අපේ වාට්ටුවේ ඉන්නවා පි‍්‍රයන්ත කියලා කෙනෙක්. එයාට මානසික අවුලක් තියෙනවා. එහෙම හැන්ඞ් කප් දාද්දී එයා නැගිටලා කෑ ගැහුවා. උඹලා ඕවා ගෙනාවේ අපිව මරන්න නේ, ඉතින් අත පය බැදලා දාන්නේ නැතුව අපිව මරන්න කියල කෑ ගැහුවා. අපි වගේම ඇතුළේ මහත්තුරුත් දන්නවා එයාට මානසික අවුලක් තියෙනව කියලා. ඒත් එස්ටීඑෆ් එකේ අය ඒවා දන්නේ නෑනේ. එස්ටීඑෆ් එකේ එක්කෙනෙක් වාඩි වෙයන් ප... කියලා කුණුහරුපයෙන් බැන්නා. ඒ වෙලාවේදී ඉන්දික කියන ජේලර් මහත්තයා අපිට කෑ ගැහුවා උඹලා මැරුම් නොකා ඉදපන් කියලා. එතන බන්ධනාගාර පොලීසියේ මහත්තුරු හතරක් විතර හිටියා. ඊට පස්සේ අපිව එළියට දැම්මා.
චැපල් එක යට රවුම් තැනක් තියෙනවා.A3,B3,C3,D3 කියන වාට්ටු හතර තියෙන්නේ කුරුසයක් වගේ. ඒක මැද තමයි ඒ රවුම් ඉඩ තියෙන්නේ. පස්සේ වාට්ටු සර්ච් කරලා අපිව ඇතුළට දැම්මා. ඒ වෙලාවෙදී වැඩවලට ගිය හිරකාරයොත් කෑම වෙලාව නිසා එතැනට ඇවිත් හිටියා. අපි ඇතුළට ගියාම දැක්කා එස්ටීඑෆ් එකේ කෙනෙක් එළියේ හිටපු අපේ එක්කෙනෙක්ගේ අත කඩන්න හදනවා .ඒ එක්කම හැමෝම වගේ කෑ ගහන්න ගත්තා ලැජ්ජ නැද්ද තුවක්කු අරන් ඇවිත් අපේ අත් බැදලා ගහන්න කියලා.
හැමෝම වගේ වාට්ටුවේ තිබුණු වතුර බෝතල්වලින් ගැහුවා. ඒ වෙද්දී ෆොන්සේකා කියන මහත්තයා වාට්ටුවලට ඉබ්බ දාන්න හැදුවේ. මහත්තයට උඩින් කදුළු ගෑස් ගැහුවා අපි හිටපු වාට්ටුවට. අපේ වාට්ටු අඩි අටේ හයේ වාට්ටු. ඒ එකකට කදුළු ගෑස් තුනක් විතර ගැහුවා. අපිට විතරක් නෙමෙයි. G වාට්ටුව කියලා වාට්ටුවක් තියෙනවා. ඒකට චමින්ද වාට්ටුව කියලත් කියනවා. ඒකේ ඉන්නේ ක්ලචස් වලින් යන හැරමිටියෙන් යන වයසක හිරකාරයෝ.
මේ අය ඒවා ඇතුළටත් කදුළු ගෑස් ගැහුවා. අපිට හුස්ම අල්ලන්න බැරි වුණා. ඇගම දන්න ගත්තා. ඒ සද්දේට අනිත් වාට්ටුවල අයත් කෑගහගෙන ආවා. ඉන්න බැරිම තැනයි අපි වාට්ටුව කඩාගෙන එළියට ආවේ. පාටිවල හිටපු අය ගල් අරගෙන එළවගෙන ලොකු ගේට්ටුව ළගට ගියා. එතනදී තමයි ඒ අය ආමරිය කඩලා තිබුණේ. ඒත් ඒවට එළියටවත් බැස්සේ නැති කපිලලා, තුෂාරලා ලිස්ට් එකක් බලල අරගෙන මැරුවේ අපේ ඉස්සරහදී’’.
අච්චු ලබපු අය මේවට ගියේ නෑ
තමන් ඇසින් දුටු බන්ධනාගාර කතාව මෙසේ ලියුම්කරුට කීවේ චැපල් වාට්ටුවේ සිට 2012 වසරේ මෙම සිද්ධියත් සමඟම යහපත් කල්කිරියාව හේතුවෙන් නිවාස නිවාඩු ලබා ආ සිරකරුවෙක්ය. චෝදනා බරපතළය. ඔහුගේ කතාව අනුව නිලධාරීන් ගණනාවකගේම නම්ද කියවේ. බන්ධනාගාරය තුළට ආයුධ රැගෙන යා හැකිද? ගොඩනැගිලි තුළට කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ හැකිද? බන්ධනාගාරය තුළදී සිරකරුවන්ට මාංචු දැමිය හැකිද? ඊටත් වඩා බරපතළ චෝදනාව නම් යටත් කරගත් පසු ලැයිස්තුවකට අනුව තෝරාගත් සිරකරුවන් එලෙස මරා දැමිය හැකිද යන්නයි.
