ඔබ ගැන කියන්න කැමති හොඳම හැඳින්වීම කුමක්ද…
මං පොළොවෙ පය ගහල ඉන්න මිනිහෙක්. බොහොම සරල මනුස්සයෙක්. ඒ නිසා ම සැහැල්ලුවෙන් ජීවත් වන කෙනෙක්.“
ලෝකයට නොපෙනෙන ඔබ තුළ සිටින මනුෂ්‍යයා කෙබඳුද..
මම නිතරම විශ්වාස කරන දේ තමයි ජීවිතය කියන්නෙ කාමර වෙන් කරලා ගතකරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඒ වෙලාවට විවිධ භූමිකා තියෙනවා. ඒවා හරියට කරන්න ඕනේ. එච්චරයි. ඒ ඒ භූමිකා සමඟ නොපෑහෙන විදියට ජීවත් විම හරිම සංකීර්ණයි. පුළුවන් තරම් විවෘත ව ජීවත් වීම තමා මගේ ප්‍රතිපත්තිය. මම හරිම තෘප්තියෙන් ජීවත් වන කෙනෙක්.මට තියන වටිනාම දේ තමයි ජීවිතය.
ජීවිතය කියන්නේ උපත සහ විපත අතර කාල පරිච්ඡේදයයි. එහෙම නම් ජීවිතය කියන්නේ කාලය නේ. මේ මොහොතේ වියදම් කරගෙන මම යමක් කරනවා නම් ඒක උපරිම හොඳින් කරන එකයි මගේ සිරිත.
උසස් පෙළ අසමත් වීම පරාජයක් නෙවෙයි කියන්න ඔබ හොඳම ආදර්ශයක්…
මම උසස් පෙළ අසමත් වෙන්නේ 76 නැත්නම් 77. ඒ කාලෙ මේ තරම් විශාල පිරිසක් උසස් පෙළ සමත් වෙන්නෙත් නැහැ. වැඩ හතරයි. වැඩ හතරටම ඒ සාමාර්ථ ගන්න අය හිටියේ ඉතාම කලාතුරකින්. ඒ නිසා මෙතරම් තරගයක් තිබුණෙත් නැහැ. ප්‍රතිඵලය වැඩ හතරම ෆේල්. මුලින්ම හිතුණා වෙන්න බැහැ කියලා. ඊළඟට ඇති වුණේ ලැජ්ජාවක්. ඒත් ගෙදර ගියාම අම්මයි තාත්තයි පුදුමාකාර ශක්තියක් වුණා.
“අපි ඊළඟ පාර තවත් හොඳට උත්සාහ කරමු…” දෙන්නම කිව්වා.
ඒ නිසා තමා මට දෙවැනි පාර කරන්න හිත හදා ගන්න පුළුවන් වුණේ. නමුත් එවරත් මට විශ්වවිද්‍යාල යන්න තරම් ලකුණු මදි වුණා. තුන්වැනි පාර විභාගය ලිව්වට පස්සේ මම තීරණය කළා තව දුරටත් ගෙදරට බරක් වෙන්නෙ නැහැ කියලා.
ඔබ විභාගවලට මුහුණදුන් ක්‍රමවේදය මොකක්ද?
පාසල් සමයේ මම එතරම් දක්ෂයෙක් නෙවෙයි. මම ඉගෙන ගන්න පටන් ගත්තේ රැකියාව කරන අතරතුර. ඒ බොහෝ දේ මගේ වෘත්තියට අදාළ නිසා පාසල් සමයේ ඉගෙන ගන්නවාට වඩා වෙනස් ඉගෙනුමක් ඒක.
එහිදී වැදගත් වුණේ අවබෝධ කර ගැනීම සහ ප්‍රායෝගික භාවිතය. එය මගේ රැකියාවට එහා ගිය දෙයක් වුවත්, මම සෑම විටම ඉගෙන ගත් දේ රැකියාව කරන ආයතනයට ප්‍රායෝගිකව බද්ධ කරන්න උත්සාහ කළා. ඒ නිසා විභාග සමත් වීම ගැන උපදෙස් දෙන්න මම සුදුසු නැහැ.
මම විභාග අසමත් වුණේ; පංචනීවරණ නිසා කියා පසු කාලයේ හඳුනා ගත්තා.
ඔබේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිඵල මොනවාද….
