අතීතයෙන් පාඩම් ඉගෙන නොගන්නේ නම් අනාගතය අඳුරු ය...? Featured

Saturday, 10 January 2015 18:30

අභිනව ජනාධිපතිවරයා දිව්රුම් දී තවම විසිහතර පැයකි. එහෙත් පැරණි ක්‍රමය ම ක්‍රියාත්මක වෙමින් පවතී. විශේෂයෙන් ම රාජ්‍යය මාධ්‍යය ආයතන විසින් සම්පාදනය කරනු ලබන වැඩසටහන් දෙස විමසිලිමත් වීමේ දී මෙය දක්නට හැකි ය.


ඊයේ අපර භාගය එලඹීමට මොහොතකට පෙර දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ විවිධ මඩ ප්‍රචාර දියත් කළ ස්වාධීන රුපවාහිනී සේවය සහ ජාතික රූපවාහිනී සේවය කඩිනමින් ම අභිනව ජනාධිපතිතුමාගේ ජීවිත කතාව අළලා වාර්තා චිත්‍රපටයක් නිපදවා ඇත. එය නරක නැත. එහෙත් දක්නට ලැබෙන ගැටලුව වන්නේ මෙතරම් කඩිනමින් වාර්තා චිත්‍රපටයක් නිපදවිය හැකි ද යන්න ය.

මෙය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සක් සුදක් සේ පැහැදිලිව දක්නට ලැබුණු හෙයින් පෙර සිට ම සූදානම් කොට තිබුණේ ද? එසේ සූදානම් කොට තිබුණේ නම් ඒ සඳහා මූලික වූයේ කවුද? ඔවුන් කඩිනමින් ම මෛත්‍රී ගුණ වගාකරන්නට පෙලඹෙන්නේ මන්ද යන්න සිහි බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතු ය.

රාජ්‍යය මාධ්‍යය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ දිනපතා ප්‍රධාන පුවත්පත වන ‘‘දිනමිණ’’ පුවත්පතේ සැකැස්ම සහ එහි කතුවැකිය කියවීමේ දී ද මේ බව පැහැදිලි වේ. අදාළ පුවත්පත්වල සේවය කළ ප්‍රධාන කර්තෘවරුන්, සම කර්තෘවරුන් පලා ගිය විට එහි බලය අත්පත් කරගත්තේ කවුරුන් ද? ඔවුන් අදාළ පුවත්පත්වල කතුවරුන් හෝ සම කතුවරුන් ලෙස නිල වශයෙන් පත්කළ අය ද? එසේ පත්කළේ නම් අදාළ පත්වීම් ලබා දුන්නේ කවුරුන් විසින් ද? මන් ද මේ වන විට ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ද යළි ලේක්හවුස් ආයතනය වෙත පැමිණේ යැයි විශ්වාස කළ නොහැකි ය. ඒ ඔහු ඇතුළු මහින්ද රාජපක්ෂවාදීන් විරුද්ධවාදීන් යැයි උපකල්පනය කළ සේවක සේවිකාවන්ට සැලකූ අන්දම සිහිපත් වන බැවිනි.

ලේක්හවුස් ආයතනයේ අතීත සිදුවීම් පිළිබඳ අපට අමතක නැත. හැත්තෑ හතේ බලයට පත්වූවන් එවකට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සේවයට පැමිණි පසු කොළපාට සායම්වලින් නැහැවූ අතර නැවතත් අනු හතර වසරේ බලයට පත්වූවන් එහි සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් නිල් වතුරෙන් නැහැව්වේ ය. එම සිද්ධි මතකයේ තිබෙන කිසිඳු රාජපක්ෂවාදියෙක් බියකින් සැකයකින් තොරව නැවතත් එම ආයතනයට පිවිසේ යැයි විශ්වාස කළ නොහැකි ය. නමුත් මෛත්‍රී යුගය ඇරඹීමත් සමග ම සිදුවිය යුත්තේ එය ද?

