පක්ෂ - විපක්ෂ දේශපාලන කෙළි අස්සේ, ජපානයට වෙච්ච දේ අපිටත් වෙන්න යනවා   Featured

Saturday, 25 June 2022 14:43

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සම්පූර්ණ චිත්‍රය තවම කිසිවකුට පෙනෙන්නේ නැත. එය තවම නොපැහැදිලිය. එහෙත් නුදුරේදී නැරඹිය හැකි සම්පූර්ණ චිත්‍රය ගැන නොයෙක් කතන්දර තිබේ. බොහෝ දෙනෙක් කියන්නෙ එය වර්ණවත් අලංකාර චිත්‍රයක් වනු ඇති බවය. සුබවාදී බලාපොරොත්තු ඇතිව සිටින ඒ පිරිසට අනුව මේ වන විට පවතින අර්බුදකාරිත්වයන් තව කෙටිකලකින් නිම වෙනු ඇත.

කොටින්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා සිතා සිටින්නේ තමන්ගේ ඉදිරි වසර දෙක තුළදී සාර්ථක ජනාධිපතිවරයකු ලෙස රට සුඛිත මුදිත කර තනතුරෙන් ඉවත් වන්නටය. එසේම පාර්ලිමේන්තු බහුතරය හිමිකරගෙන සිටින පොදුජන පෙරමුණ සිතා සිටින්නේ ද මේක තෙල් ටික ගෙනාවම, ගෑස් ටික ගෙනාවාම, මිනිස්සුන්ගේ බඩ පිරෙව්වාම.. අවසන් වන අර්බුදයක් බවත් ඒ හරිය අගමැති රනිල් කර දුන් පසුව රනිල් පන්නා..යළි ආණ්ඩුවක් පිහි‍ටුවා ගත හැකි බවය. සෙසු විපක්ෂ දේශපාලන පක්ෂ නම් කියන්නෙ ගෝඨාට බෑ.. රනිල්ට බෑ.. අපි ආවොත් සු‍ටුස් ගාල මේක හදලා පෙන්වනවාය කියන කතන්දරයය.ඒ නිස මහා මැතිවරණයක් වහා කැඳවීම කළ යුතු බවත් කියයි..

10 කටවත් නැගිටින්න බෑ

නමුත් ආර්ථිකය ගැන එහි අහුකොන් ගැන හොදින්ම දන්නා කියන ඒ සම්බන්ධ විද්වතුන් බහුතරයකගේ මතය නම් මේ තව අවුරුදු 10 කටවත් මේක ගොඩගත නොහැකි බවය. මේ කතාව සාමාන්‍ය මිනිසුන්ට නම් විශ්වාස කළ නොහැක. අවුරුදු 10 ක් යන්නේ ආණ්ඩු කාල සීමාවල් දෙකකි. අවුරුදු පහෙන් පහට ආණ්ඩු මරු කරමින් පාලකයන් මාරු කරමින් රටේ සංවර්ධනය වෙන්න ඔන හැටි ගැන තීන්දු තීරණ ගත්තු ජනතාවකට අවුරුදු 10 කට මේක ගොඩගන්න බැහැයි කියන කතාව පිළිගන්නට නොහැක.එක ආණ්ඩුවකින් තමන්ගේ අවශ්‍යතා ඉ‍ටු නොවෙන විට ඒ ආණ්ඩුව පෙරළා තවත් ආණ්ඩුවක් පත් කරගෙන ඒ ඉ‍ටු කරගැනීමේ හැකියාව ගැන විශ්වාස කළ ජනතාවකට මේ කතා පිළිගත නොහැක. අරයා වෙනුවට මෙයා ආවානම් හොඳටම කරලා පෙන්නවාය කියා පුද්ගලයන් බලයට පත් කරන ජනතාවකට මේ කතා විහිළුය.

