රුපියල් ලක්ෂ දෙකකට මොරටුවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක් Featured

Tuesday, 04 June 2024 12:50

මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය විසින් තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවක් නුදුරේදීම ආරම්භ කෙරෙන අතර ඒ පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර තිබේ. මෙම උපාධි පාඨමාලාවේ වැදගත්කම සහ තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමේ වැදගත්කම පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා නානායක්කාර සමඟ කළ සාකච්ඡාවකි මේ.

 

l තොරතුරු තාක්ෂණ විෂය අද වන විට ලෝකයේ ප්‍රධානම විෂයක්. ඒ වගේම ලෝක සාක්ෂරතාවයේම කොටසක්. මේ තත්ත්වය තුළ ඔබ විශ්වවිද්‍යාලය විසින් මෙම විෂය ශිෂ්‍ය ප්‍රජාව අතරට ගෙන යන්න ආරම්භ කර ඇති වැඩපිළිවෙළ කුමක්ද?

ඔබ කියූ විදිහට තොරතුරු තාක්ෂණය කියන්නේ අද වන විට සුපිරි විෂයක් නොවෙයි. සාමාන්‍ය ලෝකයට අත්‍යවශ්‍ය විෂයක්. එදා වගේ නොවෙයි අද දෛනික කාර්යයන් ඉටුකර ගැනීමට පවා තොරතුරු තාක්ෂණය කියන විෂය ඉතාමත් තදින් බලපානවා. ඒ නිසා තොරතුරු තාක්ෂණය කියන විෂය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමෙන් අවබෝධයක් වගේම උපාධි මට්ටමේ දැනුම්වත් භාවයක් ඇති කර ගැනීම හොඳ තත්ත්වයක්. ඒ වගේම ධනාත්මක කරුණක් බව සඳහන් කිරීමේ වරදක් නැහැ. ඒ නිසා අද සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණය කියන විෂය පිළිබඳව අනිවාර්ය දැනුමක් තියෙන්න ඕනෑ. එහෙම නොවුණොත් අනාගතය තුළ කිසිම දෙයක් ඉටු කර ගැනීමට නොහැකිව අසරණ වීම සිදු වෙනවා.

පසුගිය කොවිඩ් වසංගත කාලයේදී තොරුතුරු තාක්ෂණයේ වැදගත්කමත්, එයින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන පිළිබඳවත්, හොඳ අවබෝධයක් අපට ලැබුණා. ඒ නිසා තොරතුරු තාක්ෂණ විෂය පාසල් මට්ටමෙන් නැතිනම්, ඩිප්ලෝමා සහතික මට්ටමෙන් එහා උසස් අධ්‍යාපන මට්ටමකට යොමු වෙන්න ඕනෑ. ඒ අනුව තමයි මොරටුව විශ්වවිද්‍යාලය තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාවක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නෙ.

මෙම උපාධිය බාහිර උපාධියක් විදිහටයි හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලය කියන්නේ මෙරට තිබෙන තාක්ෂණය, විද්‍යාව සම්බන්ධ විශ්වවිද්‍යාලයක්. මේ විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබා ගැනීම ඉතාමත් සුවිශේෂ උපාධියක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

l මේ උපාධිය සඳහා අවශ්‍ය කරනු ලබන මූලික සුදුසුකම් මොනවාද ?

උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් නැතිනම්, එස් තුනක් ලැබූ ඕනෑම ශිෂ්‍යයකුට මේ උපාධිය හදාරන්න පුළුවන්. මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයට ගණිතය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබෙන්න ඕනෑ. එහෙම දරුවකුට මේ තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීමට පුළුවන්කම තිබෙනවා. මේ උපාධි පාඨමාලාව අවුරුදු තුනක පාඨමාලාවක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ.

l මොරටුව විශ්වවිද්‍යාලය වැනි රජයේ ප්‍රධානම විශ්වවිද්‍යාලයකින් ලබා දෙන මේ උපාධිය සඳහා විශාල මුදලක් අය කරනවාද?

