිච්චි නොකළ නිසා ඒ යටතේ පැවැත්වෙන නිදහස් උළෙලකට සහභාගී නොවිය යුතුය යන්න බොහෝ දෙමළ ජාතිකයන්ගේ මතය විය.

ව්‍යවහාරික දේශපාලනයේ ප‍්‍රඥාව කෙසේද යන්න, ජර්මනිය එක්සේසත් කළ බිස්මාර්ක් මෙසේ පැහැදිළි කොට තිබුණි: ‘දේශපාලනය යනු, කෙරෙන වෙදකමක් හෙවත් ඊළඟට ඇති හොඳම දෙය අත්පත් කර ගැනීමේ කලාවයි.’’ ඒ කියමනේ හරය ගැන වැටහීමක් ඇති නිර්භය දෙමළ දේශපාලන නායකයෙකු වන ආර්. සම්පන්දන්, පසුගිය ජනවාරි 8 වැනි දා මෛත‍්‍රීපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කරන්නැ යි සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. දෙමළ ජනතාව එම ඔවදන පිළිපැද්දෝය. දෙමළ ජාතික සන්ධානයේ සිටින වෛරී දේශපාලනයට නැමියාවක් ඇති අන්තවාදී දෙමළ ජාතිකවාදීහූ එයින් කුලප්පු වූහ. දෙමළ ජාතික සන්ධානය සම්පන්දන්ව හෙළාදකිති යි යනුවෙන් ‘කලම්බු මිරර්’ වැනි පුවත් අඩවි තුළ කුඩුකේඩු සිරස්තල පළවුණි. ඇත්ත වශයෙන්ම, ඒ සිරස්තලයට නිමිති වී තිබුණේ, එම සන්ධානයේ ඊළඟ නායකත්වය සඳහා තමන්ට අභියෝගයක් වශයෙන් එම්. ඒ. සුමන්දිරන්ව දකින දෙමළ ජාතික සන්ධාන එක් මන්ත‍්‍රීවරයෙකුගේ ප‍්‍රකාශයකි. එසේ නොමැතිව, දෙමළ ජාතික සන්ධානය සම්පන්දන්ව හෙළාදැක තිබුණේ නැත.

TNA Sampanthan Sumanthiranසම්පන්දන් සහ සුමන්දිරන් කෙළේ නායකයන් කළ යුතු දෙයයි: එනම් නායකත්වය සැපයීමයි. තමන් ගන්නා හැම පියවරක් ගැනම පක්ෂයේ අදහස් විමසමින් සිටීමට ඔවුන්ට පුලූවන් කමක් නැත. එය, බී.බී.සී. දෙමළ සේවයට කතා කරමින් සම්පන්දන් මෙසේ කීය: ‘‘නිදහස් උළෙලට සහභාගී වීමේ තීරණය ගත්තේ මනා කිරා බැලීමකින් අනතුරුවයි.’’ පවතින පාලනය වෙනස් කර ගැනීම, දෙමළ ජනතාවගේ අනාගතය සහ අළුත් පාලකයා කෙරෙහි වන විශ්වාසය ඊට බලපෑ බව ඔහු කීවේ යැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලාංකිකයන් වන අප දැන් සිටින්නේ තීරණාත්මක මංසන්ධියකයි. දෙමළ ජාතික සන්ධානය තුළ ජාතිකවාදී ගසාකන්නන් සිටින්නා සේම, ආණ්ඩුව තුළ ද වර්ගවාදියෝ සිටිති. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන් ක‍්‍රියාත්මක වන්නේ ඒ දෙපිරිසම මධ්‍යයේය. එසේ වෙතත්, ඒ දෙපිරිසේම නායකත්වය මේ අවස්ථාවේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් කැප වී සිටිති. ආණ්ඩුව මෙහි දී පමණට වඩා මන්දගාමී වෙනවා විය හැකිය. එහෙත් ඔවුන්ගේ සද්භාවය, අඩු වශයෙන් හමුදාව පවරාගෙන සිටි ඉඩම් ආපසු ලබා දීම සම්බන්ධයෙන්වත් අපට දැක ගත හැකිය.

