දැන් හැමෝම රු. මිලියනයක ණයකාරයෙක්. තනියෙම ගෙවන්න වෙයිද? Featured

Saturday, 20 August 2022 14:21

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2021 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22.156 සමඟ සැසඳීමේදී මේ වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය රු. 1,052,089 ක් බවට පත්වී ඇත. 2021 වසර අවාසානයේ දී එය දැක්වුණේ රු. 793,888 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 23.31 කි.

එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත.

මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන්ව තිබුණු මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මාස 04 ක් වැනි කාලයක් තුළ දී රු. බිලියන 5,720.7 කින් හෙවත් 32.52% කින් වැඩි වී තිබීමයි.

2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක් ලෙසින් වාර්තා වූ මෙම අගය 2022 ජනවාරි මාසයේ දී රු. බිලියන 17,873.0 ක් දක්වා සහ 2022 පෙබරවාරි මාසයේ දී රු. බිලියන 17,940.2 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගියද 2022 මාර්තු මාසය අවසානයේ දී එය රු. බිලියන 21,696.6 ක් දක්වා දැවැන්ත ප්‍රමාණයකින් වැඩි වී තිබුණි. ප්‍රධාන වශයෙන් රුපියල පා කිරීමට ගත් තීරණයත් සමඟම විදේශ මුදලින් නාමකරණය වී තිබුණු ණය ප්‍රමාණයන් හි රුපියල් වටිනාකම ඉහළ යාම මෙලෙස මාර්තු මාසය තුළ දී රු. බිලියන 3,756.4 ක් තරම් විශාල අගයයකින් සමස්ත ණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මෙම කරුණත් සමඟ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ද සීඝ්‍ර වැඩිවීමකට ලක්ව තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ, අධිකාරී, ආචාර්ය එම්. ඉසෙඩ්. එම්. ආසිම් මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

"ඒක පුද්ගල ණය අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ වර්ෂික සම්පූර්ණ ණය ප්‍රමාණය, වාර්ෂික ජනගහනයෙන් බෙදලා. 2021 වාර්ෂික ණය ප්‍රමාණය තිබුණේ ට්‍රිලියන 17.3 ක් වගේ. එය ජනගහනයෙන් බෙදලා දැනටමත් එම ඉලක්කම් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. නමුත් 2022 යම් ආකාරයකින් ණය මට්ටම ඉහළ ගියාට තවම අපේ වාර්ෂික ජනගහනය පිළිබඳ තොරතුරු සම්පූර්ණ වෙලා නැහැ. එය පැමිණියායින් පසුව එම අගයයන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් යම් ආකාරයකින් පසුගිය වසරේම ජනගහනය සලකා බලා එම අගය සකසා ගන්න පුළුවන්. අපේ සෑම සතියකම ප්‍රකාශයට පත් කරන Weekly Economic Indicators වාර්තාවේ තිබෙනවා ඒ අවස්ථාවේ සමස්ත ණය වටිනාකම."

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ දහයක ණයක් දරන්නෙකි. හෙට උපදින බිළිඳා ද මීට අයත්ය.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ තරම මෙමඟින් නිරූපණය වේ. කොහොම නමුත් මෙම ණය කන්දරාව ගෙවා ගැනීම ඉදිරි පරම්පරාවලත් වගකීමක් බවට පත්වීම නොවැලැක්විය හැකි වුවත් අද මේ ණය බර අඩුකර ගැනීම සඳහා ක්‍රමවත් නිවැරදි වැඩ පිළිවෙලක් රටට අවශ්‍යව තිබේ.

පාලකයන්ට එරෙහිව අරගල කිරීමෙන් හෝ පාලකයන් පන්නා දැමීමෙන් හෝ මේ ගැටළුවට විසඳුම් කිසිසේත්ම නොලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

රට මේ තැනට පත්වීම කෙරෙහි පසුගිය අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ මෙරට පාලන කළ පාලකයනුත් ඒ පාලකයන් පත් කර ගත් ජනතාවත් හරි හරියට වගකිව යුතු වේ.

සුබසාධනවාදී ආණ්ඩු ක්‍රමයක් නඩත්තු කරගෙන සහනාධාර මත යැපෙමින්, වංචාව, දූෂණය, නාස්තිය,අකාර්යක්ෂමතාව, අපිළිවෙල පංච සීලය කරගත් පාලන ක්‍රමවේදයත් අනුමත කරමින් පාලකයනුත් ජනතාවත් වතුර රත්වෙන තුරු දිය සැලි නටමින් සිටි කකුළුවෝ මෙන් මෙතෙක් කටයුතු කළ බව නිවැරදිම ප්‍රකාශයකි.

රට ගොඩනගන දිසාව වෙනුවට පාලකයනුත් පාලිත ජනතාවත් නිරන්තරයෙන්ම සොයා ගත්තේ තමන්ගේ පහසුවට ලෙසියට වඩාත් වාසිදායක මාවත් මිස යා යුතු නිවැරදි දිසාව නොවේ.

අද වන විට මෙ පැමිණි දිසාව වැරදි බව සියලු දෙනා පිළිගන්නා සත්‍යයක්ව තිබේ. වැරදුනේ හැමෝටමය. තවදුරටත් දැන් මේ පැමිණි පාරේම යන්න, නැතිනම් ආපසු හැරෙන්න යෝජනා කරමින් අරගලකරනවා වෙනුවට අවශ්‍යව ඇත්තේ ඉදිරියට යන්න හඳුනාගෙන තිබෙන නිවැරදි මාවතට පිවිසීමය. කවර දුෂ්කර තත්වයන් යටතේ වුවත් නිවැරදි මාර්ගයට පිවිස ගමන් කිරීම අනිවාර්යයක් වී තිබේ.

අද ජනාධිපතිවරයාත්, ආර්ථික විෂය සම්බන්ධ පක්ෂ විපක්ෂ දේශපාලනඥයනුත්, ආර්ථික විශේෂඥයනුත් යෝජනා කරමින් සිටින්නේ එකම විසඳුමක් ගැනය. යම් යම් සුළු මත ගැටුම් තිබුණත් ඔවුන් සියළු දෙනා පෙන්වන්නේ එකම දිසාවකි. ඒ සඳහා මුලික එකඟතාවයකට පිවිසීමට රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට යෝජනා වී තිබෙන සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් වෙත අනිවාර්යයෙන්ම ගොනු විය යුතුව තිබේ. එමෙන්ම ඒ වෙනුවෙන් පුරවැසි ජනතාවගේ සහය අත්‍යාවශ්‍යය. එසේ නොමැතිව වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නැත.

 

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us