බන්ධනාගාරය තුළ තහනම් භාණ්ඩයක් වන ජංගම දුරකථනයෙන් තවමත් එළියට අමතන්නේ බන්ධනාගාරය තුළ ඕනෑ තරම් ජංගම දුරකථන ඇති නිසා නොවේද? ඒවා බන්ධනාගාරය තුළට ගිය ආකාරය දන්නේ බන්ධනාගාරයම නොවේද? මරා දැමූවන් කුමක් සඳහා මරා දැමුවාද? එසේත් නැත්නම් රටේ ඉහළම තැන්වල රහස් හෙළි වනවාට ඔවුන්ගේ ආරක්ෂාවට මරාදැමුවාද?ඉහළ බලවතුන් තමන්ගේ ව්‍යාපාරවල ඒකාධිකාරිය තබාගන්නට මේ ඝාතන සිදුකළාද?නැතිනම් පුද්ගලික කෝන්තරද?
"YO වාට්ටුවේ තමයි තුෂාර. C3 කන්ඩෙම් වාට්ටුවේ තමයි කපිල හිටියේ. ඒ අය එළියට බැස්සේ නෑ. ඒ වෙද්දී ඒවත් කඩාගෙන අනිත් කට්ටිය එළියට ඇවිල්ලා හිටියේ. ඒ වෙද්දී වෙලාව හවස හතරයි හතළිස් පහත්, පහත් වගේ ඇති. තාප්පය වටෙන්ම කදුළු ගෑස් ඇතුළට ගැහුවා. වැස්ස වැටුණු නිසා ගොඩක් අයට පණ ගහලා ආවා. අපේ වාට්ටුවල ඉන්න අය දන්නවා මේවාට සම්බන්ධ වුණොත් අන්තිමට වෙන දේ. ඒක නිසා අච්චුවෙලා හිටපු අයයි, ගොඩක් කල් ඉදන් මෙහේ ඉන්න අයයි එළියට ගියේ නෑ. වටෙන්ම වෙඩි එනවා.
අපි දැක්කා චමින්ද වාට්ටුවේ වයසක කෙනෙක් නැගිටලා ඇවිද්දා. එයාගේ ඔලූවටම වෙඩිල්ලක් වැදුණා. තව කෙනෙක්ගේ උර පත්ත පලාගෙන ගියා. ඒ අය එළියට ගන්නවත් බැරි වයසක අය. ඒක නිසා අපිත් බයට එළියට බැස්සේ නෑ. කොහොම හරි රෑ දොළහයි තිහත් එකත් අතර වෙලාවේදී තමයි වටේටම වෙඩි තියන සද්ද ඇහුණේ. අපිට බලන්න බයයි. ඒ තරමට වෙඩි සද්ද ඇහුණා. දැනුණේ වෙඩි බෙහෙත් ගදයි සද්දෙයි විතරයි. ටික වෙලාවකින් අපි හමුදාව තොපි ඔක්කොම එළියට බැහැපියව්, තොපි චණ්ඩිද, අපි උඹලව වට කරලා තියෙන්නේ කියලා වටේටම කෑ ගැහුවා.
සක්විති රණසිංහ කිව්ව හමුදාවේ මහත්වරු බය වෙන්න දෙයක් නෑ කියලා
අපේ වාට්ටුවේ හිටපු සක්විති රණසිංහ තමයි මුලින්ම එළියට ගියේ වෙඩි තියන්න එපා. මම සත්විති රණසිංහ කියලා. එයා ටික වෙලාවකින් ඇවිත් අපිට කිව්වා කරදරයක් නෑ හමුදාවේ මහත්වරු ඇවිත් ඉන්නේ එළියට එන්න කියලා. අපි හැමෝම එළියට බස්සවලා පිට්ටනි කෑල්ලේ මුණින් අතට බුදි කෙරෙව්වා. ඊට පස්සේ තමයි බන්ධනාගාරයේ ....... මහත්තයි ලොකේෂන් සර්ච් කරන ........... මහත්තයි, නාකොටික් එකේ............ මහත්තයයි ඇතුළට ආවේ. අපිව අල්ලලා, නඩු දාලා, අපිට නිතර හම්බවෙන නිසා නාකොටික් එකේ ........... මහත්තයාව අපිට හොදට අදුනගන්න පුළුවන්. තවත් මහත්වරු හිටියා. ඒ අය ඔක්කොම සිවිල් ඇදුමින් හිටියේ. ඒ වෙද්දී පාන්දර තුනට විතර ඇති’’
විශේෂ තොරතුරු සපයන්නාට අනුව යුද හමුදාව විසින් බන්ධනාගාර පාලනය සියතට ගත් පසු බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක .............., ............. ද පැමිණ ඇත. බන්ධනාගාර නිලධාරීන්ට අනුව එම අවස්ථාවට පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ මූලස්ථාන භාර නිලධාරී ප‍්‍රසන්න අල්විස්ද එම ස්ථානයට පැමිණ ඇත. බන්ධනාගාරයේ සිරකරුවන්ට අනුව සියැසින් මෙතෙක් දුටු කතාව මෙසේය. එතැන් පටන් බන්ධනාගාරය තුළ සිදුවන්නේ කුමක්ද? ඉහළින්ම දූෂිතයැයි කියන බන්ධනාරගාරයත්, පොලීසියත් කියන කතාවට වඩා වෙනස් කතාවත් කියන්නේ බන්ධනාගාර සිරකරුවන්ය. නම් හෙළි කළ නොහැකි බන්ධනාගාර නිලධාරීන්ය.
