එසේම විශ්ලේෂකයන් පවසන පරිදි සාගතයක් පිළිබදව දිගින් දිගටම අනතුරු ඇගවීම් කර ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද පෙනී යයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් ගිනි ගණන්ය. ඒ හැරුණු කොට වෙළෙන්දෝ තම සිතැඟි පරිදි සහල් මිල තීරණය කරති. -සහල් පමණක් නොව අනෙකුත් සියලු ආහාර වල මිළත් අහස උසටය. එක් අතකින් ආහාර නිෂ්පාදනය අඩු වී ඇත. තව අතකින් ප්‍රවාහනය හා බෙදා හැරීම අවුල්ය. තවත් අතකින් වෙළෙඳපොළ හැසිරීම අන්තිම නරකය. මේ සෑම දෙයකින්ම තැළෙන්නේ පොඩි වන්නේ පිඩිත ජනතාවය .
එහෙමයි කියා රට හැරදායාද නොහැක..එහෙත් ආණ්ඩුව රට රැකියාවට යොමුවී මුදල් උපැයිම සදහා රාජ්‍ය නිලධාරීන්ටත් පුද්ගලික අංශයේ නිලධාරීන්ටත් වැටුප් රහිත වසර පහක කාලයක් ලබා දෙමින් සහන සලසා ඇත..අපට දුප්පත්කම අලෙවි කරන්න පුළුවන. ඒ වෙනුවෙන් සැර විවේචන ඉදිරිපත් කරන්නත් පුළුවන. ආණ්ඩුවට එරෙහිව පෙළපාළි යන්නටත් පුළුවන. එහෙත් මේ එකක්වත් ගැටලුවලට විසඳුම් නොවේ. ඒවායින් සිදු වන්නේ කාලය කා දැමීම හා අර්බුදයේ දිග පළල වැඩි කිරීමය. සුද්දා මේ රට හැඳින් වූයේ රත්තරන් භූමියක් හැටියටය. වියළි දණ්ඩක් පොළොව මතට දැමුව හොත් එය දලු ලා වැඩෙන සාරවත් පසක් අපට ඇති බව සුද්දා පෙන්වා දී ඇත. අපේ අතීත මිනිසා එයින් උපරිම ඵල නෙළා ගත්ත ද නූතන මිනිසා එයින් දුරස්ය. පුරන් කුඹුරු අක්කර සිය ගණනක් රටේ පවතී. හිස් ඉඩම්, මුඩු ඉඩම් සෑම පළාතකම තිබේ. මේවායින් නිසි ප්‍රයෝජන ගත හොත් තව පරම්පරා ගණනකට ආහාර ගැටලුවක් ඇති වන්නේ නැත. වත්මන් ආණ්ඩුව මිට අවදානය යොමුකරමින් මේ වන විටත් මුඩු ඉඩම් , බන්ධනාගාර භුමි තුලත් වගා කටයුතු ආරම්භ කර තිබේ..වත්මන් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ අප නැවත වගා සංග්‍රාමයක් වෙත යා යුතු බවය. එය බුද්ධිමත් තීරණයක් බව පෙන්වා දිය යුතුය.
ආණ්ඩුව කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. මේ කමිටුවේ පළමු කාර්යය වන්නේ රටේ ආහාර නිෂ්පාදනය, සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කිරීමය. එම වාර්තාවල තත්ත්වයට අනුව වගා සංග්‍රාමය පිළිබඳ ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතය. ඉදිරි කන්නයේ වී වගාවට සිදු වන්නේ කුමක් ද? රටට අවශ්‍ය මුළු සහල් තොගය එම කන්නයෙන් ලබා ගත හැකි ද? යන කරුණු මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ. ආහාර අර්බුදයක් ඇති වීමට නියමිත නම් වහාම සාධක දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න ආහාර සුරක්ෂිතතාවයි. දෙවැන්න වගා සංග්‍රාමයයි.
ග්‍රාමීය අංශයේ සෑම පුරවැසියකුම පාහේ යම් පමණක ගොවියෙකි. එලෙසම වගා කළ හැකි සුළු හෝ බිම්කඩක් මේ සෑම පුරවැසියකුටම තිබේ. ලිබියාවේ ගඩාෆි පාලන සමය තුළ කුකුළු මස් හා බිත්තර පිළිබඳ අර්බුදයක් මතු විය. ඊට විසඳුමක් ලෙස තට්ටු නිවාසවල කුකුළන් ඇති කිරීමට අවසරය දුනි. එය සාර්ථක පියවරක් වූ අතර ලිබියාවේ මස් හා බිත්තර අර්බුදයට කදිම විසඳුමක් විය. ලීබියාවත් එසේ ගොඩ ගියා නම් අපේ රට ගැන කතා කුමටද..මේ සරුසාර පසම අපට ආශීර්වාදයකි..අවශ්‍ය වන්නේ සමස්ත පුරවැසියාගේම බුද්ධිමත්භාවයත් ,උත්සාහයත් පමණි.
-මහේෂි