ආණ්ඩුව සමග දෙමළ ජාතික සන්ධානය කාර්ය නියුක්ත වීම මේ අවස්ථාවේදී තීරණාත්මක වන්නේය. සිංහලයන් දෙන පොරොන්දු හැම විටම කඩ කරතියි මොරගෑම සමහර විට ආකර්ශනීය සටන් පාඨයක් විය හැකිය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ජාතිකවාදී මොරදීම හේතුකොටගෙන, ආණ්ඩුවට කළ හැකිව තිබෙන දේවල් පවා කර ගැනීම දුෂ්කර කැරැුවිය හැකිය. කැබිනට් තනතුරු භාර ගනිමින් ආණ්ඩුවට මග පෙන්වීමක් කිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකි වන්නේ නම්, ඒ මගින් කැබිනට් මණ්ඩලය තුළ සිටින අන්තවාදීන් මැඩලීමට ද යම් බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වනු ඇතැ යි යන්න මගේ විශ්වාසයයි.

මගේ අතීත පෙරදැක්ම ඇරැුඹෙන්නේ අමිර්තලිංගම්ගේ කාලයේ පටන් ය. ඔහු එදා ආණ්ඩුවත් සමග කාර්ය නියුක්ත වූවේය. (එස්. ජේ. වී. චෙල්වනායගම් ශාරීරික වශයෙන් දුර්වලව සිටි 1970 ගණන්වල සිට ෆෙඩරල් පක්ෂයේ කටයුතුවලට අමිර්තලිංගම් උර දී සිටි කාලයත් සමග එකට ගත් විට) ඒ කාලයේ, ව්‍යවස්ථාමය ආණ්ඩුකරණයේ වැදගත්කම ගැන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට ඔහු සමත් විය. ඊට අදාළ කරුණු පාදක කරගත් දේශන මාලා, චෙල්වනායගම්ගේ ඇල්ෆ‍්‍රඞ් හවුස් ගාඩන්ස් නිවසේ නිතර පැවැත්වුණි. නීතියේ ආධිපත්‍යය කෙරෙහි අමිර්තලිංගම් මොන තරම් කැප වී සිටියත්, ඒ ඔස්සේ අනාගත දෙමළ නායකත්වය ගොඩනැගීමේ කර්තව්‍යයට ඔහු මොන තරම් උරදී සිටියත්, ජේ. ආර්. ජයවර්ධන ඔහුට පයින් ගැසුවේය. ඒ සමගම, මගේ පරපුරේ තරුණයෝ ද අමිර්තලිංගම්ව අපහාසාත්මකව විවේචනය කරන්නට වූහ. ඔහු ජේ. ආර්. සමග තේ බොති යි අවලාද කීහ. අන්තිමේදී සිදුවුණේ අන්තවාදය හිස එසැවීමයි. අමිර්තලිංගම් සමග ප‍්‍රශ්න විසඳා නොගැනීම ගැන පසුව බොහෝ සිංහලයන් කණගාටු වන්නට ඇත.

සිංහලයන් සමග මුහුණදීමේ දී ඉංගී‍්‍රසියෙන් පළවන විවිධ මතිමතාන්තර කියැවීමේ හැකියාවක් ඇති දෙමළ පිරිස් අද විරල ය. එවිට පිට්ටනිය විවර වන්නේ අන්තවාදීන්ට ය. කලින් පරම්පරාවන් සතුව තිබූ ලිබරල් මතිමතාන්තරවලින් වර්තමාන විශ්ව විද්‍යාල දෙමළ ශිෂ්‍ය ප‍්‍රජාව වියෝ කොට තිබේ. මන්ද යත්, ඔවුන් කියවන්නේ දෙමළෙන් පළවන වෙබ් අඩවි පමණක් වන බැවිනි.

යාපනේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පසුගිය 24 වැනි දා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයාට ලියූ පෙත්සමක මෙසේ සඳහන් වෙයි: ‘‘ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය තුළ සිදු කරන ලද මහ පරිමාණ අපරාධ ගැන සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම ඔබ විසින් කල් තබන ලද්දේ, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව, එම සිදුවීම් පිළිබඳ විශ්වසනීය දේශීය පරීක්ෂණයක් ආරම්භ කරති යි යන විශ්වාසය පෙරදැරිව බව අපට වැටහේ. එහෙත් (යුද්ධයට ක‍්‍රියාකාරීව සම්බන්ධ වූ ඇතැමුන් ද සහිත) වර්තමාන ආණ්ඩුවේ සංයුතිය ගැන සිතන විට සහ මීට පෙර එවැනි දේශීය පරීක්ෂණ සාධාරණත්වය ඉටු කිරීමට අසමත්ව ඇති තත්වය පිළිබඳ අපේ අත්දැකීම් සමග සිතන විට, වර්තමාන ආණ්ඩුව විසින් ද එවැනි විශ්වසනීය ක‍්‍රියාමාර්ගයකට එළඹෙතැ යි අපේ කිසි විශ්වාසයක් නැති බව කිව යුතුය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය මෙහෙයවන සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී ආයතනික ධුරාවලිය ගැන අපට ඇති දීර්ඝ අත්දැකීම් කියාපාන්නේ, කිසි වරදක් සඳහා ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සාමාජිකයන් දේශීය වශයෙන් නීතිය ඉදිරියට පැමිණවීමක් කවදාවත් සිදු නොවෙන බව ය. දේශීය පරීක්ෂණයක් කෙරෙහි වන ජාත්‍යන්තර අධීක්ෂණය කාලය කා දැමීමක් පමණි.’’

