ආණ්ඩුව පෙ‍රැළුණොත් IMF ණයට මොකද වෙන්නේ.?   Featured

Friday, 08 July 2022 16:10

ශ්‍රි ලංකාව දැනට මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟ වීමේ ගැටලුවය. රටේ අවශ්‍යතා සඳහා වන ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් විදේශ විනිමය (ඩොලර්) නැත. මේ වන විට රට උපයන ඩොලර් ප්‍රමාණය ආනයනයන් වෙනුවෙන් වැය කරන්න නොහැකි වීමේ අර්බුදය සමනය කරගැනීමට නම් ඩොලර් උපයා ගැනීමේ මාර්ග වර්ධනය කරගැනීම හෝ අලුත් මාර්ග සොයා ගතයුතුය.

එහෙත් එය හිතන තරම් සරළ නැත. කාලයක් ගතවන වැඩකි. මීට පෙර රටට ඩොලර් අත්පත් කරගත් විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ විශාල වශයෙන් කඩා වැටීමත් , සංචාරක කර්මාන්තය දුර්වල වීමත් ප්‍රධාන වශයෙන් මෙයට බලපා ඇත. දැනට සැලකිය යුතු තත්වයක ආදායම් උපදවමින් තිබෙන්නෙ අපනයනයන් හරහා ලැබෙන විදේශ විනිමය පමණි. නමුත් එයත් පවතින්නෙ අසීරු අඩියකය. රට තුල නිශ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙමින් තිබේ. අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් හිඟව වී තිබේ. ප්‍රධාන අපනයන කර්මාන්ත්ය වන ඇඟලුම් කර්මාන්තය පවත්වගැනීමත් දුෂ්කරතාවයන්ට පත්ව තිබේ.

මේ තත්වය යම් තරමකට හෝ සමතයකට පත් කර ගැනීම සඳහා කෙටිකලින පියවරක් ලෙස රජය ගත් තීරණය වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් සලසා ගැනීමය. ඒ අනුව දැන් මාස කිහිපයකට පෙර එම අරමුදලෙන් ණය පහසුකමක් ඉල්ලා සිටියේය. මුල්‍ය අරමුදල, ලබා දෙන ණය පහසුකම් ගනනාවක් ඇති අතර ශ්‍රී ලංකා රජය එයින් ඉල්ලා සිටියේ විස්තීර්ණ වගකීම් පහසුකම් ක්‍රමය (Extended Credit Facility - ECF) ඔස්සෙ ලබා දෙන ණයය.

මේ වෙනුවෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගියද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියොජිතයන් පිරිසක් මෙරටට පැමිණ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුල්‍ය ක්ෂේත්‍රයේ සියලුම රාජ්‍ය ප්‍රධානින් සමඟ සාකච්ඡා ගනනාවක් සිදු කර ආපසු ගියේය. නමුත් ණය අනුමත කිරීමක් ගැන තවම කතාවක් නැත. මන්ද එම නියෝජිතයනට තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡ කළ යුතුව තිබීමයි.

මෙම සාකච්ඡාවල මූලික පියවර අවසන් වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ඇතිකරගැනීමෙන් පසුවය.ඉන් පසු තවත් අදියර කිහිපයක සාකච්ඡා පැවැත්වෙනු අතර ඒ සියල්ලෙන් ණය අනුමත විය යුතුය. මේ තවත් මාස කිහිපයක් ගත වන කටයුත්තකි.

‍කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට හෝ එන්න තවදුරටත් සාක්ච්ඡා කිරීමට සිදුවන බව මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පවසා සිටින්නේ ණය අනුමත කිරීමට ශ්‍රීලංකාව සැපිරිය යුතු කොන්දේසී සම්බන්ධයෙන් එකඟතාවයක් නොවීම නිසාය.

