රනිල්ගේ නිවසට ගිනි තැබුවේ අවජාතක අරගලකරුවෝද? Featured

Monday, 11 July 2022 00:34

දැන් මාස තුනක පමණ කාලයක් තිස්සෙ ගෝටා ගෝ හෝම් කියමින් විවිධ ක්‍රියාමාර්ග වල යෙදෙන සියලු දෙනාම අරගලකරුවන් ලෙස හැඳින්වීම එම අරගලකරුවන්ද මාධ්‍යයන්ද දේශපාලකයන්ද පූජකයන්ද සාමාන්‍ය ජනතාවද ආදී සියලු පිරිස් විසින් සිදු කරති. ඔවුන්ගේ ක්‍රියාමාර්ගයයන් කවර වෙනස්කම් ගත්තද ඒ සියල්ල අරගලයයි.


එහෙත් මේ අරගලයට සම්බන්ධ අරගලකරුවෝ යනු යම් කිසි සංවිධනයකට නිශ්චිතවම අයත් වූවෝ නොවෙති. අරගලයට සංවිධානයක් නැති බව අරගලකරුවන්ද පවසයි. නිර්පාර්ශ්වික බවද විටෙක සර්ව පාක්ෂික බවද පෙන්වා දෙයි. එසේ නමුත් මේ අරගලය තුළ සංවිධාන සියයකට ආසන්න ප්‍රමාණයක් තවමත් ක්‍රියාත්මකව තිබේ. එහෙත් ඒ සියලු දෙනා අරගලකරුවෝ යන පොදු කුලකයට ගැනෙන්නේ ඔවුන්ගේ සංවිධාන අනන්‍යතාවයන් අරගලය තුළ තහනම් වීම මතය.

කොහොම නමුත් මෙම අරගලය තුළ පෙර‍ටුගාමී සමාජවාදි පක්ෂය සක්‍රීයව වැඩි බරක් දරමින් තිබෙන බවත් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම එම පක්ෂය විසින් මෙහෙය වන අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය මෙම අරගලයේ ජවය බවට පත්ව තිබේ. කඩාගෙන බිඳගෙන යන පළමු පෙළ සටන්කරුවෝ ඔවුන්ය. එසේම ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය යන පක්ෂ දෙකද චම්පික රණවකගේ 43 කණ්ඩායමද මේ තුළ සිටී. වෙනත් පක්ෂ ක්‍රියාධරයන්ද සුළු වශයෙන් මේ ‍තුළ සිටී. විවිධ ආගමික පූජකයන්ද සිටී. පක්ෂයේ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසකද විශාල ප්‍රමාණයක් සිටී..මේ කිසිවකට අයත් නැති සාමාන්‍ය ජනතාවද යම් ප්‍රමාණය පිරිසක් අරගලයට එකතුව තිබේ.

මේ අයගේ අපේක්ෂා විවිධය. අරගලයට එකතු වන්නේ ගෝටා ගෝ හොම් කියන සටන් පාඨය සමඟ වුවත් මේ අයට විවිධ වෙනස් වෙනස් අපේක්ෂා පවතී.. ගෝටා ගෝ හොම් කියාගෙන ආවත් ඇතැමෙකුගේ අපේක්ෂාව ගෝඨා ගෙදර යැවීම නොව, තමන් මුහුණ දෙන පීඩාකාරි ගැටලුවකට පිළිතුරක් වෙනුවෙන් උදඝෝෂණ ක්‍රියාවක් ලෙස එයට සම්බන්ධ වීමය. ගෝඨාව ගෙදර යැවීම පරම අභිලාශය කරගත්ත වුන් මෙතැන සිටිනවා මෙන්ම ගෝඨා සමඟ රනිල් ද ගෙදර යායුතු බව කියන කොටසක්ද සිටී. එසේම ගෝඨා රනිල් පමණක් නොව පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යායුතු බවත් කියන පිරිස් වෙති.

එසේම මේ පිරිස ගෙදර යාමෙන් ප්‍රශ්න නොවිසදෙන බවත් දේශපාලන ආර්ථික ක්‍රමයන් වෙනස් විය යුතු බවත් කියන අය සිටී.. පාර්ලිමේන්තුවෙන් පිටත ජන බලයක් ක්‍රියාත්මක කරමින් රටේ පාලනය සියතට ගත යුතු බවත් කියන අයද වෙති. මෙවැනි විවිධ අපේක්ෂා සහිත වුන් මෙන්ම මේ කිසිදු අපේක්ෂාවක් නොමැතිව හුදු විනෝදයට, ‍රැල්ලට, මෙතැනට පැමිණෙන පිරිස්ද වෙයි. ඔවුන් ගෝටා ගෝ හෝම් හෝ කණට ඇසේන කුමක් හෝ සටන් පාඨයක් මුරගා වෙන වින්දනයක් ලබති. කොහොම නමුත් මේ සියලු දෙනාම එකම අරගලයක කොටස් කාරයන් වන අරගලකරුවන්ය.