‘‘මුලින්ම කපිලව හොයලා ගත්තා. ඊට පස්සේ මාලන්ව ගත්තා. කදුළු ගෑස් ගහද්දී දුවද්දී වැටිලා අත උලූක්කු වෙලා හිටපු මංජු ශී‍්‍ර අන්තිමට තමයි මගේ වාට්ටුවෙන් ඒ වෙලාවේ එළියට ආවේ. එයාව එහෙම්ම ගත්තා. නාකොටික් එකේ .............. මහත්තයයි තව දෙන්නෙකුයි වගේ තමයි ඒ අයව හෙව්වේ. ඒ වෙලාවේ කරුවල වුණත් යාන්තමින් එළිය වැටිලයි තිබුණේ. පොඩි එක්සයිස් කොළයක් වගේ එකක ලියලා තිබුණ නම් තමයි නාකොටික් එකේ ........ මහත්තයා සාක්කුවෙන් අරගෙන බලන ගමන් පොඩි ටෝච් එකක් ගහලා කට්ටියව හෙව්වේ. ඒ තුන්දෙනාව මුලින්ම අරගෙන ගියා ආර් පී කන්තෝරුව පිටිපස්සට. ඒ අයව ගෙනිච්චේ අපේ ඉස්සරහින්. ඒ වෙද්දී කත්තෝරුව ඇතුළේ අපේ අයත් එක්ක බන්ධනාගාර මහත්තුරුත් හිටියා පණහක් හැටක් විතර. ඒ අය කලින් කදුළු ගෑස් ගහද්දිම තමයි ඒකට වෙලා ඉදලා තියෙන්නේ. ඒ අයටත් පුස්තකාලයයි, ආර් පී කන්තෝරුවයි කෑම ගබඩාවයි තියෙන මුල්ල පේනවා. ඒ ගෙනිච්ච තුන්දෙනාටම විනාඩි පහක් හයක් ඇතුළත ටෝන් ටෝන් ගලා වෙඩි දෙක දෙක තියනවා ඇහුණා."
කඩුව හොරකම් කළේ ඇයි කියලා මංජු ශ්‍රී කියන්න හිටියේ
මංජු ශ්‍රී හෙවත් හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති යනු එකල මෙරට කුප්‍රකට නමකි.2012 මාර්තු 21වනදා කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනමක් ඝාතන කිරීමේ නඩුවේ ප්‍රධාන සැකකරුය.ඔහු එම ඝාතනයන් සිදු කරන්නේ කෞතුක වශයෙන් වැදගත් යම් කඩුවක් ගන්නය.ඒ බව ඔහු අධිකරණයෙදී ප්‍රකාශ කළත් කඩුව ගත්තේ කාගේ උවමනාවටද යන්න පාපොච්චාරණය කරන්න සිටියේ ඊලඟ නඩුවාරයේදීය.ඔහු ඝාතනය වන්න සතියකට පමණ පෙර එක්තරා විශ්වාසවන්ත බන්ධනාගාර ජේලර්ලවරයෙකුට කියා තිබුණේ තමන් ඊලඟ නඩු වාරයේදී සියල්ල පාපොච්චාරණය කරන බවය.එහිදී තමන්ට කුමක් සිදුවේදැයි තමන් නොදන්නා බවත්,තමන්ට කඩුව ගන්න කීවේ කවුදැයි එහිදී කාටත් දැනගන්න පුලුවන් වනු ඇති බවත්ය.
එහෙත් එදා රාත්‍රීයේ නම් ලැයිස්තුවේ පළමු තිදෙනා අතර සිටින්නේ මංජු ශ්‍රී ය. කඩුව ගත්තේ කාගේ උවමනාවටදැයි පාපොච්චාරණයට පෙර මංජු ශ්‍රී ඝාතනය වන්නේ එය සදාකාලික රහසක් ලෙස පවතින්නය. මේ කතා රහසිගත හා විශ්වාසනීය කොමිසමක් ඉදිරියේ කියන්නට එකී බන්ධනාගාර නිලධාරීන් කැමැත්තෙන් සිටී.
එදින රාත්‍රීයේ බන්ධනාගාරය සංසුන් කළ පසු හමුදා සෙබලුන් සමඟ බන්ධනාගාරය ඇතුළට සිවිල් ඇඳුමින් එන්නේ මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ කවුරුත් දන්නා නිළධාරියෙකි. ඔහුත් සමඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පහරදෙන්න ප්‍රසිද්ධ ඉහළ පොලිස් නිළධාරියෙක් සහ සුදු වෑන් සංස්කෘතියේ කෙරුමෙක්ද එන්නේ නම් ලැයිස්තුවක්ද අතැතිවය. එලි පහලිය ඔවුන් දන්නවා වුවද බන්ධනාගාරයේ අහු මුලු දන්නේ බන්ධනාගාර නිලධාරීන්ය.
