රට ගොඩගන්න, ආපහු ගෝඨාව ජනාධිපති කරමු ! Featured

Tuesday, 24 October 2023 20:56

රට මේ මොහොතේ මූහුණ දී තීබෙන ගැටළු අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂව එළවා දැමීම නිසා සිදු වූවක් බව 'නුවන් මොණරවිල' නමින් ඇති සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබේ. මෙම ගිණුම සෑහෙන කාලයක පටන් රාජපක්ෂවරුන් සහ ජාතිකවාදී වුවමණාවන් වෙනුවෙන් පෙනී සිටින්න පුද්ගලයකුට හෝ කණ්ඩායමකයට අයත් එකකි.

ඒ අනුව ගෝඨාභය තවදුරටත් ජනාධිපතිධුරයේ සිටියේ නම් අද ඇති ප්‍රශ්න කිසිවක් නැති බව මෙමඟින් අවධාරණය කිරීමට උත්සහ ගෙන ඇත. ඒ අනුව මෙයින් පෙන්වා දීමට උත්සහගන්නේ එළඹෙන ජනාධිපතිවරණයෙන් යළි ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කර අර්බුදයෙන් ගැලවෙමු යන්නය. කෙසේ නමුත් මෙම මතය විශ්වාස කරන පිරිසක් ඉන්නා බවත් ඊට ලැබී තිබුණු ප්‍රතිචාරයන්ගෙන් පෙන්වා තිබේ.

 

ඊට අපගේ ප්‍රතිචාරය පහතින් දක්වා ඇති අතර, මොණරවිලගේ සටහන මෙසේය.

// අරගලයෙන් එලෙව්වා,කීවේ ගෝඨාභයය.

පොහොට්ටුවට බළය හිමි පාර්ලිමේන්තුවෙන් රටේ ගෝඨාභයට වඩා හොදින් ගැටළු විසදයි කියලා අරගලයෙන් පසු පත්කරගත්තේ රනිල් වික්‍රමසිංහය.?

අරගලයත් පොහොට්ටුවත් දෙකම කාලය සමග ගෝඨාභයට වඩා අසාර්ථක බව අද රටට පෙන්වමින් තිබේ.‼️

අරගලයට පෙර සහ රනිල් ජනාධිපති වීමට පෙර

01. රටේ පැවති විදුලි බිළ අද 400% වඩා වැඩි බව කියන්නේ අරගලයේ සෝභිත හිමියයන්ය.?
02 ගෝඨාභය එලවීමට පෙර වැටුපට බදු කැපුවේ,නැත. අද වැටුපට අදාල බදු කැපීමට අදෝනාය ?
03 ගෝඨාභය අතින් සිදුවුනේ අවශ්‍ය නම් උපරිම ,කන්න (යළ මහ ) 05කින් නැවත පිළිසරක කර ගත හැකි හරිගියා නම් ඩොලර් බිලියන ගානක ලාභයක් රටට ලැබෙන දිගුකාලීනව රටේ පරම්පරාවට බෝ,නොවන රෝග වලින් බේරීමට හැකි වැරැද්දකි. ඒ රටම කාබනික වගාවට හැරවීමට කරන ලද උත්සාහයයි.

අරගලයෙන් පසු සිදුවන්නේ ආපහු හැරවිය නොහැකි බලශක්තිය සුරක්ෂිත තාව ඉඩම් ස්වෛරීභාවය ආර්ථික ස්වෛරීභාවය පිටරටවල් සතු වන අනාගත පරම්පරාවට බිලියන ගනනින් වන්දි,ගෙවීමට සිදුවන නිවරදි කරන්න බැරි වැරදිය.?

03.ගෝඨාභය එලෙව්වා කියන අරගලය යන විට රෝහල් වල තිබිය යුතු ඹෟෂධ පවත්වා ගෙන යමින්,තිබුනේය.
අරගලයෙන් පසු රෝහල් වල අවම බෙහෙත් තොගයවත් අහිමි විය.?

04. එදා කෘතීමව ඇති කරපු උද්ධමනය අරගලයෙන් පසු අද තනි ඉලක්කමට අඩුකලා කීවත් මිනිස්සු ජීවන වියදම වෙනුවෙන් අදත් පාරේය.?

05 ආර්ථිකය අමාරුවෙන් යන විටත් ගෝඨාභය EPF / ETF එකට අත තිබිබේ නැත. එහෙත් අරගලයෙන් පසු ජනතාවට එයත් අද අඩු කරමින් මංකොල්ලයක් සිදු වන්නේය.?