නැහැ. අනෙක් විශ්වවිද්‍යාල සමඟ පුද්ගලික විශ්වවිද්‍යාල සමඟ සසඳා බලද්දී අපි මේ පාඨමාලාව සඳහා අය කරනු ලබන්නේ සාමාන්‍ය මවුපියන්ට, දරුවන්ට දරන්න පුළුවන් මුදලක්. මේ මුදල අවුරුදු තුනක පාඨමාලාව සඳහාම රුපියල් ලක්ෂ දෙකක් වැනි සාමාන්‍ය මුදලකුයි අය කරන්නේ.

l මේ මුදල එකවර ගෙවිය යුතුද?

නැහැ, එකවර මුදල් ගෙවීමක් සිදු කළ යුතු නැහැ. වාරික වශයෙන් මේ මුදල ගෙවීමට හැකියාව තිබෙන නිසා මේ පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට විශාල පහසුවක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් රුපියල් දොළොස්දහස් පන්සියයක මුදල් වාරිකයකුයි අය කරනු ලබන්නේ.

l මෙම තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීමට සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය වෙත පැමිණිය යුතුද?

නැහැ, මේ පාඨමාලාව මාර්ගගත ක්‍රමයටයි සිදු කරනු ලබන්නේ. ඒ නිසා කෙනෙකුට වෙනත් රැකියාවක් හෝ වෙනත් ඉගෙනුමක් කරන අතර මෙම උපාධිය හැදෑරීමට හැකියාව තිබෙනවා. අවශ්‍ය සියලු දේශන වීඩියෝ විදිහට අප ලබා දෙනවා. ඒ නිසා මොරටුවට එන්න ඕනෑකමක් නැහැ. එහෙත් විභාග කටයුතු සිදු කරද්දී පමණක් විශ්වවිද්‍යාලයට පැමිණීමට අවශ්‍ය වෙනවා. තවද මාස හයකට වරක් එක සති අන්තයක් වගේ මොරටුවට එන්න වෙනවා.

l උසස් පෙළ විභාගයෙන් පසු සිසුවකුට යම් කෙටි විරාම කාලයක් ලැබෙනවා, ඒ සඳහා සුදුසුම පාඨමාලාවක් විදිහටද ඔබ මෙම පාඨමාලාව හඳුන්වනු ලබන්නේ?

ඔව්, උසස් පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල ලැබී යම් කාලයක් යනකම් කිසියම් විරාම කාලයක් තිබෙනවා. ඒ කාලය සඳහා මේ උපාධි පාඨමාලාව ප්‍රතිඵලදායක උපාධියක් විදිහට යොදා ගැනීමට පුළුවන්.

l මේ උපාධි පාඨමාලාව අඛණ්ඩව හැදෑරිය යුතුද ? නැතිනම් වසරකින් මෙම පාඨමාලාව හදාරා නිමා කරන්න පුළුවන්ද?

මූලික අදියර අවසන් කර සහතික පත්‍රයක් අරන් පසුව පාඨමාලාවේ අනෙක් අදියරවලට යන්න පුළුවන්. ඒ නිසා ඒවා මේ උපාධි පාඨමාලාව තුළ තිබෙන විශේෂ වාසි විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

l රාජ්‍ය විශ්වවිද්‍යාලයක එකම සිසුවෙකුට පාඨමාලා දෙකක් හදාරන්න පුළුවන්ද?

උදාහරණයක් විදිහට ගනිමු, සිසුවෙක් පසුව වෛද්‍ය විද්‍යාලයට තේරෙනවා. එහෙත් ඒ සිසුවාට මේ උපාධි පාඨමාලාවද හදාරන්න පුළුවන්. අනෙක වෛද්‍ය විද්‍යාව වැනි විෂයක් සමඟ තොරතුරු තාක්ෂණය වැනි විෂයක් හදාරන එක ලොකු වාසියක් වෙන්න පුළුවන්.

l මුදල් ගෙවා කරනු ලබන පාඨමාලාවල ගුණාත්මකභාවය ගැන සමහරු සැක පළ කරනු ලබනවා. ඒ වගේම තවත් පිරිස් විමසනවා රාජ්‍ය විශ්වවිද්‍යාලයක මෙවැනි පාඨමාලාවක් පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා?