අරගලයේ අයිතිකරුවන්ය, නායකයන්ය, සංවිධායකයන්ය කියා ගනිමින් මෙය මෙහෙයවන බලවත් පිරිසක්ද මේ අතර සිටී.. එමෙන්ම අරගලයම පාවිච්චිකරමින් නිර්පාක්ෂික අරගලකරුවන්ය, සර්වපාක්ෂික අරගලකරුවන්ය,ගාළුමුවදොර අරගලකරුවන්ය,ගෝටා ගමේ අරගලකරුවන්ය, සුජාත අරගල කරුවන්ය, ඇත්ත අරගලකරුවන්ය... ආදී වශයෙන් පසුව වෙන් වෙන වශයෙන් වූ ඒකරාශි වීම්ද තිබේ. නමුත් මේ සියලු දෙනා පොදුවේ අරගලකරුවන්ය.

ජුලි 09 වනදා ජනාධිපති මන්දිරය අල්ලා ගත්තේ, ජනාධිපති ලේකම් කාර්යලය අල්ලා ගත්තේ, අරලිය ගහ මන්දිරය අල්ලා ගත්තේ මේ සියළු වර්ගයේ අරගලකරුවන්ය. එය අරගලයේ මහා ජයග්‍රහණයක් වශයෙන්ද ප්‍රකාශයට පත් වීම සිදුව තිබිණි. ඇතැමෙකුට මෙය සමාජ විප්ලවයක්ද වී තිබිණි.කොහොම නමුත් අරගලකරුවන්ට අනුව මෙය විශාල සාමුහික විජයග්‍රහණයකි. ඓතිහාසික මොහොතකි.

මේ සියල්ල මෙසේ වූවත් අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව එයට සමාජය තුළින් බරපතල විරෝධයක් එල්ලවන විට, එය අරගලකරුවන්ගේ වැඩක් නොවන බව කියන්න මෙම අරගලකරුවන් දිගින් දිගටම කටයුතු කරමින් තිබේ.මේ මොහොතේත් ඒ තහවුරු කරන්න දැඩි උත්සාහයක් ගනු ලබමින් තිබේ.

එහෙත් අප සියලු දෙනා දන්නා ලෙස අගමැතිවරයාගේ නිවස වට කරමින් එතැන උදඝෝෂණය කරමින් සිටියේ සහ නිවසට පැන අලාබහානි කර අවසානයේ ගිනි තැබීම සිදු කරන ලද්දේත් මෙම අරගලකරුවෝ නම් පොදු කුලකයෙ පිරිසය.

අරගලයේ සංවිධායකයන්, නායකයන් හෝ අයිතිකරුවන් ලෙස පෙනී සිටින පිරිස් කියන්නේ අරගලයට මුවා වී යම් පිරිසක් මෙය කළ බවය. නැතිනම් රනිල් විසින්ම කළ බවය. එසේ නැතිනම් ආණ්ඩුව විසින්ම එසේත් නැතිනම් ආරක්ෂක අංශ විසින්ම මෙය සිදු කළ බවය.

කොහොම නමුත් මේ තුච්ඡ ප්‍රහාරය එල්ල කළේ අරගලයේ නාමයෙන් පැමිණි පිරිස විසින් බවට අමුතුවෙන් ඔප්පු කිරීමට තරම් දෙයක් නැත. ඒ අතර කිසිවකු හෝ කණ්ඩායමක් විසින් මේ ගිනි තැබීම සිදු කෙරිණි. දැන් ඒ මැර වැඩේ කළ පිරිස් අරගලකරුවන් නොවන බව කියන්නේ කවර පදනමකින්ද.? ගොටා ගෝ හෝම් කියාගෙන ආවානම්, ගෝටා රනිල් දෙන්නම පලයන්, කියාගෙන ආවා නම් ඒ අරගලකරුවෙකි. එහෙම කිව්වාට ඒ අය අරගලකරුවන් නොවේය, අපි තමයි නියම අරගලකරුවන් කියා කිසිවකුට පැවසිය හැකිද?