නිළධාරීන් සාක්ෂි දෙන්න සූදානම්
එනයින් ඔවුන් බන්ධනාගාර නිළධාරියෙකු කලුවරේම පෙරට ගෙන කියන්නේ ඔවුන් පිටුපසින් පැමිණෙන බවත්,ඔවුන්ට අවශ්‍ය නම් කියවන විට ඒ ඒ රැඳවියන් ඉන්නා වාට්ටු පෙන්වන ලෙසත්ය.අදාල නිලධාරියා විශ්වාසනීය හා රහසිගත කමිටුවක් ඉදිරියේ තමන් ඇසින් දුටු දෑ කියන්න සූදානම්ය. ඔහුට අනුව අදාල නිලධාරීන් තම අත රැදි කොළයේ නම් බලන අතරතුර එතැන නොසිටි යම් ඉහළම නිලධාරියෙකුට "සර් එයාව ගත්ත,සර් මේ කෙනාව තාම හොයනව" ආදී කරුණු කියමින් දුරකථනයෙන් කතා කළ බවද කියති.ඔවුන්ට අණ දුන් ඒ "සර්" කවුද?මේ "සර්" කවුද,ඉදිරි නඩු වලදී පාපොච්චාරණයන් කිරීමට සිටියවුන් ඝාතනය කර සැඟවුණු ගෝඩ් ෆාදර්ලා කවුද?
"ඊට පස්සේ තුෂාර කෝ තුෂාර කෝ කියලා හෙව්වා. පස්සේ වාට්ටුවල නැති නිසා කන්තෝරුවේ තුෂාර ඉන්නවද කියලා බැලූවේ බන්ධනාගාරයේ ......... මහත්තයා. තුෂාර මහත්තුරුන්ට උදව් කරන නිසා කන්තෝරුව ඇතුළේ තියන් ඉදලා පස්සේ ......... මහත්තයා තමයි එළියට ඇවිත් නාකොටික් එකේ ......... මාත්තයට කිව්වේ තුෂාර ඇතුළේ ඉන්නවා කියලා. තුෂාරව එළියට අරන් ඇවිත් Y O සෙල් එක ළගදී මුලින්ම වෙඩි තිව්වේ ........ මහත්තයා."
මේවා කියන්නේ එදා බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය ඇසින් දුටුවෙකුය.
සරත් ෆොන්සෙකා හිටපු තැනදියි වෙඩි තිබ්බේ
"ඔය සිද්දිය වුණ දවසෙ මගේ පුතා රෑ 11ට,11.30ට වගේ මට කතා කළා."අම්මේ හවස මේක ඇතුලෙ යුද්දෙ වගේ,දැන් ඔක්කොම ඉවරයි"කිව්ව.එයා හොඳින් ඉන්නවා කියලා නෝනටයි දරුවටයි කියන්න කිව්වා. මගේ පුතා හිටියේ YO වාට්ටුව ඇතුලේ.ඒ වෙලාවෙ සෙල් එක වහලා කිසිම කරදරයක් නැතුව ඉන්නවා කිව්වා. අපිට හවස කඳුලු ගෑස් ගහපු නිසා ඇස් අරින්න බැරුව මූණට තෙත තුවායක් තියන් ඉන්නවා කිව්වා. පුතාගෙ නෝනයි දරුවයි හිටියෙ අකුරැස්සේ.මම එයාලටත් කතා කරලා පුතා හොඳින් ඉන්නවා කිව්වා.කුඩු වලට පටලවලා මගේ පුතාව හිරේට දැම්මේ නාකොට්ක් එකේ රංගජීව.ඒ නඩුවට විරුද්ධව මම රංගජීවට එරෙහිව මානව හිමිකම් නඩුවක් දාල තිබුණේ.
10වැනිදා උදේ 6.30ට විතර බන්ධනාගාරය ඇතුළෙන් කෝල් කරලා කිව්වා "අම්මේ ඊයේ රෑ රංගජීව ඇතුළට ආවා,හමුදාවත් අරන් ඇවිත් නම් ලිස්ට් එකකට අරගෙන තෝර තෝරා කට්ටියව මැරුවා, අතපත්තුත් අරන් ගිහින් සරත් ෆොන්සේකා හිටපු තැන තණකොල පිට්ටනියෙදි වෙඩි තිව්වා කියල" කිව්වා. හවස පුතාගෙ බොඩි එක පොලිස් මෝචරියෙදි මම බැලුවා. පුතාට වෙඩි 6ක් තියල තිබුණා. පපුවේ මැදට වෙඩි තියපු තැන තණකොළ ගහක් තිබුණා.මට ඒකෙන් ඔප්පු වුණා උදේ පාන්දර කතා කරල කිව්ව දේවල්. ඊට පස්සෙයි ඉන්ටර්නෙට් එකේ තිබුණ මේ ෆොටෝ එක දැක්කෙ මම.
මේකෙ තියෙන්නෙත් පුතා තණකොළ බිස්ස උඩ මරලා තියෙනව. මගේ පුතාගෙ මිනිය දැක්කෙ මම හවස 3.30ට.ඒ වෙලාවෙත් මිනිය දරදඬු වෙලා තිබ්බෙ නෑ.මම පුතාව උස්සද්දි පපුවට වෙඩි තියපු තැනින් ලේ බේරුණා පහළට.ඊට කළින් දවසෙ වෙඩි වැදිලා මැරුණ නම් මගේ පුතා දරදඬු වෙන්න ඕන.ඒත් උදේ වෙනම අරගෙන මරපු මගේ පුතා දරදඬු වෙල තිබුණෙ නෑ. එක කුඩු පැකට් එකක්වත් ලඟ තිබිලා නෙමෙයි මගේ පුතාව අල්ලගෙන ආවෙ. එයා ලඟ කුඩු තිබිලා අහුවුණා නම් මෙහෙම කළත් මම හිත හදාගන්නවා මගේ පුතා වරදකාරයෙක් කියලා.ඒත් මිනිස්සුන්ව මෙහෙම මරා දාන්න පුලුවන්ද?මොකද්ද ඒ නීතිය?ඒක කැලෑ නීතිය නෙමෙයිද? මේවට හිටපු ජනාධිපතිතුමා වගකියන්න ඕනෑ.හිටපු ආරක්ෂක ලේක්ම් ගෝඨාභය වගකියන්න ඕනෑ."මේ නිර්මල අතපත්තුගේ මව වන එස්.කේ මාලිනී මහත්මියගේ චෝදනාවය.