මේ සඳහා කදිම ආදර්ශයක් ඛනිජ තල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපතිතුමා විසින් සපයන ලදි. එනම් ඔහු ප්‍රසිද්ධ මාධ්‍යය හරහා සංස්ථාවේ සේවක සේවිකාවන් අමතා ප්‍රකාශ කළේ කිසිඳු සේවකයකුට හෝ සේවිකාවකට හිංසාවක් පීඩාවක් නොවන්නට තමන් වගබලා ගන්නා බවයි. සැබැවින් ම මේ මොහොතේ සිදු විය යුත්තේ එය යි. එහෙත් අනෙක් රාජ්‍යය මාධ්‍යය ආයතන තුළ එවන් තත්ත්වයක් පවතින්නේ ද යන්න මේ වන විට සැක මතුවෙමින් පවතී.

බෙහෝ විට මෙම මාධ්‍යය ආයතනවල කර්තෘ ඉවත් වූ විට නියෝජ්‍යය කර්තෘ කර්තෘ ධුරයට පත්විය යුතුව තිබුණ ද එසේ සිදු නොවී බලයට කැදරකමින් සිටි පුද්ගලයකු අතට එකී බලය පොලා පැන්නේ නම් එහි දී සිදුවන්නේ මහත් ව්‍යසනයකි. දිනමිණ කතුවැකියේ සඳහන් අන්දමට මෙතෙක් පැවති දූෂිත පවුල්වාදය පෙරළා දමා නව පාලන ක්‍රමයක් ස්ථාපනය වී ඇත. එහෙත් මේ ලියන කතුවරයා යළි යළිත් ක්‍රියාවේ යොදවා ඇත්තේ පෙර ක්‍රමය ම ය. මොහු කවුද යන්න රටට හෙළිදරව් වී නැත.

රූපවාහිනි ආයතනයේ ද පුද්ගලයන් වෙනස් වුව ද ආකල්ප වෙනසක් ඇති වී තිබෙනු දක්නට නොලැබේ. අද ‘‘ශනිදා ආයුබෝවන්’’ වැඩ සටහන තුළින් ඒ බව මැනවින් පැහැදිලි විය. එහි කලාව පිළිබඳ පැවති සාකච්ඡාවට කැඳවා තිබුණේ: ප්‍රවීණ පරිවර්ථක ගාමිණී වියන්ගොඩ, ප්‍රවීණ රංගවේදී ඩබ්ලියු ජයසිරි සහ ප්‍රවීණ නාට්‍ය වේදී සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල යන කලාකරුවෝ ය.

පසුගිය දිනවල ඔවුන් මහින්ද රාජපක්ෂගේ දූෂිත පාලනයට එරෙහිව වැදගත් කාර්යය භාරයක් කළ බව සැබෑ ය. එහෙත් අද දිනයේ සිට නැවතත් රුපවාහිනිය අරක්ගන්නේ ඒ පිරිස පමණක් නම් වෙනස් වී ඇත්තේ කුමක් ද? පුද්ගලයන් පමණක් නොවේ ද? පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් යහපත් කලාවක් හෝ යහපත් මාධ්‍යය සංස් කෘතියක් බිහිවේ ද? අදාළ වැඩසටහන් නිෂ්පාදකයා/යන් කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂවාදි පිලේ සිටි කලාකරුවකු හෝ දෙදෙනෙකු ද එම වේදිකාවට රැගෙන ඒම ය. එවිට ඔවුන්ගේ අදහස් ද, ඒ අදහස්වලට ප්‍රතිවාදි අදහස් ද ප්‍රේක්ෂක ජනතාවට නරඹන්ට, අසන්නට ඉඩ තිබිණ. ඔවුන් අපට නිදහස නුදුන් ද අප ඔවුන්ට නිදහස ලබා දිය යුතු ය. නොඑසේ නම් සිදුවන්නේ ගාමිණී වියන්ගොඩ මහතා කී පරිදි ම නැවතත් වෙනත් ආණ්ඩුවක් බලයට පත්වෙන තුරු පෙර කි කලාකරුවන්ට මාධ්‍යය තුළ ඉඩක් නොමැති වීම ය.

