ඒත් තවමත් දුප්පත්කම විසඳිය යුතු අභියෝගයක් විදිහට තියෙනවා. බොහෝ වෙලාවට දුප්පත්කම තුරන් කිරීමේ විසඳුම විදිහට යෝජනා වුණෙත් ක්‍රියාත්මක වුණෙත් දුප්පත් ජනතාවට මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දීම ගැන. අදටත් ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන සිය ගණනින් වැය කරනවා. විශේෂයෙන්ම පසුගිය කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය නිසා දුප්පත් කම වැඩිවීම වැනි අමතර ප්‍රශ්න ගණනාවකට රජය මුහුණ දුන්නා. මේ නිසා ලබා දෙන සහනාධාර ප්‍රමාණයන් වැඩි කරන්න සිදු වුණා.
ඒත් දුප්පත්කම තුරන් කිරීමේදී එකම විසඳුම මුල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ලබා දීම නෙවෙයි. එවැනි ආධාර අත්‍යවශ්‍ය පිරිසක් නිසැකවම සිටියත් ගැටලුවට වඩා නිවැරදි විසඳුම වෙන්නෙ ඒක නෙවෙයි.
සාමාන්‍යයෙන් අපි දුප්පත්කම ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. එකක් ව්‍යුහාත්මක දුප්පත්කම. ඒ කියන්නේ රටේ පවතින ක්‍රම පද්ධතියේ දුර්වලතා නිසා ඇතිවෙන දුප්පත් කම. ඒකට විසඳුම් ගණනාවක් තිබෙනවා. අනෙක නිධන්ගත දුප්පත්කම. ඒක වෙනස් කිරීම අපහසු තත්වයක්. එයට තිබෙන එකම විසඳුම මුල්‍ය ආධාර ආදිය ලබා දීම මඟින් එම පිරිස් රැක බලා ගැනීම. සාමාන්‍යයෙන් මේ රටේ සියයට හය හතක පමණ ජනතාවක් එම කොටසට අයත් වෙනවා.
දුප්පත් කමට ගොදුරු වුණු බහුතරයේ ගැටලුව ව්‍යුහාත්මක සංවර්ධනයේ අඩුපාඩු නිසා ඇති වුණු දෙයක් විදිහට හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිරිසගේ ආර්ථික හැකියාවන් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාවන් විවෘත කරන්න ඕන. ඒ සඳහා මානව ධාරිතා සංවර්ධනය විය යුතුයි.
ඕනම රටක දුප්පත්කම තුරන් කිරීම සඳහා වන ප්‍රධානම අවිය වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් පුරවැසියාගේ ධාරිතා සංවර්ධනය කිරීමයි වෙන්නේ. අධ්‍යාපනය තමයි තොරතුරු සහ සංවර්ධනය වෙත ප්‍රවේශ වීම සඳහා යතුර වෙන්නේ. ලංකාව නිදහස ලබන කාලයේ මේ කලාපය තුළ ජපානයට පමණක් දෙවැනිව ආර්ථික වශයෙන් ශක්තිමත්ම රාජ්‍යය බවට පත්ව සිටියා. නමුත් මානව සංවර්ධනය පැත්තෙන් ඉහළ සංවර්ධනයක් අත්පත් කරගන්න සමත් වෙලා තිබුණේ නැහැ. මේ නිසා රට සංවර්ධනය සඳහා සූදානම් කිරීමේ දී අධ්‍යාපනය සඳහා සමාජයේ සියලු පුරවැසියන්ට ප්‍රවේශ වීමේ හැකියාව, සමාන අවස්ථාවන් සකසා දීම මුලික වුණා. 1942 නිදහස් අධ්‍යාපන පනත ගෙන ඒම, පාසල් හා විශ්වවිද්‍යාල බිහි කිරීම වැනි ක්‍රියාමාර්ග ගත්තා. පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නීති පවා ගෙනාවා.
ජපානය වගේ රටක් ගත්තොත් එහි දියුණුවේ රහස වුණේ ඉහළ අධ්‍යාපනයක් සෑම සියලු දෙනාටම ලබා දීමට ගත් පියවරය. 1867 දී විතර ජපානය පාලනය කළ මෙයිජි නායකයන් අධ්‍යාපනයේ සම අවස්ථා සහතික කරලා විශාල නවීකරණයකට ගියා. එයාල ලෝකයේම දැනුම රට තුළට ගෙනාවා. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපන ආයතන පද්ධති හැදුවා. 1900 වගේ කාලය වන විට ලෝකයේ මානව දර්ශක අනුව අංක එකට ජපානය පත් වෙන්නේ මේ අධ්‍යාපනය තුළින් ලත් ප්‍රතිඵලය නිසා. මේ කාලයේ බි්‍රතාන්‍යය පවා සිටියේ ජපානයට වඩා පහළ තැනක. ජපානයේ වත්මන් දියුණුවේ පදනම සැකසුනේ මේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ නිසා.
ඒත් අද දියුණු සංවර්ධිත රටවල් පවා තමන්ගේ පුරවැසියාට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීමේ ගැටලුවක සිරව සිටිනවා. අද ඇමරිකාව ගත්තොත් ඒ ප්‍රශ්නය තරමක් බරපතලයි. අඩු ආදායම් ලබන අයට අධ්‍යාපනයේ වියදම දරාගැනීමේ අපහසුව නිසා ඔවුන් එය අත්හරිනවා.