අන්තිමට මැරුවෙ අමිලව
"Y O එකේ ගේට්ටුව ළගදී තමයි නිර්මල අතපත්තුවයි, මාලු සුසන්තවයි මරලා තිබුණේ. ඒ වෙඩි සද්ද දෙක ඇහෙද්දී හරියටම උදේ හතරයි විස්සයි. කන්තෝරුවේ හිටපු අපේ අය ඒ වෙලාවෙදී වෙලාව බලලා තිබුණා. ඒ වෙලාව වෙද්දී A3 එකේ හිටපු අපේ අය එහෙට මෙහෙට හැංගෙන්න දුවලා තිබුණ.
සමහරු L වාට්ටුවෙත් හිටියා. ජයසිංහ මහත්තයා කිව්වා තම තමන්ගේ වාට්ටුවලට යන්න කියලා. ඒ වෙද්දී උදේ හයට විතර ඇති. කොණ්ඩ අමිල කියන එක්කෙනා තවත් හයක් හතක් එක්ක විතර එන්න එද්දී ඒ අයට බිම වාඩි වෙන්න කිව්වා. ඒ වෙලාවෙදී එතනට ආව අජන්ත කියන මහත්තයා කිව්වා ‘‘ආ අමිල උඹ තවම ඉන්නවද, මම හිතුවේ උඹවත් මරලා’’ කියලා කිව්වා. ඊට පස්සේ තමයි නාකොට්ක් එකේ ......... මහත්තයයි, තව ආමි එකේ එක්කෙනෙකුයි කපිලලාට වෙඩි තිබ්බ තැනට අමිලව එක්කන් ගියේ. එතකොට වෙලාව උදේ හයයි තිහට විතර ඇති.
කොහොම හරි එතන හිටපු අනිත් අයත් එක්ක අමිල කියලා තිබුණා මාවත් මරන්නද දන්නෑ මම ගැන අජන්ත මාත්තයා කියන්නේ කියලා. කොහොම හරි අන්තිමට අරන් ගියේ අමිලව. අන්තිම වෙඩි සද්ද ඇහුණෙත් ඒ වෙලාවේ තමයි’’
බන්ධනාගාරයේ එදා සිදු වු සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව එදා අවසානයට ලැයිස්තුව අනුව ඝාතනය වන්නේ කොන්ඩ අමිල හෙවත් මලිත් සමීර පෙරේරාය.
"මගේ පුතා මැගසින් බන්ධනාගාරයේ හිටියේ. ඒකෙ ඉද්දී රැඳවියෙක් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන තිබුණා. ඒ සිද්ධිය නිසා බන්ධනාගාර උසාවියෙන් දවස් 50ක අච්චුවක් දීලා වැලිකඩට මාරු කරලා තිබුණේ. දවස් හතරයි වැලිකඩට ඇවිල්ලා. මගේ පුතා එක්ක වෛරයෙන් හිටියේ බන්ධනාගාරයේ එමිල් රංජනුයි, නාකොට්ක් එකේ රංගජීවයි.
මගේ පුතා මැරුණේ උදේ හයකුත් ගාණකට.රෑ මැරුණේ නෑ. මගේ පුතා මරලා තිබුණේ කට ඇතුලට වෙඩි තියලා.ඔලුවයි මූණයි කඩන් ගිහින් තිබුණා මූණිස්සමට.ඒ තරම් අශිෂ්ට විදියට මගේ පුතාව ඝාතනය කරලා තිබුණේ.අපි මෙතනට ආවෙ වෙන කිසිම දේකට නෙමෙයි. මේවාට කරන්න,මිනී මරන්න අණ දුන්නු අයව නීතිය ඉදිරියට ගේන්න කියන්නයි මෙතනට ආවෙ.අපිට සල්ලිවත් වංදියක්වත් එපා.මේ මිනී මරුවන්ට අධිකරණයෙන් මොනම හෝ දඬුවමක් දෙන්න කියලා ඉල්ලන්නයි ආවෙ.මගේ පුතා රෑ එක වෙනකම් හොඳට කතා කළා"
කොන්ඩ අමිල හෙවත් මලිත් සමීර පෙරේරාගේ මව වන
ජේ.ඒ මර්ලින් මහත්මියගේ හඬය.
ඔන්න උඹේ ගුණ්ඩු යම ලෝකෙට ඇරියා
1997දී රජයයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ 0885 අංක දරණ ජනමාධ්‍යවේදී හැඳුනුම්පත හිමි ජනහඬ පුවත්පතේ එවකට සිටි ජායාරූප මාධ්‍යවේදියා වූ විජය රෝහණ හෙවත් "ගුණ්ඩු" ඝාතනය වන්නේද එදිනය. විජය රෝහණගේ මවට හා පියාට අනුව විජය රෝහණ සිරබත් කන්නේද,ඝාතනය වන්නේද එක්තරා පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයේ ඉහළ නිලධාරියෙකුගේ පුද්ගලික කෝන්තරයකටය.