සාමන්‍ය පෙළ වැඩ 6යි සම්මාන 5යි. ඉතිරි සම්මානය උසස් පෙළ කරන අතර තුර ගත්තේ.
උසස් පෙළ පළමුවර වැඩ හතරම ෆේල්. දෙවැනි වර එස් හතරයි. නමුත් අද මම එංගලන්තයේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙක්. ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිධරයෙක්. ජාත්‍යන්තර නායකත්ව සහතික ලත් පුහුණුකරුවෙක්. සිංගප්පූරු ජාතික සරසවියේ ආසියානු තාක්ෂණ ආයතනයේ සහ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ සියල්ල ලැබුණේ මම රැකියාව කළ ඊගල් රක්ෂණ සමාගම නිසා.
ඔබට අනුව, විභාග කියන්නේ ජීවිතයේ සියල්ල තීරණය කරන සාධකයක් ද…
විභාග වර්ග දෙකක් තියෙනවා. එකක් තමන්ගේ ප්‍රවීණත්වය සහතික කිරීමට. තවත් වර්ගයක් තියෙනවා, තිබෙන සුළු අවස්ථා සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට. සමහර විට ඒ දෙවර්ගයම තීරණාත්මක වන්න පුළුවන්.
රියදුරු බලපත්‍රය ලබා ගැනීම, වෛද්‍ය වෘත්තිකයෙක් ලෙස කටයුතු කිරීම වගේ දෙයකදී විභාගය අසමත් වුණොත් එම අවස්ථාව මඟහැරී යනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයත් ඒ වගෙයි. නමුත් උසස් පෙළ සමත් වීම ප්‍රවීණත්වය ගැන සහතිකයක් ද වනවා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ, කිසිවිටෙකත් අනාගතය වර්තමානයේ ම දිගුවක් කියා. අනාගතය වෙනස් කර ගන්න පුළුවන්.
වැදගත් වන්නේ ජීවිතයට දැක්මක් තිබීමයි. මෙය අරමුණකට වඩා වෙනස්. කෙනෙක් වෛද්‍යවරයකු විය යුත්තේ ම මිනිසුන් හෝ සතුන් සුවපත් කිරීමටයි. එසේ නැතුව සමාජ පිළිගැනීම ලබා ගැනීමට හෝ මුදල් හම්බ කිරීමට උපකාර වන නිසා නෙවෙයි.
මිනිසුන් සුවපත් කිරීම නම් අරමුණ, අවස්ථා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. රජයේ බටහිර වෛද්‍ය විද්‍යාලය මඟ හැරුණොත් ආයුර්වේද වෙද විදුහල, එහෙම නැතිනම් වෛකල්පික වෛද්‍ය ක්‍රම, එහෙමත් නැතිනම් දේශීය වෙදකම, ඒත් නැතිනම් ඉංජිනේරුවෙක් වී වෛද්‍ය උපකරණ නිර්මාණය කරමින්, පරිගණක විශේෂඥයකු වී රෝග නිර්ණය, ප්‍රතිකාර වැනි අංශවලින් මිනිසුන් සුවපත් කරන්න පුළුවන්, රසායනික විද්‍යාඥයකු වී බෙහෙත් සොයා ගන්න පුළුවන්, නීතිඥයකු වී රෝගී අයිතිවාසිකම් සුරකින්න පුළුවන්, යූ ටියුබර් කෙනෙක් වී සුවපත් වීම ගැන මිනිසුන් දැනුම්වත් කරන්න පුළුවන්, කලාකරුවෙක් වී සිත් සුවපත් කරන්න පුළුවන්. මේ සියල්ලට අමතර ව තව අවස්ථා ගණනාවක් හෙද ක්ෂේත්‍රයේම වුණත් හොයා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ව්‍යාපාරයක් ආරම්භ කර රෝහලක් නිර්මාණය කරන්න පුළුවන්.
වඩා අවශ්‍ය වන්නේ මෙවන් ශක්‍යතාවන් මවා ගන්න පුළුවන් විශාල මනසක් ගොඩනඟා ගැනීමයි. අරමුණු ඒ විශාල චිත්‍රයට යාමට ඇති මඟ සලකුණු පමණයි. විභාග සමත් වූවත් අසමත් වූවත් අප දරුවන්ගේ සිත් තුළ ජනනය කළ යුත්තේ එවන් විශාල දැක්මක්.