06 ආර්ථිකය සතු රාජ්‍ය ව්‍යාපාර විකිනීම තුළ අහිමි වෙන දහස් ගනන් රැකියා වෙනුවෙන් ගෝඨාභය රටට තෙල් ගන්න කන්න ගේන්න රාජ්‍ය ව්‍යාපාර විකුණන්න සිතුවේ නැත.
අරගලයෙන් පසු ඒවා ප්‍රසිද්ධියේම විකුණන බවට කියන්නේය රස්සා නැතිවෙන්නේ නෑ කියන්නේද බයිලාය.?
අරගලය ඇතුළු ඒ හරහා ගෝඨාභය ජනාධිපති වීමට ඇරියස් තිබ්බ හැමෝම ගෝඨාභයගෙන්,පලි ගත්තේය.?
අද එසේ,පලිය ගත් ඔවුන් සියල්ලෝම( පොහොට්ටුවද ඇතුළුව ) රටෙන් සහ ජනතාවගෙන් පලි ගනිමින් සිටින්නේය.?

ගෝඨාභය එළවු පසු,අරගලය සහ පොහොට්ටුවට බළය හිමි පාර්ලිමේන්තුව
රනිල් වික්‍රමසිංහ ජනාධිපති කර රටේ තිබ්බා කීව ගැටළු විසදුවාද වැඩිකළාද කියන එක ඔබ ඔබෙන් විමසන්න.‼️

අද වේදිකා ගහගෙන එක එකාට බැන ගන්නා සියළු පාර්ශව තමන් රැවටුන බව සහ ගෝඨාභය එලවීමේදී ජනතාව රැවටුව බව වහගන්න ජනතාවට බයිලා සපයන්නේය.

ගෝඨාභය එලවා රටට ලැබුන ලබ්බක්,නැත

එහෙත් තව පරම්පරා ගනනකට විදවන අහිමිවීම් නම් රටට ලියවෙමින් පවතී.

.................. නුවන් මොණරවිළ...................//

විදුලි බිල වැඩි වන්න එක් හේතුවක් වුයේ විදුලි බල මණ්ඩලය දශක ගනනාවක් සහන මිලට සේවා සැපයීම නිසා ලැබු පාඩුව නිසාය. එම පාඩුව පියැවීමට සිදු වුයේ භාණ්ඩාගරයෙනි. එනම් බදු ආදායම් වලිනි. අනෙක් හේතුව දුෂණය වංචාව නාස්තිය සහ අකාර්යක්ෂමතාවය නිසා මණ්ඩලයට වන අනෙක් පාඩුවය. ගෝඨා අඩු මිලට විදුලිය දුන්නේ මේ බිලියන් සිය ගනනක පාඩුවක් රටට ඉතිරිකරය. ඒ වැරදි ක්‍රමය වැලැක්වීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. ඒ පමණක් නොවේ. එදා විදුලි බල මණ්ඩලය රාජ්‍ය බැංකුවලට තෙල් සංස්ථාවට තිබු හිඟ ණය ගෙවීමට හෝ ගෝඨා පාලනයට හැකියාව තිබුණේ නැත. විදුලි නිශ්පාදනයට ඉන්ධන ගලඅඟුරු සපයාගැනීමට විදේශ විනිමය තිබුණෙත් නැත. පැය දහය දොලහා විදුලිය කැපුව බවත් අමතක නොකළ යුතුය. මේවා වුණේ අරගලය නිසා නොවේ.

පෙර ආණ්ඩු සමයේදී ක්‍රියාත්මක වූ වැ‍ටුපට බදු අයකර ගැනීමේ ක්‍රමය ලිහිල් කිරීම සහ අනෙක් ව්‍යාපාරික බදු සහන නිසා රාජ්‍ය ආදායම අහිමි කර ගෙන තිබිණි. රජයට එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට තබා රාජ්‍ය සේවයේ පඩි නඩි ගෙවීමත් අර්බුදයක් වී තිබිණි. අද බදු අ‍ඳෝනාව එදා වැ‍ටුප් අහිමි වීමේ අඳෝනාවක් බවට පත් වීඑමට ආසන්න තත්වයක තිබිණි. අද නැවත බදු පැනවීම් හරහා රාජ්‍ය ආදායම වැඩි කරගෙන තිබේ. මෙම බදු ප්‍රතිශත ගැන අ‍ඳෝනා නැගුවද ලෝකයේ අඩුම බදු ප්‍රතිශතයක් මේ රට තුළ තව දුරටත් ක්‍රියාත්මකය.