මෙරට ආර්ථිකය දුෂ්‍ය වී, ජරාවාස වී ඇති ප්‍රමාණය අනුව රටේ ආර්ථිකය නිවැරදි ඉලක්කයකට, නිවැරදි දිශාවකට,නිවැරදි පිළිවෙතකට ගැනීම අසීරුව තිබේ. පාලකයාත් පාලිතයාත් එකම දූෂිත වළල්ලක සාමාජිකයන්ව සිටී. ඇත්ත ඒකය.
මේ නිසා මේක සුද්ද බුද්ද කරගත යුතු බවට අදහසක්වත් රටේ නැත. තමන්ගේ වාසියට යමක් වේ නම් මිසක ඒවාට ඉඩක් අවසරයක් ලැබෙන්නේත් නැත.

මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය අනුව කොටින්ම මේ ඉල්ලුම්කරන ණය ආපසු ගෙවන්නේ කෙසේද ආදායම් උපදවන්නේ කෙසේද යන්න ස්ථිර වැඩ පිළිවෙලක් ශ්‍රීලංකාවෙන් ඉදිරිපත් විය යුතු නමුත් එය පෙන්වීමට හෝ සමත්ව නැති බව මෙම නියෝජිතයන්ගේ ප්‍රකාශ වලින් පැහැදිලිය.

මූල්‍ය අරමුදල මෙරට ආර්ථිකය සවිමත් කිරීමට විශේෂයෙන්ම දිගුකාලීන බදු සංශෝධන අවශ්‍ය බවට,දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය මුලිනුපුටා දැමීම විය යුතු බවට ඔවුන් අවධානයට ලක්කර තිබිණි. 2019 ගෝඨාභය පාලන සමය තුළදී සිදු කළ බදු සංශෝධන නිසා රාජ්‍ය ආදායම වසරකට බිලියන 600 කින් පමණ අහිමි කර ගැනීම සිදු විය. රටේ වත්මන් අර්බුදයට මූල එතැනය. මෙම පියවරයන් හරහා විශාල දූෂණ වංචා ප්‍රමාණයක්ද සිදු තිබිණි.

පසුව වසංගත තත්වය නිසා ආර්ථිකට වූ හානියත් .. කෙමෙන් ගොඩ නැඟුනු ආර්ථික ගැටළු අර්බුදයක් කරා තිව්‍ර කළ තත්වයන් මගිනුත් ඒවාට ගත් වැරදි පියවරයනුත් නිසා රට බංකොලොත් වන තැනට පත් විය.

කොහොම නමුත් මෙම ණය පහසුකම ලබාදීම තවම මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කර නැත. නමුත් අදාල කොන්දෙසි සපුරාලීමෙන් පමණක් ඒ ලබා ගැනීමේ හැකියාව තවම තිබේ. එය ලබා ගැනීමට සැපිරිය යුතු කොන්දේසි මොනවාද යන්න ගැන කෙටි පැහැදිලි කිරීමක් කර ගත යුතුය.

විස්තීර්ණ වගකීම් පහසුකම් ක්‍රමය (ECF) මඟින් පහසුකම් ලැබෙන්න ශක්තිමත් සහ කල් පවත්නා ආර්ථික වැඩසටහනක් තිබිය යුතුය. එමඟින් දරිද්‍රතාවය අඩු කිරීම සහ වර්ධනයට අනුකූලව ස්ථාවර සහ තිරසාර සාර්ව ආර්ථික තත්වයක් කරා ගමන් කිරීම ඉලක්කයක් තිබිය යුතුය.

සාර්ව ආර්ථික අසමතුලිතතා විසඳීමට මධ්‍ය කාලීන හෝ දිගු කාලීන වැඩසටහන් තිබිය යුතුය.

රටේ ගෙවුම් ශේෂයේ (අපනයනය කරනවාට වඩා නිෂ්පාදන,ප්‍රාග්ධනය සහ සේවා ආනයනය කිරීමේ පරතරය පියවීමේ ) අවශ්‍යතාවය, ආර්ථික වැඩසටහනේ ශක්තිය සහ අරමුදල ආපසු ගෙවීමේ හැකියාව, හිඟ අරමුදල් ණය ප්‍රමාණය සහ සාමාජිකයාගේ අතීත වාර්තාව ආදීය සැලකිල්ලට ගනී. එක් එක් සිද්ධිය අනුව වෙන වෙනම තීරණයන් ගනී . අතීත වාර්තාව ඉතා නරකය.