අපේ රට මේ තරම් නරක තැනක නැහැ. ඒත් අලුත් තත්වයන් සමඟ අපි නවීකරණය විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ප්‍රමාද වෙලා තියෙනවා. රජය මේ සඳහා දැන් උත්සාහයක් ගනිමින් තියෙනවා.
මේ වගේම තමයි සෞඛ්‍ය සේවයත්. සෑම පුරවැසියකුටම නොමිලයේ සෞඛ්‍ය සේවා පහසුකම් ලබා දෙමින් තිබෙනවා. තවත් සුළු අඩුපාඩුකම් තිබුණ වුවත් නිදහසෙන් පසු සෑම රජයක්ම මේ සේවාව දියුණු කළා. දුප්පත්කම තුරන් කිරීමේ දී සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යෑමේ හැකියාව පුරවැසියාට ලබා දිය යුතුයි.
මේ වගේ තවත් ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා ධාරිතා සංවර්ධනය විය යුතු. දැන් කාන්තාවන් සඳහා ශ්‍රම සහභාගිත්වය වැඩි කිරීම ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ආසියානු කලාපය තුළ තිබෙන තත්වයක් තමයි කාන්තාවන් රැකියා හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වීමේ අඩුව. අද කාන්තාවන්ට බොහෝ විට පැවැරෙන රාජකාරිය වෙන්නේ ගෙදර දොර වැඩ, දරුවන් සහ වැඩිහිටියන් බලා කියා ගැනීම. මේ නිසා ඔවුන්ට ශ්‍රම වෙළඳපොළට ඇතුලත් වීමේ අවස්ථා සීමා වෙනවා. ඒ වගේම නිපුණතාවයන් අත්පත් කරගැනීමේ අවස්ථා අඩුයි. මේක විසඳගන්න නම් ගෙදර දොර ප්‍රශ්න ටිකට විසඳුම් ඕන වෙනවා. දිවා කාලයේ දී දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි.
ඊ ළඟට මේ රටේ ශ්‍රමිකයන් ගැන බැලුවොත් සියයට 60 ක් විතර අයත් වෙන්නේ අවිධිමත් රැකියා කරන කොටසට. රටේ ඇතිවෙන ආර්ථික අර්බුදයක් වසංගතයක් වැනි තත්වයක් තුළ මුලින්ම පීඩාවට පත් වෙන්නේ මේ පිරිස. ඔවුන් රැකියා අහිමි වීම්, වැටුප් කප්පාදු වීම් වලට අසු වෙනවා. ආදායම් අහිමි වෙනවා. නමුත් මේ අයගේ මුල්‍ය වගකීම් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක දී විධිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් නොතිබුණොත් මේ අය දුප්පතුන්ගේ තීරුවට ඇද වැටෙනවා.
මේ රටේ සමාජ ආරක්ෂණයට දිගු ඉතිහාසයක් තියෙනවා. මෑත කාලයේ ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම වගේ වැඩ සටහන වලින් කළේ දුප්පත්භාවයට පත් පිරිස නඟා සිටුවන්න උදව් කිරීම. නමුත් බොහෝ විට දකින්න ලැබුණ දේ තමයි ජනතාව යැපුම් මානසිකත්වයට ගොදුරු වීම. ඔවුන් අවුරුදු ගණන් රාජ්‍ය ආධාර මත යැපෙන්නන් බවට පත්ව සිටිනවා. එවැනි තත්වයකින් දුප්පත් කම තුරන් වෙන්නේ නැහැ, මේ යැපුම් මානසිකත්වයෙන් මේ අයව මුදාගෙන, පුරවැසි මානසිකත්වයට ගෙන ආ යුතුය. එනම් ඔවුනුත් මේ රටේ ආර්ථිකයේ කොටස්කාරයන් බව ඒත්තු ගන්වල මේ ආර්ථික යාන්ත්‍රණයට ඇතුළත් කරගත යුතුයි. සහනාධාර වැඩ පිළිවෙල වල අරමුණ වෙන්න ඕන ඒක.
මේ රටේ දේශපාලනික දුප්පත්කමකුත් තියෙනවා. මැතිවරණ දේශපාලනයට පැමිණිමේ අවස්ථාව තරුණයන්ට කාන්තාවන්ට වැඩි කරලා නීති සම්මත කරලා තියෙන්නේ මේ දේශපාලනික දුප්පත්කම අඩු කරන්න. සමානුපාතික ඡන්ද ක්‍රමය ඇති කිරීමත් සිදු වුණේ ඒ වෙනුවෙන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක සියළු දෙනාටම දේශපාලනික නිදහස තහවුරු කරන්නේ නැතිව ආර්ථිකය ගොඩනගන්න බැහැ.
මේ සටහනෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වුණේ දුප්පත්කම තුරන් කිරීම කියන දෙය බහුමානි දෙයක් බවයි. විවිධ අංශ වල ධාරිතා වර්ධනය කරගැනීම දුප්පත්කම තුරන් කිරීම සඳහා වන සාර්ථකම ක්‍රමවේදයයි. කිසිම රටක් මුදල් ආධාර ලබා දී දුප්පත්කම තුරන් කරල නැහැ.
දේශපාලනයේ දී සහනාධාර ලබා දීම වැනි ජනප්‍රිය පොරොන්දු දෙන්න පුලුවන් එමඟින් දුප්පත් කම නැති කරනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මේක ඊට වඩා සංකීර්ණ පුළුල් වැඩ සටහනක් බව තේරුම් ගත යුතුයි.
- සාගල රත්නායක
මතාන්තරය
ඉරිදා ලංකාදීප
11-08-2024