චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ පාවෙන සූර්ය විදුලිබල ව්‍යාපෘතිය නීති විරෝධියි     Featured

Friday, 31 May 2024 21:07

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ඉදිකිරීමට නියමිත පාවෙන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය නීති විරෝධී බවත් පාරිසරික හානියක් සිදු වන බවටත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් පරිසරවේදි සජීව චාමිකර අවධාරණය කරයි.

වැව් වනසමින් ගොවීන්, ධීවරයන් හා ජල පාරිභෝගිකයන් අවතැන් කරන

නීති විරෝධී කොරියානු සූර්යය විදුලිබල ව්‍යාපෘති වහා ම නවතනු

 

සූර්යය විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කිරීම පරිසර හිතකාමී ක්‍රමවේදයක් බවට තර්කයක් නොමැත. නමුත් වනාන්තර එළි කර හෝ වැව් හෝ ජලාශ මත සූර්යය විදුලි බලාගාර ස්ථාපිත කිරීම මගින් හානි කර බලපෑම් බොහොමයක් ඇති වන බව ද නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය.

චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ පාවෙන සූර්යය විදුලි බලාගාර ඉදි කිරීමෙන් හානි කර බලපෑම් ඇති වන්නේ සූර්යය පැනල වලින් නොව ඒවා රැඳවීමට හා ඒවා පාවීමට යොදන ක්‍රමවේද හේතුවෙනි. මෙම සූර්යය පැනල රැඳවීම සඳහා භාවිත කරන ඇලුමිනියම් ලෝහ රාමු හා ප්ලාස්ටික් හා රබර් භාවිතයෙන් සැකසූ පාවෙන බෝයාවල් හේතුවෙන් ජලයට අපද්‍රව්‍ය එක් වීම සිදු වේ. අධික ආර්ද්‍රතාවය හා අධික සූර්යය තාපය සහිත ප්‍රදේශයක වාතයට හොඳින් නිරාවරණය වූ ජල තලය මත මෙම සූර්යය පැනල පිහිටා තිබීමෙන් ඇලුමිනියම් ලෝහ රාමු ඛාදනය වීම, ඔක්සිකරණය වීම හා ප්ලාස්ටික් හා රබර් දිරාපත් වීමෙන් ජලයට බැර ලෝහයක් වන ඇලුමිනියම් අයන හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක් වීම සිදු වේ. එම ද්‍රව්‍ය එක් වීම කෙටි කාලීන ව හා දීර්ඝ කාලීන ව සිදු විය හැකි ය.

ඒවා මෙම වැව් දෙක යටතේ ක්‍රියාත්මක පානීය ජලය ව්‍යාපෘති යටතේ ජලය ලබා ගන්නා විශාල ජනතාවක ගේ ශරීරවලට සෘජු ව එක් වීම නිසා වකුගඩු රෝග ඇතුළු සෞඛ්‍ය තර්ජන රැසක් ඇති විය හැකි ය. එපමණක් නොව මිරිදිය මසුන් ගේ ශරීරවලට ඇලුමිනියම් අයන හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක් වීමෙන් මසුන් ආහාරයට ගැනීමේ දී එම අයන හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිසුන් ගේ ශරීරවලට ඇතුළු වේ. තව ද කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා ගැනීමේ දී ඇලුමිනියම් අයන සහල් ඇතුළු බෝගවලට එක් වී එම බෝග පරිභෝජනය කරන ජනතාව ගේ ශරීරවලට ඇතුළු වේ. මේ නිසා සෞඛ්‍ය තර්ජන රැසක් ඇති විය හැකි ය. පායන කාලවල දී වැව් ජලයේ මෙම ද්‍රව්‍ය වැඩි වශයෙන් සාන්ද්‍ර වීම නිසා ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් උග්‍ර මට්ටමකට පරිවර්තනය වේ. තව ද මෙම ඇලුමිනියම් අයන වැව්වල රොන් මඩවල කලිල සාදමින් රැදී පවතී. මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් වැව්වල මෙම බැර ලෝහ රැදී පැවතීම නිසා ඇති වන බලපෑම් ද ඉහළ අගයක පවතී.

