වෙනස නොපෙනීමේ වෙනස - රංජිත් හේනායකආරච්චි

Sunday, 01 March 2015 20:28

මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් ඔවුනට ජයගැනීමට නොහැකි වූයේ ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනෙකු ඒ ජඩ, මජර, දූෂිත බලය ප්‍රතික්ෂේප කළ බැවිනි.

නමුත් අන්ත දූෂිත, බලහත්කාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට පක්ෂවද 58 ලක්ෂයක් ඡන්දය දුන් බව අමතක නොකළ යුතුය. එසේ නම් එවැනි දූෂිත, මැර, බලහත්කාරයකට මෙසේ ඡන්දය දුන්නේ කොයි වැනි පුද්ගලයින්ද? මෙම දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික බවට පක්ෂව ඡන්දය දුන් එක කණ්ඩායමක් වන්නේ නීතිය මත පාලනය, යහපාලනය, දූෂණයෙන් තොර රටක් ආදිය ගැන කිසිම තැකීමක් නොකරන කොටසයි. තවත් කොටසක් එවැනි මජර ක්‍රමයකින් තමන්ගේ පුද්ගලික වාසිය තහවුරු කර ගන්නා වූ දූෂණයෙන් කොටස්කරුවන් වී යමක් ලබන කණ්ඩායමයි.

තවත් කණ්ඩායමක් වන්නේ ‘මොකා ආවත් එකයි’ සිතන ඒ අතරම ‘තමා දන්නා යකා නොදන්නා යකාට වඩා හොඳයි ’ යැයි සිතන දේශපාලන ලපටීන් (වයසින් නොව ) කොටසය. ඊළඟට තවත් කණ්ඩායමක් ‘මේ පවතින ක්‍රමය වෙනස් කළ හැකි තමන් බලයට පැමිණුනොත් පමණය’ යන සිතුවිල්ලේ සිටින එතෙක් ඇතිවන හෝ ඇතිකරන සියළු වෙනස්කම් ප්‍රතිසංස්කරණ පමනය එනිසා වඩා නරක දූෂිත කණ්ඩායම බලයේ තබාගෙන තමන් එතුලින් විරෝධාකල්ප දේශපාලනයකට මග තබා ගැනීමට උත්සාහ කරන කොටස්ය. (විප්ලවයෙන් තොරව ලබන අන් සියලු දිනා ගැනීම් දැකිය නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජයග්‍රහණ ලෙස නොදකින, එකම ප්‍රගතිශීලී බලවේගය තමන් යැයි තමන් ගැනම සිතා ගන්නා කණ්ඩායම්).

ජනවාරි 09 වෙනස ඇතිවූ පසු මේ වෙනස නොදකින අය අතර මෙම කණ්ඩායම් තාමත් එලෙසම ඒ මතයන්හි එල්බගෙන සිටිනු දැකිය හැක. වෙනසක් පැහැදිලිවම සිදුවී ඇත. වෙනස යන්න මැනීමේ මිනුම් දඬු එක හා සමාන නොවේ. ඒ ඒ අයගේ උවමනාවන් වෙනස් බැවිනි. ඒවාගේම කාලාන්තරයක් තිස්සේ එයිනුත් පසුගිය වසර 10 ක් තිස්සේ අන්තයමටම විනාශ කළ දේශපාලන, සමාජ සහ ආයතනයමය ව්‍යුහයකට නතු වී ඇති රටක වෙනසක් ඇති කිරීම කෙටි කලකින් කළ නොහැකි කාර්යකි.