එසේම අරමුදල් ණය භාවිතය සහ ඒ සිදුකරන ප්‍රමිතීන් ගැන සැලකිලිමත් වේ.

ECF යටතේ, සාමාජික රටවල් මධ්‍ය කාලීනව ස්ථාවර සහ තිරසාර සාර්ව ආර්ථික තත්ත්වයකට ප්‍රගතියක් ලබා ගැනීමට උපකාර වන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමට එකඟ විය යුතුය. නිශ්චිත කොන්දේසි ඇතුළුව මෙම කැපවීම් රටේ අභිප්‍රාය ලිපියක් මඟින් විස්තර කළ යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රමලේඛය අනුව ඒ සිදුවන බවට කොන්දේසි පිළිගත යුතුය.

එසේම රටේම සංවර්ධන උපාය මාර්ගය සමඟ සමපාතව රටේ දරිද්‍රතාවය අඩු කිරීම සහ වර්ධන අරමුණු ඉදිරියට ගෙන යාම ඉලක්ක කර ගත යුතුය.

සංවර්ධන උපායමාර්ගය දරිද්‍රතාවය අඩුකිරීමේ සහ වර්ධන උපාය මාර්ග ලේඛනයක් සැකසිය යුතුය.

රටේ මුදල් සමස්ථය, ජාත්‍යන්තර සංචිත, මූල්‍ය ශේෂයන් සහ බාහිර ණය ගැනීම් වැනි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වෙනස්වීම් නිරීක්ෂණය කිරීමට කොන්දේසි භාවිතා වේ. මෙහිදී හැකි සෑම විටම පැහැදිලි ප්‍රමාණාත්මක ඉලක්ක හරහා , සමාජීය සහ අනෙකුත් ප්‍රමුඛතා වියදම් ආරක්ෂා කිරීම අරමුණු කරයි.

මෙම මිණුම් දඬු අදාල ණය වැඩසටහන හරහා වෙනස් විය හැකි නමුත්, මූල්‍ය අංශයේ මෙහෙයුම් වැඩිදියුණු කිරීමට, සමාජ ආරක්ෂණ ක්‍රමවේද ගොඩනැගීමට, හෝ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමට ගන්නා පියවර ද ඇතුළත් වේ.

ණය වැඩසටහන යටතේ කාර්ය සාධනය තක්සේරු කිරීම සහ ආර්ථික වර්ධනයන්ට අනුවර්තනය වීමට ඉඩ සැලසීමට ණය වැඩසටහන් සමාලෝචන කිරීම දැඩිව සිදු කරයි.

ECF සඳහා 'දරිද්රතාවය අඩු කිරීම සහ වර්ධන උපාය මාර්ගය' සම්බන්ධ වැඩපිළිවෙල අරමුදල වෙත නිකුත් කිරීම අවශ්‍ය වේ.

මේ ආකාරයෙන් ඉතා පැහැදිලි ස්ථිරසාර පුළුල් ආර්ථික වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතුය. ඒ පිළිගත හැකි නම් ණය ලබාදීම සිදුවනු ඇත.

මේ ආර්ථක වැඩපිළිවෙළ සැකසීම මහ බැංකුවට, ආර්ථිකය සම්බන්ධ රාජ්‍ය ආයතනයකට හෝ නිලධාරීන්ට තනිව කළ හැකි නොවේ. ‌බොහෝ විටම මේ වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තීන් වෙනස් කිරීමට, ඒවා තවදුරටත් සංවර්ධනය කිරීම ආදිය සිදුකිරීම විය හැකිය.

රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම ආණ්ඩු බලය හොබවන දේශපාලන අධිකාරිය විසින් කළ යුතුය. ඇතැම් විට ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුය. බදු ක්‍රමය සංශෝධනය වනවා නම් ඒ අදාල අදායම් බදු පනත් සංශෝධනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත යුතුය.

මේ ආකාරයෙන් මෙම ණය මුදල් ලබා ගැනීමට කළ යුතු ගෙදර වැඩ බොහොමයකි. ඒ කෙසේ වූවත් මේ සිදු කිරීමට නම් රටේ පාලනය ස්ථාවර විය යුතුය. එම ස්ථාවර පාලනයක් හරහා ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම විය යුතුය. එය අනිවාර්ය තත්වයකි.

මේ වන විට වත්මන් ආණ්ඩුව මෙම වෙනස්කම් වෙනුවෙන් කළ යුතු දේ ගැන සංවාදයක් සිටී. එකඟතා මෙන්ම ඇති බාධක ජය ගැනීම ගැන විවාදයක් සිටී. කොටට් උරයක් කණපිට ගසන්නාක් මෙන් අනෙක් පැත්ත පෙරලීමක් සිදුවිය යුතුව ඇති නමුත් ඒ පහසු නැත. බදු ආදායම් වැඩි කිරීමේ යෝජනා, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම් ආදිය සිදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති, දේශපාලන කණ්ඩායම් සහ ජනතාවගෙන් එන ප්‍රතිවිරුද්ධතා සමඟ ගැටෙන්නට ද සිදුවිය හැකිය.

කොහොම නමුත් ආණඩුව මේ සියල්ල කළමණාකරනය කරගැනීමට සැලසුම් සකස් කරගනිමින් රටේ ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රමවේදයන් වැඩපිළිවෙළවල් වෙනස්කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන අවසන්ය. පසුගියදා මුල්‍ය අරමුදල සමඟ කතා කළේ මේවා ගැනය. ඔවුන්ට එකඟවිය හැකි තරමට මේවා තව දුරටත් සංශෝධනය කරමින් ඉදිරියට යෑමට සිදුව තිබේ.

අද වන විට රට තුළ පැන නැගී ඇති දේශපාලනික වියවුල් සහගත තත්වයන් හමුවේ මේ සාකච්ඡාවන් ඉදිරියට යෑමද අවිනිශ්චිතය. පවතින පාලනය පෙරළා දැමීමෙන් මිසක අවසන් නොවන දැවැන්ත මහජන උද්ඝෝෂණයක පෙරනිමිති තිබේ.

මේ අනුව යම් ලෙසකින් වත්මන් පාලකයෝ සිය පාලන බලය අත් හැරියහොත් සිදුවිය හැකි තත්වය ගැන කිසිවක් අනුමාන කළ නොහැකිය. යම් පිරිසක් පාලනය බලය අත්පත් කරගැනීමක් විය හැකි නමුදු රටේ ඉදිරි ගමනට කුමක් සිදුවෙනු ඇති දැයි පැවැසිය නොහැක.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මේ තාක් දුර පැමිණි සාකච්ඡා, එම එකඟතා වලට සිදුවන්නේ කුමක්ද යන්න කිව නොහැක. වත්මන් පාලනයේ ප්‍රතිපත්තිමය එකඟතා, ක්‍රමවේදයන් ආදිය නව පාලනයකින් නොපිළිගතහොත් විය හැකි තත්වය කුමක්ද? වෙනත් විකල්ප තිබේද? නැවත මුල සිටම සාකච්ඡා ආරම්භ කරන්න ද? එයට තව කොපමණ කාලයක් ගත වෙනු ඇතිද? ඒ සියල්ල සිදුවන තෙක් තෙල් ගෑස් කෑම බෙහෙත් පොහොර නැතිව ජනතාව බලන් සිටියිද? එතෙක් රට ඉතුරුවෙලා තියෙයිද?

හදිසි ආණ්ඩු වෙනසක දී පිළිතුරු නැති ලොකු ප්‍රශ්න පත්‍රයක් අප ඉදිරියෙහි දිග හැරෙනු ඇත.