නිවාරණ මූලධර්මය උල්ලංඝනය කිරීම

මේ නිසා පාරිසරික මූලධර්ම අතුරින් නිවාරණ මූලධර්මය පරිසර බලපෑම් නැතහොත් සෞඛ්‍යමය බලපෑම් පුරෝකථනය කිරීම මගින් එම බලපෑම් අවම කිරීම, බලපෑම් වළක්වා ගැනීමට ක්‍රමවේද හඳුනා ගැනීමට හා විකල්ප හඳුනා ගැනීමට වැදගත් වේ. මෙම මූලධර්මය යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගිවිසුමේ 191(2) වගන්තියේ දක්වා ඇත. 1985 වසරේ දී වියානා සම්මුතියේ පළමු ව මෙම මූලධර්මය සඳහන් වුව ද 1992 වසරේ රියෝ ප්‍රකාශනයේ 15 වන මූලධර්මය ලෙස නිවාරණ මූලධර්මය අර්ථ දක්වා ඇත. ඒ අනුව පරිසරය ආරක්ෂා කිරීම සඳහා, පූර්වාරක්ෂාව පිළිබඳ ප්‍රවේශය රාජ්‍යයන් විසින් ඔවුන් ගේ හැකියාවන් අනුව පුළුල් ලෙස යොදා ගත යුතු ය. ඉතා දරුණු හෝ යථාතත්වයට පත් කළ නොහැකි හානි කර බලපෑම් ඇති වන විට පරිසර හායනය වැළැක්වීම සඳහා විද්‍යාත්මක දැනුම නොමැති වීම පිරිවැය ඵලදායී පියවර කල්දැමීමට හේතුවක් ලෙස භාවිත නොකළ යුතු ය. මෙම මූලධර්මය පුළුල් පරාසයක අර්ථකතනයකට ලක් කර ඇත්තේ 1998 වසරේ දී නිවාරණ මූලධර්මය හා සම්බන්ධ වින්ග්ස්ප්‍රේඩ් සමුළුවේ දී ය. එම අර්ථකතනයට අනුව යම් ක්‍රියාකාරකමක් මිනිස් සෞඛ්‍යයට හෝ පරිසරයට හානි කිරීමේ තර්ජන මතු කරන විට, යම් හේතුවක් හා ඵලදායී සම්බන්ධතා විද්‍යාත්මක ව සම්පූර්ණයෙන් ස්ථාපිත කර නොතිබුණ ද පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතු ය. මෙම සංදර්භය තුළ යම් ක්‍රියාකාරකමක් ඉදිරිපත් කරන්නා මහජනයාට වඩා ඔප්පු කිරීමේ භාරය දැරිය යුතු ය. නිවාරණ මූලධර්ම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය විවෘත, දැනුම්වත් සහ ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු අතර බලපෑමට ලක් විය හැකි පාර්ශවයන් ද ඇතුළත් විය යුතු ය. යම් ක්‍රියාමාර්ගයක් සඳහා පූර්ණ පරාසයක විකල්ප පරීක්ෂා කිරීම ද ඊට ඇතුළත් විය යුතු ය.

නමුත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය නිවාරණ මූලධර්මය නැතහොත් පූර්ව ආරක්ෂණ මූලධර්මය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්යය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිවලින් ජලයට සිදු වන බලපෑම අධ්‍යයනය කිරීම සඳහා වර්තමානයේ මෙම වැව්වල ජලයේ හා රොන් මඩවල ගුණාත්මකතාව පිළිබඳ දත්ත එක්රැස් කිරීම සිදු කර නොමැත. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය හේතුවෙන් කෙටි කාලීන ව හා දීර්ඝකාලීන ව ජලයේ හා රොන් මඩවල ගුණාත්මක තාවයට සිදු වන බලපෑම හා එම බලපෑම් අවම කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ව කිසිදු අධ්‍යයනයක් සිදු කර නොමැත. එපමණක් නොව ඇති විය හැකි බලපෑම් වළක්වා ගැනීමට ක්‍රමවේද සැකසීමක් ද සිදු කර නොමැත.