සම්පූර්ණ රාජ්‍ය යන්ත්‍රය තුල ඇති ආයතනයන්හි ප්‍රධාන නිලතල හොබවන සියළුම පාහේ පුද්ගලයින් අඩු වැඩි වශයෙන් මෙම දූෂිත පාලනයෙහි කොටස්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමේ පුරුද්දකට හුරු වී ඇති අයයි. එසේ නොවුනා නම් ඔවුනට එම නිලතල දක්වා උසස් වීම් ලැබීමට පැවති දූෂිත දේශපාලන අධිකාරිය විසින් ඉඩ නොතබනු ලැබීය. එනිසා මොවුන් සියලු දෙනාම එක්තරා ප්‍රමාණයකින් හෝ මෙම දූෂිත ක්‍රියාවන්හි කොටස් කරුවන් වී සිටියහ. සියළුම පාහේ දේශපාලන පක්ෂවලින් මහජන නියෝජිතයින් ලෙස පත්කර ඇති අය (ඉතා කුඩා ප්‍රමාණයක් හැර) දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, හොරුන්, වංචාකාරයින් හෝ අපරාධකාරයින් වෙති. එමෙන්ම මේ ඉහත සඳහන් වැඩි දෙනෙකු 08 වෙනිදා වෙනසට විරුද්ධව එදා තම ඡන්දය පාවිච්චි කළ අයයි. එසේ නම් මේ සියළු දෙනාම ප්‍රජාතන්ත්‍ර සහ යහපාලනයේ විරෝධීන්ය.

දැන් 09 වෙනිදායින් පසු බලය මාරු කිරීමේදී නැවතත් බලය හිමිකර ගන්නේ මේ කණ්ඩායමේම කොටසක් බව ඉතා පැහැදිලි සත්‍යයයි. එසේ නම් මේ බල මාරුවෙන් පසු බලයට එන්නේත් රාජ්‍ය ක්‍රියාත්මක කරවන්නේත් අර පරණ දූෂිත කණ්ඩායමේම කොටසක් බව පැහැදිලිය. තත්වය එසේ නම් 09 වෙනි දින අලුත් ආණ්ඩුවෙන් වෙනසක් ඇති වෙයිද? යන ප්‍රශ්නය ඇතිවීම සාධාරණය. මෙහිදී විප්ලවවාදී කණ්ඩායම් මුහුණු වල මිස සැබෑ වෙනසක් ඇති නොවෙනවා යැයි පවසන්නේ මෙන්න මේ කාරණය පෙරදැරි කරගෙනයි. ඉතින් මෙය එසේමද? ඇත්තෙන්ම එදා වෙනසක් සිදුවී නැත්ද?
ඇත්තෙන්ම වෙනසක් සිදුවී ඇත. එය නොපෙනීමද දේශපාලන කුහක කමකි.

එසේ නැත්නම් දේශපාලන අඳබාල කමකි. ඒ ඒ අයගේ මිණුම් දණ්ඩට අනුව ප්‍රමාණවත්ව ඒ වෙනස ඇති නොවුනා වුවත් වෙනසක් ඇති කර ගැනීමට ඇති අවකාශයන් මෙතුලින් විවිර වී ඇත. එසේ නම් ජනතාවට, දේශපාලන බලවේගයනට, හැබෑ වෙනසක් දෙසට බලවේග මෙහෙයවීමට ඇති අවකාශය සැලසීමේ වෙනස සිදුවී තිබේ. එය එසේ බව නොපිලිගන්නේ, එය එසේ බව නොදකින්නේ, දේශපාලන කුහකත්වය නිසාවෙනි. තවත් කොටසක් ඒ වෙනස නොදකින්නේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී, සියළුම ප්‍රගතිශීලී වෙනස්කම්වලට ඔවුන් එරෙහි නිසා සහ දූෂිත පාලනයෙන් ඔවුන්ද වාසි ලබා ගත් නිසාවෙනි.

09 වෙනිදා කිසිදු වෙනසක් සිදු නොවුනාය කියා වංචනික ලෙස හෝ වටහා ගැනීමේ අඩුකමක් නිසා තවදුරටත් මත ඉදිරිපත් කරමින් සිටින අයට 09 වෙනිදායින් පසු සිදුවූ වෙනස් කම් වලින් කොටසක් ගෙන හැර පාමි. මෙතුලින් මේ සිදුවූ වෙනස්කම ප්‍රමාණවත්ය කියා මා කිසිසේත් නොකියමි. නමුත් වෙනසක් සඳහා වැඩ කිරීමට අවශ්‍ය ඉඩ අපට ලැබී ඇති බවත් වෙනසක් ඇති කර ගැනීම අපේ කාර්ය බවත් මා ඉදිරිපත් කරන අදහසයි.