විභාග සමත් වීමට දෙවියන් ගෙන් ගත හැකි දෙයක් තිබේ ද…
දෙවියන් උදව් කරන්නේ හොඳින් සූදානම් වුණ ශිෂ්‍යයන්ට විතරයි. වඩාත්ම වැදගත් වන්නේ ආත්ම විශ්වාසය. එයට අමතරව ආශීර්වාදයක් ලබා ගන්නා එක තමන්ගේ වැඩක්.
ඔබ අරමුණක් ඇති කර ගත්තේ කවදා ද… එයට බලපෑ ආසන්නතම සිදුවීම කුමක්ද…
මම සෑම විටම ලොකු හීන දකින කෙනෙක්. මා වැඩ කළ ආයතන ගැන, රට ගැන. ඒ වගේම කරන හැම දෙයක් ම පුදුමාකාර උනන්දුවකින් මම කරන්නේ. ඒ වගේම ලැබෙන ඕනෑම අවස්ථාවක් සුබ දෙයක් ලෙස භාර ගන්න එකයි, මගෙ පුරුද්ද. ඒ හැරුණාම අසවල් කාලේ අස්වල් තැනට එනවා කියා මම හිතුවේ නැහැ.මගේ උදෘත පාඨය වන්නේ ‘මගේ අද දවස ඊයේ ප්‍රතිඵලයක්. මගේ හෙට දවස අද මා කරන දෙයෙහි ප්‍රතිඵලයක්…’ අද මම කරන දේ මට හැකි උපරිමයෙන් කරන නිසා මගේ හෙට දවස වඩා හොඳ වන බව මට විශ්වාසයි.
නව යෞවන තරුණයෙක් විදියට ඔබට තිබුණු හීන සහ බලාපොරොත්තු මොනවාද…
තරුණයෙක් ලෙස බොහෝදෙනකුට ප්‍රයෝජනවත් වන්න පුළුවන්, මට මා ගැන සතුටු වන්න පුළුවන් ධාර්මික ජීවිතයක් ගෙවන්නයි ඒ කාලෙත් මට වුවමනා වුණේ. අත්ති සුඛ බෝග සුඛ, අනන සුඛ අනවජ්ජ සුඛ යන හතරේ වටිනාකම මම තරුණ කාලයේ ම අවබෝධ කර ගත්තා. සමහර විට අපේ ගෙවල්වල සරල ජීවන රටාවත් ඊට බලපාන්න ඇති.
ඔබේ පළමු රස්සාව මොකක්ද; පළමු වැටුප කීයද….?
ඒ කාලේ මේ වගේ රැකියාවල් සුලභ නැහැ. පත්තරයේ තිබෙන සියලුම වෙළෙඳ දැන්වීම්වලට අදාළ ආයතනවලට අතින් ලියන ලද අයදුම්පත් යැව්වා. සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගිහින් බිල් ලියන ලිපිකරුවකු ගේ රැකියාවකට බැඳුණා. ඒ රුපියල් 385 ක මාසික වැටුපකට. ඒ ගමන් තනිවම ඇමෙරිකාවට යන්න උත්සාහ කළා. ඒ අතරවාරයේ මගේ තාත්තා මිය ගියා. ඒ නිසා රැකියාව කරන ගමන් අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාවට ඉගෙන ගත්තා. පළමු රැකියාවට විතරයි මම ඉල්ලුම් කළේ. අනික් සියලුම අවස්ථා මගේ වැඩ නිසා මට ලැබුණු දේවල්.
බොහෝ මිනිසුන් කියන කරන දෑ ඔවුන්ගේ ජීවිතවල නැහැ. ඔබ ගෙවන්නේ සැබෑ ප්‍රතිපත්තිමය ජීවිතයක් ද…?
මම ව්‍යාපාර කළමනාකරණ වෘත්තිකයෙක්. මගේ මූලික පරිචය අලෙවි කළමනාකරණයයි. පසුව මානව සම්පත් කළමනාකරණයත්, ඉනික්බිතිව උපාය මාර්ගික ව්‍යාපාර පරිපාලනයත් සමඟ ව්‍යාපාරවලට නායකත්වය දෙන තත්ත්වයට පත් වූ කෙනෙක්. මම මේ වන විට සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ඉහළ කළමනාකාර තනතුරුවලට අවශ්‍ය මඟ පෙන්වීම් කරනවා. ඒ යටතේ තමයි නායකත්ව පුහුණු කිරීම් සිදු කරන්නේ. මාව සාම්ප්‍රදායික ව්‍යාපාරික නායකයෙක්ගේ ආකෘතියට නම් ගැළපෙන්නේ නැහැ.