රනිල්ගේ නිවස අසල අරගලයට ප්‍රහාරයක් එල්ල වෙනවාය, අරගලකරුවන්ට හොඳටම පහර දෙනවාය, අත් අඩංගුවට ගන්නවාය, කට්ටිය හිර වෙලාය, බේරගන්න වරෙල්ලාය, වැනි පට්ටපල් බොරු ප්‍රචාරය කරමින් වහාම එතැනට රැස් වෙන්නය කියමින් පිරිස එතැනට ගෙන්වුයේ මේ අරගලයේ සංවිධායකයන් ලෙස පෙනී සිටින පිරිසය. හරියට සතුරු හමුදාවකගේ ග්‍රහණයට හසුවූ පිරිසක් බේරා ගැනීමේ හමුදා මෙහෙයුමක් දියත් කරන ස්වරූපයක් මෙහි තිබිණි.

සිරස රුපවහිනිය හරහා දිගින් දිගටම තමන්ගේ මාධ්‍යවේදීන් තිදෙනෙකුට ප්‍රහාරයක් එල්ල් වූවාය, කියමින් මහා අඳෝනාවක් ගෙන ගිය අතර එහිදී අගමැති පෞද්ගලික නිවස පිහිටි ස්ථානය දැඩිව අවධාරණය කරමින් ඒ වෙත අරගලකරුවන් කැඳවීමට විශාල මහන්සියක් ගනු ලැබීමත් සිදු විය. මෙම මාධ්‍ය ජවනිකාවද කළබලයක් ඇතිකිරීම වෙනුවෙන් සැලසුම් සහගතව සිදු කෙරුණක් බව පෙනෙන්ට තිබිණි.

ඒ අනුව මෙතැනට අරගලකරුවන් සිය ගනින් ‍රැස් කරවූ අතර ජනාධිපති මන්දිරය අරලිගහ මැදුරට, ලේකම් කාර්යාලයට කඩා පැන්න ආකාරයට පොලිස් බාධක කඩා බිඳ දමමින් මෙම පිරිස නිවසට ඇතුලු විය. ඒ් බැරියර් කඩාගෙන යෑමේ අත්දැකීම් ඇති පුහුණුවක් ඇති ජවයෙන් පිරුණු අරගලකරුවන් පිරිසකි.

මෙය රාජ්‍ය දේපොළක් නොවුණු නිසා සහ හානි නොකර සිටීමේ තීරණය ගැනීමට අරගලයේ නායකයන් යැයි කියන කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා මෙය කඩා බිඳ ගිනිතබා විනාශ කර දැමීම ගැන ඔවුන්ට දෙවරක් සිතන්න අවශ්‍ය වූයේ නැතිවා විය හැකිය.ඒ අතර මෙමය විනාශ කිරීමේ වුවමණාවෙන්ම මෙතැනට පැමිණි අරගලකරුවන්ද සිටියා විය හැකිය. අගමැති රනිල් සමඟ බද්ද වෛරයෙන් පෙලෙන්නන් ද සිටියා විය හැකිය. ඔවුන් විසින් මේ සඳහා පෙළඹවීම් කරන්න පැහැදිලි ඉඩක් තිබිණි. එසේ හැසිරුණු පිරිස් ගැනද දැන් තොරතුරු තිබේ.

ඒ අනුව නිවස අවසානයේ ගිනි තැබීම සිදු විය. ඊට සම්බන්ධ වූවෝ සියලු දෙනාම අරගලකරුවන් කියන පොදු කුලකයේ පිරිස මිසක් වෙනත් පිටස්තර කණ්ඩායමක් නොවේ. මෙම අවස්ථාව සජීවීව සමාජ ජාලා වල මුදා හැරිය මෙම අරගලයේ ප්‍රචාරක භූමිකා රඟ දක්වනු ලැබු පිරිස එම ගිනි තැබීමත් සමඟ එතැනින් වහා පිටත් වී යන අයුරුද එම විඩියෝ වල පැහැදිලිවම සටහන්ව තිබිණි. ඉක්මනට මෙතැනින් මාරුවෙමු කියා සෙසු පිරිස වලට හඬගා කියන වචන පැහැදිලිව පටිගතව තිබිණි.

කොහොම නමුත් අගමැති නිවස ගිනි තැබුවේ අරගලකරුවන් නොවේය, වෙනත් පිරිසක් බව තහවුරු කරන්න මෙම අරගලයේ පිරිස් විවිධ තර්ක, හේතු සාක්ෂි, සාධක උලුප්පවා දක්වමින් මේ කළ මහ අපරාධයෙන් ගැලවෙන්න උත්සහ ගත්තද පැහැදිලිවම මෙය සිදු කළේ අරගලකරුවෝ ලෙස පෙනී සිටින පිරිස විසින්මය.