08 වෙනි දිනට පෙර මහින්ද කල්ලිය ඔවුනට එරෙහිව කිසිම මතයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදුන් අතර මැර කල්ලි සහ කුලී මිනීමරුවන් දමා සියල්ල යටපත් කළ බව අපට මතකය. 09 වෙනිදායින් පසුව බලඅධිකාරය විවේචනය කිරීමට එමෙන්ම නීතිය ඉදිරියට ගොස් තමනට සිදුවී ඇති අසාධාරණය ගැන පැමිණිල්ලක් කිරීමට ඉඩ ලැබී ඇත. සම්පූර්ණයෙන්ම බලය අනිසි ලෙස යොදාගත් පොලීසි තමන්ගේ බලහත්කාර බලඅපයෝජනය එක්තරා පමණකට සමනය කර ගෙන ඇත.

උතුරුකරයේ දෙමළ ජනයාගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දී නැති වූවාට සම්පූර්ණ හමුදා පාලනයකට යටත් කර තිබූ ප්‍රදේශ ක්‍රමක්‍රමයෙන් සිවිල් පාලනයක් දෙසට මාරු කරමින් පවතී. දේශපාලන හිරකරුවන් පිළිබඳ ඉක්මන් ක්‍රියාදාමයක් ගන්නා බව මේ වන විටත් අධිකරණ ඇමතිවරයා පවසා තිබේ. යාපනය ප්‍රදේශයේ රාජ්‍ය විරෝධී පෙලපාලියක් තබා තමනගේ මතයක් ඉදිරිපත් කිරීමටවත් ඉඩ නොතිබූ අතර අද වන විට අතුරුදහන් වූවන් ගැනත් යුධ අපරාධ ගැනත් නීතිය ක්‍රියාත්මක කළයුතු බව ඉල්ලා පෙලපාලි යාමට ඉඩක් සැලසෙමින් පවතී. එදා යාපනයේ රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයන් වලට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ හදුන්නෙත්තිලාට වටකර පහර දෙනු ලැබීය.

යාපනයට ගොස් දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන කථා කළ පෙරටුගාමී පක්ෂයේ දිමුතු ආටිගලලාට කළුතෙල් ගසා පහර දුනි. එම පක්ෂයේම ලලිත් කුගන් වැනි අය අතුරුදහන් කරනු ලැබීය. පෙරටුගාමී පක්ෂයට තම නායකයාගේ අයිතීන් ලබාදෙන ලෙස උසාවි යාමට ඉඩ සැලසී ඇත. ලසන්ත ඝාතනය, ප්‍රගීත් අතුරුදහන් කිරීම ආදිය ගැන සෙවීමට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා ඇත. එමෙන්ම මහින්ද රෙජීමය විසින් වෙබ්වලට පනවා තිබූ තහනම මේ වන විට ඉවත් කර ඇත.

ඒ වාගේම දේශපාලන හේතූන් මත රටින් පිටුවහල් වී සිටින අයට නැවත ලංකාවට යාමට තරම් වාතාවරණයක් උදාවෙමින් පවතී. (සැමට නොවේ). රටතුල සියළු දේශපාලන කණ්ඩායම් සහ බලවේගවලට බාධාවකින් තොරව සංවිධානය වීමට සහ තම දේශපාලනය කරගෙන යාමට ඉඩ ලැබෙමින් පවතී. (මින් පෙර මේවා අතුරුදහන් වීමට හේතු ලෙස පැවතුනි). ඉතා මන්දගාමී ලෙස වුවත් නීතිය මත පාලනය දෙසට රට හැරී ඇති බව දැකිය හැක. වැරදි කළවුන් ඉතා සුළුතරයක් නීතිය ඉදිරියට මෙතෙක් ගෙන ආවා වුවත් වැරදි කළ බොහෝ දෙනෙකුට එරෙහිව විමර්ශණයන් වත් ඇරඹී ඇති බව දැන ගැනීමට තිබේ. මේ වෙනසක් ඇතිවී ඇති බව දැකීමට හේතු ටිකකි. මේවා දැකිය නොහැකි වන්නේ දේශපාලන වංචනිකයින්ට පමනි. මෙම වෙනස්කම් ප්‍රමාණවත් නැති බව අපි දනිමු. එසේනම් විය යුත්තේ රාජ්‍ය කරවන්නන්ට බලපෑම් කරමින් තම ජනතා අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානාත්මකව ඉදිරිපත් වීමයි. එසේ නොමැතිව අයිතීන් තෑගි ලෙන නොලැබෙන බව දේශපාලන ඥාණයක් ඇති අය දනිති.