මේ නිසා මේ මොහොතේදී රට වෙනුවෙන් ගත යුතු මුලික පියවර කුමක්ද යන්න ගැන නිවැරදි තක්සේරුවක් නොමැතිව කවුරු කවර ක්‍රියාමාර්ග ගත්තත් විනාශයක්ම පමණක් ඉතිරි විය හැකිය.

-Sj

 


(PublicFinance - උපුටා ගැනීමක්)

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙන ඉතිහාසය ගැන පොඩි විපරමක් පහත දැක්වෙනවා.

ඉලක්කමෙන් කිව්වොත්, 1950 අවුරුද්දේ ඉදන් මේ වෙනකන් අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට එළැඹිලා තියෙනවා. හැබැයි, ඒ 16න් සම්පූර්ණ කරලා තියෙන්නේ, ඒ කියන්නේ ඒ වැඩසටහන්වලින් අපිට නිර්දේශ වුණු සම්පූර්ණ මුදල ලබාගෙන- වැඩසටහන සම්පූර්ණ කරලා තියෙන්නේ අවස්ථා 9කදී විතරයි.

උදව් ඉල්ලන රටකට, අන්තර්ජාතික මූල්‍ය අරමුදල උදව් කරන ආකාරයනුත් විවිධාකාරයි. ඒවා ගැනත් දැනගෙන ඉමු.

? Standby Arrangements (SBA) සමීපස්ථ ණය පහසුකම් ?
රටේ මූල්‍ය කටයුතුවලට අදාළ ප‍්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම හරහා ආර්ථික කටයුතු නැවත විධිමත් කරන බවට ණය ලබාගන්නා රට ලබාදෙන පොරොන්දුව සහ එම කටයුතුවලට දක්වන කැපවීම මත පදනම්ව ණය මුදල් ලබාදෙන වැඩසටහන
? Extended Fund Facility (EFF) විස්තීර්ණ ණය පහසුකම ?
මධ්‍ය කාලීනව රට ඇතුළට එන මුදල් සහ රටින් පිටට යන මුදල් සමතුලිත කරගන්නට රටට නොහැකි අවස්ථාවක, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි වැඩසටහන. මෙම වැඩසටහන හරහා ලබාගන්නා ණය මුදල නැවත ගෙවීමට දීර්ඝ කාලයක් (වසර 10ක් පමණ) හිමිවීම මෙහි ඇති විශේෂත්වය වෙනවා.
? Structural Adjustment Facility Commitment (SAFC) ව්‍යුහාත්මක ගැලපුම් පහසුකම ?
ඉතුරුම් පොලී ඉහළ නැංවීම, මුල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම, වෙළඳපල නිදහස් කිරීම, රාජ්‍ය මැදිහත්වීම අවම කර වෙළඳපළ වඩාත් කාර්යක්ෂම කිරීම, රජයේ වියදම් කපාහැර ආදායම් එකතු කරගැනීමේ කි‍්‍රයාවලිය සංවර්ධනය කිරීම, රටෙන් බැහැරව පවතින සම්පත් භාවිතයට යොදාගැනීම, යන ප‍්‍රධාන මූලධර්මයන් සැළකිල්ලට ගනිමින් ණය මුදල් ලබාදෙන වැඩසටහන. මේ වන විට මෙම ණය වැඩසටහන අලූත් කර තිබෙන බව IMF වෙබ් අඩවියේ දැක්වෙනවා
? Extended Credit Facility (ECF) විස්තීර්ණ වගකීම් පහසුකම ?
රටක් දීර්ඝකාලීනව රට ඇතුළට එන මුදල් සහ රටින් පිටට යන මුදල් සමතුලිත කරගන්නට නොහැකිව සිටින අවස්ථාවක, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි වැඩසටහන. මෙසේ ලබාගන්නා ණය, මුල් වටයේදී, වසර 5ක පමණ කාලයක් ඇතුළත නැවත ගෙවිය යුතු වනවා.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us