තමන්ට වාසි වෙන තැන සියලු දෙනා පොදුවේ අරගලකරුවන් වන්නත් අවාසි වෙන තැන අරගලකරුවන් නොවෙන්නත් නොහැකිය. කලින් තමන් සමඟම ජනාධිපති මන්දිරයට, අරලිය ගහ මන්දිරයට ඇතුලු වී යම් අලාබහානි සිදු කළ වුන්ද අරගලකරුවන් නොවේය වෙනත් පිරිසක්ය කියන කතන්දර ඇසෙන්නට තිබිණි.

අරගලකරුවෝ නමින් නිශ්චිත සංවිධානයක්, මෙහෙයවන නිශ්චිත නායකයන් සිටියා නම් මෙය ඒ සංවිධාන වගකීමෙන් ඔවුන්ට ගැලවිය හැකිව තිබිණි. එහෙත් එසේ නිශ්චිත සංවිධානයක් නැත, නිශ්චිත නායකයන්ද නැත. නිශ්චිත සාමාජිකයන්ද නැත. මෙය පොදු එකතුවකි. ඒ නිසා ඒක කළේ අරගලකරුවන්ය, මේක කළේ අරගලකරුවන් නොවේය කියන්න කිසිවකුට නොහැක.

අරගලයට කවරාකාරයෙන් හෝ සම්බන්ධ වන සියලු දෙනාම අරගලයේ සැබෑ කොටස් කරුවන්ය.. එහි සුජාත අරගලකරුවන් හෝ අවජාතක අරගලකරුවන් හෝ කියා නැත. අපි නිර්පාක්ෂිකය අපි සර්වපාක්ෂිකය කියා නැත. අපි ඇත්ත අරගලකරුවන්ය උන් බොරු අරගකරුවන්ය කියා එකක් නැත.

අරගලය විසින් ඇති කරනු ලබන සියලු දෙය මේ සියලු දෙනා විසින් බාරගත යුතුය. ඒ අනුව අගමැති පෞද්ගලික නිවස ගිනි තබා විනාශ කළේ මේ අරගලකරුවන් විසින්ම මිස පිටස්තරයෙන් පැමිණි කිසිවකු නොවේ.

එසේම මෙම තත්වය ඇති කළේ අරගලය විසින්ය.මෙතැනට අරගලකරුවන් කැඳවූයේ අරගලයේ ප්‍රසිද්ධ මෙහෙයුම්කරුවන්ය. අරගලකරුවන් එම නිවස ඉදිරිපිට කැරැලි නොගසන්න මෙය සිදු වන්නේ නැත. මේ විනාශයට අවශ්‍ය පරිසරය හැදුවේ මේ අරගල නායකයන් සහ සිරස රූපවාහිනියයි. සිරස රූපවාහිනිය එදින උදෑසන සිටම සිටියේ අරගලය සමඟය. එය අරගලයේ නිල රූපවාහිනිය වන තරමට සම්පූර්ණ දිනය පුරා සජීව විස්තර ප්‍රචාරයක් ගෙන ගියේය, ඒ අවසන් කළේ අගමැති නිවසට ගිනි ඇවිලවීම සිදුවීමත් සමඟය.

එතැකින් ඔවුන්ගේ මෙහෙයුම අවසන් කෙරිණි. එදින අරගලයේත් අවසන් මෙහෙයුම වූයේ මෙම නිවස ගිනි තැබීමය.

අරගලයක්දී ඊට එකතුවන පිරිස් විවිධ තරාතිරම් වල, විවිධ අවබෝධයන්, දැන උගත්කම් අනුව වෙනස්ය. ඔවුන්ගේ හැසිරීම් ප්‍රතිචාරයන් වෙනස්ය. ජනාධිපති මන්දිරයේදී නොවුණු දේ මෙතැන වුණේ කොහොමදැයි කියා අසන අරගලකරුවන්ට ඒ තර්කය මත මේ වගකීමෙන් ගැලවිය නොහැක. මන්ද ජනාධිපති/ අගමැති මන්දිරයවලට ඇතුලුවන විට එම පිරිස් තෝරා වෙන් කළේ නැත.එතැන සිටි අරගලකරුවන් සියළු දෙනාගේ සුජාතබාවය පිළිගත හැකි නම් මෙතැනට ඇතුලු වූවන්ගේ සුජාතබාවයද පිළිගත යුතුය. ලැබුණු පණිවිඩයට මෙතැනට දුවගෙන ආවේ එතැන සිටි පිරිස්මය. ගිනි තැබුවේද ඔවුන්මය. සියල්ල පැහැදිලිය.

-the novemberist

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us