ඉහතින් මා සඳහන් කළ අයුරින් රටේ බලය සහ දේශපාලන අධිකාරය පත්ව ඇත්තේ පැරණි සුපුරුදු ක්‍රමයේ කොටස් කරුවන් ලෙස දීර්ඝ කාලීනව නියැලී සිටි අය අතටමය. එනිසා එය වෙනස් කළ හැක්කේ නිරන්තරව කරන ජන බලපෑම් තුලින් ඇතිකරන නීති සංශෝධනයන් සහ වැරදි හෙලිදරව් කර ගැනීමේ යාන්ත්‍රණයක් ඇති කර ගැනීම තුලින් පමනි. එසේ නැතිනම් මේ බලවතුන් නැවත මෛත්‍රීපාලනය හෝ වෙනත් නම් කියමින් එය තමන්ට සුපුරුදු මජර ක්‍රියාදාමය තුලටම නතු කර ගනු නොඅනුමානය. මෛත්‍රී පාලනය කියා යමක් නොමැත. ඇති විය යුත්තේ යහපාලනයයි. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සදහා පෙලගැසුණු දේශපාලන බලවේග මෛත්‍රී පත්කර ගනු ලබන්නේ යහපාලන දේශපාලනයක් දෙසට රට මෙහෙයවීම සඳහායි. පැවතුණු බලාධිකාරයේ දූෂිත ක්‍රමයටම නැවතත් රට යටපත් වූවොත් දැනටමත් ප්‍රජාතන්ත්‍ර විරෝධීන් විසින් විහිළුවක් ලෙස ගන්නට උත්සාහ කරන ‘යහපාලනය’ යන වචනයෙහි සැබෑ අර්ථයට හානි පමුණුවනු ඇත.

එසේ නම් විවිධ විප්ලවවාදී හා දේශපාලන කණ්ඩායම් මෙන්ම ප්‍රගතිශීලී බලවේගයන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමට ඇති මේ අවස්ථාව ඉදිරියට ගෙන යාමට එක පෙරමුණකට පෙල ගැසිය යුතුය. ඔවුන් ප්‍රගතිශීලීන් නම්, ඔවුන් ක්‍රියාකරන්නේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා නම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහතික කර ගැනීමට ජනතාවට යම් කිසි හෝ සහන දිනා ගැනීමට උදා වි ඇති මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් කළ යුතු වන්නේ වෙනස් වීමකට සහාය දීමයි. ඒ වෙනස්කම සඳහා පෙල ගැසී ඇති ජනබලවේගයන්හි මොවුන්ද කොටස්කරුවන් වීමයි. එතුල ගොඩ නැගෙන බලවේගය රටතුල ඇති පසුගාමී ප්‍රතිගාමී බලවේග පරදවමින් රට ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනා ගන්නා දෙසකට මෙහෙයවීමට දේශපාලන අධිකාරියට බලපෑම් කිරීමයි. එසේ නොකර මේ කෝකත් එකයි කියමින් ප්‍රගතිශීලී ජනබලයට සහාය නොදීම තුල ජයග්‍රහණය කරනු ලබන්නේ ප්‍රතිගාමී බලවේගයයි. එසේනම් එතුලින් සිදු වන්නේ වක්‍ර අයුරින් ප්‍රතිගාමීත්වයට තමනගේ සහාය දීම බව දේශපාලන ඥාණයක් ඇත්නම් ඔවුන් වටහා ගත යුතු බව මගේ හැඟීමයි.




.

Last modified on Sunday, 01 March 2015 20:42

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us