මේ සැකසාංකා බොහෝ දෙමළ ජනතාව තුළ පවතින සැකසාංකා ය. අදාළ ජාත්‍යන්තර වාර්තාව දැන්ම ප‍්‍රකාශයට පත්කළ යුතු බව ආර්. සම්පන්දන් මෙන්ම එම්. ඒ. සුමන්දිරන් ද පවසන්නේ එබැවිනි. ආණ්ඩුවේ සහයෝගයත් ලැබෙන්නේ නම් තවත් සාක්ෂි හෙළිදරව් විය හැකි බවට ගෙනෙන එක්සත් ජාතීන්ගේ තර්කයේ යම් ඇත්තක් ඇතත්, අන්තර්-වාර වාර්තාව දැන් පළ නොකිරීමට එය ප‍්‍රමාණවත් හේතුවක් නොවේ. කෙසේ වෙතත් මේ කල් දැමීම නිසා සිදුව ඇත්තේ දෙමළ අන්තවාදීන් විසින් මේ ප‍්‍රශ්නය තමන්ගේ අතට ගෙන මධ්‍යස්ථ නායකයන් දෙන්නෙකුට එරෙහිව අසාධාරණ සේ නැගී සිටීමයි. එම පමාව ගැන එක්සත් ජාතීන් සමග සුමන්දිරන් රහසින් එකඟ වී ඇති බවට ද අභූත චෝදනා නගනු ලැබේ. කෙසේ වෙතත්, යාපනේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ තීරණයක් වශයෙන් මාධ්‍ය වාර්තා කළ තීරණය ඇත්ත වශයෙන්ම එම සංවිධානය ගත් තීරණයම නොවන බවට මේ වන විටමත් ඇතැම් ආචාර්යවරු විරෝධය පාති. ‘වැරදියට හඳුන්වා දෙන තීරණයක් මත විශ්ව විද්‍යාල ප‍්‍රජාව මෙහෙයවනු ලැබෙතැ’ යි ඔවුහූ චෝදනා කරති. ජනාධිපති සිරිසේන වෙනුවෙන් දෙමළ ජනතාව විශාල වශයෙන් ඡුන්දය පාවිච්චි කෙළේ මහින්දට එරෙහිව මිස ආණ්ඩු වෙනසකින් විශාල වෙනසක් ඇති වෙතැ යි යන විශ්වාසයකින් නොවන බව යාපනේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කීම සුමන්දිරන්ව දුර්මුඛ කරවන්නකි.

යහපතක් වෙනුවෙන් යම් වෙනසක් කිරීමට සූදානම් වන ආණ්ඩුවකට, ආචාර්යවරුන්ගේ සංගමයේ මේ තීන්දුව ගිල ගැනීම අපහසු විය හැකිය. නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම යුක්ති සහගත කරමින් සම්පන්දන් කී ආකාරයට ඔහුගේ එකී සහභාගීත්වය මේ රටේ සකල වාසීන්ට යහපත් පණිවිඩයක් ගෙන යනු ඇත. එසේම වේවා !

සම්පන්දන් සහ සුමන්දිරන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඇමති මණ්ඩලයට ඇතුළත් වන ලෙසයි. එවිට පමාවන් වළක්වා ගනිමින්, දෙමළ ජනතාවගේ සැක සාංකා සහ අභිලාෂයන් වඩාත් නිවැරදි දෘෂ්ටි පථයකින් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. එසේ නොමැතිව, කැබිනට් මණ්ඩලයේ අන්තවාදීන්ට ක‍්‍රීඩාව භාර දී, අමිර්තලිංගම් ගිය මගේ යාමක් අවශ්‍ය නැත. එය සෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේම කණගාටුවට කාරණයක් වනු ඇත.

2015 පෙබරවාරි 23 වැනි දා‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Déjà vu: Sampanthan & Amirthalingam නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’

Last modified on Sunday, 01 March 2015 19:12

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us