"රංගජීව මහත්තයා මගේ පුතාගේ බණ දවසේ ගෙදරට ඇවිත් කිව්වා "ඔන්න උඹේ ගුණ්ඩු යම ලෝකෙට ඇරියා"කියලා.මම රංගජීවගේ බඩට තට්ටු කරලා කිව්වා මගේ පුතාව මැරුවේ මහත්තයා කියල මමත් මේ මුලු ගමමත් දන්නවා කියලා.
මගේ පුතාගෙන් පලි ගත්තෙ මම රංගජීවට එරෙහිව නඩුවකට සාක්කි දෙන නිසා.මගේ ගෙදර පිටිපස්සේ කොල්ලෙකුට එයා ගහල මැරුවා.ඒ නඩුව එයාට විරුද්ධව ඔප්පු වෙනවා මගේ සාක්ෂියත් එක්ක.මම කොළඹ අංක දෙකේ උසාවියට ගිහිල්ලා චේම්බර් එකට නැගලා සාක්කි දුන්නා. සාක්කි දීලා ආවට පස්සෙයි මෙහෙම මගේ පුතාව මරා දැම්මේ.මගේ පුතා බීඩියක් සිකරට් එකක් බොන කෙනෙක් නෙමෙයි.එයා බිත්තර තියෙන නිසා කේක්වත් කන්නේ නෑ.පුතා පත්තරේ ඉද්දි රංගජීවගේ ෆොටෝ එකක් එක්ක මොකක්දෝ පළ කළා කියලා තමයි මගේ පුතාට කුඩු දාල හිරේට දැම්මේ.පුතාට අවුරුදු හතලිහ ලැබුවේ හිර ගේ ඇතුලේදී.පිළිකාවක් හැදිලා ඉන්න වයසක මට බොරු කියන්න ඕනෑ නෑ මහත්තයෝ." මොහොමඩ් සිරියාවතී මහත්මියගේ හඬය.
"මම දේශබන්දු යෝග ශාස්ත්‍රී ගුප්ත විද්‍යා සාම සූරී සැම්සන් අල්විස් සාමි, මම විජේ රෝහණගෙ සුලු පියා. මගේ නෝනව කසාද බඳිද්දී විජේ රෝහණට අවුරුදු එකයි. එයා මස් මාලුවත් නොකන කෙනෙක්. ඒත් රංගජීව මහත්තයා එයාව කඩු නඩුවකට ඇතුළට දැම්මා. ඒකට හේතුව මාධ්‍යවේදියෙක් විදියට මගේ පුතා රංගජීව ගැන කරපු හෙළිදරව් කිරීමක් නිසා. පුතාට ඒ නඩුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණා.
පුතාව මැරුවේ රංගජීව මහත්තයා කියලා ඔප්පු වුණේ පුතාගේ හත්දවසෙ බණට ආව වෙලාවෙ. බණට මෙයාලා හතරදෙනෙක් ආවා. රංගජීව මහත්තයා මගේ නෝනට කිව්ව "ඔන්න මම උඹේ පුතා ගුණ්ඩුව යම ලෝකෙට ඇරියා, උඹලා සාක්කි දීලා මාව එල්ලුම්ගස් යවන්න නේද හිටියේ" කියලා. පුතාගෙ ෆොටෝ එකටත් පයින් ගහලා යන්න ගියේ. ඒකෙන් තමයි අපි දැනගත්තේ අපේ පුතාව මැරුවේ රංගජීව මහත්තයා කියලා.
මම අදත් කියනවා රංගජීව මහත්තයව අත්අඩංගුවට අරන්,සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා.එයා එදා රෑ අවිත් කියපු කතාව ඇහුණ සාක්කි හත අටක්ම අපේ ගෙදර තියෙනවා.මම බෞද්ධයෙක්.මම ඉගෙන ගත්ත කෙනෙක්.මැරුණ මනුස්සයෙක් වෙනුවෙන් මට බොරු කියන්න ඕනෑ නෑ.මේ ඝාතන වලට සාධාරණයක් ඉටු කරන්න."
88/89 එහෙම වැඩ කරලා අදටත් දුක් වෙන අය තාම මේක ඇතුළේ ඉන්නවා.
ලැයිස්තුගත පුද්ගලයන්ට අමතරව සීයකට ආසන්න තවත් පිරිසක් මිය ගිය බව දැන් දැන් හෙළිදරව් වෙමින් ඇත.මෘත ශරීර අතුරුදන් කළ නොහැකි රැඳවියන් 27කගේ සිරුරු බන්ධනාගාරය තුළ ඉතිරි වුවද අප්‍රකට,පවුල් වල උදවිය නිතර සොයා නොබලන රැඳවියන්ගේ සිරුරු අතුරුදන්ය.ගෙවුණු කාළය තුළ ඒ අයගේ පවුල්වල උදවිය වැලිකඩට රැඳවියන් බලන්න ආ විට වෙනත් බන්ධනාගාර වලට ඔවුන් යවා ඇති බව කියන්නෝය.නූගත්කමත්,ආර්ථික දුෂ්කරතාත් වලින් පිරුණු ඔවුන් තම බන්ධනාගාරගත ඥාතියා ගැන ඉන් එහාට සොයන්න නොදත්තෝය.අවසන් ගෞරව දක්වන්න මෘත දේහය හෝ ඔවුන්ට අහිමිය.සැලසුම්සහගත මේ ඝාතනය ඒ තරම් කෲරය.