අරගලයේ ගොන් පාර්ට් එක

අදත් 'ගෝඨා ගෝ හෝම්' හරි, 'ගෝඨා - රනිල් දෙන්නම පළ' හරි කියමින් අරගලයේ යෙදෙන්නේත් මේ කියන ජනතාවමය. ඔවුන් තවමත් කල්පනා කරන්නේ ,විශ්වාස කරන්නේ මේ ඔළුගෙඩි මාරුවෙන් පවතින ප්‍රශ්නය විසඳා ගත හැකි බවය. දැන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ, අර්බුදය මැද ඒ බුක්ති විඳිමින් මේ අරගල කරුවන් ගෝල්ෆේස් පිට්ටනියට වී කෑකෝ ගසමින් කරමින්, සාකච්ඡා, සංවාද කරමින්,පොත්පත් කියවමින් , සංස්කෘතික වැඩ කරමින් අලුත් විදිහේ නවතාවයකින් යුතු පොශ් කියන ජාතියේ අරගලයක් කරමින් එතැනම කාබී වැටී සිටියද තවම ඔලු ගෙඩිමාරුවෙන් මේ ප්‍රශ්න විසඳිය හැකි බව විශ්වාස කරයි..ඒ ආගමික ඇදහිල්ලක් තරමට දැඩි විශ්වාසයකි. විටෙක අමු ගෝත්‍රිකය. ඔවුන්ගේ ඇදහිල්ලට වෙනස් මතයකට හෝ එතැන ඉඩක් නැත. වෙනස් මතයක් දරන්නකුට ඒ පරිශ්‍රයට ඇතුල් වීමත් ගුටි කන්න වෙන තත්වයකි.

කොහොම නමුත් රටේ සාතිශය බහුතරය සිතා සිටින්නේ මොකක් හරි විදිහකින් හෝ පවතින පාලනය වෙනසකින් හෝ මේ පවතින අර්බුදයන් කෙටි කලකින් අවසන් වනු ඇති බවය. නමුත් අර්ථික ක්ෂේත්‍රයේ හසල අත්දැකීම ඇති ජ්‍යේෂ්ඨ විශේෂඥයන් පෙන්වා දෙන ඇත්ත අතිශය භයංකරය. රුදුරුය.

ජපානයට වෙච්ච දේ

පසුගියදා අන්තර්ජාල නාලිකාවකට අදහස් දැක් වූ ආර්ථික විශේෂඥයකු සහ විචාරකයකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන දක්වූ අදහස් නොසලකා හැරිය නොහැක. අතිශය විශ්වාසනීය මත දක්වන්නකු වන ඔහුම විසින් මේ දක්වා රටේ ආර්ථිකය මොන විදිහකින් හෝ ගොඩ දැමීම සඳහා විටින විට ඉදිරිපත් කළ යෝජනාවන් අතික්‍රමණය කරමින් දැන් භයානක අනතුරු හැඟවීමක් සිදු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික කඩා වැටීම ඉදිරියේදී තව තවත් දරුණු වනු ඇති බවත් ලංකා ආර්ථිකය නොසිතූ මොහොතක නතර විය හැකි බවත් ඔහු පවසයි.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට පරමාණු බෝම්බ හෙලූ විට ජපානයට සිදුවූ විනාශයට සමාන ආර්ථික විනාශයක් ශ්‍රී ලංකාවට සිදුවන බවත් සියළු ජනතාවගේ කැපවීම් තුළින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට අවුරුදු 10 ක් පමණ ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

 

කලින් කිව්ව අණාවැකි

මෙම ලිපියේ ලියුම්කරු මෙවැනි බයංකර අනතුරු හැඟවීමක් මුල් වරට ඇසුවේ මීට මාස කිහිපයකට පෙරය. එනම් මාර්තු මාසයේදීය.

ඒ පසුගිය යහපාලන යුගයේ මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා සමයේ භාණ්ඩාගාර ලේකම් (මුදල් අමාත්‍යංශ) ලෙස කටයුතු කළ ආචාර්ය එස්. සමරතුංග සමඟ රටේ ආර්ථික අර්බුදය ගැන සිදුවූ කතා බහකදීය.