නීති විරෝධී කැබිනට් අනුමැතිය හා නීති විරෝධී ව්‍යාපෘති ඇරඹුම

ධාරිතාවය මෙගාවොට් එක බැගින් වන පාවෙන සූර්යය විදුලි බල උත්පාදන නියමු ව්‍යාපෘති දෙකක් චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ක්‍රියාත්මක කිරීමට මාර්තු මස 4 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. මෙම කැබිනට් අනුමැතිය ලබා දීමට ප්‍රථමයෙන් සූර්යය පැනල හා ඉදිකිරීම් උපකරණ සියල්ල ලංකාවට ගෙන්වා ඇති අතර කිරි ඉබ්බන් වැවේ විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට වැව් බැම්ම මායිමේ භූමිය සැකසීම ද සිදු කර තිබුණි. මෙම කැබිනට් අනුමැතිය ලබා දීම සඳහා කිසිදු තාක්ෂණික වාර්තාවක් හෝ ව්‍යාපෘති යෝජනාවලියක් හෝ ශක්‍යතා ඇගයීම් වාර්තාවක් පාදක කර ගෙන ද නොතිබුණි.


මෙම කැබිනට් අනුමැතියේ සඳහන් වන්නේ කොරියානු රජයේ Korea Institute for Advancement of Technology සහ ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය අතර අත්සන් තබා ඇති සාකච්ඡා සටහන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ය. ඒ සඳහා වැව් දෙකෙහි අක්කර දෙක බැගින් වන වැව් මතුපිට ප්‍රදේශය හා අක්කර කාලක් පමණ වන වැව් රක්ෂිතවල භූමි ප්‍රදේශ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට වාර්ෂික බදු පදනම මත ලබා දීමට වාරිමාර්ග අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

නමුත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි චන්ද්‍රිකා වැවේ හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරි ඉබ්බන් වැවේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කිසිදු නෛතික ක්‍රමවේදයකට පිවිස නොමැත. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී මෙම ව්‍යාපෘතියේ පූර්ණ ශක්‍යතාව, විකල්ප අධ්‍යයනය හා සිදු විය හැකි බලපෑම් හඳුනා ගැනීම මෙන් ම එම බලපෑම් පාලනය කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම යන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගවලට පිවිසිය යුතු ය. නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය නීති විරෝධී ව, බලහත්කාරය භාවිත කර, රටේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර මේ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොමු වීම වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව වැවක් තුළ හෝ වැවේ උපරිම ජල රැඳවුම් සීමාවේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් පරිභාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ඒ සම්බන්ධයෙන් පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් මගින් සිදු විය හැකි බලපෑම් පුරෝකථනය කර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ම ස්ථානය හඳුනා ගැනීම, හානි අවම ක්‍රමවේද භාවිත කිරීම, අහිතකර බලපෑම් පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා ඒ තුළින් ව්‍යාපෘතියේ උපරීම ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය හඳුනා ගැනීමට ය.

මෙම වැව් සියල්ල ම බහුකාර්ය වැව් වේ. කෘෂිකර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය හා පානීය ජලය සැපයීම යන කාර්යයන් සියල්ල ම මෙම වැව් මගින් සිදු කරයි. ඒ මත පදනම් ව ගොවි සමිති, ධීවර සමිති හා ජල සමිති පිහිටුවා ඇත. වැව යම් සංවර්ධන භාවිතාවක් සඳහා යොදා ගන්නේ නම් ඒ සඳහා වැව හා සම්බන්ධ සමිති සියල්ලේ ම අදහස් හා එකඟතා ව ලබා ගත යුතු ය. මීට අමතර ව සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලිය සඳහා ද මේ සියලු සමිතිවල සෘජු සහභාගීත්වය හා අදහස් ලබා ගැනීම සිදු විය යුතු ය.