එහෙම විමසන අය ඉන්න පුළුවන්. තවත් පිරිසක් හිතන්න පුළුවන් මේ වගේ පාඨමාලාවක ගුණාත්මකභාවයක් තිබෙනවාද කියලා. ඇත්තෙන්ම මම ඉතාමත් වගකීමෙන් කියනවා, මේ පාඨමාලාව ඉතාමත් උසස් තත්ත්වයේ උපාධි පාඨමාලාවක් බව. ඒ උපාධි පාඨමාලාව සාර්ථක හදාරා නිමා කිරීම මඟින් ලොකු පන්නරයක් ලබා ගන්න හැකියාව තිබෙන බව. රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් දැරිය හැකි මිලකට ඉහළම ප්‍රමිතිය සහිත තොරතුරු තාක්ෂණ උපාධියක් ලබා දීමට හැකියාව ලැබීම ගැන අප සතුටු වෙනවා.

l මේ උපාධි පාඨමාලාවේ දේශනවලට සම්බන්ධ වන ආචාර්යවරු කවුද?

අපි මේ පාඨමාලාවේ සියලු දේශනවලට සම්බන්ධ කර ගෙන තිබෙන්නේ මේ විෂය පිළිබඳව ඉහළ දැනුමක් තිබෙන ආචාර්ය මණ්ඩලයක්. ඔවුන් මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉහළ සුදුසුකම් සහිත පිරිසකුයි. අපි විශ්වවිද්‍යාලයක් විදිහට අපේ ප්‍රමිතිය සහ කීර්තිය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙනවා. අප සාම්ප්‍රදායික සීමා අතික්‍රමණය කිරීමට කටයුතු කරනවා.

l සමගාමී ආයතනවලට අවශ්‍ය වන රැකියා මේ උපාධි පාඨමාලාව ඔස්සේ ලබා දීමට පුළුවන්කම තිබෙනවාද?

ඔව්. අපි විශ්වවිද්‍යාලයක් විදිහට වර්තමාන රැකියා අවස්ථාවලට ගැළපෙන උපාධිධාරියකු තමයි බිහි කිරීමට සැලසුම් කරන්නේ. මේ සැලසුමේ කොටසක් විදිහට තමයි අප මේ තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාව ලබා දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම එහිදී සිසුන්ට තොරතුරු තාක්ෂණය සම්බන්ධ ආයතන සමඟ එක්ව කටයුතු කරන ආකාරය, එවැනි ආයතන සමඟ පුහුණු වීම් කටයුතු ලබා දීම ආදිය ද සිදු කරනු ලබනවා.

l තොරතුරු තාක්ෂණ විෂය යනු අන්තර් ජාතික විෂයක් මෙවැනි විෂයක් සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම කෙතරම් දුරට අවශ්‍යද?

ඇත්තෙන්ම මෙවැනි විෂයක් සඳහා ඉංග්‍රීසි දැනුම භාෂා දැනුම යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා. එහෙත් ඒ ඉංග්‍රීසි දැනුම ඉතා පුළුල් දැනුමක් විය යුතු නැහැ. මේ පාඨමාලාව තුළ ඉදිරි හැදෑරීම් කරද්දී ඉංග්‍රීසි දැනුම කෙමෙන් හදා ගන්න පුළුවන්. අපි ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය පෙළ සම්මානයක් ඉල්ලන්නේ නැහැ. දිරිය සහ අවශ්‍යතාව තියෙනවා නම් මේ පාඨමාලව හැදෑරීමට වගේම එහි ජයග්‍රහණ ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. අපි පළමුවන අවුරුද්දේදී ව්‍යුහගත රචනා ප්‍රශ්න යොමු කරන්නේ නැහැ. මම විශ්වාස කරන දෙය තමයි උනන්දුව තිබෙනවා නම් අපට ඕනෑම දුෂ්කර කඩඉමක් ජය ගැනීමට හැකියාව තිබෙන බව.

l තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමෙන් සහ උපාධි මට්ටමට යෑමෙන් ලැබෙන ලාභ මොනවාද?