අභිනව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවේචනයට ලක් කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිෂ්පාදනය කළ ‘‘රිතූ’’ ටෙලිනාට්‍යය තහනමට ලක් කරමින් දිල්හානි අසෝකමාලා රඟන ‘‘දේවිය සුගලා’’ නාට්‍යය විකාශනය කිරීමට සුදානම් වන බවදට ද ආරංචි පැතිර යමින් තිබේ. එහි දී ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ ද...? ‘‘දේවිය සුගලා’’ විකාශනය විය යුතු ය. ඒ පිළිබඳ තර්කයක් නොමැ. එහෙත් ‘‘රිතූ’’ තහනම් කළ යුතු ද? රිතූ නැරඹූ පමණින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බලයෙන් පහකළ යුතු යැයි රටවැසියෝ පවසති ද? මෙවැනි ක්‍රියාදාමයන් තුළින් ප්‍රකට කරන්නේ කුමක් ද? එදා මෙන් ම ඉදිරියට ද පාලකයා විවේචනයට ලක් කරන කලා නිර්මාණ වාරණය කරන බව නෙවන්නේ ද? එය මෛත්‍රී යුගයකට කෙසේ නම් ගැලපේ ද...?

බලයේ සිටින්නා බලයෙන් පහ කිරීමට ජනතාව පෙලඹෙන්නේ ද ඉහත කී කාරණා මුල් කොට ගෙන ය. එනම් වරප්‍රසාදලාභීන් පිරිසක් පමණක් තමන්ගේ නිර්මාණ සහ අදහස් සමාජ ගතකරමින් අන් අයට ඉඩ නොසැලසීම ය. පෘතග්ජනයන් වන අප බලයට කැදර බව සැබැවකි. එහෙත් තේරුම් ගත යුතු යථාර්ථය නම් අනෙකා ද එලෙස ම බලයට කැදර බව ය; තමන් බලය අයුතු ලෙස ක්‍රියාවේ යොදවන විට අවස්ථාව ලද විගස අනෙකා බලය ඩැහැගන්නා බව ය. එහෙයින් කළ යුත්තේ බලය අයුතු ලෙස භාවිතා නොකොට යුතු ලෙස භාවිතා කිරිම ය.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ වීමටත් පෙර උද්දාමයට පත් පිරිසක් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රිවරයකු රථයකට යට කිරීමට ගිය මොහොතක දී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු එම රථයට යටවී මිය ගිය පුවතක් අද (10) ලංකාදීප පුවත්පත වාර්තා කරයි. අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද එහි සඳහන් වේ. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් මාධ්‍යය අමතා පවසා සිටියේ කිසිඳු පුද්ගලයකුට හිරිහැර කිරීමෙන් වළකින ලෙස ය. එහෙත් ඒ උණුසුම පහව යන්නට මත්තෙන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් වාර්තාවීම අනුමත කළ නොහැකි ය.

අපි එලඹෙන හැම මොහොතක ම පාඩම් ඉගෙන ගතයුත්තේ ඉතිහාසයෙනි. අනාගතය සාර්ථක කරගත හැකිවන්නේ එවිට ය. එසේ නම් නව යුගයකට අවතීර්ණව ඇති අපි සැවොම ඉතිහාසයෙන් පාඩම් උගත යුතු ය. එසේ ඉගෙනගන්නා පාඩම් තුළින් අනාගතය සුරක්ෂිත කරගත යුතු ය. එසේ නොවන්නේ නම් තවත් වසර හයකින් හෝ දොළසකින් පසු නැවතත් අපට ‘මෛත්‍රී යුගයක් අවැසි යැයි’ කියමින් වීදි බසින්නට සිදුවනු නියත ය.

 

ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Saturday, 10 January 2015 20:47

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us