‘‘අපිව මුණින් අතට බුදිකරවලා මූණට ටෝච් අල්ලලා කට්ටියව හොයපු වෙලාවේ අපිට ඇහුණා ඇතුළට ආපු හමුදා වාහන දෙකට මොනවද පටවන සද්දයක්. මම දැක්කා අපේ වාට්ටුව ළග වෙඩි වැදිලා මැරිලා හිටපු කෙනෙක්ව කළු පාට වගේ රෙද්දකින් වහලා ආමි එකේ එක්කෙනෙක් කරතියාගෙන අරන් ගියේ.
අපේ වාට්ටුවල හිටපු ගොඩක් අය අද වෙද්දී අඩුයි. කන්ඩෙම් සෙල්වල හිටපු අය අන්තිමට එහෙම වෙඩි තියලා මැරුවට අපි අපේ ඇස්වලට දැක්කා තුෂාරලා, කපිලලා ඕවට සම්බන්ධ වුණේ නෑ. මාලන්ලා නම් තුවක්කු අරගෙන පිස්සු නැටුවා. ඒ වගේම ලිපි ලේඛන පිච්චුවා කිව්වාට අපේ අය කවුරුවත් එහෙම කළේ නෑ. මොකද 88/89 එහෙම වැඩ කරලා අදටත් දුක් වෙන අය තාම මේක ඇතුළේ ඉන්නවා.
අපේ නඩු වාර්තා නැති වෙනවා කියන්නේ අපිට කවදාවත් ගෙදර යන්න ලැබෙන්නේ නෑ කියන එක. ගේට්ටු පොත ගත්තේ හමුදාව. අපේ අයට ඒවා ගන්න ඕන වුණේ නෑ. පොඩි පොඩි හොරකම්වලට ආව කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ තමයි තුවක්කු අරගෙන පිස්සු නැටුවේ. තුෂාරලා, කපිලලා හොදයි කියනවා නෙමෙයි. ඒත් අයගෙන් වැඩියෙන්ම සැලකිලි ගත්තේ මහත්තුරු. එළිවෙන පාන්දර ලිස්ට් එකට අරන් හොයල මරපු අය එදා ආයුධ අතට ගත්ත අය නෙමෙයි’’
සිරකරුවෝද මනුෂ්‍යයෝ කියා ලිව් තාප්පයට හේත්තු කරලා ඝාතනය කිරීම
සිරකරුවන් සියලූ දෙනාගේම කතාව එකම කතාවකි. තවත් සිරකරුවෙකුට අනුව තමන්ගේ නඩු වාර්තා ඇතුළත් පොත් (ලොකට්) ගණන් කිරීමේදී පුද්ගලයන් නැති පොත් මිටියක් අවසන ඉතිරී වී ඇත. ඒවායෙහි සිරුරුද නැත. ඒවාට සිදු වුණේ කුමක්ද? කෙදිනක හෝ මේවා හෙළි නොවෙතැයි කාටනම් කිව හැකිද?
මේ හිතලු නොවේ.ප්‍රබන්ධද නොවේ. විජාතික දේශද්‍රෝහී කතාද නොවේ.2012 නොවැම්බර් මාසයේ 9වනදා සවස සිට සිට 10වනදා පාන්දර දක්වා වැලිකඩ බන්ධනාගාරයේ සිදූ වූ සත්‍ය කතාවකි. සිරකරුවෝද මනුෂ්‍යයෝ වූ තාප්පය ඇතුළේ සිදු වූ මනුෂ්‍යය ඝාතනයන්ය.මේවා ඇසින් දුටු සිරකරුවන් කීදෑය. පුවත්පත්වලද, උත්තරීතර පාර්ලිමේන්තුවේද හැන්සාඩ් ගත වූ මනුෂ්‍ය ඝාතනය..එදා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ රැඳවියන් බන්ධනාගාරයේ බෙහෙත් ගභඩාව කඩා ඖෂධ බී මත්ව කැරැල්ලක් ඇතිකළ බවය.
මත් වුණි නම් කැරැල්ලක් ඇතිකළ හැකිදැයි නොඅසමු. ආමරිය කඩා යුද්දයක් කළ බව රාජ්‍ය මාධ්‍යයේ සහ හෙන්චයි මාධ්‍ය වල පොල්ගෙඩි අකුරින් පළ කළෝය. පිරිසක් ආමරිය කැඩූ බව සැබෑය.තුවක්කු උස්සා පෙන්නූ බව සැබෑය. ඔවුන්ට එක හෙලාම පරීක්ෂණ පවත්වා රටේ නීතිය අනුව දඬුවම් දිය යුතුය. නමුත් එය කැරැල්ලකි, ඔවුන් දරුණු අපරාදකරුවෝය, ඔවුන් දණ ගස්වා මරා දැමිය යුතුය යන්න සමාජ ගත කළෝය.