තොරතුරු තාක්ෂණය සහ එය අවශ්‍යතා සඳහා යොදා ගැනීමේදී ලොකු වාසි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මෙම තොරතුරු තාක්ෂණය කියන විෂය වඩාත් හොඳින් යොදා ගත් කණ්ඩායම් රැසක් ඉන්නවා. එහෙත් මේ සියල්ල අතරින් වඩාත්ම සමීප උදාහරණය විදිහට පුවත්පත් කලාව හඳුන්වා දෙන්න පුළුවන්. අපි මීට අවුරුදු විස්සකට කලින් හිතුවෙ පුවත්පත් කියන්නේ පත්තර කොළ විතරයි කියලා. එහෙත් අද වෙද්දි ඒ දේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙන්නේ. අද පුවත්පත් කලාව සමඟ තොරතුරු තාක්ෂණය විශාල ලෙස සම්බන්ධව තිබෙනවා. අද පත්තරයක් කඩදාසිවලින් කියවන්නේ නැතිව තමන්ගේ අතේ තිබෙන ජංගම දුරකතනයෙන් කියවන්න පුළුවන් තැනට තාක්ෂණය දියුණුවෙලා තිබෙනවා. ඒ විදිහට තමයි තොරතුරු තාක්ෂණය කියන විෂය අපේ ජීවිතවලට ළං වෙලා තිබෙන්නේ. තොරතුරු තාක්ෂණය දියුණු වෙද්දී අපි හිතුව මුද්‍රිත මාධ්‍ය කලාව අභාවයට යයි කියලා එහෙත් දැන් ඒ අලුත් තාක්ෂණය සමඟ බැඳිලා පුවත්පත් කලාව ඉදිරියට ගමන් කරමින් සිටිනවා.

2020ට කලින් තොරතුරු තාක්ෂණය කියන්නේ තවත් රැකියා සොයා ගැනීමට කරන පාඨමාලාවක් පමණයි. එහෙත් කොවිඩ් වසංගතය සමඟ ඒ තත්ත්වය වෙනස් වුණා. කොවිඩ් කාලයේදී බෙහෙත් ගැනීමේ සිට සියලු දේවල් ඔන්ලයින් වුණා. ඒ නිසා අද කුමන රැකියාවක් කළත් තොරතුරු තාක්ෂණය කියන විෂය වැදගත් වෙනවා. ඉස්සර භාෂාව, ගණිතය, සාමාන්‍ය දැනුම ඇතුළු විෂයන් අත්‍යවශ්‍ය දේවල් වුණා වගේ තොරතුරු තාක්ෂණය කියන විෂය වඩාත් වැදගත් දෙයක් බවට පත්වෙලා තිබෙනවා.

l තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අද සමාජයේ අත්‍යවශ්‍ය අංගයක් ?

අපේ රටේ තාම තොරතුරු තාක්ෂණය කියන විෂය තිබුණත් ඒක නිසි විදිහට භාවිත වෙනවාද කියන දේ විමසා බැලිය යුතුයි. අද ලෝකයේ බැංකු පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ ඔන්ලයින් ක්‍රමයටයි. ඒ රටවල පාරිභෝගිකයන් බැංකුවට යන්නේ නැහැ. සියල්ල ඔන්ලයින් ක්‍රමයට සිදු කරන්නේ. එහෙත් අපේ රටේ බැංකු පද්ධතියවත් මේ තරමට දියුණු වෙලා නැහැ. ඒ නිසා තොරතුරු තාක්ෂණ විෂය තවදුරටත් හැදෑරීම සහ ඒ ආශ්‍රිත උසස් අධ්‍යාපනය ලැබීම තවදුරටත් වැදගත් බව තහවුරු වෙනවා.

-  දිනමිණ 

Last modified on Tuesday, 04 June 2024 12:58

Leave a comment

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us