මම වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක වැඩ කරන අතරතුර ව්‍යාපාර කළමනාකරණය ගැන සිංහලෙන් ලියන්න ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ සිංහලෙන් බිස්නස් නමින් පොත් පෙළක් ලියා පළ කිරීමයි. මේ වන විට මා පළ කර ඇති පොත් සංඛ්‍යාව 20ක්. සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන් ලංකාවේ මෙන්ම එංගලන්තයේත් ලොව පුරා රටවල් 15කට වැඩි ගණනක වැඩසටහන් 100කට වඩා සිදුකර තියනවා.
නායකත්වය පිළිබඳ ඔබට තිබෙන හොඳම පූර්වාදර්ශය කුමක් ද…?
මම විශේෂයෙන් එක් පුද්ගලයෙක් අනුගමනය කර නැහැ. මම හරියට පොත් කියවනවා. නිරන්තරව යාවත්කාලීන වනවා. විවිධ චරිතවලින් පාඩම් ඉගෙන ගන්නවා. ඒවා මගේ කර ගන්නවා. මේ තමයි මගේ විදිය. කෙනෙකුට ඕනෙ නම් එහෙම ගොඩනැඟෙන්නත් පුළුවන් කියන්න, මං ආදර්ශයක්.
ඔබ සාර්ථක සැමියෙක් කියා හිතනවා ද…
මම දන්නවා ජීවිතය සිදුවන්නේ මේ මොහොතේ බව. ඒ නිසා මම හැම තිස්සෙම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මොහොතට අවදි වෙන්න. හැබැයි ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඉතින් මං මටම හිනා වෙනවා. අපේ ගොඩක් ප්‍රශ්නවල කර්තෘ මම යි. ඒක දැන ගත්තම හරි ලේසියි.
අපේ ජීවිතවල වැඩි කාලයක් අපි ගත කරන්නේ අපේ කාලත්‍රයා සමඟ. මගේ ජීවිත සාර්ථකත්වයට ඉහළින් ම දායකත්වය දුන්නේ මගේ බිරිය. ඒත් ඇය බොහෝ ම නිහඬ චරිතයක්. ප්‍රසිද්ධියට ඉතා අකමැති කෙනෙක්.
මිනිස්සු වැටෙන්න වැටෙන්න නැඟිටින්න ඕනේ… මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න…
වැටුණු කිසිම විටෙක මම ඒ ගැන හිත හිතා හිටියේ නැහැ. එවිට මම ඉක්මනටම හිතන්නේ ඊළඟ පියවරයි. මම ශ්‍රී ලාංකික නව නිපැයුම් කොමිසමේ කොමසාරිස් ලෙස මගේ නායකත්වය යටතේ, සංවිධානය කළ ‘සහසක් නිමැවුම්’ ප්‍රදර්ශනය එක් වසරක ගින්නෙන් විනාශ වුණා. එය මට විශාල කම්පනයක් ඇති කළා. පසුවදා උදේ මම ෆීනික්ස් ව්‍යාපෘතිය සංකල්පය ගොඩනඟා ගත්තා. ඊට අමාත්‍යවරයාගේ අවසරය ගෙන ක්‍රියාත්මක වී සියලු නිර්මාණකරුවන්ට වන්දි ලබා දුන්නා. ඔබ වැටුණට කමක් නැහැ. ඉක්මනින් නැඟිටින විදියයි හිතන්න ඕනෑ.
ඔබේ දේශනවල ප්‍රධාන හරය කුමක්ද…
මගේ පුහුණු වැඩසටහන්වල මූලධර්මය වන්නේ පළමු කොට හර පද්ධතියක් ඇති මිනිසුන් හැදිය යුතුයි යන්න යි. මොකද, ආයතන දියුණු කරන්නේ ඔවුන්.
ඔබට අනුව සැබෑ නායකයෙක් කළ යුතු දේ කුමක් ද….
නායකයාට තිබෙන ප්‍රධාන දෙය දැක්මයි. අනාගතය පිළිබඳ චිත්‍රය යි. නායකයා තමා සියල්ල දන්නා කෙනෙක්, සියලු ප්‍රශ්නවලට පිළිතුරු ඇති කෙනෙක් නෙවෙයි. නායකයා තමන්ට වඩා දක්ෂ අයගෙන් පිරි කණ්ඩායමක් ගොඩනඟා ගන්නවා. වරද තමන් භාර ගන්නා අතර, කීර්තිය කණ්ඩායමේ සාමාජිකයන්ට නිර්ලෝභීව පවරා දෙනවා.