කාබනික පොහොර විගඩම ගැන කියන්න තියෙන්නේ මේ රටේ පාලකයකු ගත් මරි මෝඩම තීරණය යනුවෙනි. එය කිසිදා සාර්ථක වීමක් වන්නෙ නැතිය. රසායනික පොහොර නිසා වකුගඩු රෝගය වර්ධනය වනවාය කීම ලෝක බොරුවකි. මේක ගෝඨා ගිල්ල නැව් කඹයකි. එ්කෙන් වුණේ රටේ දැවැන්ත ආහාර හීඟයකි. වගා පාළුවකි. අපනයන බෝග ආදායම් අහිමි වීමකි. ගොවියන්ට යන එනමන් නැති වීමකි. තව කන්යක් දෙකක් එසේ වූවනම් රටම බඩගින්නේ විනාසවීමට නියමික් විය. මන්ද පිටරටකින් හෝ ආහාර ගෙන්වා ගැනීමට රජයට මුදල් තිබුනේ නැති නිසාය.

බලශක්ති සුරක්ෂිතතාවය ගැන මෙරට අමුතු ගැටලුවක් ඇත්තෙ නැත. එය කොහොමත් රඳාපවතින්නෙ විදේශයන් මතය. ඉඩම් ස්වෛරීභාවය ගෙන ගැටලුවක් තිබුනෙ රාජපක්ෂ යුගයේදීය. රටේ ඉඩම් සින්නක්කරයටම චීනයට ලියලා දුන්නෙ ගෝඨාබයලාගේ මැදිහත් වීමෙනි. තවහිටියා නම් රටම සින්නක්කරේට චිනයට දී අවසන් වීම සිදුවිය හැකිව් තිබිණි. ආර්ථික ස්වෛරීභාවය කියමින් සියරට දේ සිරි සැපදෙ තියරියෙන් කරගත් හරිය ඇතිය. කරවටත් ගිලී සිටියදීත් ගත්තේ මරිමෝඩ තීන්දුය. ඒ ගැන තව කියන්න දෙයක් නැත.

රෝහල් වල ඖෂධ තිබුණා විය හැකිය. එත් මිනිස්සු පාරට බැස්සෙ ඔවුන් ඖෂධ නැතුව පිඩා විදිමින් තිබියදීය. ඖෂධ ටික ගෙන්න ගන්න ඩොලර් තිබුණෙත් නැත. ෆාමසි වල ඖෂධ මිල අහස උසට නැග තිබිනි. ඒ වගෙම අවශ්‍ය ඖෂධ ෆාමසි වලත් තිබුණේ හිඟයකි. කොරොනා කාලෙදිත් වැඩේ බේර ගත්තේ ජාත්‍යන්තර මානුෂික ආධාර වලට පින් සිදු වන්නටය.

උද්ධමනය ඇති වුණේ ගෝඨා පාලනයේ වැරදි මුල්‍ය ප්‍රතිපත්ති නිසාය. රජයේ වියදම් පියවා ගන්න හිතේ හැටියට සල්ලි අච්චු ගැසුවේය. ඒ ගහන්න ගහන්න උද්ධමනය ඉහළ ගියේ ලෝක වාර්තා සමකරන්නට මෙනි. ඇත්ත, ඒක කෘතිමය. ගෝඨලා හදපු එකක්ය. අද උද්ධමනය තනි ඉලක්කමට අඩුවී ඇත. ගෝඨා එන්න කලින් තිබ්බ මිලට බඩු මිල තව අඩුවී නැත. එ්කත් ඇත්තය. නමුත් ඒ ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

ඊපීෆ්/ඊටීෆ් මංකොල්ල කා නැත. ඒ සාමාජිකයන්ට ඒ ප්‍රතිලාබ අඩුවකින් තොරව ලැබෙනු ඇත. සිදු වූයේ යම් කාලයකට රජයේ දේශීය ණය ප්‍රශ්නය වෙනුවෙන් අරමුදලෙන් ගත හැකි වාසියක් රජය ගැනීමය. අරමුදලට හානියක් වී නැත. සාමාජික ප්‍රතිලාබ වලට අලාබයක් හෝ වී නැත.

රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් වීම රාජ්‍ය ප්‍රතිපත්තිය, වර්තමාන රජයේ ගත් පියවරක්ම නොවේ. ගෝඨාගේ අවසාන් කාලයේදීත් මේ පියවර ගනු ලැබුවේය. ඒ් ලැයිස්තු හැදුවේ ඔහු ජනාධිපතිව සිටියදීය. ඒ කවර පියවරක් ගත්තත් රාජ්‍ය සේවකයන් නිකම්ම දොට්ට දැමීමේ පියවරක් ගෙන නැත. රාජ්‍ය සේවය රටට බරක් යැයි කිව්වෙ ගෝඨාගේ මුදල් ඇමැති බැසිල් විසින්ය. රාජ්‍ය සේවය කප්පාදු කරන්න හිතුවෙ ඒ කාලයේමය.

ගෝඨාගෙන් පලිගන්න අවශ්‍ය වුයේම ගෝඨාව බලයට පත් කළ මිනිසුන්ටමය. ඇත්ත ඒ්කය. ඒ මිනිසුන්ට පාරක තොටක බැහැල යන්න නැති කළේ ගොඨාය. ඒ නිසා ඔවුන්ගෙ පලිගැනීමෙ චේතනාව සාධාරණය. කිසිවකුත් රටෙන් පළිගන්නේ නම් ඒ බංකොලොත් රට වැරදි පාරෙන් නිවැරදි පාරට ගෙන රට හදන්න තිබෙන අවස්ථාව කඩාකප්පල් කරන උන්ගේ වැඩකි.

ගෝඨාව එළවා දැමීම සාධාරණය, යුක්ති සහගතය. තවත් හිටියා නම් රටක් ඉතුරු නොවේ. ජනතාවක් ඉතුරු නොවේ. අද ක්‍රියාත්මක වන්නේ ගෝඨලා ඇති කළ මහා අර්බුදයෙන් රට බෙරාගැනීමේ දුෂ්කර වැඩ පිළිවෙලකි. එම වැඩපිලිවෙල තුළ ගෝඨා බලයට ගෙන එන්න පෙර පැවැති යුගයට පැමිණෙන්නත් තවත් කාලයක් ගත වෙනු ඇත.මන්ද ගෝඨා රට ඇද දමුවේ එසේ මෙසේ පාතාලයකට නොවන නිසාය. ඒ නිසා ගැටලු විසදෙනු ඇත්තෙ යළි රට සාමන්‍ය වී ආර්ථිකය ස්ථාවර තත්වයට පත් වීමෙන් පසුවය. ඊට තවදුර යන්නට සිදුවනු ඇත.

ගෝඨා එළවීමෙන් ජනතාව රැවැටුණේ නැත. ගෝඨාව එලෙව්වෙ ජනතාවය. අද ජනතාව යළි ගෝඨා පන්නයේ මරිමෝඩ විකාර පාලනයක් කිසිසේත් අපේක්ෂා කරන්නේ නැත. එවැන්නක් නොවෙන තැනට වැඩ කරමින් සිටී. එය එජාපය තුළ හෝ වේවා, ජවිපෙ තුළ හෝ වේවා සජබය තුළ හෝ වේවා ඒතබා පොහොට්‍ටුව තුළ තවදුරටත් ගොනුවී සිටින වුන් පවා තීරණය කර ඇත්තේ තවත් ගෝඨාලා රාජපක්ෂලා රටට අවශ්‍ය නැති බවය. ගෝඨාව එලෙව්වේ ලබ්බකට නොවේ. මේ ලබ්බේ තොවිලයක් කළ රට ඒ ලබ්බෙන් ගලවා ගැනීමටය. ජනතාවගේ ආපෙක්ෂාව වුණේ එ්කය. අරගලයේ අපේක්ෂාව වුණේ ඒකය. වත්මන් රාජ්‍ය පාලනයේ අපේක්ෂාවද ඒකය. අනාගත පරම්පරාව ගෝඨලාගේ රාජපක්ෂලාගේ සාපයෙන් මිදෙනු ඇත. අද අහිමිවීම් දරාගෙන ඔවුන් හෙට දවස ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඇත්ත එ්කය.

මේ නිසා ගෝඨාව ආපහු ජනාධීපතිධුරයට පත්කරන්න හිතෙනවා නම් ඒ පිස්සෙක් මිස සිහි බුද්ධියක් ඇති අයකු නම් නොවේ. ඒ තබා ගෝඨා පන්නයේ මරිමෝඩ විකාර දේශපාලනයකුත් යළි රටට අවශ්‍ය යැයි සිතීම රටට කෙලවීමට ගන්නා තවත් උත්සාහයක් මිසක් අනෙකක් නොවේ.

-සුජය

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us