එපමණක් නොව සංවර්ධන ව්‍යාපෘතියට අදාළ සියලු තොරතුරු මෙම සමිතිවලට ලබා දීම ද සිදු කළ යුතු ය. නමුත් මෙම ව්‍යාපෘති සිදු කිරීමට ප්‍රථමයෙන් එවන් කිසිදු ක්‍රියාවලියක් සිදු වී නොමැත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය සෑම විට ම සිදු කර ඇත්තේ මෙම සමිතිවලට නිවැරදි තොරතුරු සැඟවීම ය.

මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය අවශ්‍ය වේ. ඊට හේතුව එය ආයතන ගණනාවක පාලනයට යටත් වන නිසා ය. මෙම වැව් දෙකෙහි සෘජු පාලනය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වේ. ඊට අමතර ව එහි භූමියේ පාලනය ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම්වරු සතු වෙයි. මීට අමතර ව කෘෂිකර්මයට අදාළ ක්‍රියාවලිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ. මිරිදිය ධීවර කර්මාන්තයට අදාළ කොටස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙයි. මීට අමතර ව පානීය ජල ව්‍යාපෘති ජල සම්පාදන හා පලාපවාහන මණ්ඩලය යටතේ සිදු වේ.

1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනතේ 34 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් යන්ත්‍ර සූත්‍ර වලට වුවමනාවෙන් හෝ නොසැලකිල්ලෙන් හානි සිදු කරන අවස්ථාවක හෝ ජල සම්පාදනයට අවහිර වන අන්දමින් වුවමනාවෙන් යම් ක්‍රියාවක් සිදු කරන සෑම තැනැත්තෙකු ම වරදකරුවකු වේ. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් සියයක් නොයික්මවන දඩයකට යටත් කළ හැකි ය. පනතේ 38 වන වගන්තියට අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජලය ලබාගන්නා යම් ස්ථානයක ජල මාර්ගයක් අපවිත්‍ර වන හෝ අපවිත්‍ර වීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් කළ හොත් එය වරදක් වන්නේ ය. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසුව රුපියල් දහසක දඩයකට යටත් කළ හැකි ය. එම වරද නොකඩවා කරනු ලැබුවහොත් එක් දිනකට පන්සියය නොඉක්මවන දඩයකට ලක් කළ හැකි ය.

ඒ අනුව මේ වැව් යටතේ සිදු වන සියලු ක්‍රියාවලීන් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනත් ගණනාවක් යටතේ නියාමනය වේ. එසේ නියාමනය වන ක්‍රියාවලියක් යටතේ පවතින වැව් දෙකක භූමියෙන් කොටසක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පැවරීමට නීත්‍යානුකූල බලයක් කිසිදු රාජ්‍ය ආයතනයකට නොමැත. එසේ තිබිය දී වාරිමාර්ග අමාත්‍යවරිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ මෙම නියමු ව්‍යාපෘතියට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා 2024 මාර්තු මස 04 වන දින අනුමැතිය ලබා දී ඇත්තේ කුමන නෛතික පදනමක් මත ද යන්න ගැටළුවකි.