පීඩනය හමුවේ රටේ අරගල, උද්ඝෝෂණ පැන නොනැගි, අද මුහුණ දෙන තරම් පීඩාවන් ඇතිවෙනු ඇතැයි හෝ නොසිතුව මොහොතක වූ මෙම කතා බහේදී සමරතුංග මහතා පැහැදිලිවම පෙන්වා දුන්නේ රට ග්‍රීසිය,සිම්බාබ්වේ වැනි ආර්ථික අර්බුද උත්සන්නම වූ රාජ්‍යයන් මුහුණ දුන් අර්බුදයන්ට වඩා විශාල ව්‍යවසන කාරීත්වයකට ලංකාව පත්වීමේ වැඩි ඉඩ කඩක් තිබෙන බවය. විය හැකි දේ ගැන සිතා ගන්නවත් නොහැකි වෙනු ඇති බව ඔහු කීවේ රටේ ඒ් වන විට පැවැති ආර්ථික අර්බුදයෙ දිග පළල ගැඹුර ගැන කරුණු කාරණා පෙන්වා දෙමිනි. ඒ මොහොතේ ඒ විශ්වාස කිරීමට අප මැලි විය. එවැනි තත්වයකට පත්වන්න තරම් මේ රට අවාසනාවන්ත නොවෙනු ඇතැයි සිතන්ට අප අපටම බල කර ගන්නා තැනකට පත් වීමු. නමුත් ඒ අණාවැකි පෙනෙන නොපෙනෙන තැනක තිබෙන බව දැන් දැනෙමින් තිබේ.

මෙයින් ගැලවීමට කළ හැකි කිසිවක් නැද්ද යනන් අප කාගෙන් ප්‍රශ්නය වූ අතර, බලපොරොත්තු විරහිත ලෙස ඔහු කීවේ 'නැත' යන්නය.

රට හදන්න විකල්ප දෙකක්

නමුත් විකල්ප දෙකක් ගැන ඔහු කීවේය. ඒ කොහෙන් හෝ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 රටට නිකම් පිනට ලැබිය යුතුය. ණයක් නොවන පෙරළා කිසිවක් බලපොරොත්තු නොවන ආධාරයක් ලැබුණොත් අපට මේ අර්බුද වලින් ගොඩ එමේ මාර්ගයක් පාදා ගත හැකි වෙනු ඇති බවය. එහෙත් රටේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණයන් රැසක් විය යුතු බවත් එසේ නොවුණහොත් ඒ් බිලියන 5ත් වතුරේ යනු ඇති බවත් පෙන්වා දුන්නේ හණමිටි අදහස් එක්ක රටක් ගොඩනැගිය නොහැකි බවත් අවධාරණය කරමිනි .

ඔහුගේ අනෙක් විකල්පය නම් මේ යන විදිහට (එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස ආර්ථිකය මෙහෙයවීය) යන්න හැර මහා විනාශයකින් මේ කෙලවර වී එනම් විනාශ වන්නට තරම් දෙයක් ඉතුරු නොවෙන තැනකට පත්වීමෙන් පසුව යළි මුලසිට පටන් ගැනීමය. ඉතිරිව සිටින පිරිසෙන් කෙනෙක්, ඔහුගේ වචනයෙක් කිවහොත් ග්‍රීසියේ මෙන් කවුරු හරි සෝමපාල කෙනෙක් රටේ නායකත්වයට පත් කරගෙන මොකක් හරි රටක උදව් උපකාරයකින් අලුත් රටක් ගොඩනගන්නට අවස්ථාවක් ලැබෙනු ඇති බවය.

අද ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතාද පැමිණ තිබෙන ස්ථාවරය මීට වෙනස් නැත.මේ කියන ඒවා මේ අකාරයෙන්ම හෝ ඊටත් වඩා දරුණුව හෝ නොවී සිදු විය හැකිය.ඒ අද ගන්නා තීරණ අනුවය. ඒ කොහොම නමුත් රටේ ආර්ථිකය ගොඩ නැංවීම තව දශකයකට හෝ ඊටත් වඩා කල් ඇදෙනු ඇති බව නම් දැන් කොහොමත් සිතන්නට පුලුවන් තත්වයක් තිබේ.

 

පක්ෂ විපක්ෂ බලු පොරය

වර්තමානයේ දි රාජ්‍ය පාලනයට අඩු වැඩි වශයෙනුත් සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනාගෙ මුග්ධ විගඩම්කාරී සහ තක්කඩි අවස්ථාවාදී හැසිරීම් විසින් කියන්නේ මේ පිරිස් තව දුරටත් රාජ්‍යයේ පාලනයට යම් ලෙසකින් හෝ සම්බන්ධ වනවා නම් මේ රටට ගොඩ යෑමක් නම් නැති බවය.