මේ වෙනකොට ඔබ නායකයින් කොපමණ බිහිකර තිබෙනවා ද…?
මා ලබා ඇති ඉහළම වත්කම මගේ ඇසුර සහ මඟ පෙන්වීමෙන් ජීවිත සාර්ථක කර ගත් මිනිසුන්. මම ඒ කිසිවක් ගණන් තබා ගන්නේ නැහැ. ඒ අතරින් මා හඳුනන්නේ කිහිපදෙනකු පමණයි.
අම්ම තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ කුමක්ද..?
මගේ තාත්තා මට දුන් අවවාදය වුණේ ‘ මානිවත්ත අභික්ඛම” යන්නයි. ඒ කියන්නේ නොනැවතී ඉදිරියට යන්නයි. මකුළුවෙක් දැල බඳින්නට හත්වතාවක් උත්සාහ කළ අයුරු දුටු රජතුමාගේ කතාව ඔහු මට කියා දුන්නේ ඉතාම කුඩා කාලයේ. එය මගේ චරිතයට ඉතා තදින් බලපා තිබෙන බව මට දැන් හිතෙනවා.
ඒ වගේම තාත්තා මට වගකීම් භාර දුන්නේ ඉතා කුඩා අවදියේ. අපේ ගෙදර පින්තාරු කරන වගකීම මට භාර දෙන විට මගේ වයස 14යි. ඒ නිසා වයස 20 වන විට පවුලේ වගකීම දරන්න අම්මාට සහය වෙන්න මට පුළුවන් වුණා. වෘත්තිය ජීවිතයේ ලැබූ සියලුම අභියෝග භාර ගන්නත් ඒ නිසා පුළුවන් වුණා.
කරුණාව, මනුෂ්‍යා කෙරෙහි ඉවසිලිවන්තවීම මං ඉගෙන ගත්තේ අම්මාගෙන්. අර පිරිමැස්ම, කිසිවක් නාස්ති නොකිරීම වගේ දේ අපේ ජීවිතවලට කා වැද්දුවේ මවුපියන්.
ඔබේ ජීවිතයෙන් කෙනෙක් ලබාගන්නවට ඔබ වඩා කැමති හොඳම දේ කුමක් ද…?
මුල අමතක නොකිරීම. අදත් මම මට මෙතෙක් උදව් කරපු ජීවත්ව ඉන්න අයට සෙත් පතනවා. මිය ගිය අයට පින් දෙනවා. ඒක මගේ දෛනික පුරුද්දක්. ඇත්තටම මට හතුරුකම් කරපු හෝ මට කරදර කළ අය මං මගේ මතකයේ තියාගන්නේ නැහැ. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඒක ෙහාඳ ක්‍රමයක්.
ජීවිතය ‘හයිය’ කර ගන්නා ඔබේ විදිය කුමක්ද…?
ජීවිතයේ උපරිමයෙන් කට්ට කාගෙන හිටපු කාලෙක වුණත් මං ඒවා කරදර කියලා ලොකුවට හිතුවේ නැහැ. පවතින තත්ත්වය තේරුම් ගැනීමයි වැදගත්. මේක අපිට නොවිය යුතු දෙයක් කියා හිතුවොත් තමයි, තමන් තුළම ගැටුම හට ගන්නේ. ඒ නිසා ඒ එන තත්ත්වය පිළිගන්න ඕනේ. ඒ මත්තේ හැපෙනවාට වඩා ඊළඟට ගත යුතු පියවර හිතන්න ඕනේ.
කුප්පි ලාම්පුවෙන් පාඩම් කරපු කාලේ ඒක වදයක් කියලා මං හිතුවේ නැහැ. තිබුණේ ලාම්පු. ඉතින් එහෙම පාඩම් කරන්න ඕනේ. එහෙම කළා. එච්චරයි. පවතින තත්ත්වය සමඟ ඉදිරියට යන්න. ඒ වෙලාවේ කළ යුතු හොඳම දේ වෙන්නෙත් ඒකමයි.මේ විදියට හිතන්න පුරුදු වුණා ම ජීවිතයේ දරාගන්න අසීරු ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්.
- සිළුමිණ