සූර්යය පැනල සඳහා නීති විරෝධී ව ජලය මතුපිට බදු දීම

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ජලය මතුපිට බදු දීම සිදු කර ඇත්තේ නීති විරෝධී ව ය. ලංකාවේ කිසිදු නීතියක මතුපිට ජලය බදු දීම පිළිබඳ ව සඳහන් නොවේ. ඉඩම් ආඥා පනත්වල ද ඒ පිළිබඳ ව සඳහන් නොවේ. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනතේ 2 වන වගන්තියට අනුව නීති ප්‍රකාරයෙන් ආණ්ඩුව සන්තක වන්නා වූ සියලූ ම ඉඩම් හා ඊට සම්බන්ධ අදාළ සියලු අයිතිවාසිකම්, සම්බන්ධතා හා වරප්‍රසාද රජයේ ඉඩම් යන්නෙන් අදහස් වේ. මීට අමතර ව 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 110 වන වගන්තියට අනුව රජයේ ඉඩම් යනු රජයට නීත්‍යානුකූල ව අයත් වූ හෝ රජයට පවරා දිය හැකි ලංකාවේ පිහිටි සෑම ඉඩමක් ම අයත් වන අතර එබදු ඉඩම් හා සම්බන්ධ වූ සියලූ ම අයිතිවාසිකම් හා වරප්‍රසාද ඇතුළත් වේ යනුවෙන් සඳහන් වේ. ඒ අනුව 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනතේ ඇති නිර්වචන වගන්තියට අනුව ඉඩම් යනු මහපොළොවට සම්බන්ධිත දෑ හෝ මහපොළොවට සම්බන්ධිත ඕනෑ ම දෙයකට ස්ථිර වශයෙන් ම ඇදී ඇති මෙන් ම ඉඩමකට ඇති ඕනෑ ම හිමිකමක් හෝ වවනු ලබන හෝ වැවීමට අපේක්ෂිත බෝගයක් කෙරේ දක්වන ඕනෑ ම ලැදීයාවක් වේ.

මේ අනුව ජලය හෝ ජල තලය යනු රජයේ ඉඩම් හා ස්ථිර වශයෙන් ඈදී ඇති හිමිකමක් නොවේ. එපමණක් නොව ජලය යනු පොදු භාවිත සම්පතකි. එය එක් ආයතනයක් හෝ එක් අධිකාරියකට යටත් කළ හැකි සම්පතක් නොවේ. එය පනතකින් හෝ එක් ආයතනයකට යටත් කර නොමැත. එසේ තිබිය දී ජල තලය බදු දීමට කිසිදු නෛතික හැකියාවක් රාජ්‍ය ආයතනයකට නොමැත. එය ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කළ නීති විරෝධී ක්‍රියාවකි. එසේ බලය අවභාවිත කිරීමට එරෙහිව අදාළ රාජ්‍ය ආයතනවලට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

වැව් යටතේ ජීවත් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් හා
මානව හිමිකම් අහිමි කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදය යටතේ දැක්වෙන මූලික අයිතිවාසිකම්වලට අනුව නීත්‍යානුකූල වෘත්තියක නියුක්ත වීමේ අයිතිය, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස, සර්ව සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම හා තොරතුරු දැන ගැනීමේ ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් සියල්ල ම චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව යටතේ ජීවත් වන සියලු ජනතාවට සූර්යය බලශක්ති නියමු ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් අහිමි කර ඇත.

මෙම වැව් යටතේ කෘෂි කර්මාන්තයේ හා ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට සූර්යය බලශක්ති නියමු ව්‍යාපෘතිය හේතුවෙන් කෘෂි කර්මාන්තය සඳහා වැවේ ජල ධාරිතාවය වැඩි කර ගැනීමට රොන්මඩ ඉවත් කිරීම ඇතුළු ව වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ නිදහස, ධීවර කර්මාන්තය සඳහා වැව්වල සෑම ස්ථානයක ම දැල් එලීමේ හා මිරිදිය මසුන් අල්ලා ගැනීමේ නිදහස හා වෘත්තීමය කටයුතු සඳහා වැවට පිවිසීමේ නිදහස මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සීමා වේ.

එපමණක් නොව වැව යටතේ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ජනතාව භුක්ති වින්දේ වැව යටතේ පිරිසිදු ජලය භාවිත කිරීමට ඇති හැකියාව, ධිවර කර්මාන්තයේ නිදහසේ නියැලීමට ඇති අයිතිය හා කෘෂි කර්මාන්තයේ නියැලීමට තිබූ නිදහස මත ය. නමුත් මෙම ව්‍යාපෘතියත් සමඟ ම වැවෙහි ජලය දූෂණය වීම හේතුවෙන් පිරිසිදු ජලය භාවිත කිරීමේ අයිතිය මෙන් ම නීත්‍යානුකූල වෘත්තියක නියැලීමට තිබූ නිදහසට ද බාධා ඇති වී තිබේ. එමගින් අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ද ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් අහිමි කර ඇත.
මූලික අයිතිවාසිකමක් වන නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ ව සිදු වූයේ නම් මෙම ව්‍යාපෘතියට අදාළ ව ශක්‍යතා ඇගයීම මත පදනම් ව ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය නිවැරදිව සිදු කර මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා ගෙන ඒ මත පදනම් ව කැබිනට් අනුමැතිය ලබා ගෙන නිවැරදි ව ගිවිසුම් ගත ව මෙම ව්‍යාපෘතිය නිවැරදි ස්ථානයක ස්ථාන ගත කිරීමට නියමිත ව තිබුණි. නමුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන සියලු නීත්‍යානුකූල ක්‍රමවේදයන් මෙහි දී උල්ලංඝනය කර තිබීමෙන් සංවර්ධන ව්‍යාපෘතියකින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ ද අහිමි කර ඇත.