සියල්ලම අනේ හොඳයි කීවා මිසක එය කැරැල්ලක් නම් තුවාල වූ වෙඩි වැදුණු එකඳු බන්ධනාගාර නිලධාරියෙකු හෝ එස්ටීෆ් නිලධාරියෙකු සිටීදැයි නොඇසුවෝය. ඒ තරමට සමාජයේ ඔලුව සෝදා ඉහළ කුඩු ගෙන්වන්නන්,අපරාද වල ගෝඩ් ෆාදර්ලා සහ රටේ ඉහළ අයගේ උවමනාවට කෞතුක භාන්ඩ ඉස්සූවෝ ඝාතනය කළෝය. නඩුත් අහවරය.ගෝඩ් ෆාදර්ලාත් නිරුපද්‍රිතය. ඔලුව අල්ලන් යන බන්ධනාගාර නිලධාරීයෙකු පෙන්නා මෙන්න රැඳවියන් කළ අපරාධයැයි කීවෝය.එහෙත් එයද වෙඩි උන්ඩයක් නොව එස්ටීඑෆ් භටයන්ට ඉහළ අනුදැනුම මත එල්ල කරන්නැයි කී කඳුලු ගෑස් ප්‍රහාරයක් නොවේදැයි කිසිවෙක් නොඇසුවෝය.
අද කඳුලු පුරවන් එන්ජීඕ, විජාතික කුමන්ත්‍රණ ගැන කතා කරන මාධ්‍යවේදියෝ කියන්නේ හමුදාවේ කොල්ලන් දං ගෙඩියට යවන්න සිංහල කොටි වැලිකඩ සිද්ධියත් සමඟ කළඑලි බැස ඇති බවකි. ඔවුන් පෙළට තබා වෙඩි තිය යුතු බවත්ය.
ජඩ මාධ්‍යවේදීන්
අසත්‍ය ප්‍රචාරයන් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කිරීම සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යන කරුණු සහ දැනටමත් මහාධිකරණය විසින් විභාග කොට තීරණ ලබා දී තිබෙන නඩුවක කරුණු සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයන් කිරීම මගින් අධිකරණයට අපහාස කිරීම ඇතුලුව ලංකා දණ්ඩ නීතී සංග්‍රහයේ 110, සහ/හෝ ( මහජනයා ලවා හෝ තැනැත්තන් දස දෙනෙකුට වඩා වැඩි ගණනක් ලවා යම් වරදක් කරවීමට අනුබල දීම )සහ/හෝ 113(අ) (යම් වරදක් කිරීමට හෝ ඊට අනුබල ලබා දීම සදහා කුමණ්ත්‍රනය කිරීම)සහ/හෝ,120 (අනදරය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම)සහ/හෝ, 200(සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සැපයීම,සහ/හෝ484(සාමය කඩ කිරීමට තුඩුදෙන ප්‍රකෝපනය කිරීමේ චේතනාවෙන් නින්දා කිරීම)සහ/හෝ 486(සාපරාධී භය ගැන්වීම-තර්ජනය කලේ මරණය,බරපතල තුවාල සිදුකිරීම ආදියට නම්) යන වගත්ති යටතේ අපරාධමය වරදක් බව මේවා කියන මාධ්‍යෙව්දීන් නොදන්නවා විය යුතුය.
ඔවුන් කියන්නේ අලුත් රජයෙන් පත් කළ කමිටුවට සාක්කි දෙන්න දත කන්නේ හිටපු සිංහල කොටි බවකි.කළින් ආණ්ඩුවත් වැලිකඩ ඝාතන සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් දැමූ බව මොවුන්ට අමතකය.රතුපස්වල,හලාවත කටුණායක අමතකය. ඒවා අමතක මාධ්‍ය අධිකරණයකින් නිවැරදි වූවන් සහ වරදකට දඬුවම් විඳ එලියට එන්නන් තවමත් වැරදි කරුවන් ලෙස හන්වඩු ගසති.
එනයින් ඔවුන් වැලිකඩ ඝාතනය කළේ අමනුෂ්‍යන් බව සමාජ ගත කිරීම සරල කාරණාවකි.රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සැකකරුවෙකු යනු නිර්දෝෂී සාමාන්‍ය මනුෂ්‍යයන් යන්නවත් නොදත් මාධ්‍යකරුවන් පුන පුනා මතුරන්නේ එකම කාරණාවකි. මේ නම් එල්ටීටීඊ,විජාතික,ඩොලර් ගිලින එන්ජීඕ කුමන්ත්‍රණක් බවය.මේ මුලාවට රැවටුන පුරවැසියන් සිටි කාළයක් මේ රටේ තිබුණා අපට මතකය.දැන් පුරවැසියා ඊට වඩා දියුණුය.මානුෂවාදීය.
යහපාලනයක් සඳහා බලා ඉන්නා පුරවැසියන් වැලිකඩ ගැන ඇත්ත දැන්ගන්නත්,පාංශුකූලයක් නැතුව වැළලුනු මිනිස්සුන්ට මනුෂ්‍යයන් ලෙස අවසන් බුහුමන් දක්වන්නත් බලා සිටී. සැබෑ යහපාලනයක් ඉටු කරනවා නම් අලුත් රජය පොරොන්දු වූ පරිදි කමිටුව ක්‍රියාත්මක කර සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. ඊටත් වඩා මේ ඝාතන කළේ කුමක් වසන් කරන්නද,ඒවාට අණ දුන්නේ කවුද යන්නත් ඔවුන් අධිකරණයේදී දකින්නත් සබුද්ධික පුරවැසියන් නොඉවසුම්ය.
කසුන් පුස්සෙවෙල