ප‍ටු දේශපාලන වාසි ප්‍රයෝජන තකා කරන කුලල් කා ගැනීම අද රටටම පිළිකුල් සහගත, අපුල දනවන ජවනිකා බවට පත්ව තිබේ. විපක්ෂය හෝ වේවා ආණ්ඩුව හෝ වේවා නියෝජනය කරන පක්ෂ මෙහිදී තවමත් තමන්ගෙ බල දේශපාලනයම තුළ හිඳිමින්, අර්බුදයෙන් ගැලවීමට මේ යන්තම් අටවා ගත්තු තාවකාලික ආණ්ඩුව ගන්නා ක්‍රියමාර්ගයන්ටත් අකුල් හෙළමින් සිටීම අතිශ්ය නින්දා සහගත බව කිව යුතුය.

රනිල් තනියම මොකද කරන්නේ ?

අඩුම තරමින් අද අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුර දරමින් සිටින්නේ පක්ෂයක්, පාටක් නියෝජනය කරමින් නොවේය කියන කාරණයවත් මේ අය පිළිගන්නේ නැත. ඔහු අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙසය. අඩුම තරමින් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරකගේ කැමැත්ත තබා එකදු මන්ත්‍රීවරයකුගේ කැමැත්ත තිබෙනවාද යන්න ඔහුවත් නොදනන්වා විය හැකිය. නමුත් ඔහුගේ කාර්යභාරය, වගකීම වී ඇත්තේ මේ මොහොතේ රටෙ ජනතාව මුහුණ දෙමින් සිටින බඩගිනි අරගලය, රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයේ වේදනාව සමනය කරගන්න තමන්ට හැකි, තමන්ගේ හැකියාවෙන් කළ හැකි උපරීමය සිදු කිරීමට බව පැහැදිලි කරුණකි. අඩුම තරමින් මේ ‌‌‌ ‌අභියෝගය භාර ගැනීමටවත් කිසිවකු ඉදිරිපත් නොවන අවස්ථාවක ඔහු මේ බාරගත්තේ මෙයින් තමන්ට විය හැකි දේශපාලනික අවදානම හෝ නොතකාය.

අපේ දරුවන්ට කියන්න වෙන දේ

ඔහුගේ අත් දැකිම් සහ ඔහු ලබාගන්නා අවබෝධයන් හා උපදෙස් අනුව මේ අර්බුදයන්ට විසඳුම් ලෙස කළ හැකි දේ කරමින් තිබේ. රටේ ඇත්ත ඔහු රටට හෙළිකරමින් රට වැටී තිබේ තත්වයෙන් ගොඩ ඒම සඳහා සියලු පාර්ශ්වලට ආයාචනා කරමින් තිබේ. ඔහුගේ විශ්වාසය අනුව අපට යන්තම් හෝ හුස්මක් කටක් ගන්නට වන්නෙ තවත් වසර දෙකක්වත් ගෙවුනු පසුවය. රට යම් සංවර්ධිත අවදියකට ගෙන යා හැක්කේ තව දශක දෙකකට පමණ පසුවය. ඒ ඉලක්ක ගත යුගය වෙනුවෙන් අද ප්‍රතිපත්ති, සැලසුම්, වැඩපිළිවෙල ආදිය සකසාගෙන ඉදිරියට ගියහොත් එදාට සිටින රාජ්‍ය පාලකයන්ට මේ රට සංවර්ධිත රටක් බවට පත් කළ බවට ප්‍රකාශ කිරීමට හැකියාව ලැබෙනු ඇත. අපේ දරුවන්ට ඔවුන්ගේ වැඩිහිටියන් විසින් ගොඩනැගුව ඒ සංවර්ධිත රට උරුම වෙනු ඇත.

එහෙත් එතැනට යන්නට රටේ වත්මන් දේශපාලනය ඉඩ දෙන්නෙ නැත.ඒ අය බලාපොරොත්තු වන්නේ මහා විනාශයකි. විනාශයේ වගකීම වත්මන් පාලකයන් පිට දමා ඊළඟ මහ ඡන්දයෙන් ආණ්ඩු බලය ලබාගැනීම ගැන පමණක් මොවුන් තිර ලෙසම කල්පනා කරමින් සිටී.. එපමණය.

-සුජය

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us