එපමණක් නොව මූලික අයිතිවාසිකමක් වන තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙම වැව් දෙක යටතේ ජීවත් වන ජනතාවට අහිමි කර තිබේ. චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්යය බලශක්ති නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරය, ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි ජනතාවට, ධීවර ජනතාවට හා ජල පාරිභෝගිකයන්ට සිදු වන බලපෑම, එම බලපෑම් පාලනයට ගනු බලන ක්‍රියාමාර්ග, ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ඒවායේ නීත්‍යානුකූලභාවය පිළිබඳ තොරතුරු සියල්ල ම ජනතාවට සැඟවීමෙන් ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් සිදු කර ඇත.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින සම්මත කර ගත් වගන්ති 30 කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට එකඟ ව කටයුතු කිරීමට 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව බැදී සිටී. නමුත් චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ සූර්යය බලශක්ති බලාගාර ඉදි කිරීමේ දී මෙම වැව් දෙක යටතේ වගා කරන ගොවි ජනතාව ගේ, ධීවර කර්මාන්තයේ නිරත ධීවර ජනතාව ගේ හා පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා ජල පාරිභෝගිකයන් ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රාජ්‍ය ආයතන විසින් කටයුතු කර තිබේ. මෙම ජනතාවට මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව සත්‍ය තොරතුරු ලබා දීම සිදු නොකිරීම, ඔවුන් ගේ තීරණ ගන්නා ක්‍රියාවලාය සඳහා එම ජනතාව ගේ අදහස් ලබා නොගැනීම හා ඔවුන් සහභාගී කර නොගැනීම, ඔවුන් මෙම වැව යටතේ අයිතිවාසිකම් බුක්ති විදිමින් ජීවත් වන පාර්ශවකරුවන් පිරිසක් ලෙස නොසැලකීම මෙන් ම නිවැරදි නීතිමය ක්‍රමවේදයකට යටත් ව ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා නොගැනීම හා ජල තලය බදු ලබා ගැනීම නීති විරෝධී ක්‍රමවේදයකට සිදු කිරීම යන සියල්ල ම සිදු කර ඇත්තේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ සඳහන් සියල්ලෝම ගරුත්වයේ සහ අයිතිවාසිකම් අතින් සමාන වන්නේය, වෙනස්කොට නොසැලකිය යුතුය, නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන වෙති, අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා කළ යුතු ය, මූලික අවශ්‍යතා සපුරාලිය යුතු ය යන වගන්ති උල්ලංඝනය කරමිනි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව යටතේ ජීවත් වන ජනතාව ගේ මානව අයිතිවාසිකම් සූර්යය බලශක්ති නියමු ව්‍යාපෘතිය සඳහා උල්ලංඝනය කිරීමෙන් හා කැබිනට් මණ්ඩලය ඒ සඳහා ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ මෙරට ජනතාව ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් සුරක්ෂිත නොවුනු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු පාලන ව්‍යුහයක් ගොඩ නැගී පවතින බව ය.

කොරියානු රජය මෙරට ජනතාව ගේ කෘෂි, ධීවර හා ජල අයිතිය අහිමි කර
සූර්යය බලශක්ති වෙළෙදපොළ අත්පත් කර ගැනීම

කොරියානු රජය හා අනුබද්ධ Korea Institute for Advancement of Technology ආයතනය ශ්‍රී ලංකාවේ දේශීය නීති පද්ධතියට එකඟ ව සූර්යය බලශක්ති බලාගාර නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා ජාත්‍යන්තර නීති හා සම්මූතීන්ට එකඟ ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව විමර්ශනය නොකිරීම විශාල අඩුපාඩුවකි. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වැව් යටතේ ජීවත් වන ජනතාව ගේ මානව හිමිකම් අහිමි වීම පිළිබඳ ව කොරියානු රජයේ අවධානය යොමු නොවීම හා කොරියාව වැනි රටක් සමඟ මෙවන් ගිවිසුම් ඇති කර ගැනීමට වත්මන් ආණ්ඩුව පෙළැඹීම පිටුපස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයේ බිඳ වැටීම ය. එපමණක් නොව රටේ බලශක්ති අර්බුධයක් නිර්මාණය වී ඇති අවස්ථාවක, රටේ ජනතාව ගේ සුනිත්‍ය බලශක්තිය කෙරෙහි ඇති විශ්වාසය භාවිත කර ඉතා සූක්ෂම ව සූර්ය බලශක්ති වෙළෙදපොළ කොරියානු රජය විසින් මෙම නියමු ව්‍යාපෘතිය තුළින් අත්පත් කර ගැනීමට උත්සාහ දරා තිබේ. එහි දී වෙළෙදපොළ වටිනාකමක් නොමැති, නීතිමය රාමුවකට යටත් නොවන ජල තලය බදු ගැනීම දක්වා ම මෙය සූක්ෂම ව ක්‍රියාත්මක කර ඇත. උතුරු හා නැගෙනහිර පළාත්වල අදානි සමාගම හරහා ඉන්දියාව විසින් සුළං බලශක්ති වෙළෙදපොළ අත්පත් කර ගැනීම මගින් සිදු කර ඇත්තේ ද මේ තත්ත්වය ම ය. අවසානයේ සිදු වන්නේ බලශක්ති ස්වෛරීභාවය අප රටට අහිමි වී සමාගම් කිහිපයක් අප ගේ සුනිත්‍ය බලශක්ති ප්‍රභව මගින් නිෂ්පාදනය කරන විදුලි බලයේ මිල ඔවුන් විසින් ම නියම කරන තත්ත්වයට පරිවර්තනය වීම ය. 


ඒ අනුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය මේ වන විට සිදු කරන්නේ පොදු ජනතාව ගේ පොදු භාවිත ජල තලය බදු ගෙන, ඒ මත සූර්යය පැනල සවි කර, විදුලිය ජනනය කර, එම විදුලිය ජනතාවට විකුණා ඒ මගින් ලාභ ඉපයීමේ සුනිත්‍ය බලශක්ති වෙළෙදපොළ නිර්මාණය කිරීමේ ක්‍රමවේදය කොරියානු සමාගම්වලට සකස් කර දීම ය. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් බහු ජාතික සමාගම් හා එක් ව 80 දශකයේ දී ආරම්භ කළ ගොවීන්ට කෘෂි රසායනික හඳුන්වා දී එම සමාගම්වල ආර්ථික ග්‍රහණයට ගොවියා නතු කර දීමේ ක්‍රියාවලිය හා සමාන ය.

එබැවින් ශක්තිමත් ගොවි ව්‍යාපාරයක් ගොඩනැගීම තුළින් අප මේ සියලු තත්ත්වයන් පිටු දැකීමට නැගී සිටිය යුතු වන්නේ ජනතාව ගේ සියලු අයිතිවාසිකම් සුරක්ෂිත වූ, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත, සියලු ස්වාභාවික සම්පත්වල පැවැත්ම මෙන් ම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වූ, ජනතාව ගේ අදහස් මත තීන්දු තීරණ ගන්නා ස්වෛරී රටක ජීවත් වීමට සිහින දකිමින් සිටින නිසා ය.

 

 

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us